වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




මම කරදරකාර නළුවෙක් නෙමෙයි

මම කරදරකාර නළුවෙක් නෙමෙයි

දැකලා පුරුදු කෙනෙකු එනු පෙනිණ. අත් රහිත බැනියමකින් සහ දිගු කලිසමකින් ඔහු සැරසී සිටි අතර දෑතෙහි බොක්සිං ක්‍රීඩකයන්

පළඳින විදිහේ අත්වැසුම් යුගලකි. එය මට තරමක් කතුහලයක් ගෙන දෙන්නක් විය.

ලාල් අයියේ,

නම ඇසීමත් සමඟ ඔහුගේ අවධානය මා කෙරෙහි යොමුවිණ. අත් පළඳනා ඉවත් කොට අත්ලෙන් නලලෙහි ඇති දාබිඳු මාත්තු කරමින් ලාල් අයියා දිගු හුස්මක් ගත්තේය.

ඉතින් කොහොමද?

මා ඔහුගෙන් අසන්නට සිටි පැනය ඔහු මගෙන් ඇසීය.

ඔන්න මම සරසවියට ලියනවා කලක් අප ජනප්‍රිය සිනමාවේ ජනකාන්ත නළුවකු වූ ලාල් වීරසිංහ සියල්ල අතහැර දැන් බොක්සිං ගහන්න ඇවිත් කියලා.

මේක බොක්සිං ක්‍රීඩාවට සමාන එකක්. මම වැඩි විස්තර කියන්නම්කෝ. මික්ස් මාෂල් ආර්ට් එක ඇතුළේ තියෙන ක්‍රීඩාවක් ලෙස මං හඳුන්වා දෙන්න පුළුවන්. තායි බොක්සිං කියලයි කියන්නේ. ඊට අමතරව බ්‍රසීල්යා ජ්‍යුජිප්සු කියන ක්‍රීඩාවක් මා හැදෑරුවා. අද වන විට මම ඒවාහි වෘත්තීය මට්මේ පුහුණුකරුකු ලෙස ක්‍රියා කරනවා.

කලාවෙන් ඉවත් වෙලා?

සිනමාවයි මා නියෝජනය කළේ. ලාල් වීරසිංහ කියන මගේ නම හැදුණේ සිනමාවෙන්. මම සිනමාවට හරිම ආදරෙයි. ඒක නිසාම අධ්‍යක්ෂණයටත් පිවිසෙන්න හිතුවා.

ඔබේ පළමු සිනමා අධ්‍යක්ෂණයේ නම සිංගා මචං චාලි?

හරියට හරි. එහි මුහුරත් උළෙල පැවැත්වූවා. ඒක පවුලේ චිත්‍රපටයක්. මට ඕනෑ මෙම චිත්‍රපටය හරහා චිත්‍රපට ශාලා හැරගිය සහ අමතක කළ ප්‍රේක්ෂක කණ්ඩායම නැවතත් සිනමාවට අද්දවා ගැනීමටයි.

ඒ කිව්වේ?

ලෙනින් මොරායස් කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගැන අහලා ඇතිනේ. ඔහු චිත්‍රපට හැදුවේ පීඩිත පංතියේ මිනිස්සුන්ට.

ඔබත් කරන්න හදන්නේ සිංගා මචං චාලි හරහා ලෙනින් මොරායස් යුගයක් ඇති කරන්නද?

සත්තකින්ම. ලෙනින් මහත්තයාගේ චිත්‍රපට බලන්න සෑහෙන්න ප්‍රේක්ෂක කණ්ඩායමක් ආවා. රාජ් රණසිංහ මේ චිත්‍රපටය හදන්න යෝජනාව දෙන කොට මට කිව්වේ අපි යමු ලෙනින් මොරායස් යුගයට. ඒ කාලයේ විදිහට චිත්‍රපටයක් හදමු කියලයි.

මේක සම්ප්‍රදායික වට්ටෝරු ක්‍රමයේ චිත්‍රපටයක්ද?

මෙහෙමයි, මෙහි කොල්ලා ඉන්නවා, කෙල්ල ඉන්නවා, සිංදු තියෙනවා, කමඩි තියෙනවා, ෆයිට් තියෙනවා. හැබැයි කතාව වෙනමම එකක්. හය වතාවක් තිර රචනය වෙනස් කර කර හැදුවා. ටෙනිසන්, මම, අනූෂා දමයන්ති, සුරාජ් මාපා ඇතුළු පිරිස මෙහි රඟපානවා. ඒ වගේම ඩිලානි අබේවර්ධනගේ දුව කවීෂා රංගනයට පිවිසෙන්නෙත් මේ චිත්‍රපටයෙන්. ඒ වගේම ජෝති ඇන්ජලින් ගැයූ පැරැණි ගීතයක් මෙයට ඇතුළත්. කවිෂයි මමයි තමයි එයට රංගනය ඉදිරිපත් කරන්නේ.

