වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




ආදර පුවතක අලුත් කතාව

ආදර පුවතක අලුත් කතාව

The Heirs

'අඳුරේ පෑරී පෑරී නෙත් කවුළු යළ යළිත් තිගැස්සී ඒ දෑසම සොයයි. සැඟ වී දුරටම යන විසඳුමක් නැති මගේ ආදරයේ පෙම් පැතුම් කඳුලැල් වැස්සේ තෙමී යයි. මා ඔබ ගැන ඇඳි සිතුවම් සියල්ල මනසේ පෙර සේම රැඳී ඇත. ආදරයේ නාමයෙන් විඳින වේදනාව මගේ සිතට කිසිදා බරක් නොවේ. ජීවිතයේ මගේ එකම පැතුම සසරේ මතුදාක අප දෙදෙනාගේ එක්වීම පමණි. තනිකම, පාළුව අරක් ගත් අමෙරිකාවේ විශාල නිවසේ වේදනාබර මතකයන් තුළ ගිලී තිිබූ මගේ ජීවිතයට අරුණැල්ලක් වූයේ ඇයයි. කිසිදා කොරියාවට යාමට නොසිතූ මට මව් රටට පැමිණීමට ශක්තියක් වූයේ ඇයයි. ඒ මම හදවතින්ම ආදරය කරන මගේ චා ඉයුන් සන්ය'.

- කිම් ටැන් -

'ඉපදුණු දා සිට දුක් කම්කටොලු පිරි මගේ ජීවිතයේ එකම අරමුණ වූයේ සමාජයේ හොඳ තැනකට පැමිණ අම්මා සමඟ සතුටින් ජීවත්වීමටය. ඒ හීන සඵල කර ගැනීමට සිතා අමෙරිකාවට ගිය මට සිදු වූයේ නොසිතූ ලෙස කබලෙන් ලිපට වැටෙන්නටය. මගේ අක්කා මටත් අම්මාටත් කළ දරුණු වංචාවෙන් ඒ හීන තිඹිරි ගෙයිදීම සුණු විසුණු විය. කොරියාවේදී මෙන්ම අමෙරිකාවේදීත් මට උරුම වූයේ දුක් විඳීම පමණි. ජීවිතය එපා වී සිහින බොඳ වී ගිය කිසිදු පිළිසරණක් නැති මට අමෙරිකාවේදී හමු වූ ළබැඳි මිතුරා කිම්ටැන්ය. ඔහු මට ආදරයෙන් ළං වෙන්න උත්සාහ කළත් අප අතර පරතරය අහසට පොළොව මෙනි. අමෙරිකවේ මා ඔහු සමඟ ගත කළ දින කිහිපය මට දෙවියන් තිළිණ කළ ත්‍යාගයක් සේය. ඒ ගැන මට හැඟෙන්නේත්, අවසාන වශයෙන් ඔහුට මට පැවසීමට හැකි වූයේත් මෙපමණකි.

'It was like a summer night dream It's time for me to dissapper now like the dream last night . . . farewell'
 

- චා ඉයුන් සන් -

මේ සොඳුරු හැඟීම් මාලාව අපට හමු වනුයේ මේ දිනවල යොවුන් පරපුරේ මුවඟ තුඩු දෙන කිම් ටෑන්ගේත් ඉයුන් සන්ගේත් ආදර අන්දරයේයි. එනම් බෝයිස් ඕව(ර්) ෆලවර්ස් ටෙලි නාට්‍යයෙන් අනතුරුව කොරියාවෙන් මෙරටට පැමිණි අලුත් අමුත්තා වන 'ද ඒයස්' ටෙලි නාට්‍යයේයි. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ආදරය වැළඳගෙන දෙරණ ටී. වී. ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට විකාශය වන 'ද ඒයස්' ටෙලි නාට්‍යය 2013 වසරේ නිපදවූවකි. වර්තාගත ලෙස ඉහළ මිලකට අලෙවි වෙමින් රටවල් දහතුනක විකාශය වූ මෙම ටෙලි කතාව චීනයේ වෙබ් පිටුවල බිලියනයකට අධික පිරිසක් නැරඹූ එකම නාට්‍යය ද වේ.

මෙහි ප්‍රධාන නළුවා ලෙස රඟන්නේ අප හොඳින්ම හඳුනන වඩාත්ම ප්‍රිය කරන තාරුණ්‍යයේ සිහින කුමරා වන Lee Min Ho ය. ඒ කඩවසම් සුරූපී අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු හැටියටය. ඔහු සමඟ රඟන සිහින කුමරිය වන්නේ සුරූපී Park Shin Hye  ය. ඇය දකුණු කොරියාවේ ගායිකාවක, නර්තන ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිරූපිකාවක ද වේ.  You're Beautiful, Heartstrings, Flower Boys Next Door හා Pinoc Chio  ටෙලි නාට්‍ය හරහා කොරියවේ ජනප්‍රිය වූ ඇය, කිසිදු පිළිසරණක් නැතිව ගොළු මවකගේ දියණියක වී විවිධ බාධක මැද ජීවිතය ජීවත් කිරීමට වෙර දැරීම 'ද ඒයස්' හි රඟන භූමිකාව වේ. ඒ චන් ඉයුන් සන් ලෙසය. බෝයිස් ඕව(ර්) ෆලවර්ස් මෙන් පොහොසත් ධන කුවේර ව්‍යාපාරිකයන්ට පමණක් ඉගෙන ගැනීමට හිම් එම්පයර් උසස් පාසලේ සිසු සිසුවියන් වටා ගෙතුණු සිදුවීම් මාලාවක් මෙම ටෙලි අන්දරයේ විකාශනය වේ.

