වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




2014 දී ඛාන්ලා රජ වෙති

2014 දී ඛාන්ලා රජ වෙති

Bollywood Top 10 - 2014

බොලිවුඩ් සිනමා කර්මාන්තයේ පසුගිය වසර තුළදී ඉහළම ආදායම් ලද සිනමා නිර්මාණ ත්‍රිත්වය තෝරන ලෙස ඔබට කිවහොත් ඔබ තෝරා දෙන්නේ කුමන නිර්මාණ ද? ඒ සඳහා මම ඔබට පොඩි ඉඟියක් දෙන්නම්. ගෙවී ගිය 2014 වසරේදී බොලිවුඩයේ ඉහළම ආදායම් ලද චිත්‍රපට තුනේම ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අනූව දශකයේ සිටම තම ජනප්‍රියත්වය නොනැසී පවත්වාගෙන ආ ඛාන් තුන් කට්ටුවයි. ඒ චිත්‍රපට මොනවාදැයි දැන් නම් ඔබ දන්නවා ඇති.

මේ අතරේ පෙරමුණට පැමිණෙන්නේ පසුගිය දෙසැම්බර් 19 වැනිදා තිරගත වීම ආරම්භ කළ P K චිත්‍රපටයයි. එය බොලිවුඩයේ පසුගිය වසරේ ඉහළම ආදායම් වාර්තා තැබූයේ තිරගත කර දින කිහිපයකදීය. අමීර් ඛාන් සමඟින් අනුෂ්කා ෂර්මා කළ අපූරු රංගනය, එහි ඇතැම් සිදුවීම් ජනතා අප්‍රසාදයට පවා ලක් විය. ඒ කෙසේ වෙතත් 2014 වසරේ ඉහළම ආදායම ලෙසින් එය අමෙරිකානු ඩොලර් මිලියන 76 ක මුදලක් වාර්තා කළේය. දෙවැනි ස්ථානය දිනා ගන්නේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ Happy New Year චිත්‍රපටයයි. අමෙරිකානු ඩොලර් මිලියන 20 ක පිරිවැයක් දරා නිෂ්පාදනය කළ එය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 60 ක් විය. එසේම ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් ආරම්භක දිනයේදී ඉහළම ආදායම ලබමින් ද එය වාර්තා අතරට එක් වූයේය. ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කළ මෙහි ෂාරුක් සමඟින් අභිෂේක් භච්චන්, දීපිකා පදුකෝන්, බෝමන් ඉරානි රංගනයෙන් දායක වූහ.

සල්මන් ඛාන් ජැකලීන් පර්ඩිනැන්ඩිස් සමඟින් රංගනයෙන් දායක වූ Kick  චිත්‍රපටය ද අති සාර්ථක වූ හින්දි චිත්‍රපටයකි. එය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලද ආදායම වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 59 කි. ඒ වගේම බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන නළුවන් තිදෙනා බවට පත් වෙන්නේත් මේ ඛාන් තුන් කට්ටුවයි. ෂාරුක් ඛාන් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 20 ක් අය කරන විටදී, අමීර් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 30 ක් අය කරන බව වාර්තා වෙයි. සල්මන් ඛාන් චිත්‍රපටයක රංගනය වෙනුවෙන් අය කරනු ලබන්නේ ඉන්දීය රුපියල් කෝටි 50 ක් වැනි මුදලක්.

රිතික් රෝෂන් කත්‍රිනා කායිෆ් සමඟින් හැඩ කළ Bang Bang  චිත්‍රපටය ද අමෙරිකානු ඩෙලර් මිලියන 53 ක් උපයා ගනිමින් ඉහළ ආදායම් අතරට පැමිණ සිටියි. Knight and Day හොලිවුඩ් චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වූ Bang Bang හි අධ්‍යක්ෂණය සිද්ධාන්ත් ආන්න්ද් විසින් සිදු කරන ලදී. එය ලොව පුරා තිරගත වීම ආරම්භ කරන ලද්දේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.

Singham Returns  චිත්‍රපටය ද ඉහළ ආදායම් ලද චිත්‍රපට අතරට එක් විය. අජේ දේව්ගන් සහ කරීනා කපූර් රංගනයෙන් දායක වූ එහි අධ්‍යක්ෂණය රෝෂන් ෂෙට්ටි විසිනි. අමෙරිකානු ඩොලර් මිලියන 18 ක පිරිවැයක් දරා නිෂ්පාදනය කළ Singham Returns වාර්තා කළ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 32 කි. පසුගිය වසර තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ චිත්‍රපටයක් බවට පත් වූයේ Jai Ho  චිත්‍රපටයයි. ඉන්දීය මැතිවරණය සමයේදී එය කාගේත් අවධානයට ලක් වූයේ Jai Jai Ho  ගීතය සහ එකළ ඉන්දීය මැතිවරණයට තරග කළ නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපරය ද සමඟිනි. සල්මන් ඛාන් එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේය. විචාරාත්මක අතින් සාර්ථක නොවුණ ද වාණිජමය අතින් සාර්ථක වූ චිත්‍රපටයක් බවට එය පත් වූයේ ලොව පුරා ප්‍රදර්ශනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 29 ක ආදායමක් ලබමිනි.

අභිෂේක් වර්මන් අධ්‍යක්ෂණය කළ 2 States  චිත්‍රපටය ද පසුගිය වසරේ සාර්ථක ආදායමක් ලද බොලිවුඩ් චිත්‍රපට ගොන්නට ඇතුළත් විය. අමෙරිකානු ඩොලර් 5.5 ක වියදමක් දරා නිර්මාණය කළ එහි ආදායම වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 24 ක මුදලකි. යොවුන් රංගන ශිල්පීන් යුවළක් වූ අර්ජුන් කපූර් සහ ආලියා භාත් ගේ රංගනයෙන් 2 States  හැඩ විය. ටූ ස්ටේට්ස් යනු චේතන් භාගත්ගේ නවකතාවක් පාදක කොට ගත්තක් වූ අතර එය සිංහලට නැඟුණේ මොන මඟුලක් ද මන්දා යනුවෙනි. අක්ෂේ කුමාර් සහ සෝනක්ෂි සිං රංගනයෙන් දායක වූ  Holiday චිත්‍රපටය අමෙරිකානුු ඩොලර් මිලියන 18 ක් වාර්තා කරන විටදී ක්‍රියාදම චිත්‍රපටයක් වූ EK Villain චිත්‍රපටය ඉපැයූ ආදායම වූයේ අමෙරිකානු ඩොලර් 17 කි. EK Villain ආරම්භක දිනයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 8 ක් වාර්තා කරන්නට සමත් විය.

නවදිල්ලියේ සම්ප්‍රදායික පවුලක හැදී වැඩුණ තරුණිය තනිවම මධුසමය සඳහා ප්‍රංශය කරා ගිය ගමන ද සුවිශේෂ එකක් විය. ඒ කන්ගනා රනවුට් රංගනයෙන් දායක වූ Queen  චිත්‍රපටයයි. විකාශ් බාල් අධ්‍යක්ෂණය කර අනුරාග් කාශ්‍යප් නිෂ්පාදනය කළ Queen නිෂ්පාදන පිරිවැය වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 2 කි. එය තිරගත කිරීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක ආදායමක් ඉපයීමට සමත්විය.