වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




එකම රැකියාවට වැටුප් දෙකක්

එකම රැකියාවට වැටුප් දෙකක්

සරසවිය රසවත් කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකා

‘සරසවිය’ අකුරු පහ මගේ ජීවිතයට මිණි පහනක් වූ අයුරු පුදුම සහගතය. සරසවියේ සෙවණ ලබන්නට මා කැඳවාගෙන ආ ගමන ද හරිම අපූරුය. විටෙක සතුටු සයුරේ ගිලෙමින් ද විටෙක දුක්ඛ දෝමනස්සයන් විඳ දරා ගනිමින් ද මා සරසවියත් සමඟ සිටි කාලය විටෙක විශ්මය ජනකය. දරුවන් එකොළොස් දෙනකු ගෙන් යුත් පවුලක අටවෙනියා වූ මම පාසලෙන් ඉවත් වූ පසු කුමක් හෝ රැකියාවක් බලාපොරොත්තු වූයෙමි.

එවක ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වූයේ රංජිත් විජයවර්ධන මහතාය. ඔහු බොක්සිං ක්‍රීඩාවට ඇලුම් කළ අතර ඔහුගේ බොක්සිං උපදේශකවරයා ලෙස තෝරාගෙන තිබුණේ මගේ වැඩිමහල් සහෝදරයෙකි. අයියාගේ මාර්ගයෙන් මම ලේක්හවුස් ආයතනයේ රැකියාවකට සම්බන්ධ විය. ඒ 1973 වර්ෂයයි. මා පළමුව යොමු කළේ ක්‍ෂේත්‍ර පුහුණුවකටය. ඒ ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයටය. එහි ප්‍රධානියා වූයේ එල්මෝ ගුණරත්නයන්ය. මා භාර වූයේ බන්දුල මෙත්තානන්ද මහතාටය.

මේ අංශයට ලැබෙන ලිපි පත්තරයට සුදුසු අයුරින් යළි සැකසීම වෙනත් පත්තර කියවා අපේ පත්තරවල නොගිය නිවුස් සොයා ගැනීම ආදිය මේ කාලයේ මට පැවරුණු රාජකාරි විය. එඩ්වින් හා ධර්මරත්න නමින් දෙදෙනකු සිටියේ ලිපි සිංහලෙන් හා ඉංගී‍්‍රසියෙන් ටයිප් කරන්නටය. වැඩ නැතිවෙලාවට ඔවුන්ගෙන් ටයිප් රයිටරය ඉල්ලාගෙන එය පුහුණු වීමි.

පුහුණු කාලය තුළ මට රුපියල් තුන් සියයක දීමනාවක් ලැබිණි. ඊළඟ මාස කිහිපයේ දී හදිසියේම ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැණිණි. ඒ සමඟම සිදු වූ විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් මට තරුණි පුවත්පතට මාරුවක් ලැබිණ. එහි ප්‍රධාන කර්තෘවරිය වූයේ අනුල ද සිල්වාය. පුහුණු වන්නකු හැටියට එහි ද මම කටයුතු කළෙමි.

සුමනා සපරමාදු මහත්මිය තරුණි කර්තෘ ධුරයට පතවූයේ ඒ අතරය.ඇය මට පුංචි පුංචි ලිපි පත්තරයට ලිවීමේ ඉඩ කඩ විවර කළාය. ආදරයට කියන කතා මොඩ් වෙන්නේ ඇයි? ආදී මාතෘකා ඔස්සේ සතිපතා මා තරුණි පුවත්පතට කුඩා ලිපි ලිව්වේ උපාලි ග්‍රේෂන් ෆොන්සේකා නමිණි.