කිම් ටැන් යනු රට පුරා ආධිපත්‍ය පැතිර වූ Jeguk ව්‍යාපාරයේ අනාගත හිමිකරුය. ඔහුට තාත්තාගේත් තම සහෝදරයාගේත් සෙනෙහස අහිමිය. මව්වරුන් දෙදෙනෙකුට දාව උපන් පුතුන් වන කිම්ටැන් හා ඔහුගේ සොහොයුරා එකම පියකුගේ පුතණුවෝ වෙති. කිම්ගේ සොහොයුරු කුඩා අවධියේ සිටම තම මල්ලීව ප්‍රතික්ෂේප කරයි. කිම් කෙතරම් ඔහුගේ සමාගම ප්‍රිය කළත් ඔහු කිම්ට දරදඬු අයුරින් සලකයි. කිම්ගේ පියාගේ අතීත වැරදි නිසා ඔහුගේ මව අනියම් බිරිඳක් ලෙස සමාජයේ වැරැද්දට භාජනය වන අතර කිම් ද තම යහළුවන් අතර එම ප්‍රශ්නයෙන් අසරණ වේ. එබැවින් කිම්ගේ මව ජීවත් වනුයේ හැඬූ කඳුලින්, විශාල නිවසේ සිරකාරියක මෙනි. මේ සියලු ගැටලු මැද පීඩනයට මැදි වන කිම්ගේ එකම සැනසීම ඉයුන් සන් පමණි.දෙමාපිය කැමැත්ත මත කිම්ව රචෙල් නැමැති ධනවත් ව්‍යාපාරික දුවට විවාහ යෝජනා කර තිබුණත් ඔහු කොරියාවට පැමිණෙන විට ඉයුන් සන් ඔහුගේ නිවසේ ප්‍රධාන මෙහෙකාරියකගේ දුව ලෙස එහි නවාතැන් ගෙන සිටී. අමෙරිකාවේදී සිත සොරාගත් යුවතිය තම නිවසේම විසීම ඔහුට විස්මය උපදවයි. නිවසේදී ඔවුන් එකිනෙකාට හමුවීම ඉයුන් සන් ව රචෙල්ගේ තාඩන පීඩනවලට මැදිවීමට ආරම්භයක් වුවත් ඔවුන්ගේ ආදරය දළුලා වැඩෙන්නට එය මහත් රුකුලක් වේ. ඉයුන් සන් තමා සමීපයේම සිටීම කිම්ගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් ඇති කිරීමටත්, ඔහු කොරියාවේ ජීවත්වීමට ඇති ආසාව තව තවත් වැඩි කිරීමට බලපායි.

අමතර රැකියාවන් රැසක් සිදු කර තම පාසල් කටයුතුත් මවගේ කටයුතුත් ඉටුකරන ඉයුන් සන් දිරිය පිරි යුවතියකි. ප්‍රධාන මෙහෙකාරියගේ දුව හැටියට කිම්ගේ පියා එම්පයර් උසස් පාසලේ ඉගෙනීමට ඉයුන්ට ලබා දෙන ශිෂ්‍යත්වය ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. කිම්ටත් ඇයටත් එකට පාසල් යාමට, ඉගෙන ගැනීමට, විනෝද ගමන් යාමට ඉන් අවස්ථාව ලැබේ. කිම්ගේත් ඉයුන්ගේත් ආදරය දළුලා වැඩෙන අතරේ ඉයුන්ට ආදරය කරන තවත් අයෙකි. ඒ පෙර කලක කිම්ගේ මිතුරා වූ දැන් ඔහුගේ හතුරා වන යෝග් දෝය. යෝග් දෝ නිසා ඉයුන් මුලදී බොහෝ කරදරවලට මුහුණපායි. ඒ නිසාම කිම් හා යෝග් දෝ පාසලේදී නිතරම රණ්ඩු සරුවල් වේ. එමෙන්ම රචෙල් ද මේ රණ්ඩුවලට මූලික වේ. කිම් හා යොග් දෝ ගේ ආදරයට මැදිව ජීවත්වන ඉයුන්ගේ අනාගතයට කුමක් සිදු වේද? කිම්ගේ ආදරය ජය ගනීද? යොග් දෝගේ ආදරය ජය ගනීද? ද ඒයස් හි අවසානය දක්වාම මොවුන්ගේ ආදරය ගැන ගෙතුණු සිදුවීම් රසබරය. සුන්දරය. පාසල් සමයේ යෞවන ප්‍රේමයේ ඇති මිහිරි චමත්කාරය මෙම ටෙලි අන්දරයෙන් අපූරුවට ගෙනහැර පායි.

