වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




සුඛෝපභෝගී ජීවිතයට වඩා සරල ජීවිතයට අපි කැමැතියි

සුඛෝපභෝගී ජීවිතයට වඩා සරල ජීවිතයට අපි කැමැතියි

දියවන්නාවේ දිය රැළි සිප ගනිමින් හමන මඳ සුළඟ නිසා පරිසරයේ වූයේ සිහිල් බවකි. ඒ සිහිල්බව දැඩි කරන්නට මෙන් ඈත අහස් කුස අරක් ගත් කළු වලාව බිමිට පතිත වන්නට ඔන්න මෙන්නය. කලාබලකාරී නගරයෙන් ඈත් වුණු අප සෙමෙන් පිය මැන්නේ ඇගේ සොඳුරු නිවහන සොයායි.

ආචාරශීලී ආරක්ෂක නිලධාරියා අප පිළිගත්තේ කලබලකාරී නගරයත, නිහඬ නිසල පරිසරයත් වෙන් කරන දැවැන්ත ගේට්ටුව විවෘත කරමිනි. එක, දෙක වැටෙන මොර ගෙඩි වැනි වැහි බිඳු ළඟ ළඟම අර අඳින වැස්සක ලකුණු කියාපායි. ඉන් ඈත් වී ඇගේ සොඳුරු නිවහන ඇතුළට පියමැන්න අපි අසුන් ගතිමු. ඒ සාලයේ තිබෙන සුන්දරත්වය හා ප්‍රෞඪත්වය කියාපාන සැටිය මතට වුණු අපි සොඳුරු රංගන ශිල්පිනිය වූ සබීතා පෙරේරා පැමිණෙනතුරු එහි වූ සොඳුරු බව නැරැඹීමු.

'මේසා විශාල නිවසක් ලස්සනට තියාගන්න සබීතා කොයි තරම් නම් මහන්සි වෙනවා ඇත්ද?'

එක්වරම මගේ සිතේ පැන නැඟුණේ එවැනි පැනයකි. ඈ සෙමෙන් සෙමෙන් පියගැට පෙළ පිය මැන අප අසලට පැමිණියේ සුපුරුදු සිනහව මුවඟට නංවමිනි. ඈ පැමිණීමට පෙර මගේ සිතේ රජ කළ පැනය මම ඇගෙන් විමසීමි.

'නිවසේ සියලුම කටයුතු සිදු වෙන්නේ මගේ අනුදැනුම මත තමයි. මට හැම දෙයක්ම පිළිවෙළට, පිරිසිදුව තියෙන්න ඕනෑ. නිවෙස මේ තත්ත්වයෙන් තියාගන්න මට උදව් කරන්න තව දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා මගේ වැඩ කටයුතු තරමක් පහසුයි. අපි කාර්යබහුල අය නිසා ඒ කටයුතුත් සමඟ නිවෙසේ කටයුතු ප්‍රමාද වෙන වෙලාවල් එහෙමත් තියෙනවා. එහෙම වැඩිපුරම වෙන්නේ මම රංගන කටයුතුවල නියැළෙන කාලවලයි. ඒ වගේ අවස්ථාවක මේ නිවෙසේ කටයුතු නැවතත් බින්දුවේ ඉඳලාම ආරම්භ කරන්න මට සිද්ධ වෙනවා.'

සබීතා පෙරේරා කියන රංගන ශිල්පිනිය මේ විදියට හඬ අවදි කළේ නිළියක් හැටියට නම් නොවේ. නිළියක් කියන භූමිකාවෙන් මිදුණු පසුව සාමාන්‍යයෙන් අනෙක් කාන්තාවන් වගේම ඈ දයාබර බිරියකි. ආදරණීය මවකි.

'දවස ආරම්භය සනිටුහන් කරන්නේ කොහොමද?'