මේවන විට රටේ ඡායාරූප කලාවේ සුපතල නමක් දිනා සිටින ප්‍රසන්න හෙන්නායක එවක නිතර තරුණි පත්තරයට පිංතූර ලබාදීමට පැමිණියේය. එහිදී ඔහුව හඳුනා ගැනීමේ දී ඇති වූ මිත්‍රත්වය නිසාම මගේ සිතත් ඡායාරූප කලාවට ඇදී ගියේය. ඒ නිසාම ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ මහතා ගේ ඡායාරූප ඩිප්ලෝමාවද හැදෑරුවෙමි. ඒ සඳහා මම ප්‍රසන්න හෙන්නායකගෙන් පැට්රිකා කැමරාවක් මිලයට ගත්තෙමි. ඒ ඉගෙනගත් දැනුම ප්‍රායෝගිකව අත්හදා බැලීමටය.

ඒ සමඟ මට තරුණි පත්තරයට ඡායාරූප ගැනීමේ අවස්ථාව උදාවිය. ප්‍රධාන කර්තෘවරිය වූ සුමනා සපරමාදු මහත්මිය ඒ අවස්ථාව මට හිමිකර දුන්නාය. නෙළුම් විමලරත්න, සෝමාදේවී පරණයාපා, ඉඳුනිල් කහවිට, මුදිත කාරියකරවන එවක තරුණි කර්තෘ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් විය. ඒ සඳහා මා මුලින්ම පිංතූරයක් ගනු ලැබුවේ බේකරියක වැඩකරන ගැහැනු ළමුන් පිරිසකි. පත්තර පිංතූර පිළිබඳ අත්දැකීමක් නොතිබූ මම බේකරියටම ගොස් මුදිත කාරියකරවනට දුරකථන ඇමතුමක් දුන්නේ කෙබඳු පිංතූරයක් අවශ්‍යදැයි අසමිනි. 1977 මාර්තු පළමුවැනිදා මම තරුණි පත්තරයේ ස්ථිර සේවයට එක්වීමි.

සරසවිය හා තරුණි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තිබුණේ එක ළඟය. එවක සරසවිය පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා වූයේ ග්‍රැන්විල් සිල්වාය. ඒ නිසාම ග්‍රැන්විල් මහතාගෙන් ඉඳ හිට ආරාධනා ලැබුණේ සරසවියටත් පිංතූර අරන්දෙන ලෙසටය. මා එයට එකඟ වීමි.

ඡායාරූප කලාවට ආධුනිකයකු වූ මට නිතර සරසවියේ ඡායාරූප පළ වීම තරම් සතුටක් නැති තරම්ය. ඒ සඳහා මාසය අන්තිමට චෙක් පතක් ද ලැබිණි. මාගේ වැටුපට අමතරව ලැබෙන මේ මුදල නිසාම මා වඩාත් ඇලුම් කළේ සරසවියේ පිංතූර ගැනීමටය.

දිනක් හදිසියේම එවක නීති උපදේශක හා නීති අධක්‍ෂවරයා වූ ඩී. කිවු. එම්. සිරිමාන්න මහතා ගෙන් කැඳවීමක් ලැබිණි. ඒ වැටුප් දෙකක් ලබාගැනීම පිළිබඳවය.මම කාරණය පැහැදිලි කළෙමි. තමාට එහෙම පඩි දෙකක් ගන්න බැහැ. තරුණි එකේ වගේම සරසවියේත් වැඩ කරන්න. ඔහු අණ කළේය.

මම පත්තර දෙකටම ඡායාරූප ශිල්පියා වීමි. එතෙක් ගත් වැටුපට වඩා වැඩි වැටුපක් ද සමඟ ඡායාරූප ශිල්පියකු ලෙස පත්වීමක් ද මුල්වරට ලැබිණි. ග්‍රැන්විල් මහතා ප්‍රධාන කර්තෘ වූ අතර ඒ. ඩී. රංජිත් කුමාර, සුසිල් ගුණරත්න, කැමිලස් පෙරේරා, ලතා බොතේජු, සුනිල් හොරේෂස්, විවේකා සමරසිංහ, ආරියරත්න පෙරේරා ආදීන් ඒ වනවිට සරසවියේ සෙසු සාමාජිකයන් වූහ. ඡායාරූප ශිල්පියකු වුවද මා තරුණි පුවත්පතේ කළ සියල්ල ඒ අයුරින්ම සරසවියට ද ඉටුකර දුන්නෙමි.

