වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාවේ ප්‍රථම සුපිරි නළු ප්‍රේම් ජයන්ත් හා නන්දා ලීලානායක ගැන පුතෙකුගේ මතකය

සිංහල සිනමාවේ ප්‍රථම සුපිරි නළු ප්‍රේම් ජයන්ත් හා නන්දා ලීලානායක ගැන පුතෙකුගේ මතකය

ජගත් රොහාන්

සිංහල සිනමාවේ ගෙවී ගිය හැට අට වසරක අතීතය තුළ එක් එක් යුග වර්ණවත් කළ සුපිරි තරු රැසක් අපට සිටියහ. ඒ අය අතරින් මුල්ම සුපිරි තරුව ලෙස සැලකෙන්නේ ප්‍රේම් ජයන්ත්ය. තිරයේ අහිංසක පෙම්වතාගේ චරිතය තුළින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ වැජඹුණු ප්‍රේම් සුජාතා චිත්‍රපටයේ රංගනයෙන් මෙරට ප්‍රේ්ක්ෂකයන් අතර එක් රැයකින් ජනප්‍රිය නළුවා බවට පත් විය. සැඩ සුළං චිත්‍රපටයේ රඟමින් නැවතත් ඒ ජනප්‍රියත්වය තව තවත් තහවුරු කළ ප්‍රේම් එදා සිය රංගන චාරිකාවේ දිගු ගමනකට දායකත්වය එක් කළේ පුදුම ලේලි, වරද කාගේද, අවිශ්වාසය, සල්ලි මල්ලි සල්ලි, හෙට ප්‍රමාද වැඩියි, සුබ සරණ සැප සිතේ, සිතක මහිම, පුරුෂරත්නය, සරණ ආදී චිත්‍රපට රැසක සිය රංග ප්‍රතිභාව එක් කරමිනි. ප්‍රේම් රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයකු ද විය. සිනමා ප්‍රචාරක කටවුට් පෝස්ටර් නිර්මාණයෙන් ද සිංහල සිනමාවේ නම රැන්දූ ප්‍රේම් ජයන්ත් විවාහ වූයේ ද බණ්ඩා නගරයට පැමිණීම, පුදුම ලේලි චිිත්‍රපටවල රඟපෑ නිළියක් වූ නන්දා ලිීලානායක සමඟය. ප්‍රේම්ගේ පුතු ජගත් රෝහණ චිත්‍රපට රංගනයට එක් වූයේ සබීතා චිත්‍රපටය හරහාය.

සිය අපූර්ව රංග කුසලතාවයෙන් මෙන්ම මනබඳින රුවින් ද සිනමා ලෝලීන් පින වූ ප්‍රේම් මෙන්ම සිනමා නිළියක වූ නන්දා ලීලානායක ද අද වන විට මෙලොවින් සමුගෙන ගොසිනි. ප්‍රේම්ගේ කලා කටයුතු අදත් ඉදිරියට ගෙන යන ඔහුගේ පුත් ජගත් රොහාන් හා කතාබස් කළේ පේ‍්‍රම් - නන්දා නළු නිළි යුවළගේ අතීත සැමරුම් සිහිපත් කරමිනි.

ජනප්‍රිය සිනමාවේ ප්‍රථම පුරුෂ රත්නයත්, පුදුම ලේලි චිත්‍රපටයේ හොඳම ලේලිත් වූ ඔබේ පියාත්, මවත් අද වෙන කොට කලා ක්ෂේත්‍රයෙන් සමුගෙන ගොසින්?

තාත්තා මිය යන කොට අවුරුදු හැට හතරක් වුණා. 1997 මාර්තු 17 වනිදා තමයි තාත්තා මිය ගියේ. අම්මා නම් මිය යන කොට අවුරුදු අසූ එකක්. ඇය මේ 2014 වසරේ සැප්තැම්බර් 26 වැනිදා තමයි මෙලොවින් සමුගත්තේ. තාත්තා නම් මිය ගොස් දැනට අවුරුදු දාහතක් විතර වෙනවා. අම්මා නම් නැති වෙලා මාස තුනක් විතර තමයි ගත වෙලා තියෙන්නේ.

