වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




ඡන්ද තිබුණත් අපි මැරෙන්නෙ නෑ

ඡන්ද තිබුණත් අපි මැරෙන්නෙ නෑ

සිංහල සිනමාවට එක්වන අලුත්ම නිෂ්පාදක රුවන් රුක්මන් තිලකරත්න

මේ දිනවල තිරගතවන අපි මැරෙන්නෙ නෑ සිනමාපටය නිෂ්පාදනය කළ දේශමාන්‍ය රුවන් රුක්මන් තිලකරත්න අපත් සමඟ මෙසේ කතාබහකට එක් විය. වෘත්තියෙන් ඔහු ව්‍යාපාරිකයෙකි. කලක් විදෙස්ගතව සිටි රුවන්ගේ පළමු නිෂ්පාදනය වන්නේ ද අපි මැරෙන්නෙ නෑ සිනමාපටයයි. මෙතැන් පටන් සටහන් වන්නේ ඔහු දැක් වූ අදහස්වල එකතුවකි.

* කොහොමද රුවන් මේ දවස්වල චිත්‍රපටයේ තත්ත්වේ?

මං ඒ ගැන නිතර සෙවිල්ලෙන් ඉන්නේ. විවිධාකාර පරිසර තත්ත්වයන් යටතේ සිනමාපටය ඉතා හොඳින් තිරගත වෙනවා. මේ සමයේදී මිනිස්සුන්ගේ වැඩි අවධානය තිබුණේ ඡන්දය වෙනුවෙන්. ඒ අතරේ වුණත් සිනමා ශාලාවලට සිනමාලෝලීන් ආවා. මං හිතන්නේ ඒක අපේ වාසනාවට සිදුවෙච්ච දෙයක්.

* ඇයි ඔබ චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්න හිතුවේ?

ඇත්තම කිව්වොත් තුන් හිතකවත් එහෙම අදහසක් තිබුණේ නැහැ. අඩුම ගාණේ මං මේ ක්ෂේත්‍රය ගැන දන්නෙවත් නැහැ. මගේ මිතුරෙකුගේ මාර්ගයෙන් තමයි මෙහි අධ්‍යක්ෂ මොහාන් නියාස්ව මුණ ගැහුණේ. ඔහු මට අපි මැරෙන්නෙ නෑ සිනමාපටයෙහි කතාව ගැන විස්තර කළා.

* ඔබ ඊට මොන වගේ ප්‍රතිචාරයක් ද දැක්වූයේ?

ඒක හරි රසවත් සිදුවීම් මාලාවක එකතුවක්. අනික යොදා ගන්නට සිටි නළු නිළියන් ද ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ අය. ඉතින් මට හිතුණා නිෂ්පාදනයට පිවිසිලා බලන්න.

* බය හිතුණේ නැතිද?

එදා බය හිතුණේ නැහැ. හැබැයි පහුකාලීනව නම් ටිකක් බය දැනුණා.

* ඒ මොකද?

මම මුදල් උපයන්න දන්නේ ව්‍යාපාරවලින්. නොදන්න දෙයකට අත ගහලා අනාගත්තාදෝ කියලා වෙලාවකට හිතුණා. එක අතකින් මේක එක්තරා අභියෝගයක්. අභියෝගවලට මුණ දෙන්න මං කොහෙමත් ප්‍රියතාවයක් දක්වනවා. අද වන විට මට හිතෙනවා මං සිංහල සිනමාවට මගේ දායකත්වයෙන් චිිත්‍රපටයක් ලබා දුන්නා නේද කියලා. ඒ ගැන සදාකලිකව සටහන්ව පවතින්නේ.

* චිත්‍රපටයක නොකර ටෙලි නාට්‍යයක කරන්න තිබුණා නොවේද?

මං කලින් කිව්වා මේ ක්ෂේත‍්‍රය ගැන අවබෝධයක් නැහැ කියලා. ඒ වගේම මේ ක්ෂේත්‍රය මගේ හිතවත් අයත් අඩුයි. එහෙම තත්ත්වයක් මත ටෙලි නාට්‍යයක් කරලා එය විකාශය කර ගැනීමේදී මට ගැටළුවක් වෙනවා. ඒකයි චිත්‍රපටයක් කළේ.

* නමුත් ඔබේ චිත්‍රපටයත් තිරගතවන්නට පමා වුණා?

ඔව්. ඔය පිළිබඳව අපේ අධ්‍යක්ෂ නියාස් මහත්මා පෙර සරසවිය කළාපයක් තුළින් ද කතා කළා. නියමිත සිස්ටම් එකට පෝලිම් පනින්නේ නැතුව තිරගත වෙන චිත්‍රපටවලට සිදු වන්නේ ඔන්න ඕකයි. කොහොමත් අපි මැරෙන්නෙ නෑ කතාව කිසිදු පරණකමක් නැහැ. මං හිතන්නේ තව අවුරුදු හැටක් ගියත් චිත්‍රපටය රස විඳින්න පුළුවනි.