සුමනා සපරමාදු මහත්මියගේ ඉල්ලීමට හා ග්‍රැන්විල් මහතාගේ උපදේශකත්වය නිසාම පාලන අධිකාරිය මාව විශේෂ වැටුපක පිහිටු වූයේය. තරුණි පත්තරයේ සිටියද වැඩිපුරම මා ඡායාරූප ගනු ලැබුවේ සරසවියටය. ඇතුල් පිටුවල පළ වූ පිංතූර කතා, සුනිල් හොරේෂස් ලියනු ලැබූ නවක නළු නිළියන් පිළිබඳ පායන තරු විශේෂාංගය සඳහා ද මා පිංතූර වැඩිපුර ගනු ලැබීය. තිරයට පායන නවක පිරිස සේම තිරයේ බැබළෙමින් සිටි පිරිස් ද මා හට හඳුනා ගැනීමට ලැබුණේ ඔවුන්ගේ පිංතූර ගැනීමට යාම නිසාමය. නළු නිළියන් හා ගායක ගායිකවන් අතර ගොඩ නැගුණේ දැඩි මිත්‍රත්වයකි.

සරසවිය පත්තරයේ අසිරිමත් කලා මංගල්‍යය වූයේ සරසවිය සම්මාන උළෙලයි. සිනමා රසිකයන් ගේත් සරසවිය පාඨකයන් ගේත් අසිරිමත් කලා උළෙලක් වූ මෙය නැරඹීමට කවුරු තුළත් ඇත්තේ නොයිවසිලිමත් බවකි. ඒ කාලයේ ප්‍රවේශ පත්‍ර ඉල්ලන අය නිසා අපට මහමග බැස යාමටත් බැරි තරම්ය. සම්මාන උළෙලේ චිත්‍රපට ප්‍රදර්ශනය වන කාලයේ කොළඹ රීගල් සිනමා ශාලාවට එක්වන සෙනඟ කන්දරාව පාලනය කිරීමට පොලිසිය පවා කැඳවීය. නළු නිළියන් දැකගන්නට ඔවුන් සමඟ කතා කරන්නට සිනමා ශාලාවේ යකඩ ගේට්ටු කඩා දමන්න තරම් සෙනඟ පොදි කන අවස්ථා චිත්‍රපට සතිය පුරා සුලබ දසුනක් විය.

නළු නිළියන් අතර සිටින අවස්ථාවල දී රසිකයෝ මට ද සමරු පොත් දිගු කළහ. අපටත් නළු නිළියන් ඇසුරු කරන්නට ලැබීම නිසා සමහර රසිකයෝ සිතනුයේ අපි හරි වාසනාවන්ත පිරිසක් ලෙස කියාය. තරු අතර අපි ද පෙනී නොපෙනී යන පුංචි තරු වීම ගැන විටෙක මා සිතින් සතුටු වීමි.

සරසවිය සම්මාන උළෙල ඉතිහාසයේ වැඩිම සම්මාන උළෙල ප්‍රමාණයක් ඡායාරූප ගත කළ එකම පුද්ගලයා වීමේ සුවිශේෂී වරමද මට උදාවිය. සම්මාන උළෙල දහසයක් මම ඡායාරූප ගත කළෙමි. මෙවැනි උළෙලක් කිසිවිටෙක තනිව ඡායාරූප ගත කළ නොහැකිය. ඒ සඳහා සහෝදර ඡායාරූප ශිල්පීන් සතර දෙනෙක් පමණ යොදා ගැණිණි. එහෙත් නළු නිළියන් වැඩියෙන්ම කැමැත්තක් දැක්වූයේ මා ලවා ඡායාරූප ගැනීමටය. ඒ නිසා මාහට නළු නිළියන්ගෙන් වැඩි ඉල්ලුමක් තිබුණි. මෙයට වැඩිපුර හේතු වූයේ ඔවුන් මා පුද්ගලිකව හඳුනා ගෙන තිබීමත් මා පිංතූරයක් ගතහොත් එය සරසවියේ පළ වන බව ඔවුන් තුළ විශ්වාසයක් තිබූ හෙයිනුත්ය.

