වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




මම අද ඔත්පළ වී ඇඳට සීමා වෙලා එදා දෑස පා සිනා ගැයූ

මම අද ඔත්පළ වී ඇඳට සීමා වෙලා එදා දෑස පා සිනා ගැයූ

ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ප්‍රචාරය 1924 සිදුවිණැයි සිතිය හැක. බොරැල්ලේ පවත්වා ගෙන ගිය ලංකා ගුවන් විදුලි සේවය 1925 දෙසැම්බර් 10 වැනිදා පටන් ගත්තකි. 1949 ටොරින්ටන් පෙදෙසට ගෙන එන ලද එය නිසා ග්‍රැමෆෝන් යුගයට මරු පහරක් වැදුණි. ඒ ගුවන් විදුලියෙන් ගායක ගායිකාවන් පෙරට ගෙන ඒම නිසාය. ඇත්තම කියනවා නම් පිරිපුන් ගායන ශිල්පීන් බිහි වූයේ ගුවන් විදුලියෙනි. ඔවුන් නිසා සංගීත ක්ෂේත්‍රයේ සුවිශාල පිබිදීමක් ඇති වූ බව සත්‍යයකි. මේ වන විට අති විශාල දකෂයන් රැසක් බිහි කළ එහි පැරැණි යුගය නියෝජනය කළ ගායිකාවක් වශයෙන් මැය හඳුන්වා දිය හැකිය. ඇය නමින් අයිරින් ද අල්විස් වන්නීය.

* ඔබේ කුඩා අවධිය අද අප විමසුවොත්?

මගේ උපන් දිනය 1944 මාර්තු 11 වැනිදා. ඒ අනුව මගේ දැන් වයස අවුරුදු 70 ක් වෙනවා. අගම්පොඩිගේ අයිරින් ද අල්විස් වන මම කුඩා සන්දියේ පදිංචිව සිටියේ දෙමටගොඩ. ඉගෙනීමේ කටයුතු ක්ලිප්ටන් බාලිකා විද්‍යාලයෙන් කළා.

* ඔබ ගායන ලොවට පිවිසීම ආවර්ජනය කළොත්?

මගේ මවට සහෝදරයන් දෙන්නෙක් සිටියා. ජිනදාස හා පියදාස කියලා. ඔය ජිනදාස ගුණසේකර ගායකයෙක්. ඔහු සරදියෙල් චිත්‍රපටයේ පසුබිම් ගායනය කර තිබෙනවා. පියදාස ගුණසේකර කියන්නේ සිංහල සිනමාවේ සිටිය දක්ෂ චරිතාංග නළුවෙක්. ඔවුන්ගේ ආභාසය මගේ ගායන දිවියට මඟ පෑදුණා කියලා කිව්වොත් හරි. සාමාන්‍යයෙන් එදා සිටි යුවතියන් කලාවට දැක්වූයේ පුදුම ළෙන්ගතුකමක්. මොන යම් කලාවක් ඔස්සේ හෝ තම හැකියාවන් පෙන්වීමට ඔවුන් අවස්ථාව සෙව්වා. මාත් ඒ ගණයේ කෙනෙක්. ජිනදාස මාමාගේ උදව්වෙන් මට ගුවන් විදුලියේ ළමා ගායිකාවක් විදියට ඉදිරියට එන්න ලැබුණා. ඔය කාලේ ගුවන් විදුලිය භාරව සිටියේ විමල් අබේසුන්දර. නවකයන්ට විශේෂ අවස්ථාවන් ලබා දුන්නා. මගේ මුල්ම ගීතය විදියට දැකුමෙන් බැල්මට මග පාදා කියා මතකයි. එහි පද රචකයා බර්ට්‍රම් දෙනිපිටිය. තනුව නිර්මාණය කර දුන්නේ ඔහුගේ සොහොයුරු පැට්රික් දෙනිපිටිය.

* ඔබ ගැයූ ජනප්‍රිය ගීත ගැන විමසුවොත්?