* ඔබ පදිංචිව සිටි රට මොකක්ද?

ජපානය.

* ජපානයේ කලාවට සම්බන්ධ වෙලා සිටියේ නැද්ද?

කොහෙත්ම නැහැ. මං තනිකර අවධානය යොමු කරලා තිබුණේ මගේ ව්‍යාපාර කටයුතුවලට.

* අපි මරෙන්නෙ නෑ චිිත්‍රපටය වෙනුවෙන් දැනට කීයක් විතර වියදම් වෙලා තියෙනවාද?

ලක්ෂ සීයක් විතර.

* ඒ මුදල සහ චිත්‍රපටයෙන් ලාභයක් නොලැබුණොත් මොකද කරන්නේ?

මං එච්චර අසුබවාදීව හිතන්නේ නැහැ. බලමු ඉදිරියේදී. තවම චිත්‍රපටය තිරගත වෙනවනේ.

* බොහෝ නිෂ්පාදකයින් තම පළමු චිත්‍රපට නිෂ්පාදනයෙන් අනතුරුව ක්ෂේත්‍රයෙන් ඉවත්වෙනවා?

මං තවම අපි මැරෙන්නෙ නෑ දිහා බලාගෙන ඉන්නවා. තව ටිකක් චිත්‍රපටය දුවන්න ඉඩදීලා ඉන් ලැබෙන ප්‍රතිලාභ මතයි ඊළඟ නිර්මාණය ගැන හිතන්නේ. ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න හිතාගෙන නැහැ. නමුත් අප රට තුළ නිෂ්පාදකවරයකුට වන සිත් රිදීම් ප්‍රමාණය වැඩියි. අවසානයේ සෑම පාඩුවක්ම විඳින්න වෙන්නේ නිෂ්පාදකවරයාට. ඒවා ගැන කවුරුවත් හිතන්නේ නැහැ. මෙන්න මේ කරුණු කාරණා මත නිෂ්පාදකවරු ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා.

* ඔබ මේ වන විට යම් කලකිරීමකින් ද ඉන්නේ?

මෙහෙමයි. කලකිරීමක් නැත්තේම නැහැ. ක්ෂේත්‍රයේ නිර්මාණ බිහිවන්න නිෂ්පාදකවරු අත්‍යවශ්‍යයි. එහෙව් තත්ත්වයක් මත ඔවුන්ව ආරක්ෂා කර ගැනීම නිර්මාණකරුවන්ගේ යුතුකමක්.

* අපි මැරෙන්නෙ නෑ චිත්‍රපටයේ ඔබ ඉතා සුළු චරිතයක් රඟපෑවා. නිෂ්පාදකවරයා වශයෙන් ඔබ ඊට වඩා සැලකිය යුතු මට්ටමේ චරිතයක් කරන්න තිබුණනේ?

මට නියාස් පවා කිව්වා මෙහි ප්‍රධාන චරිතයක් රඟපාමු කියලා. නමුත් මගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ රංගනය සඳහා. ඔබ ඇහැව්වා වගේ මට ගොඩක් අය කියනවා හොඳ රූපයකුත් තියාගෙන ඇයි හොඳ චරිතයක් රඟපෑවේ නැත්තේ කියලා. ඒ හැමෝටම මං මේ හරහා අද පිළිතුරක් දෙනවා. ඒ තව ටිකක් අධ්‍යනය කරලා රංගනයට පිවිසෙනවා කියන එක.

* නියාස් වගේම ඔබත් නුවර නේද?

ඔව්. මං නුවර කටුගස්තොට.

* මේ වන විට ඓතිහාසික චිත්‍රපට බිහිවීමේ රැල්ලක් තියෙනවා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

අති විශාල පිරිවැයක් එම චිත්‍රපට සඳහා වැය වෙනවා. ඇතැම් අවස්ථාවලදී සිතුව තරම් ප්‍රේ්කෂකයෝ ඒවා නරඹන්න නොඑන අවස්ථාවන් ද තියෙනවා. එහෙම වෙන්නේ ඓතිහාසික රුල්ල මිනිස්සුන්ට එපා වෙලා හින්දා වෙන්න ඇති.

* අපි මැරෙන්නෙ නෑ චිත්‍රපටය සඳහා ප්‍රචාරය දුන්නා ප්‍රමාණවත් නැහැ කියලා මට හිතෙනවා?

අපි පුළුවන් තරම් ප්‍රමෝෂන් කළා. මේ කාලේ පෝස්ටරයක්වත් අලවලා තියන්න බැහැනේ. එළිවෙන්න කලින් ඊට උඩින් තව දහයක් විතර වෙන වෙන පෝස්ටර් අලවලා. ඒක වෙන්න ඇති ඔබට එහෙම හිතෙනවා ඇත්තේ.