වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




නිරෝෂා තෝරා ගත්තම සුමිත්‍රාට විදෙස් තර්ජනයක්

නිරෝෂා තෝරා ගත්තම සුමිත්‍රාට විදෙස් තර්ජනයක්

අතුවල කොළ නැතුව මල් පිපිලා. සකුරා මල් පිපිලා. හැම දේම නැතත් එක රටක ඉපදිලා තව රටක ජීවත් වෙන්න ලැබීමයි, හිතුණු වෙලාවක ඉපදුණු රටට ගිහිල්ලා එන්න ලැබීමයි වුණත් මගේ හැටියට මහ දෙයක්.

එක එක විදිහේ සකුරා මල්. ලොකුවට වැඩෙන ගස්. පඳුරු වගේ සකුරා. පාර දෙපැත්තේ සකුරා මල් පිපිලා තියෙන කොට මුළු හිත පුරාම මුළු ඇඟ පුරාම මල් පිපිලා වගේ දැනෙනවා. නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙමෙයි.

තමුන්ගේ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.

නූපා, නීගතාවෙ සන්ජෝ නගරයේ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්ත තමුන්ගේ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි.

මේ සැරිසරන්නිය හෙවත් නූපාට පණ දුන්නේ අපේ රටේ ජනප්‍රිය සම්මානනීය ලේඛිකාවක්. ඇය සුමිත්‍රා රාහුබද්ධ. ඇය ලියන්නේ මනුෂ්‍යත්වය ගැන.

නූපා ඒ අතරේ එක චරිතයක්. මේ චරිතය අපට හමු වෙන්නේ සුමිත්‍රා රචනා කර 2010 වසරේදී ස්වර්ණ පුස්තක සම්මානය ඇතුළුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයීය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනූ ‘කන්දක් සේමා’ නවකතාවෙන්. කන්දක් සේමා දැන් රූප මාධ්‍යයට නැඟෙමින් පවතිනවා.

ඒ සිනමා නිර්මාණයක් ලෙසටයි. අපි ඒ ගැන සුමිත්‍රා රාහුබද්ධ සමඟින් කතා කරමු.

* නීගතාවේ සන්ජෝ නගරය් සැරිසරන්නිය, නූපා කොහොමද ඔබට මුණ ගැසෙන්නේ?

එය සිදු වුණේ 2007 වසරේ අග භාගයේදී විතර. මම වටා සිටින මගේ පාඨකයන් බොහොමයක් අන්තර්ජාලය හරහා නිරන්තරයෙන් මා අමතනවා. ඒ අය අතරේ තමන්ගේ ජීවිත කතා සිදුවීම් පවසන අය බොහෝමයි.

ඇය මට හමු වෙන්නේ ස්කයිප් මාර්ගයෙන්. ඇය මට ඇගේ කතාව කියන්න කැමැත්තෙන් සිටින බව නිතරම පැවසුවා. මුලදී මම එය සාමාන්‍ය විදියට හිතුවත් පසුව වෙනත් අයට වඩා ලොකු වෙනසක් මම ඇයගෙන් දුටුවා.

අන්තිමට මම ඇයත් සමඟ කතා කරන්න තීරණය කළා. ඇයගේ හිත සැහැල්ලු කර ගැනීම වෙනුවෙන් මනුස්සකමට ඇහුම්කන් දෙන්න මම එක දවසක් වෙන් කළා.

* ඇයගේ කතාව කන්දක් සේමා වෙනුවෙන් තේමාව වුණා?

මම ඇයට යමක් කීමට අවස්ථාව සලසා දුන්නා පමණයි. ඇය ඇයගේ කතාව පැවසුවා. ඒ කතාව ඉතාම සුලබ දෙයක්. ඒ වුණත් ඇය ඇයගේ සිතුම් පැතුම්, විඳින දුක් ගැහැට මට කිව්වේ සාමාන්‍ය කෙනෙක් කියනවාට වඩා වෙනස් විදියට.