මම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණිගත ගායිකාවක්. දෑස පා සිනා, සඳ වගෙ ලස්සන රූපිකා, ඔබෙයි මගෙයි මධුර පෙම් අතීතේ, වසුන්දරා, මොරිස් දහනායක සමඟ ගැයූ ආදරේට නැද්ද ලෝකේ ආදරය අනේ මගේ ජනප්‍රිය ගීත අතළොස්සක්. මෙයින් ඔබෙයි මගෙයි මධුර පෙම් අතීතේ මොහිදින් බෙග් සමඟ ගැයුවේ ඔහු ඊට පෙර ගායනය කළ ගී තනුවක් අනුව. එය තමා බෙග් හා රාණි පෙරේරා ගැයූ ඔබෙයි මගෙයි දෑස පටලැවිලා. ඔය ගීත දෙකම ලිව්වේ හේමශ්‍රී ද අල්විස්.

* ඔබෙන් ගීත රචක හේමශ්‍රී ද අල්විස් පිළිබඳ හාරා ඇවිස්සුවොත්?

ඔහු මගේ සැමියා. ජනප්‍රිය ගී රචකයෙක්. කාලයක් ග්‍රාන්ට් ආයතනයේ ප්‍රචාරක නිලධාරියෙක්. 1977 සිට 1997 දක්වා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. මට වැඩිම ගීත ප්‍රමාණයක් ලියා දුන්නේ ඔහු. මුල්ම පද රචනය නීල උපුල් දෑස සලා. අපි විවාහ වුණේ 1969. අපිට පුතුන් දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් රට. අනිත් කෙනා සකුරා නමින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා.

* ඔබ ගුවන් විදුලියට හැර වෙනත් මාධ්‍යයකට ගීත ගායනා කර නැතැයි කිව්වොත්?

මට චිත්‍රපට පසුබිම් ගායනය කරන්න ලැබුණු අවස්ථා තියෙන්නේ දෙකයි. එකක් 1964 තිරගත වූ අම්බපාලි. එය සිංහල දෙබස් කැවූ ප්‍රථම වංග චිත්‍රපටය. එහි ආ ගීත තුනක් මට ගායනය කරන්න ලැබුණා. පිරුණා මල් පැණි සුජාතා අත්තනායක සමඟ ගැයූ හවුල් ගීතයක්. අනික් දෙකම තනි ගීත. මේ ගීත පබැඳුවේ ධර්මසිරි ගමගේ. ඒ ඔහුගේ පළමු චිත්‍රපට ගී රචනා. සංගීතවත් කළේ පී. එල්. ඒ. සෝමපාල. දෙවැනි චිත්‍රපටය සේයාවක් පසුපස. 1966 පෙන්නූ එය මිලි මීටර් 16 චිත්‍රපටයක්. එහි තිලක් කරුණාතිලකගේ සංගීතයට පානා හසරැලි ගීය සරත් සන්දනායක සමඟ ගැයුවා.

* ඔබේ ගීත පසු දවසක කැසට් පට තුළිනුත් ඇසුණා?

මගේ මුල්ම කැසට්පටය වූ ජෝතිමත් ගී නිෂ්පාදනය කළේ ඩබ්ලිව්. ජයසේන ද අල්විස්. එහි මගේ තනි ගීත වගේම එච්. ආර්. ජෝතිපාල සමඟ මා ගැයූ යුග ගීත ඇතුළත්ව තිබුණා. සියලුම ගීතවල පද රචකයා හේමශ්‍රී ද අල්විස්. ඊළඟට වසුන්දරා. ඊට හර්බට් එම්. සෙනෙවිරත්න හා ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ ගීතත් අඩංගුව තිබුණා. දෑස පා සිනා කැසට් පටයට විමලදාස පෙරේරා රචනා කළ ගීත තුනක් ගායනය කළා. සීත වන විල් පෙතේ හා දෑස පා සිනා මගේ ගීත රැගත් සංයුක්ත තැටි.

* ඔබ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වා ඇති වග විස්තර කළොත්?

මතක හැටියට 1992 විතර මගේ ගීත ප්‍රසංගය ටවර් රඟහලේ පැවැත් වූවා. එය නම් කොට තිබුණේ ස්වර්ණ වීණා කියා. ඔය ප්‍රසංගය දොළොස් වාරයක් පසුව නගර කිහිපයක පැවැත්වූවා.

