වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ හීනය සැබෑ වෙන්නේ මැයි මාසයේ

මගේ හීනය සැබෑ වෙන්නේ මැයි මාසයේ

ළං ළං වෙලා ඉමු ගයන

ඩ්‍රීම් ස්ටාර් සුපිරි තරුවට ලංවුණ

කමනි ලසන්තිකා

දෙරණ ඩ්‍රීම්ස්ටාර් පළමු අදියරේ සිව්වැනි තැන හිමි කරගත් කමනි ලසන්තිකාව ඔබට මතකද? ඒ කාලයේ ඇය ඉමහත් ජනප්‍රිය තාරකාවකි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කමනි ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්විණ. ඒ තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙමිනි. මේ දිනවල නිතර දෙවේලේ ප්‍රචාරය වන ළං ළංව ඉමු ගීතය සමඟින් කමනි නැවතත් ක්ෂේත්‍රයට පැමිණ සිටියි. එමෙන්ම ඇයට මේ වසරේ මැයි මාසය සුවිශේෂී වනු ඇත.

මං ආසයි කමනිගෙන්ම ඒ ගැන අසා දැනගන්න?

මැයි මාසයේ තමයි මගේ වෘත්තීමය සිහිනය මල්ඵල ගැන්වෙන්නේ. ඒ මාසයේ සිට හෙදියක් ලෙස මං සේවය කරන්න පටන් ගන්නවා. ගායනයේ නියැලුණත් මට ඕනෑ වුණේ වෛද්‍යවරියක් වෙන්න. ඒත් උසස් පෙළ ලකුණු මදි වුණා ඒ සඳහා. නමුත් ඒ බලාපොරොත්තුව වෙනත් මගකට යොමු කර ගත්තා. හෙදියකගෙන් වන මෙහෙය වෛද්‍යවරයාට හා සමානයි. හෙදියකට පුළුවන් සිත් සුවපත් කරන්න. මං ඉතින් බොහොම ආසාවෙන් හෙදියක් වෙන්න ඉගෙන ගත්තා. මට මැයි මාසය වන තෙක් ඉවසුමක් නැහැ. වෘත්තීය හෙදියක් වන දවසට මට හොඳටම ඇඬේවි සතුටට.

ඔබ ක්ෂේත්‍රයෙන් ඉවත් වන්නට ගත් තීරණය නිවැරදිද?

ඇත්තටම මේකයි වුණේ. මං හිතලා නෙවෙයි ක්ෂේත්‍රයෙන් ඉවත් වුණේ. මට අයින් වෙන්න සිද්ධ වුණා. ඩ්‍රීම් ස්ටාර් කරන කාලේ මං ඒලෙවල් කරනවා. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය මිඩංගු කරන්න සිද්ධ වුණා. එතාකොටත් මම හරිම ජනප්‍රියයි. අදටත් මාව දැක්කම හඳුනන්නෙ නැති වුණත් නමින් ජනප්‍රියයි.

දුක හිතුණේ නැති ද ජනප්‍රියම කාලේ සංගීත කටයුතුවලින් අයින් වීම පිළිබඳව?

මෙහෙමයි, දුක් වෙන්න ඕනෑ මගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර ගත්තා නම්. ගීත ගායනය මට ඕනෑ කාලෙක කරන්නට පුළුවනි. නමුත් ඉගෙනීමේ කටයුතු එහෙම කරන්නට බැහැනේ.

ඇතැමුන් සිතනවා ඔබ විවාහ වෙලා කියලා?

අනේ ඔව්. රියැලිටි තරගවලින් ජනප්‍රිය වෙච්ච බහුතරයක් ක්ෂේත්‍රයෙන් ඉවත් වුණා විවාහයත් සමඟ. ඉතින් මං ගැනත් එහෙම හිතන්නට ඇති. තවම මං අවිවාහකයි.

ඔබට ලැබෙන විවාහ යෝජනාවලින් එකකට කැමැත්ත දුන්නේ නැත්තේ ඇයි?

මම හිතන්නේ මේ වන විට මං අස්ථාවර කෙනෙක්. ගායනය පැත්තෙන් නෙවෙයි මං එහෙම කිව්වේ. වෘත්තීය පැත්තෙන් මං තවම ගමන පටන් ගත්තා විතරයි. හෙදියක් වෙලා අවුරුද්දක් දෙකක් වගේ ඉඳලා විවාහය ගැන හිතනවා. ඔබ පැවසුවා වගේ විවාහ යෝජනා නම් එනවා. නමුත් ගැළපෙන එකකට කැමැත්ත දුන්නේ නැත්තේ අන්න අර හේතුව නිසා.

කමනි නිහඬව සිටි කාලේ ජනප්‍රිය තරු රැසක් ක්ෂේත්‍රයට ආවා?

එහෙම ක්ෂේත්‍රය අලුත් වෙනවාට මම නම් කැමැතියි. තරගකාරීව ගායක ගායිකාවන් ඉන්න ඕනෑ. එතකොටයි ක්ෂේත්‍රය තුළ විවිධාකාර නිර්මාණ බිහිවන්නේ.

ද ඔබ ඔහොම කිව්වට නව පරපුරේ වැඩි දෙනෙකු ගයන ගීත හරිම ඒකාකාරී ගතියක් තියෙනවනේ?