ඇය ඇයගේ කතාව එහි පරිසරය, සමාජය, සංස්කෘතිය, දේශපාලනය සමඟින් ගලපා ගනිමින් ඇයටත් නොදැනුවත්වම හරිම අපූරු අන්දමින් මට කිව්වා. එතකොට මට දැනුණා මට මෙහි ගන්න යම් කිසි දෙයක් තියෙන බව. එතැන් සිට හැම දවසකම දවසට පැය එකහමාර බැගින් මම ඇයත් සමඟ කතා කළා. ඇගේ කතාවට සවන් දුන්නා.

ඇය නොගැළපෙන විවාහයකින් ඒ තුළ රැඳී සිටින කාන්තාවක්. එය සමාජයේ සාමාන්‍ය දෙයක්. ඒ වුණත් මේ කතාව ඒ කතාවලට වඩා වෙනස් බව මට තේරුණා.

නොගැළපෙන විවාහය, ඒ තුළ රැඳී සිටීම අපට සාමාන්‍ය ජීවිතයේ ඕනෑ තරම් අසන්න ලැබෙනවා. හැමදාම තියෙන ප්‍රශ්න. ඒත් මේ වෙනස් කතාවට මම උනන්දු වුණා.

* ඒ අනුව කන්දක් සේමා රචනා වුණා?

මට මුලින්ම මේ කතාව ඇත්තද? මෙහි අතිශයෝක්තියක් තියෙනවාද කියලා දැනගන්න ඕනෑ වුණා. ඇය මට කිව්වේ ඇයගේ කතාවනේ. මෙහි පොදු කතාව මොකක්ද කියලා මට දැනගන්න ඕනෑ වුණා.

ඒ නිසා මම මුලින්ම ජපානයේ නීගතාවට යන්න තීරණය කළා. නීගතාවට ගිහින් ඇය කියූ හැම තැනම ඇවිදින්න මට ඕනෑ වුණා. මම පළමුවෙන්ම ගියේ කුගාමියාමා පන්සලට. පඩි පෙළ නැඟගෙන යන විටදී එහි කොනක තිබූ දරුවන් නොමැති කාන්තාවන් සහ දරුවන් මියගිය මව්වරුන් වඳින ස්ථානය තමයි මම මුලින්ම දැක්කේ.

ඇය මට කලින් ඒක කියලා තිබුණා. ඒ නිසා ඇය මට යමක් කියන්නේ හොඳට විස්තර ඇතුව කියන එක මට තෙරුණා. ඉන් පසුව ෂිනානෝ ගඟ දෙපස ඇවිද්දා. එහි පරිසරය මම තදින් ග්‍රහණය කර ගත්තා.

ඉන් පසුව ලංකාවට ඇවිත් මම මේ කතාව රචනා කළා. මේ ඇයගේ කතාව විතරක් නෙමෙයි. ඇයගේ කතාවෙන් මට මතු වුණු සමාජ දේශපාලන කතාවයි. ඒ වගේම බොහොම පරිශ්‍රමයක් දරලා රචනා කළ නවකතාවක්.

* එතකොට කන්දක් සේමා හි නූපා සහ කතාව කියූ ඇය අතර වෙනසක් තියෙනවාද?

මට මේ ගමන තුළ ඇයත් හමු වුණා. පොතේ සිටින නූපාට වඩා ඇය ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම ඇය කැත්තට පාල්ල වගේ. මගේ කෘතියේ නූපා ඊට වඩා ලගන්නා සුළු චරිතයක්. ඒ වගේම ඇයට කථිකත්වයක් උපතින්ම උරුම වෙලා තියෙනවා. නීගතාවේ පිරිමි සමඟ විවාහ වූ බොහොමයක් ලාංකික කාන්තාවන් හිටියත් ඇය ඒ අය සමඟ වැඩි ඇසුරක් නැහැ.

* මෙහි මසායා සාන් සමඟ නූපාගේ විවාහය මූල්‍යමය වශයෙන් කෙරෙන ගනුදෙනුවක් නේද?

