වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රස කතා

වහලක් උඩ ෆෝන් එකක්

මංජුල මොරගහට නිතර නිතර අකරතැබ්බ සිදු වෙනවා. දැන් ඒක ඔහුට සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා. මංජුලට වෙන අකරතැබ්බ බොහොම රසවත් ඒව වන හින්දම ඒවා ගැන අහ අහ හොඳට හිනා වෙන්නත් මංජුලාගේ මිත්‍ර සමාගම මේ වන විට පුරුද්දක් කරගෙන සිටිනවා. මංජුලත් හරි Open මනුස්සයනෙ. ඒක නිසා ඔහු යාළුවන්ගේ ලේ නොමිලයේම පිරිසිදු කරමින්ම මේ කතා කියනවා. ඔන්න දවසක්දා මංජුල ගියා නුගේගොඩ දෙල්කඳ හන්දියේ මිත්‍රයකුගේ ආයතනයකට පොඩි වැඩ කටයුත්තකට. මංජුලව දැක්කා විතරයි එතැන හිටපු බහුතරයක් ඔහුත් එක්ක සුහද වුණා. දැන් මංජුලට ආව වැඩෙත් අමතකයි. කට්ටියත් එක්ක ඔහු එළියට ආවා. ඇවිත් ඉස්සරහ තිබුණු කෙටි බැම්මක වාඩි වුණා.

ඒ ආයතනයේ වහලේ කෙරවල තිබුණේ ටිකක් පහතට වෙන්න. මංජුල ඉන්න තැන ඉන්න කොට ඊට උඩින් අත තියන්නත් පුළුවන්. කතාවෙන් කතාවෙන් මංජුල අතේ තිබුණු දුරකතන වහළය මත තැබුවා. ටික වේලාවක් ගියා. මංජුලට වෙච්ච අකරතැබ්බෙ ගැන අහලා එපා නොවුණු යාළුවො මංජුලට යන්න දෙන්නෙම නැහැ. ඔහුත් බැහැ නොකියා දැන් ආයෙත් අලුත් කතාවක් පටන් ගත්තා. ඔය අතරේ යමක් පාරට වැටෙන සද්දයක් ඇහුනලු. පොඩි දෙයක් වුණාට වැටුණු දෙයින් ආව ශබ්දය නම් මංජුල ඇතුළු පිරිසට හොඳින් ඇහුණා. නමුත් ඒ ගැන වගක් නැතුව පිරිසට ඇමතූ මංජුල ඒ අයට සමු දීලා එළියට ආවලු. ඒ ආයතනයේ තාප්පයේ අයිනට වෙන්න කළුපාට යමක් පාරේ තියනවා මංජුල දැක්කේ ඒ වෙලාවේ. ඒක උඩින් වාහනත් ගිහිල්ලා. චප්ප වෙලාලු තිබුණේ. බැලූ බැල්මට ජංගම දුරකතනයක් වගේ පෙනුණ නිසා මංජුල ළඟට ගියාලු විපරම් කරන්න.

අප්පට සිරි මගේ ෆෝන් එකේ ජාතියෙම ෆෝන් එකක්නේ මේ චප්ප වෙලා තියෙන්නේ.

එහෙම කියලා මංජුල පාරේ තිබුණු ෆෝන් එක අහුලගෙන ඊට පස්සේ මංජුල නිකමට වගේ සාක්කුවට අත දාලා තමන්ගේ දුරකතනය ගන්න. ඒක තිබිලා නැතිලු.

පාරේ තිබිලා මේ අතට ගත්තේ තමන්ගේම දුරකතනය කියලා මංජුලට එවලේම  Meter වෙලා. යාළුවොත් එක්ක කතාව අස්සේ වහලය උඩින් දුරකතනය තැබූ බව මතක් වෙලා තියෙන්නේ ඊට පස්සේ. කොහොම හරි වට පිට බලලා එහි තිබුණු සිම් එක ගලවගෙන චප්ප වෙච්ච දුරකතනය කානුවට දාලා මංජුල එතැනින් මාරු වෙලා. ආයේ කිසිම දවසක මංජුල තමන්ගේ සාක්කුව හැර කිසි තැනක ෆෝන් එක තියලා නැහැ. විශේෂයෙන් වහලවල් උඩ වගේ තැන්වල.

************************************

කඳු නාය ගියත්...