තාත්තා මෙරට සිනමාවේ සුපිරි තරුවක් වී සිටි යුගයක් තිබුණා. එවන් නළුවෙකුගේ අභාවයත් සමඟ කලා ක්ෂේත්‍රයේ මොන වගේ පිළිගැනීමක් ද ලැබුණේ?

පේ‍්‍රම්ජයන්ත් එදා

තාත්තා අශෝක ඩේවිඩ් අධ්‍යක්ෂණය කළ 'සරණ' චිත්‍රපටයේ රඟපාමින් රංගනයෙන් ඈත් වුණා. අම්මාත් පුදුම ලේලි චිත්‍රපටයේ රඟපෑමත් සමඟ තාත්තා සමඟ විවාහ වුණා. ඊට පසුව රඟපෑමෙන් අයින් වුණා. ඒත් තාත්තා චිත්‍රපට නිෂ්පාදනයෙන් මෙන්ම සිනමා ප්‍රචාරක පුවරු නිර්මාණයේ කටයුතුවල නියැලමින් කටයුතු කළා. පසු කලෙක ඩිජිටල් ප්‍රින්ටින් ආගමනයත් සමඟ කටවුට් කලාවට කණකොකා හැඬුවා. තාත්තා තව තවත් සිනමාවෙන් දුරස් වෙන්න මේ ඩිජිටල් ප්‍රින්ටින් බලපෑවා. ඔය වෙන කොට තාත්තා වටා සිටි චිත්‍රපට නිෂ්පාදකයෝ අධ්‍යක්ෂවරු ටික ටික දුරස් වුණා. තාත්තා ගෙදරට සීමා වුණා. අවසන් භාගයේදී තාත්තා උන්නාද කියලවත් එදා එයත් එක්ක එකට හිටිය අයට අමතක වුණා. කොච්චර ද කියනවා නම් ඒ අමතක කිරීම තාත්තාගේ මලගෙදරටවත් ගොඩක් අය ආවේ නැහැ. ඒකයි සැබෑ තත්ත්වය. එක යුගයක සුපිරි තරුවක් වගේම කටවුට් කලාවේ පතාක යෝධයෙක් වගේ පුරුෂයෙක් කලා ක්ෂේත්‍රයෙන් සමු ගත්තේ ඔය වගේ කලා ක්ෂේත්‍රයේ වට පිටාවක් සමඟ.

දැන් තාත්තා මිය ගොසින් සෑහෙන කලක් ගත වෙලා. අදහස් කළේ නැද්ද තාත්තා ගැන මතකය අවධි කරන්නත් එක්ක ගුණානුස්මරණයක් සංවිධානය කරන්න?

තාත්තා නැති වුණාට පස්සේ එල්ෆින්ස්ටන් එකේ ටවර් රඟහලේ ගුණානුස්මරණ උත්සව කීපයක් සංවිධානය කළා. එදා ඒ සඳහා මූලික වූයේ අප අතරින් වියෝ වූ ටී. එම්. සංඝදාස මහත්තයා. අදටත් තාත්තාගෙන් හැදී වැඩුණු ගෝලයෝ මට යෝජනා කරනවා තාත්තා වෙනුවෙන් අලුත් දෙයක් කරමු කියලා.