විලේගොඩට මේක බිස්නස් එකක්. ඇත්තටම එහෙම බිස්නස් කරගෙන සිටිය පුද්ගලයෝ හිටියා. තවත් තරුණ කාන්තාවන් කොළඹ හෝටල්වලදී විවාහ වෙලා විදෙස්ගත වෙනවා.

එතැන සිදු වෙන්නේ එක මඟුලක් නෙවෙයි. මඟුල් කිහිපයක් එක දවසේ සිදු කෙරෙනවා. එක මනමාලියෙක් පෝරුවෙන් බහින්නේ ඊළඟට සිටින මනාලියට තම අතෙහි තියෙන ප්ලාස්ටික් මල් පොකුර දෙන ගමන්.

ඇත්තටම ඒ විවාහ බොහොමයක පිටුපස තියෙන්නේ දුප්පත්කම. දුෂණයකට, අතහැර දැමීමකට වැනි සමාජ අසාධාරණයකට ලක් වූ තරුණ කාන්තාවෝ මේ තත්ත්වයට මුහුණ දෙන්නේ.

ඔවුන් තම ජීවිතවල සාර්ථකත්වය වෙනුවෙන් විවාහ සඳහා බැඳෙනවා. ඔවුන්ගේ ජීවිතවල සාර්ථකත්වය ද අසාර්ථකත්වය ද තීරණය වෙන්නේ ඔවුන්ට ලැබෙන ස්වාමි පුරුෂයන් අනුවයි. මේ අයුරින් සාර්ථක ජීවිත ගත කරන කාන්තාවන් වගේම දුක් විඳින අයත් නිගතාවේ සහ සන්ජො නගරවල ඉන්නවා.

* මේ වන විට නූපාගේ කතාව කන්දක් සේමා රූප රචනය සිදුවෙමින් පවතිනවා?

කන්දක් සේමා සිනමාවට නැඟීම දැවැන්ත කාර්යයක්. ඒ සඳහා යන වියදම වුණත් ඉතා අධිකයි. කොහොම වුණත් අවසානයේදී මෙය සිනමා නිර්මාණයකට ගොඩ නැඟීමට සූදානම් කෙරුණා.

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න හරහා අපට ජපානයේ නගාඕකා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අසූ මාරසිංහ හමුවීම සමඟ මේ සඳහා පසුබිම සැකසුණා. ඔහුත් මෙම නිර්මාණයේ

නිෂ්පාදකවරයෙක්. ඔහු හරහා හඳුනා ගත් කොනෝ මිත්සු නම් මහාචාර්යවරයා මවිසින් රචිත කන්දක් සේමා තිර පිටපත ජපන් බසට පරිවර්තනය කළා.

ඒ අනුව කන්දක් සේමා සිනමා නිර්මාණය ආරම්භ කිරීමට සියළු කටයුතු යෙදුණා. ජපානයේ මුවි මැජික් නම් සමාගම විසින් සියළු කටයුතු සම්බන්ධීකරණය කරනවා. අදාළ දර්ශන තල පෙන්වා දීම කළෙත් ඔවුන් විසින්. මූල්‍යමය පරිපාලනය සිදු කෙරන්නේ අපි විසින්. අශෝක අතාවුදහෙට්ටි මෙහි අධ්‍යක්ෂවරයායි.

* කන්දක් සේමා චරිතවලට පණ පොවන්නේ?

මේ කතාවේ නූපා වෙන්නේ අපේ රටේ ජනප්‍රිය නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක ද වන නිරෝෂා පෙරේරායි. අපි මාස හය හතක් පුරවටම නූපා හෙව්වා. අන්තිමට අපි තෝරා ගන්නේ නිරෝෂාවයි. නූපාගේ චරිතය විශේෂ චරිතයක්.

