වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




යූ හැව් ඩන් ඉට්ස් වෙරි වෙල්

යූ හැව් ඩන් ඉට්ස් වෙරි වෙල්

ටයිටස් තොටවත්තයන්ගේ සාගරිකා චිත්‍රපටය කතරගම මැණික් ගඟ අසලදී රූගත කරද්දී වූ සිද්ධියකි මේ.

චිත්‍රපටයේ ට්‍රැක්ටර් රියදුරෙකුගේ චරිතයට මා තෝරා ගන්නා විට ‘වේහැල්ලට ට්‍රැක්ටර් එළවන්න පුලුවන්දැයි’ ටයිටස් මහත්තයා මගෙන් ඇසීය.

‘ඔව්’ යැයි මම කීවෙමි.

මැණික් ගඟ අසල මා ට්‍රැක්ටරයක් පදවන දර්ශනයක් රූගත කිරීමට තිබුණි. දර්ශනය රූගත කිරීමට ඔන්න මෙන්න තිබියදී පදවාගෙන යෑමට මට ලැබුණේ අත් ට්‍රැක්ටරයකි. ඒ මොහොත වන තුරු මා අත් ටැක්ටරයක් පැදවීම තබා අතින් අල්ලාවත් තිබුණේ නැත. දර්ශනය රූගත කිරීම ඇරැඹිණි.

එම දර්ශනයේ රඟපෑමට ප්‍රවීණ නළුවන් වන රෙක්ස් කොඩිප්පිලි, ටෝනි රණසිංහ සහ මම සැරසී සිටියෙමු.

ටයි මහතා කැමරාව අසලට ගියේය. එහි කැමරාකරු වූයේ (දැනට අප අතරින් වියෝ වී ඇති) ඇන්ඩෘ ජයමාන්නය.

ටැක්ටරය ගෙනා තැනැත්තාගෙන් ලැබුණු උපදෙස් පරිදි මම ඇන්ජිම ක්‍රියාත්මක කළෙමි. කොහේදෝ සිට දුව ආ ටෝනි රණසිංහ ටැක්ටරයට නැග මා අසලම වාඩි විය.

දර්ශනයේ ඉතිරි කොටස වූයේ අප එන දෙසට විරුද්ධ පැත්තෙන් රෙක්ස් කොඩිප්පිලි රේස් තිරික්කලයක නැග වේගයෙන් එන දර්ශනයයි. මට කිරීමට නියමිතව තිබුණේ වේගයෙන් එන රේස් තිරික්කලය අත් ටැක්ටරයේ හැප්පීමය.

ට්‍රැක්ටරේ බ්රේක් ඇති තැන මා දැන සිටියේ නැත. බ්රේක් එක ඇත්තේ හැඬල් එකේ යයි සිතූ මම හැඬල් එක කිටි කිටියේ මිරිකුවෙමි. ඒ සමඟ රෙක්ස් කොඩිප්පිලි වේගයෙන් ආ රේස් තිරික්කලයේ හැපුණි.

බ්‍්‍රරේක් එක යයි මා මිරිකා ඇත්තේ හැඬලයේ වූ වෙනත් අංගයකි. ට්‍රැක්ටරයේ එක් රෝදයක් උඩ ගියේය. රෙක්ස් කොඩිප්පිලි මැණික් ගඟට පැන්නේය. වැඩේ වැරදුණු බව මට ද දැනුණි. මම ද ටැක්ටරය අතහැර ගඟට පැන්නෙමි.

මා අසල වාඩි වී සිටි ටෝනි රණසිංහ තිරික්කලයටත් ට්‍රැක්ටරයටත් යට වී සිටි බව අප දුටුවේ අනතුරුවය.

‘ඕකේ ෆයින්’ (ඔක්කොම හරි, සීන් එක හරි අගෙයි) ටයි මහත්තයාගේ කටහඬ ඇසුණි. අවට සිටි සියලු දෙනා පැමිණ තිරික්කලයටත් ට්‍රැක්ටරයටත් යටව සිටි ටෝනි රණසිංහ එළියට අරගනු ලැබිණ.

කතරගම දෙවියන්ගේ පිහිටෙන්දෝ ටෝනි රණසිංහයන්ට තුවාලයක් වී නොතිබිණ.

අප සිටි තැනට දුවගෙන ආ ටයි මහතතයා ටෝනි මහතාගේ දෑත් අල්ලාගෙන මෙසේ කීය. ‘යූ හෑව් ඩන් ඉට් වෙරිවෙල්’