එදා ප්‍රේම් ජයන්ත් ලංකාවේ අංක එකේ නළුවෙක්. ඒ හද බැඳගත් නළුවාට පසු කලෙක රසිකයන්ගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

මගේ තාත්තාගේ රැලි කොණ්ඩය, සිනාව, ගමන් විලාසය ඇඳුම් පැළඳුම්වලට එදා ලංකාවේ තරුණ තරුණියන් වහ වැටිලා හිටියේ. ඔවුන් තුළ තිබුණ ආදරය තාත්තා රංගනයෙන් අයින් වුණත් ඒ බැඳීම රැඳිලා තිබුණා. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ වත්තල. ඒ ගෙදරට නිතර රසිකයන්ගේ ලියුම් ආවා. පසු කලෙක අපි ඒ ගෙදර විකුණලා වෙන තැනක පදිංචියට ගිය නිසා අපේ ලිපිනයත් වෙනස් වීම නිසා ඒ තිබුණ රසික බැඳීම අඩු වෙලා ගියා.

පේ‍්‍රම්, නන්දා කලකට ඉහතදී

තාත්තා රංගනයෙන් සමු ගැනීමත් සමඟ ප්‍රසිද්ධිය පසුපස යාම ප්‍රතික්ෂේප කළේ ඇයි?

මෙච්චර ජනප්‍රිය ප්‍රසිද්ධියක් ලබා සිටි නළුවෙක් වූ මගේ පියා ඒ වගේ අදහසක ඉඳීම ගැන අපිටත් ප්‍රශ්නයක් වුණා. තාත්තා පත්තරවල ආටිකල් යනවට, එයාගේ විස්තර පළ වෙනවට එච්චර උනන්දු වුණේ නැහැ. සිනමා උළෙලකට පවා ගියේ අපේ තිබුණු බල කිරීමකට. තාත්තා ජීවත් වෙලා හිටිය කාලේ තාත්තා වෙනුවෙන් පවත්වපු උපහාර උළෙල කීපයකටම සහභාගි වුණේ අපේ තිබුණ බල කිරීමට මිසක් තාත්තාගේ හිතේ තිබුණ ආශාවකට නොවෙයි.

තාත්තා කිසිම දෙයක් හඹාගෙන ගිහින් තමන් සතු කරගන්න හැදුවේ නැහැ. එවක ජනාධිපති ප්‍රේමදාස මහත්තයා මාලිගාවත්තෙන් තාත්තාට දුන්න ගෙදර පවා නැති බැරි කෙනෙකුට ජීවත් වෙන්න දීලා තාත්තා පරිත්‍යාගයක් පවා කළා.

ප්‍රේම් ජයන්ත් චිත්‍රපට නිෂ්පාදනයටත් පිවිසෙනවා නේද?

ගාමිණී ෆොන්සේකා, ප්‍රේම් ජයන්ත්, බැප්ටිස් ප්‍රනාන්දු, ජේ. සෙල්වරත්නම් එක් වූ සෙවන් ආර්ට්ස් චිත්‍රපට සමාගම ආරම්භ කරමින් තාත්තා චිත්‍රපට නිෂ්පාදනයට එක් වෙනවා. සහනය චිත්‍රපටය කරමින් තාත්තා චිත්‍රපට නිෂ්පාදනයට එක් වෙනවා. සහනය චිත්‍රපටය තමයි එහි මුලින්ම නිෂ්පාදනය කරන චිත්‍රපටය.

ඔබත් එවක චිත්‍රපට රංගනයට එක් වූ නළුවෙක් නේද?

ඔව්. මම සබීතා චිත්‍රපටයේ රඟපාමින් තමයි සිනමාවට ආවේ. සනසන්න මා, මාල ගිරවි, රත්තරං කන්ද, චුට්ටෙ ආදී චිත්‍රපට කීපයක මම රඟපෑවා.

ඇයි නළු ජීවිතයට ආයුබෝවන් කිව්වේ?

පේ‍්‍රම්ජයන්ත්ගේ විවාහ වූ දා

මම රඟපෑවත් ඒකට එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ. මම වඩාත් ආශා කළේ තාත්තාගේ ප්‍රචාරණ කටයුතුවලට. කටවුට්, දැන්වීම්, පෝස්ටර්, බැනර් නිර්මාණයට මම වඩාත් ආශා කළ නිසා ඒ පැත්තේ හැකියාවක් මට උපතින්ම උරුම වෙලා තිබුණා.