ආර්ථික, සමාජීය දුෂ්කරතා මැද තමන්ගේ පාසල් ප්‍රේමයත්, ජීවිතයත් ජය ගැනීමට වෙර දරන තේමාවක් රැගත් 'ද ඒයස්' ඇමරිකන් ඩිජිටල් ප්ලැට්ෆෝම් ඩ්‍රාමා තීයටර් හා Hwa & Dam Pictures  ආයතනවල සමූහ

නිෂ්පාදනයකි. Kang - Shin - Hyo  අධ්‍යක්ෂණය කළ මෙය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා හා දකුණු කොරියාවේ ප්‍රදේශවල රූගත කර තිබේ. 'ද ඒයස්' නමින් ජේත්තුකාර උසස් පාසලක යොවුන් ප්‍රේමය අළලා මෙම ටෙලි කතාව රචනා කොට ඇත්තේ Kim - Eun Sook  ය. 2013 වසරේ තිරගත වී සම්මාන රාශියකට උරුමකම් කියූ මෙම දකුණු කොරියානු ටෙලි කතාව 2014 වසරේ නව වැනි Seoul  ජාත්‍යන්තර ටෙලි නාට්‍ය සම්මාන උළෙලේ නැගී එන හොඳම නාට්‍යයට හිමි සම්මානය දිනා ගැනිණි. එම උළෙලේදීම හොඳම නැගී එන නළුවා Lee Min Ho  ලෙසත් නැගී එන නිළිය Park Shin Hye  ලෙසටත් නිර්දේශ වුණි. එමෙන්ම 2013 වසරේ දහඅට වැනි Anhai TV සම්මාන උළෙලේ ජනප්‍රියම විදෙස් නිළිය ලෙස 'ද ඒයස්' හි ප්‍රධාන නිළි  Park Shin Hye සම්මාන දිනූ අතර, ජනප්‍රියම විදෙස් නළුවා ලෙස 'ද ඒයස්' හි කිම්ගේ හතුරා වූ Kim Woo Bin සම්මානයට පාත්‍ර වූයේය. 2013 වසරේ

S B S  සම්මාන උළෙලේ හොඳම යුවළට හිමි සම්මානය ද Lee Min Ho ට සහ  Park Shin Hye  ට හිමි වුණි. එමෙන්ම දෙවන ආසියානු රෙයින්බෝ ටෙලි නාට්‍ය සම්මාන ප්‍රදානයේ නැගී එන හොඳම අධ්‍යක්ෂ ලෙස 'ද ඒයස්' හි අධ්‍යක්ෂ Kang Shin-Hye  සම්මාන ලැබුවේය. එම උළෙලේම හොඳම නූතන ටෙලි නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ද 'ද ඒයස්' ටෙලි කතාවයි. මෙලෙස දෙස් විදෙස් සම්මාන ලැබූ 'ද ඒයස්' බෝයිස් ඕව(ර්) ෆලවර්ස් ටෙලි කතාව මෙන් වර්තමාන ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක හදවත සොරාගෙන හමාරය. සිංහල හඬ කැවීම් මුසුව ටී. වී. දෙරණ ඔස්සේ ඔබ හමුවට එන 'ද ඒයස්' හි කිම් ටෑන්ගේ හඬට පණ පොවනුයේ බෝයිස් ඕව(ර්) ෆලවර්ස් හි ගු ජෝන් පියෝට හඬ මුසු කළ ඉසුරු ලොකුහෙට්ටිආරච්චිමය. ඉයුන් සන්ග්ගේ හඬ පාරමී රණසිංහගෙනි. යොග් දෝට හඬ කවනුයේ බුද්ධික බන්ධුජීවය. ටෙලි කතාව පුරා ඇසෙන 'අඳුරේ පෑරෙනා' ගීතය ගයන්නේ ලහිරු ප්‍රභාත්ගේ මියුරු හඬිනි. එහි ගී පද රචනය අමිල ආර්. නන්දසේනගෙනි. මේ සියල්ලහිම හඬ කැවීම් අධ්‍යක්ෂණය චරිත කොතලාවලගෙනි.

ආදරය කාටත් මහා පොදු සාධකයකි. එයට වයස, මිල මුදල්, තරාතිරම බාධාවක් නොවේ. යෞවනයේ ඇති වන කුළුඳුල් ප්‍රේමය අති මනරම්ය. එය ජීවිතයට සදාකාලික ආස්වාදයකි. ඒ ආස්වාදය ඉයුන් සන් හා කිම් ටැන් විඳින අපූරුව 'ද ඒයස්' ටෙලි සිතුවමෙන් ප්‍රේක්ෂක ඔබ ද විඳිනු නොඅනුමානය.