වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පුංචි තරු අතර විස්මලන්තයේ ගෙවුණු රැයක්

පුංචි තරු අතර විස්මලන්තයේ ගෙවුණු රැයක්

දෙරණ ලිට්ල් ස්ටාර් පස්වැනි අදියරේ මතක සටහන්

ශ්‍රී ලාංකේය රියැලිටි ඉතිහාසයේ පුංචි දරුවන්ගේ ගායන සහ නර්තන හැකියාව මනාව විදහා දක්වන ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ 5 වැනි අදියර අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමා වුණා. සහජයෙන්ම උරුම වූ ගීත ගායන හැකියාව හා නර්තන හැකියාව නිර්මාණශීලී හා සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කළ දක්ෂතම පොඩිත්තන් අතරින් ජනප්‍රියම තරුව හා හොඳම තරුව තේරීමේ අවසාන මහා තරගය පැවැත් වූයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඉදි වූ ‘විශ්මලන්තය’ සුරංගනා වේදිකාවේදී යි. සුරංගනා ලොවක අසිරිය මවමින් පැවැත් වූ දෙරණ ලිට්ල් ස්ටාර් ප්‍රසංගයේදී ගායන අංශයේ සහ නර්තන අංශයේ වයස් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත් වුණා. වයස අවුරුදු 8 න් පහළ සහ 12 න් පහළ වශයෙන් එහිදී ඔවුන් බෙදා තිබුණා. ඒ අනුව කාණ්ඩ දෙක යටතේ ජනප්‍රියතම තරුව හා හොඳම තරුව තෝරා ගැනුණා.

අයකුට අයකු නොදෙවැනි අයුරින් තම නිර්මාණ ප්‍රසංගාත්මකව ඉදිරිපත් කළ මෙම පොඩිත්තන්ගේ එකිනෙකා අතර පැවැති සහයෝගය හා බැඳීම කාගේත් නෙත් සිත් වසඟ කරන කරුණක් වූවා. ක්ෂේත්‍රයේ සුපිරි තරු රැසක් ඉදිරියේ මේ පොඩිත්තන් තමාගේ දක්ෂතා ඉදිරිපත් කළේ හරි අපූරුවටයි.

වයස අවුරුදු අටෙන් පහළ ගායන අංශයේ දක්ෂතම ළමා ගායන ශිල්පියා ලෙස කවීෂ් ඉදුවර සම්මානනීය වන විට, එහි අනු සූරතාව හිමි කරගත්තේ, කාවින්දී සෙනාලියායි. ජනප්‍රියම තරුව ලෙස අභිෂේක ලැබුවේ ආමන්ත සත්සරයි.

වයස අවුරුදු 12 න් පහළ ගායන අංශයේ දක්ෂතම ගායන තරුව වූයේ තරිඳු දිල්ෂාන්. එහි අනු සූරතාව සතිෂ් ලක්ෂාන් දෝත දරාගත් අතර ඉරෝෂන් මධුශංක ජනප්‍රියම තරු කිරුළ පැලඳ ගත්තා.

වයස අවුරුදු අටෙන් පහළ නර්තන දක්ෂතම තරුව වූයේ සනුමි විහන්සායි. එහි අනු සූරතාව මෙන්ම ජනප්‍රියම කිරුළ දම්සිළුනී ශ්‍රීී කන්නංගර තමාගේ කර ගත්තා.

වයස දොළහෙන් පහළ නර්තන අංශයේ දක්ෂතම තරුව වූයේ ෂයිනී හිමාසායි. එහි අනු සූරතාව සචින් අරෝෂ් හිමිකර ගත්තා. ජනප්‍රියම තරුව වූයේ කෞෂල්‍ය නිර්මාණයි. අලංකාර නර්තන, ගායන අංශ රැසකින් නිම වූ මේ තරු බබළන රාත්‍රිය අපේ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ උපනෙතේ ඇඳුණු අපූරුවයි මේ.