මට දැනෙන විදිහට මෙන්න මේකයි ඔතන වැරැද්ද. එක එක මාතෘකා යටතේ ගීත නිර්මාණය වෙනවා. ඒ වුණත් ජනප්‍රිය වෙන්නේ එක්තරා ප්‍රමාණයක් පමණයි. ඒ ගීත බහුතරයක් විරහවට බර ඒවා. ගුවන් විිදුලි නාළිකාවලින් මිනිස්සු ඉල්ලන්නේ ඒ ශෛලියේ ගීත. නිර්මාණකරුවොත් හිතනවා එවැන ගීතයක් ගැයුවොත් ජනප්‍රිය වේවි කියලා.

ඒක නිසා ද කමනිගේ නවතම ගීතයත් විරහ ගීතයක් වුණේ?

මං මෙයට අමතරව විරහ නොවන ගීත දෙකක් කළා. නමුත් දැන් තියෙන තත්ත්වයත් එක්ක ඒවා ගෙදර තියාගෙන මේ සිංදුව විතරක් අවුට් කළා. හිතුවා වගේම ජනපි‍්‍රයත් වුණා. මං හිතන්නේ දැන් ඇති විරහ ගීත රැල්ල හැමෝම ඊට එරෙහිව විවිධ මාතෘකා යටතේ ගීත නිර්මාණය කළොත් ඒ රැල්ල යටපත් වේවි. අපේ අය දේශභිමානි ගීත, මව් ගුණ ගීත ගයන්නේ ඊට අදාළ දින ළංවෙද්දී. ඉස්සර ගායක ගායිකාවෝ එහෙම නැහැ. ඒ අය සංයුක්ත තැටියක් නිකුත් කළොත් අනිවාර්යෙන්ම මව් ගුණ ගීතයක් අඩංගු වෙනවා.

ළඟදී චිත්‍රපටයකටත් ගී ගැයුවා කියලා ආරංචියි?

ඔව්. මට දැන්ම ඒ ගැන කියන්න එපා කියලා තියෙන්නේ චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම. ළඟදීම ඒ විස්තර සරසවිය හරහාම කියන්නම්කෝ.

ඔබ ඇතුළු රියැලිටි තරගවලින් සපැමිණි ගායක ගායිකාවන් තවමත් අනුන්ගේ ගී ගයනවා ඇයි ඒ?

ප්‍රසංගවලදී පැරැණි ගීත ඉල්ලනවා. එතකොට අපි නොගයා හිටියොත් හිතන්නේ අපි ආඩම්රකමට එහෙම ගැයුවේ නැහැ කියලා. මම නම් බොහොම කැමැතියි මගේම ගීත විතරක් ප්‍රසංගවලදී කියන්න. නමුත් අර තත්ත්වය මත ගී නොගයා ඉන්නේ කොහොමද.

ඔබේ ගීතවලට රූප රචනා කරන්නට තවමත් පමා වූයේ මන්ද?

රූප රචනයක කරන්න ලොකු මුදලක් යනවා. මං රත්නපුර කහවත්තේ පුංචි ගමක පුංචි දුප්පත් කෙල්ලෙක්නේ. ඒකයි රූප රචනය තවමත් පමා වුණේ. අප ප්‍රදේශයෙන් බිහි වුන අධ්‍යක්ෂවරයකු ඉන්නවා හර්ෂ උඩකන්ද කියලා. ඔහු මට සාධාරණ මුදලකට රූප රචනයක් කරලා දෙන්නම් කිව්වා. එහි රූගත කිරීම් අද හෙට පටන් ගන්නවා. ළඟදීම එය මාධ්‍යයට නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා.

මෙතරම් දේවල් කතා කලත් ඔබේ අලුත් ගීත ගැන විස්තර කිව්වේ නැහැනේ?

ඔව්මයි. ළං ළං වෙලා ඉමු කීවත් ලොවට හොරෙන් කියලයි එය ආරම්භ වන්නේ. කලින් මම කිව්ව විදිහට මෙය විරහ ගීතයක්. ඒක මට ලියලා දුන්නේ රත්නපුර නාහිත හාමුදුරුවෝ. කපිල පූගලආරච්චි මියුසික් කළා.

ගීතය ප්‍රචාරය කරලා දෙන්න ඇතැම් ගුවන් විදුලි ආයතනවලින් ඔබෙන් මුදල් ඉල්ලුවේ නැතිද?

ඔය වගේ තත්ත්වයක් තියෙනවා කියලා මට කිහිප දෙනෙක්ම කිව්වා. වාසනාවකට මට එවන් වූ තත්ත්වයක් ඇති වුණේ නැහැ. මගේ නම දන්න නිසා සහ ගීතය ලස්සන හින්දා නොමිලයේම එය ප්‍රචාරය කරලා දුන්නා.

අවසන් කොට මොනවද තමන්ට කියන්න තියෙන්නේ?

මගේ මව්පින්ට, දෙරණ ආයතනය සහ මට අවස්ථාව ලබා දුන් හැමෝටම තුති පුදන්න ඕනෑ. මට තවමත් මුල මතකයි. ඒකයි තව කියන්න දේවල් තිබියදී ස්තුතියක් කළේ.