විදේශයක සිටින අපේ රංගන ශිල්පිනියක් ඇයව නූපාගේ චරිතයට තෝරා ගත්තේ නැහැ කියලා මට තර්ජනය කරලා ඊ මේල් පවා එවලා තියෙනවා. ඒ තරමටම ඇයත් නූපාගේ චරිතයට ආසාවෙන් ඉඳලා.

නූපාගේ සැමියා මසායා සාන්ගේ චරිතයට තෝරා ගැනුණේ ජූන් ඉතෝ. ඔහුත් ඉතාම දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. සෝරා සාන්ගේ චරිතයට පණ පොවන්නේ මීට වසර කිහිපයකට ඉහතදී තරුණ ඔෂින් ලෙසින් ඔබ හමුවට පැමිණි කොබයාසී අයාකෝ නම් රංගන ශිල්පිනියයි. නූපාගේ දියණීය කසුමිගේ චරිතය නිරූපණය කළ දැරියත් දක්ෂ ජපන් ළමා රංගන ශිල්පිනියක්.

* නිරෝෂා පෙරේරා කොහොමද නූපාගේ චරිතයට ගැළපුණේ?

නිරෝෂා නූපාගේ චරිතයට තෝරා ගත්තාම බොහෝ දෙනෙකුටත් එය විශාල ගැටළුවක් වුණා. සමහර අය අපි බාහිරින් දකින ආකාරයට මනින එක වැරදියි.

බැලූ බැල්මට නිරෝෂා පෙනෙන්නේ හරිම කෙළිලොල් සැහැල්ලුවෙන් සිටින අයෙකු වගෙයි. ඇය කොහොමද තැන්පත් නූපාගේ චරිතයට ගැළපෙන්නේ කියලා බොහෝ දෙනෙක් මගෙන් ප්‍රශ්න කළා.

මම කිව්වේ නූපා නිරෝෂාම තමයි කියලයි. ඒ වගේමයි නූපා වෙනුවෙන් නිරෝෂා කළ කැප කරීම් ඉතා විශාලයි. ඒවා විස්තර කරන්නත් වචන මදි.

හිම තියෙන කාලය ජපානයේ සීතලම කාලය. එවැනි දේශගුණික තත්ත්වයක් යටතේ වුණත් නිරෝෂා රූගත කිරීම්වලට අවදි වෙන්නේ පාන්දර තුනට. එක දර්ශනයක් තිබුණා දුහුල් ගවුමකින් සැරසිලා හිම මතින් දුවගෙන යන්න. ඇයට ඕනෑ වුණේ එය බූට් සපත්තුවත් දාන්නේ නැතුව කරන්න. නිරුවත් දෙපාවලින් හිම මත දුවගෙන යන දර්ශනය දුටු අය එය කොයි තරම් නම් අමානුෂිකදැයි හිතන්නත් ඇති.

ඒත් නිරෝෂා එහෙම කළා. අදාළ රංගනය වෙනුවෙන් ඇයගේ කැපවීම ඉතා ඉහළයි. පොතේ ඉන්න නූපා තරමක් තළෙලු හමක් තියෙන තරුණ කාන්තාවක්. මේ වෙනුවෙන් නිරෝෂා ඇගේ සුදු පැහැති සම තළෙලු පැහැ කරවා ගන්න එන්නත් පවා විදගන්න තීරණය කළා. මම ඒ සඳහා එකහෙළාම විරුද්ධත්වය ප්‍රකාශ කළා.

ඇත්තටම මේ කාලය පුරාවටම මම නිරෝෂාව දැක්කේ නැහැ. අපිත් එක්ක රූගත කිරීම්වලට පෙනී සිටියේ නූපාම තමයි. ජපන් භාෂාව හැසිරවීම පිළිබඳ ඇයගේ දැනුමත් මෙහිදී සහායක් වුණා. ඇත්තටම අපට ලැබුණු හොඳම නූපා නිරෝෂාම තමයි.

* මෙය ශ්‍රී ලංකාව සහ ජපානය අතර සිදු කෙරෙන නිර්මාණයක්. ජපානයේදී ඔවුන් සමඟ ගත කළ කාලයේ සුන්දර අත්දැකීම් එහෙමත් ඇති?