'යුවතියක්ව සිටි කාලයේ සිටියේ රඟපෑමත් එක්ක වුණත් විවාහ වුණාට පස්සේ ඒ සියල්ල වෙනස් වුණා. වගකීම් රැසක් මා මත පැටවුණා. මගේ පුතාට දැන් වයස දාහතරක්. ඒ වගකීම වඩාත් දැනෙන්නේ දැන් තමයි. එයා ගැන ඇහැ ගහගෙනම ඉන්න ඕනෑ වයසකයි එයා ඉන්නේ.

අද සමාජයේ සිද්ධ වෙන දේවල් එක්ක චුට්ටක්වත් ඇහැ අහකට ගන්න මට බැහැ. කොහොමත් පුතා ඉපදුණ දා පටන් හැදුණේ වැඩුණේ මා සමඟමයි. එයාට අවුරුදු නවයක් යනතුරුත් මම කිසිම වැඩක් භාර ගත්තේ නැහැ. ඒ නිසාදෝ පුතාට මම නැතිවම බැහැ. මේ නිසා මම උදෙන්ම අවදි වෙනවා. මුළුතැන් ගෙයට ගිහින් මුලින්ම කරන්නේ පුතාව පාසල් අරගෙන යන්න අවශ්‍ය කෑම හදන එකයි.

එයාට විවේක දෙකක් තියෙන නිසා කෑම පෙට්ටි දෙකක් සූදානම් කරන්න ඕනෑ. කොළ කැඳ, ඇට වර්ග වගේ දේශීය කෑම කන්නයි පුතා නිතරම කැමැති. පුංචි කාලයේ ඉඳලාම එයාට මම පුරුදු කළේ ඒ වගේ කෑමයි. අනිත් කාරණය වෙන්නේ පුතා කෑම කනතුරුම මම ළඟටම වී ඉන්න ඕනෑ. පුතා පාසලට ගියාට පස්සෙයි මහත්තයාට උදේ ටී එකක් හදාගෙන මම යන්නේ. ඊළඟට මහත්තයා ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට යනවා. මටත් යන්න කිසිම උත්සවයක් නැත්නම් සාමාන්‍ය විදියට ව්‍යායාම කරන්න යන එක පුරුද්දක් බවට පත් වෙලා.’

යුවතියක්ව සිටි කාලයේ උන්නු විදියට වඩා වෙනස් ජීවිතයකට පිළිපන්නට පස්සේ තිබෙන වගකීම් රැසකට ඇය මැදි වී ඇති සැටියෙකි.

'උයන පිහන කටයුතු සිදු වෙන්නේ කාගේ කැමැත්තටද?'

'ඒ සියල්ල මම සොයලා බලනවා. මුළුතැන් ගෙයට අවශ්‍ය සියලුම දේ ගේන්නේ මමම තමයි. මේ නිසා අපේ ආහාර වේල් සැකසෙන්නේ බොහොම සරල විදියටයි. සුඛෝපභෝගී ආහාර වේලකට අපි යන්නේ නැහැ. එහෙම ගිහින් අපි ලෙඩ වෙන්න අවශ්‍ය නැහැ. මහත්තයා වුණත් ආහාරයට ගන්නේ ඒ කෑමම තමයි. ඒ සරල බවට ඔහුත් හුරුයි.'

උපාලි - සබීතාගේ විවාහ දිවියේ මේ ගෙවෙන්නේ පහළොස් වසරයි. බොහොම සතුටෙන් ගෙවෙන ජීවිතය, ඔවුන් දෙදෙනා ගත කරන්නේ මනා අවබෝධයෙනි. සිය ව්‍යාපාර කටයුතු මොහොතකට නතර කළ සබීතාගේ දයාබර සැමියා උපාලි ජයසිංහ හදිසියේම අප පැමිණි නිසාම තමන්ගේ කැදැල්ලට පැමිණියේ මේ අතරය.

'කොහොමද ඔබගේ කටයුතුවලට බිරියගෙන් ලැබෙන සහයෝගය?'