ගංගු රොෂානාගේ ගම බදුල්ලේ. නිවාඩුවක් ලැබුණ හැටියේ ඇය ගම රට බලා පිටත්වන්න අමතක කරන්නේ නැහැ. නත්තල් කාලයේ ගංගු හිටියේ බදුල්ලේ. දන්නවනෙ ඉතින් මේ දවස්වල ඒ පළාතේ ඉන්න අයට තියෙන කරදරය මොකක්ද කියලා. අයහපත් කාලගුණය හින්දා බදුල්ල අවට ප්‍රදේශවල මිනිස්සු ඉන්නේ කඳු නායයෑමේ අවදානමේ. ගංගුටත් ඒ බිය නොදැනුණාම නොවෙයි. නමුත් ආයේ කොළඹ එන එකත් ටිකක් භයානක හින්දා ඇය හිතාගෙන ඉඳලා තියෙන්නේ පළමුවැනිදා පහුකරලම කොළඹ එන්න. නමුත් 31 වැනිදා තමන්ගේ අලුත්ම චිත්‍රපටයේ මේක්අප් ටෙස්ට් එකක් තියෙනවා නේද කියලා ගංගුට මතක් වුණේ පස්සේ. සාමාන්‍යයෙන් ඇය වැඩකට දිනයක් දුන්නට පස්සේ මොන දේ තිබුණත් ඊට සහභාගි වෙනවා. ඔය අතරේ චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමෙන් කතා කරලා. ගංගු ප්‍රදේශයේ තත්ත්වය කියලා. ඒ වුණාට කොහොම හරි කොළඹ එනවා කිව්වලු නියමිත දිනයට. තමන්ගේ වගකීම ඉටු කරමින් අවධානම ද දරාගෙන ගංගු කොළඹ ආවලු. ඇගේ මේ කැපවීම පිළිබඳ චිත්‍රපටයේ සියලු දෙනා ප්‍රශංසා මුඛයෙන් කතා කළ බවයි දැනගන්නට ලැබෙන්නේ.

************************************

හුරුල්ලා හතරට කපලා

නව පරපුරේ ගායන ශිල්පිණී දුෂ්‍යන්ති නදීෂා ගැයූ මතුදාක යළිත් ගීතය මේ දිනවල නිතර රූපවාහිනී නාළිකාවන්හි විකාශය වෙනවා. ආචාර්ය අජන්තා රණසිංහ ලියූ එය සංගීතවත් කොට ඇත්තේ නවරත්න ගමගේ. මේ සිංදුවේ ජනප්‍රියත්වය නිසා දුෂ්‍යන්තිගෙත් ජනප්‍රියත්වය ඉහළ ගිහිල්ලා. ඒ හින්දම තමන් පදිංචි වෙලා ඉන්න මීගමු පුරවරයේදී ඇයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවලු. කොපමණ ජනප්‍රිය වුණත් ජන්මෙට වඩා තියෙන පුරුදු නම් දුෂ්‍යන්තිට මඟ හරින්න නම් බැරි වෙලා. ඇයට තියෙන නරකම පුරුද්ද තමයි ඕනෑවට වවා ලෝභ වීම සහ කම්මැලිකම. ඒකට හොඳම උදාහරණය තමයි මෙන්න මේක. දුෂ්‍යන්තිගේ අම්මා අසනීප වෙලා.

ඇගේ මල්ලි තවම ඉගෙන ගන්න නිසා ඔහු එදා පාසල් ගියාලු. තාත්තත් වැඩට ගිහිල්ලා. දුෂ්‍යන්තිටයි උයන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් කම්මැලිකමේ ඇය ශීතකරණය විවෘත කරලා උයන්න තියෙන්නේ මොනවද කියලා බලලා. එහි තිබිලා හුරුල්ලා කූරියෝ හතර දෙනෙක් අයිස් කැට එහෙම කඩලා ඉන් එකෙක් දුෂ්‍යන්ති අතට ගත්තලු. ඒ මාලු කූරියාව හොඳට සුද්ධ කරලා හතරට කැපුවලු. හුරුල්ලා ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. සාමාන්‍යයෙන් හුරුල්ලන් උයන්නේ කූරියා පිටින්නේ. නමුත් දුෂ්‍යන්ති හතර දෙනෙක්ම සුද්ධ කරන්න තියෙන කම්මැලිකමටයි එකෙක්ව අරගෙන කෑලි කැපුවේ. සෙන්ටි මිටර් දෙකකටත් වඩා අඩු හුරුල්ලෝ කෑලි හතර දාලා දුෂ්‍යන්ති හොද්දක් හදලා. මල්ලි ගෙදර ඇවිත් කෑම කන්න බලන කොට තමයි වැඩේ අහු වෙලා තියෙන්නේ. ඔහුට හොඳටම කේන්ති ගිහින් සිද්ධිය අම්මට කියලා. ඒක අහපුවම දුෂ්‍යන්තිගේ අම්මට උණ හොඳ වුණාලු. ඇය එවලෙම දුෂ්‍යන්තිගේ තාත්තට දුව උයපු විදිහ කිව්වලු.