සරසවිය සම්මාන උළෙල යනු අපේ දෙයක් මගේ දෙයක් කියා මම හැම විටම විශ්වාස කළෙමි. ඒ නිසාම ඒ අවදියේ ලේක්හවුස් ආයතනය තුළ වර්ණ රසායනාගාරයක් නොවිණි. එහි දී වෘත්තීය මට්ටමෙන් ඔබ්බට ගොස් පෞද්ගලික හිතවත් කම් මත සම්මාන උළෙල පවත්වන රාත්‍රියේම ඡායාරූප මුද්‍රණය කර ගතිමි.

ඒ සඳහා අමිල ෆොටෝ අධිපති මුනිදාස ගුණසිංහ මහතාගේ අනුග්‍රහයෙන් එහි කළමනාකරු නිහාල් හා මැක්සි මට බෙහෙවින් උදවු කළහ.

ග්‍රැන්විල් සිල්වා මහතා සරසවිය මුල්පුටුවෙන් සමු ගත්තාට පසු සරසවියෙන් මට ඡායාරූප අංශයට මාරුවක් ලැබිණි. එතැන් පටන් මට සරසවිය හැරුණු කොට වෙනත් ලේක්හවුස් පත්තර සඳහාද පිංතූර ගැනීමට භාරවිණි. මේ සිද්ධි සිදු වූයේ ග්‍රැන්විල් සිල්වා සරසවිය කර්තෘ ලෙස කටයුතු කරන සමයේය. මා පදිංචිව සිටියේ මොරටුව සොයිසා මහල් නිවාසවලය. ඒ ආසන්නයේම එවක ඡායාරූප අංශයේ කර්තෘවරයා ද පදිංචිව සිටියේය. ඔහු අංශයේ ප්‍රධානියා වුවද කිසිදු නළු නිළියක, ගායක ගායිකාවක ඔහු නොහඳුණන හෙයින් මා සමඟ අමනාපයක් තිබිණ.

එමෙන්ම මට පෞද්ගලිකව වාහනයක් තිබුණ ද ඔහුට එවැන්නක් නොතිබීමත් නිසා හිත යටින් ඊර්ෂ්‍යාවක් හටගෙන තිබිණි. වරක් සරසවිය සිනමා සතියක් සඳහා ඔහු එතැනින් මා ඉවත් කොට ඡායාරූප ශිල්පීන් හත්දෙනකු දින හත සඳහා යොදවනු ලැබිණ. එක් දිනක චිත්‍රපට සතියේ ගත් පිංතූරයක් වැරදි ලෙස නම් සටහන් වී ඩේලි නිවුස් පත්තරයේ පළ විය. නළු නිළියන්ගෙන් එවක සභාපති තුමන්ට දෝෂාරෝපන ගලා එන්නට විය.

මේ පිළිබඳ සරසවිය කර්තෘ තුමන් වූ ග්‍රැන්විල් සිල්වාගෙන් විමසීමේදී මාව වෙනුවට නළු නිළියන් පිලිබඳ නොදන්නා අයව පිංතූර ගැනීම සඳහා යොදා තිබීම ගැන ඔහු සභාපති තුමන්ට කරුණු දැක්වීය. එවක බෙදාහැරීම් කළමනාකරු හා ප්‍රචාරක නිලධාරියා වූ ෂෙල්ටන් ධර්මරත්න ද මට කර තිබෙන අසාධාරණය ගැන සභාපතිතුමන්ට කරුණු පැහැදිලි කළේය. ඒ සමඟම යළි සරසවිය සම්මාන උළෙලේ වැඩ කටයුතු අවසන්වන තුරු සියලු ඡායාරූප ගැනීම් මට භාර විය.