* ඔබ නියෝජනය කළ පෙරදා සංගීත ක්ෂේත්‍රය මතකයට නැඟුවොත්?

එදා සංගීත ලෝලීන් බොළඳ රසයකට ප්‍රිය කළේ නැහැ. එළිමහන් සංදර්ශනයකට ආරාධනා ලැබුණේ ජනප්‍රිය ගීත ගායනා කර තිබුණු ගායන ශිල්පීන්ට පමණයි. අනුන්ගේ ගීතවලින් යැපෙන අයට එහි ඉඩක් තිබුණේ නැහැ. හින්දි ගීතයක් හැරුණු විට වෙනත් කෙනකුගේ ගීතයක් සංදර්ශන වේදිකාවේ ගායනය කිරීම තුට්ටු දෙකේ වැඩක්. ප ඔබ නවක ගායන පරපුර සම්බන්ධයෙන් සිතන විදිය දැක්වූවොත්?

නවකයන්ගේ උපත් දරු ප්‍රසූතියටත් වඩා වැඩියි. සෝඩා බෝතලයක් කැඩුවා සේ ක්ෂණිකව අසීමිත කිර්තියක් ලබනවා. වේදිකාවට ගොඩ වෙන්න විශාල මුදලක් අය කරනවා. ඒත් රසිකයන් පිනවන්න ගායනය කරන්නේ අපේ ගායක ගායිකාවන් ජනප්‍රිය කර වූ ගීත. මේක මරදානේ භාෂාවෙන් කියනවා නම් පීචං වැඩක්. මගේ යුගයේ ගායකයෙක් ගායිකාවක් ගායනය කළ මතකයේ රැඳෙන ගීතයක් නැවත නැවත ගැයීමෙන් වුවත් වසරක් තුළ ඔවුන් උපයන මුදල අද කාලේ සුපිරි ගායකයෙක් ඒ ගීතයම ගායනා කර දවසින් සොයා ගන්නවා. මේක තමයි ඇත්ත කතාව.

* ඔබ ගායන කලාව ගැන දක්වන ආකල්ප පැවසුවොත්?

අපි ගීත ගයන යුගයේ රාගධාරි සංගීතයට හිමි වූයේ ප්‍රමුඛත්වයක්. එම නිසාම ගීත බොහෝමයක් රචනා කළේ ඉන්දීය තනු අනුව. හැබැයි ඇතැම් අවස්ථාවල ඒ අනුකරණ ගීත මුල් ගැයුමට වඩා සාර්ථක වුණා. ඒ නම් අපේ ගායක ගායිකාවන්ගේ දක්ෂතාවය උඩ. අද තිබෙන්නෙ රසයක් නැති ගීත සම්ප්‍රදායක්. බෙලෙක් සංගීතයට ගැයෙන මේ ගීතවල හරි පැවැත්ම මාස දෙකයි. ඊට පස්සේ ගීතයත් අතරුදන්. ගායකයාත් අතුරුදන්.

* ඔබේ වත්මන් තත්ත්වය ගැන රසිකයන්ට පහදා දුන්නොත්?

කියන්න කනගාටුයි. මම අද ඔත්පළව ඇඳට සීමා වුණු ජීවිතයක් ගත කරනවා. ආදායමක් නැහැ. ඉන්නේ කුලී නිවසක. අපි වගේ අසරණ කලාකාරියන්ට යමෙක් පිහිට වෙනවා නම් ආත්මයක් ආත්මයක් පාසා තක්සේරු කරන්න බැරි පුණ්‍ය කර්මයක්.

* ඔබ වෙනුවෙන් උදව් උපකාර කිරීමට හැකි තැනක් කිව්වොත්?

දැනට පදිංචිව සිටින ලිපිනය අංක 151/1, පන්සල පහළ පාර, වලපල, පානදුර. දුරකථන අංක දෙකක් තිබෙනවා. එකක් 038-5680233. අනික 077-5822425.