එහෙනම් මං එන ගමන් බිලි පිත්තකුත් අරගෙනම එන්නම්කො.

කේන්තියෙන් එහෙම කියපු දුෂ්‍යන්තිගේ තාත්තා දුරකතනය විසංධි කරලා.

************************************

පුදුම නොහිතෙන කතාවක්

නළු නිළියන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ මෙන්ම ගායක ගායිකාවන්ගේ පින්තූර සමඟ ගොසිප් දාලා මේ පිටුව හැඩවෙනවා. එහෙම නැතිව රුව හරියාකාරව නොපෙනෙන්න දමා පුංචි කතාවක් ඔබට ලියන්න හිතුවේ අපේ රටේ ඇතැම් නිළියන් මෙන්න මෙහෙමයි කියලා කියන්න ඕනෑ නිසා. සරසවිය අපි කාගෙවත් චරිතය ඝාතනය කරන්න කැමැති නැහැ. ඒකයි නම සහ රුව හරි හැටි සඳහන් නොකොට මේ සටහන ලියන්න හිතුවේ.

අපේ ක්ෂේත්‍රයේ ඉන්නවා ටිකක් තලඑළලු වේගයෙන් සිංහල කතා කරන්න අපහසු නිළියක්. ඇයගේ නමට වචන දෙකයි. නම පටන් ගන්න පළමුවැනි අකුරම තමයි නමේ අගට තියෙන අකුරත්. ඉතින් ඇය ජනප්‍රියත්වයේ සිටින නිසා තරුණී පුවත්පතේ මුල් පිටුව නිර්මාණය කරන මධුර ප්‍රභාත් ඔහුගේ හිත මිතුරෙක් විසින් සංවිධානය කළ ළමා නිවාසයක පැවැති පුංචි උත්සවයක ආරාධිත අමුත්තා විදිහට එන්න කියලා ඇයට ආරාධනා කළේ. ඇය දිනයයි ඉතුරු විස්තර ටිකයි හොඳට අහගත්තා. ඊට පසුව කල්පනා කරලා කිව්වා මට එදාට වැඩක් කියලා. ඊට දවස් කිහිපයකට පසුව අප ඡායාරූප ශිල්පී ශාන් රූපස්සර ඇයට Cover Page  එකකට කතා කරලා Free  දවස් ටික අහලා. පුදුම වැඩේ කියන්නේ ඇය අර බැහැ කියපු දිනයත් එතැන තියෙනවා. ලොකු වැඩක් කියලා ළමා නිවාසයක පුංචි උත්සවයකට සහභාගි වෙන්න බැහැ කියපු කෙනා Cover Page  එකකට එදින එන්නම්ලු. කොහොමද අපේ නිළියන්ගේ තරම? කෙනා කවුද කියලා හොයා ගැනීම ඔබට බාරයි.

************************************

අපූරු කැලැන්ඩරය

ඒ. පී. විජේරත්න කියන්නේ සරසවිය අළෙවි නියෝජිතවරයෙක්. ඔහුව අපට අනෙක් අයට වඩා විශේෂයි. ඒ පැරැණි සිනමා මතක සුරකින සුරක්ෂිතයකු හින්දා. ඔහු තමන් සතුව ඇති අපූරු සිහිවටනයන් එකතු කරලා ප්‍රදර්ශනයක් ද පැවැත්වූවා. උදා වූ 2015 නව වසර වෙනුවෙන් අමුතුම මාදිලියේ දින දර්ශනයක් සකස් කරලා. එහි අඩංගුව ඇත්තේ පැරැණි චිත්‍රපටයන්හී ඡායාරූප ඇතුළත්ව සැකසුන කලක් ඉතාම ජනප්‍රිය පුවත්පතක් වූ කලා පුවත්පතෙහි මුල් පිටු, රන්මතුදූව, පරසතු මල් ඇතුළු චිත්‍රපට කිහිපයක ඡායාරූපවලින් දින දර්ශනය හැඩ වෙලා. සැබැවින්ම එය වෙනස්ම අන්දමේ දින දර්ශනයක් කියලා කියන්න පුළුවන්. විජේරත්න මේ විනෝදාංශය ආරම්භ කරලා තියෙන්නේ 1968 වර්ෂයේ ඉඳලා. ඉතින් විජේරත්න නිර්මාණය කළ අපූරු කැලැන්ඩරයේ සේයාරූ සමඟ පළ කරන්නට අප හිතුවේ එහි ඇති විචත්‍රත්වය ගැන කියාපන්නටයි.