එතකොට මෙහි කොල්ලා ඔබ?

ඔව්. ඉන්දියාවේ සල්මන්ට, ශාරුක්ට අදටත් කොල්ල වෙන්න පුළුවන් නම් ඇයි මට බැරි. මම තමයි කොල්ලා. කවීෂා මගෙ පෙම්වතිය.

ඔන්න බලන්නකෝ ඉස්සර වගේ මං නටන හැටි මගේ චිත්‍රපටයේදී. තවම මං තිරයේ පෙම්වතා.

ඔබේ චිත්‍රපටයේ කොමඩි තියෙනවා කිව්වා, නමුත් අද කොමඩි කියලා අපට දක්නට ලැබෙන්නේ කුනුහරුපවලින් හිනස්සවන්න හදන එක?

අන්න එතන තමයි අපේ අය වරද්දගෙන තියෙන්නේ. සිංගා මචං චාලි චිත්‍රපටයේ කොමඩි තිබුණට කුනුහරුප නැහැ. අඩුම ගානේ උඹ, බං බොලං කියන වචනවත් නැහැ. නමුත් විනෝද වෙන්න පුළුවන් ඒක බලලා.

ඔබ හදාරපු සටන් ක්‍රමය මෙම චිිත්‍රපටය සඳහා යොදා ගන්නවා ඇති?

ඔව්. මෙහි ඇති ෆයිට් සඳහා යොදා ගන්නේ ඒ ශිල්ප ක්‍රමය. ඒකත් වෙනසක්නේ. එය කවුරුවත් මේ වන විට මෙරට චිත්‍රපටයකට යොදාගෙන නැහැ.

මා දන්නා පරිදි ලාල් වීරසිංහ කියන්නේ රංගනය හදාරපු නළුවෙක්?

මම හිතන්නේ මම හැර විධිමත් විදිහට රංගනය හදාරපු නළුවෙක් නැහැ. ඉන්දියාවේ ෆිල්ම්ස් ටෙලිවිෂන් ඇන්ඩ් තියටර් ඇකඩමියේ මම මේ සියල්ල ගැන ඉගෙන ගත්තා. එය ප්‍රබල හේතුවක් වුණා. මගේ පළමු චිත්‍රපටය වන වැඩ බැරි නම් වැඩක් නැහැ දින එකසිය විසිපහක් දුවන්න, ඒ වගේම එම වසරේ හොඳම නවක නළුවා සහ ජනප්‍රියම නවක නළුවා යන සරසවිය සම්මාන දිනාගන්නත් මට පුළුවන් වුණා.

නමුත් ඔබ රංගනයෙන් ඉවත් වෙනවා ජනප්‍රියත්වය තිබියදීම?

මම කරදරකාර නළුවෙක් නෙවෙයි. රූගත කිරීම් සඳහා පිට ගිය සමහර අවස්ථාවල මගේ වියදමින් තනි කාමරයක් අරගෙන මම ඉඳලා තියෙනවා. අඩු වශයෙන් විශේෂ කෑම බීම ඉල්ලලාවත් මම ප්‍ර‍්‍රඩක්ෂන් එකට කරදර කරන්නේ නැහැ. එහෙව් මට එන්න එන්න කෙනෙහිලිකම් ආවා. ක්‍රම ක්‍රමයෙන් ක්ෂේත්‍රය ඇතුළේ කල්ලිවාදයක් ඇති වෙලා අධ්‍යක්ෂවරුන් තමන්ට වාසි අයව විතරයි වැඩවලට ගත්තේ. මම එදා ඉඳලා මගේ වටිනාකම අඩු නොකරගෙන හිටපු කෙනෙක්. ඒකත් හේතුවක් වෙන්න ඇති මාව චිත්‍රපටවලට නොගැනීම. මට කනගාටු හිතුණේ නැහැ. මම මගේ ව්‍යපාරවලට යොමු වුණා. ඉඳලා හිටලා රඟපෑවා. කවදාවවත් ඉල්ලගෙන අවස්ථා හොයාගෙන ගියේ නැහැ.

නමුත් ඔබේ ජනප්‍රියත්වය තවමත් එහෙම්මමයි?

තිස්ස නාගොඩවිතාන මහත්මයාට පින් සිදු වෙන්න මගේ චිත්‍රපටයක් දෙකක් සතියේ දවස්වල රූපවාහිනි නාලිකාවන්හි විකාශය වෙනවා. මිනිස්සු පැරැණි මතකයන් අවදි කර කර ඒවා බලනවා. ඉතින් මෙගා නාට්‍යවල ඉන්න නළු නිළියන්ට වැඩිය මම ජනප්‍රියයි.