මේ චිත්‍රපට කණ්ඩායමේ ජපන් ජාතිකයන් 47 දෙනෙක් සිටිනවා. මුලින්ම ප්‍රශ්නයක් වුණේ භාෂාවයි. කාලය සමඟම අපි දෙගොල්ලටම විශේෂ වූ භාෂාවක් ගොඩ නැඟුණා. ඒ වගේම එහි දේශගුණයට හුරු වෙන්න අපට අපහසු වුණා. අපි නැවතිලා සිටි නිවසේ මැද ගිනි ගොඩක් ගහලා ඊට උඩින් කේතලයක් එල්ලා තිබුණේ.

අපි උණුහුම ලබා ගන්නේ එතැනින්. ඒ වගේම අපි එහෙට යන්න කලින් දවසේ ඒ ගිනි ගොඩ හා කේතලයට උඩින් විශාල මාළුවෙක් වහලයේ එල්ලලා තිබුණා. ඒ අපට කෑමට දෙන්නයි ඒ මාළුවා වෙන් කරලා තියෙන්නේ.

එහි දර්ශනයක් අතරතුරත් අපි අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. නූපා දුම්රියේ පැමිණ නිගතාවෙන් බහින දර්ශනයක් රූගත කළයුතු වුණා. ඒ වෙනුවෙන් අප දුම්රිය මැදිරි දෙකක් වෙන් කළා. රූගත කිරීමට අවශ්‍ය අපේ කණ්ඩායමේ අය පමණයි මේ මැදිරි දෙක තුළම හිටියේ.

ඒ වුණත් එක වයසක පුද්ගලයෙක් නූපා සිටින මැදිරියට නැග්ගා. සහාය අධ්‍යක්ෂ දැනුම් දුන්නත් ඔහු තරයේම කියා සිටියේ තමන්ට මේ දුම්රිය මැදිරියේම යන්න අවශ්‍ය බවයි. ඒ දුම්රිය ඉතා වේගයෙන් එක නැවතුම් ස්ථානයක සිට අනෙකට එනවා. දැන් චිත්‍රපට කණ්ඩයමට බයයි මේ පුද්ගලයා කෙසේ හැසිරේවිද? අවශ්‍ය විදියට රූගත කරන්න බැරි වේවිද? කියලා. දුම්රිය නවත්වන්න විනාඩි පහක් තිබියදී සහාය අධ්‍යක්ෂවරයා වහාම අර පුද්ගලයා ඔසවාගෙන අනෙක් දුම්රිය මැදිරියට දිව්වා.

අපි එහි සිටින දවසක භූමිකම්පාවකුත් ඇති වුණා. ලංකාවේ අපට නම් එය නුහුරු අත්දැකීමක්. රිච්ටර් මාපකයේ 6.5 ක් වූ ඒ හේතුවෙන් එහි නිවෙස් බොහොමයක් කැඩී විනාශයට පත් වුණා. පසු දිනයේ අපි ඒ පිළිබඳ කතාබහ කරමින් සිටියේ. එතැනට පැමිණි මසායාගේ චරිතයට පණ පොවන ජූන් ඉතෝ නම් කිව්වේ මේ භූමිකම්පාව ඔහුට 16.5 ක් කියලයි. ඒක අපි හැමෝටම ප්‍රශ්නයක් වුණා. නෑ ඒක මට 16.5 ක්. මොකද මම ඒ වෙලාවේ දහයක් ගහලා හිටියේ ඔහු හරිම සැහැල්ලුවන් කිව්වේ. මේ විදියට විහිළු තහළු සමඟින් බොහොම සුන්දරව අපි ජපානයේදී රූග කිරීම් සිදු කළා.

* මීට පෙරත් ඔබේ නවකතා කිහිපයක්ම සිනමාවට හා පුංචි තිරයට නැඟී තියෙනවා. ඔබ කෘති රචනා කරන්නෙත් එහි රූප රචනාවකුත් හිතේ තබාගෙනමද?

