වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපෑමේ ආදායම පුණ්‍ය කටයුතුවලට රණසිංහ සිල්වා

රඟපෑමේ ආදායම පුණ්‍ය කටයුතුවලට රණසිංහ සිල්වා

වෙළෙඳ දැන්වීමක රඟපෑමෙන් රංගන ගමන ආරම්භ කළ රණසිංහ සිල්වා රංගනයට තමන්ගේ ජීවිතය තරමටම ආදරය කරන කෙනෙක්. මේ වනවිට නිර්මාණ තිස් පහකට වඩා සිය රංගන හැකියාව ඉදිරිපත් කර ඇති ඔහු මේ සියලු කටයුතුවල නියැළෙන්නේ ව්‍යාපාර කටයුත්තක් කරන ගමන්. විවිධ චරිත ඔස්සේ සිය රංගන හැකියාව ගෙනහැර පෑමට කැමැත්තෙන් සිටින රණසිංහ සිය නිර්මාණ ජීවිතය පිළිබඳ 'සරසවිය'ට මෙසේ සඳහනක යෙදුණා.

'ලංකාවේ බොහොම ප්‍රසිද්ධ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීමත් සමඟ හඳුනා ගත්ත ධර්මදාස ජයලත් කියන සහය අධ්‍යක්ෂවරයා තමයි මාව පළමුවරට නිෂ්පාදකවරයෙක් කරන්නේ. ඒ වේදිකාවට 'අම්බලමේ පිනා' කියන වේදිකා නාට්‍යය රැගෙන එමින්. ඔහු මුහුණ දුන්නු අසාධාරණයක් මූලික කර ගනිමින් නිර්මාණය වුණු 'අම්බලමේ පිනා' වේදිකා නාට්‍යය වැඩි දවසක් වේදිකා ගත කිරීමට මට නොහැකි වුණා. ඒ එහි සඳහන් වුණු දේශපාලන කරුණු කාරණා නිසා. මේ ආකාරයට පළමුවෙන්ම මා කලාවට යොමු වුණත් රංගනයට සහභාගි වීමයි මගේ මූලික පරමාර්ථය වුණේ.

එය සඵල කරමින් පුවත්පතක දමන ලද දැන්වීමකට මා සහභාගි වුණේ මේ අතරයි. ඒ නාලන් මෙන්ඩිස්ගේ නිර්මාණයක රඟපෑමට තෝරා ගැනීමට දමා තිබුණු දැන්වීමක් ඔස්සේ. මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වුණේ දහසක් බලාපොරොත්තු ඇතිවයි. මේ බලාපොරොත්තුව සඵල කරමින් නාලන් මෙන්ඩිස්ගේ 'වාසනා වේවා' ටෙලි නාට්‍යයේ රඟපෑමට මාව තෝරා ගන්නවා. ඒත් සමඟ ලැබෙන අත්දැකීම් මඟින් ටෙලි නාට්‍ය කිහිපයකම රඟපාන මම අවසාන අවස්ථාවේ රංගනයෙන් සහභාගි වන්නේ 'බ්‍රහ්ම මූර්ථය' ටෙලි නාට්‍යයටයි. එහි ධනංජය සිරිවර්ධනගේ පියාගේ චරිතය රඟපාන අතරම ඒ චරිතය මගේ ජීවිතයට අමතක නොවන චරිතයක්. රවීන්ද්‍ර මහත්තයාගේ 'සුජාතා' ටෙලි නාට්‍යයට රඟපෑම සඳහා ආරාධනා ලැබුණත් ඊට සහභාගිවීමට නොහැකි වුණේ ඊට පෙර ලැබුණු දෙමළ චිත්‍රපටයක රඟපෑමට සිදු වී තිබුණු නීතිඥවරයකුගේ චරිතය රඟපෑමේ රූගත කිරීම් එදිනටම යෙදී තිබුණු නිසයි.

'කුණු දැමීම තහනම්', 'පබලු', 'අමුතු මිනිස්සු', 'අසිනි ඡායා', 'මුතුපලස', 'යර්ස් මැඩම්', 'කුහුඹුවෝ', 'මැදියම් අහස', 'සුන්දර චන්දරේ' ඇතුළු ටෙලි නාට්‍ය රාශියක මගේ රඟපෑම් දකින්නට ලැබෙන අතරම 'සිද්ධාර්ථ', 'කොස්තාපල් පුඤ්ඤසෝම', 'දෝණි', 'චායා' කියන චිත්‍රපටවලටත් මා රංගනයෙන් සහභාගි වුණේ බොහොම කැමැත්තෙන්. අලුත්ම චිත්‍රපටයක් වන 'ආදරයට ආදරෙයි' කියන චිත්‍රපටයේ රූගත කිරීම් තවමත් සිදුවෙමින් පවතිනවා.

රඟපෑමෙන් ලැබෙන මුදල මා නිතරම යොදවන්නේ පුණ්‍ය කටයුත්තකටයි. ඒ මුදල එකතු කර පෝයකට වියළි ආහාර රැගෙන විත් දුප්පත් අයට බෙදා දෙන්නත්, විශේෂයෙන්ම විපත්තියකදී ඒ අයට අවශ්‍ය වියළි ආහාර ලබා දීමටත් මා යොදා ගන්නේ රඟපෑමෙන් ලැබෙන මුදලයි. මගේම කියලා පුංචි ව්‍යාපාරයක් කරගෙන යන අතරම දිගින් දිගටම රඟපෑම මගේ අනාගත බලාපොරොත්තුවයි.

ඒත් මේ කාරණයත් නොකියාම බැහැ. සමහර ටෙලි නාට්‍යයකදී අප වගේ අයට කරන ගෙවීම කරන්නෙත් නැතුව මඟ හරින එක නම් ඒතරම්ම හොඳ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. එහෙම නොකරනවා නම් අපි වගේ රංගන ශිල්පීන්ට කරන ගෞරවයක් ලෙසයි මා ඒ කාරණය දකින්නේ.

වෙනස්ම චරිතවලට පණ පොවමින්, වෙනස් නිර්මාණ ඔස්සේ රූපවාහිනි නරඹන්නන් අතරට පැමිණීමටයි මා නිතරම අදහස් කරගෙන සිටින්නේ. ඒ සඳහා නිවෙසියන්ගෙන් ලැබෙන සහයෝගයත් අවසාන වශයෙන් මා සිහිපත් කළ යුතුයි.