තාත්තාගේ ප්‍රචාරන කටයුතු ව්‍යාපාරයේ ඊළඟ පුරක වුණේ ඔබ?

මම පුංචි කාලේ පටන් තාත්තාගේ ග්‍රෑන්ඩ්පාස්වල පිහිටි ප්‍රචාරන ආයතනයේ වැඩවලට එක් වුණා. චිත්‍ර අඳින්න හැකියාවක් මට උපතින්ම උරුම වෙලා තිබුණේ. ඒ හැකියාව නිසාම මම තාත්තාගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න හිතුවා. අදටත් මම ප්‍රේම් ජයන්ත් ධ්ධ්ධ් නමින් මේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා.

එදා මෙන් අදත් චිත්‍රපට කටවුට්වලට ඉල්ලුමක් තියෙනවාද?

අද මේ කර්මාන්තයේ කඩා වැටීමක් තමයි තියෙන්නේ. එදා ඉදිවුණු දැවැන්ත කටවුට් වෙනුවට අද මුහුණු එකතු වූ බැනර් එකක් නිර්මාණය වෙනවා. ඩිජිටල් ප්‍රින්ටින් ආගමනයත් සමඟ අපේ ව්‍යාපාරයට පහර වැදුණා. අදටත් මම මේ කටයුත්ත කරගෙන යන්නේ විශාල ප්‍රමාණයේ දේව රූප තිර ඇදීමෙන්. ඒ සඳහා අපිට හොඳ ඉල්ලුමක් තියනවා.

දැන් ඔබේ සහෝදර සහෝදරියෝ මොනවද කරන්නේ?

තාත්තාට දරුවෝ ඔක්කොම හත් දෙනයි. පිරිමි දරුවෝ දෙන්නයි. ගැහැනු දරුවෝ පස් දෙනයි. සුනිලා, සන්ධ්‍යා, අනූෂා, නිර්මා, ශිරෝමා, ජගත්, ජනිත් මේ හැමෝම දැන් විවාහ වෙලා දරු මල්ලොත් ඉන්නවා. ජනිත් මෝල්ඩින් කලාව ඉදිරියට කරගෙන යනවා. මම ප්‍රචාරන කලාව කරගෙන යනවා.

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

18/10, හතරවෙනි පටුමග, වීරමල් මාවත, කොහිලවත්ත, කොටිකාවත්ත ලිපිනයේ තමයි මම අද පදිංචි වෙලා ඉන්නේ. මගේ බිරිය නිල්මිණි. ඇය නම් මොනවත් කලා කටයුතුවලට සම්බන්ධ නැහැ. මට ශවීන්, ඩිනෝද් නමින් පුංචි පුතාලා දෙන්නෙක් ඉන්නවා.

ඔබ පියාගේ කලාව බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඉදිරියට කරගෙන යාමේදී මොන වගේ අභියෝගයන්ද ජයගන්න තියෙන්නේ?

මම දකින්නේ අද චිත්‍රපට නිෂ්පාදකයෝ මේ කටවුුට් කියන දේ අමතක කිරීම තමන්ගේ නිර්මාණයට කර ගන්නා පාඩුවක් කියලා. බැනර් එකක ලියන දේට වඩා කටවුට් එකක කරන්න පුළුවන් බලපෑම වැඩියි කියලයි මගේ අදහස. අද කාලේ චිත්‍රපට නිෂ්පාදකයෝ කටවුට් කියන දේ අමතක කිරීම ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට ගෙන්වා ගැනීම ගැටලුවක් වෙලා කියලයි මම හිතන්නේ. එදා සිනමා ශාලාවට යන්න ප්‍රේක්ෂකයා පොළඹවපු කටවුට් එක අදටත් ඕනේ ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට කැන්දවන්න.