මීට පෙර බුමුතුරුණු, අග පිපි මල් සහ ඉටි පහන් ටෙලි නිර්මාණ බවට පත් වුණා. බුමුතුරුණු මගේ මුල්ම නවකතාව ටෙලි නිර්මාණයක් බවට පත් වුණා. ඒ වුණත් 1978 වසරේදී මම බුමුතුරුණු ලියන කොට අපේ රටට ටෙලිවිෂනය ඇවිල්ලාවත් නැහැ. මට තිර රචනා ලිවීම පිළිබඳවත් දැනීමක් තිබුණා. ඒ ආභාෂය නිසා සමහර විට බලන පුද්ගලයන්ට එහෙම හිතෙනවත් ඇති.

බුමුතුරුණු ටෙලි නාට්‍යයේ තිර පිටපත ලිව්වෙත් මම විසින්මයි. මගේ නවකතාවක් වූ කෙළිමඬල ඩී. බී. නිහාල්සිංහ විසින් සිනමාවට නිර්මාණ්‍ය කළා. ඒ වුණත් මේ කිසිම නවකතාවක් මම රූප මාධ්‍යයට හැරවීම හිතේ තියාගෙන කළ නිර්මාණ නෙවෙයි. ඉදිරියේදී දුල දුලාය නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව හිතේ තියෙනවා.

* වර්තමානයේ ලේඛකයන් කෘති රචනා කරන්නේ සාහිත්‍ය මාසය පමණක් ඉලක්ක කරගෙන බවට චෝදනාවක් එල්ල වෙනවා?

අපි පොත් ලියනකල් පාඨකයෝ බලා සිටනවා. එක කෘතියක් එළි දැක්වූවාම ඔවුන් විමසන්නේ ඊළඟ කෘතිය කුමක් ද යන්නයි. සම්මාන කියන්නේ සාධකයක් නොවෙයි. මිනිසුන් අද එය සාධකයක් බවට පත්කරගෙන තියනවා. මගේ අදහස නම් ප්‍රධාන ධාරාවේ කිසිම ලේඛකයෙක් ලේඛිකාවක් සාහිත්‍ය මාසය පමණක් ඉලක්ක කර කෘති රචනා කරන්නේ නැහැ. මම අත අත නෑර ලියලා අවුරුදු තුනකට පසුවයි තුරු සමුදා ලියන්නේ. ඉතිං සම්මාන බලාපොරොත්තුවෙන් සාහිත්‍ය මාසය වෙනුවෙන්ම පොත් ලියනවා නම් මං එහෙම කරන්නේ නැහැනේ.

* අපි නැවතත් කන්දක් සේමා ගැන කතා කළොත් මේ සිනමා නිර්මාණයේ ඉදිරි කටයුතු වගේම තිරගත කරන්න බලාපොරොත්තු වන කාලය ගැනත් දැනගන්න කැමැතියි?

පසුගිය වසරේ ජපානයේ අපි රූගත කිරීම් කොටසක් සිදු කළා. නැවත මේ මාසය තුළත් රූගත කිරීම් කිහිපයක්ම යොදාගෙන තියෙනවා. දැන් අපි බලාගෙන ඉන්නේ සකුරා මල් පිපෙන කල්. සකුරා මල් පිපිලා දවස් හතකින් පරවෙලා යනවා.

ඒක තමයි එහි විශේෂත්වය. මල් පිපෙන සතිය පුරාවටම ජපානය එය උත්සවශ්‍රීයෙන් සමරනවා. 2016 වසර ජනවාරි මාසය පමණ වන විට කන්දක් සේ මා තිරගත කිරීමේ බලාපොරොත්තුවත් හිතේ තියාගෙන සකුරා මල් පිපෙන කාලයේ රූගත කිරීම් වෙනුවෙන් ජපානයේ සකුරා මල් පිපෙන කල් අපි බලාගෙන ඉන්නවා.