'ඒ ලැබෙන සහයෝගය වචනවලට කියලා නිම කරන්න බැහැ. අති විශිෂ්ටයි. ගෙදර කටයුතු වගේම මගේ වැඩ කටයුතුත්, පුතාගේ වැඩ කටයුතුත් හොයලා බලලා කරන්න ඈ අමතක කරන්නේ නැහැ. ඇගෙන් විය යුතු යුතුකම් වගකීම් සියල්ලම ඉෂ්ට කරමින් අප අසලම ඉඳීම අපට ධෛර්යයක්. ඈ රංගන ශිල්පිනියක් වුණත් අගය කළ හැකි බිරියක්.'

උපාලි ඒ අදහස ප්‍රකාශ කළේ හදවතින්මය. සරල ලෙස ජීවිතය දකින සබීතා වැනි බිරියක් ලැබූ ඔහු වාසනාවන්තයෙකි.

'ඔබට ජීවිතය සරල ලෙසම ගෙවන්නට හැකිද?'

මා විමසූ කළ ඇය සිනාසුණාය.

'මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක් නිසා සරල ලෙස ජීවත් වෙන්න අපහසුයි. සමහර වෙලාවට උත්සවවලට යන්න අඳින්න, පලඳින්න වෙනවා. ඒ සියලු දේ අතරක් නිළියක් ලෙසත් ගෙවන චරිතය ඇතුළේ ඉන්නේ බොහොම සරල කෙනෙක්. ඒ ඒ අවස්ථාවලට එහෙම සැරැසුණත් අනෙක් සෑම වෙලාවකටම මම සරල ගැහැනියක්'

ඒ සරල ගැහැනිය තම කැදැල්ල ගොඩනඟා ගෙන තිබෙන්නේ බෞද්ධ ජීවිතයකට සරිලන අයුරෙනි.

'බෞද්ධ වත්පිළිවෙත් ඔබගේ ජීවිතයට ආලෝකයක්ද?

'උදේ ඉඳලා හවස් වනතුරු මල් පූජා කිරීම විතරක් නොවෙයි, බුද්ධ පූජාව වගේම ගිලන්පස තැබීමත් සිදු කෙරෙනවා. මම හිටියොත් මේ කටයුතු මගේ අත් දෙකෙන්ම කරන්න අමතක කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි උදේ, හවස පිරිත් සජ්ඣායනය ඇහෙන්න සලස්වනවා.

අපේ නිවෙස මේ බෞද්ධ කටයුතු සියල්ල කෙරෙනවා. මේ හැම දෙයක්ම මා කරන්නේ බොහොම කැමැත්තෙන්. ඒ වගේම මගේ සිත ඒ පැත්තට යොමු වෙලා. මේ සියලු දේ කරලා මා ප්‍රාර්ථනා කරන්නේ මේ හැම දේම නිවන් දකින්න හේතු වේවා කියලයි. නැවතත් උපදින්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද ජීවිතය කියන්නේ දුකක් කියලා මා දන්නවා'.

ජීවිතයේ බොහෝ අත්දැකීම් ඔස්සේ පරිණත තැනැත්තියක් වූ ඇයට බෞද්ධ පරිසරයෙන් ලැබී ඇත්තේ අපූරු එළියකි. මවක ලෙසින්, බිරියක ලෙසින්, සරලව ගෙවන ජීවිතය ඇගේ සිත සංසුන් කර ඇත. ඔවුන්ගේ ජිවිත සොඳුරු කර ඇත. ඒ සොඳුරු නිවහනට සමු දුන්න අප ඉන් පිටත් වන විට මොර ගෙඩි මෙන් වැටුණු වැහි බිඳු වැටීම නැවතී තිබිණි. දියවන්නා ඔයේ ආලෝකවත් විදුලි බුබුළුවල එළියෙන් මුළු පෙදෙසම ආලෝකවත් වී ඇත. ඒ මඟ දිගේ අපි පිය මැන්නෙමු.