වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




‘දරු සෙනෙහස’ 21 දා ලුම්බිණියට

‘දරු සෙනෙහස’ 21 දා ලුම්බිණියට

සරත් විජේසිංහගේ ‘දරු සෙනෙහස’ වේදිකා නාට්‍යය මෙම මස 21 වැනිදා සවස කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ. අතුලසෝම ආටිගල, රෝසි ප්‍රනාන්දු, සුනෙත් මැල්සිරිපුර, නීලා ධම්මිකා, ගුණරත්න කොන්දසිංහ, සුදත් විජේසේකර සහ සුනිල් අලහකෝන් රංගනයෙන් මේ සඳහා දායක වෙති.

දරු සෙනෙහස අනිල් කුමාරගේ ඉදිරිපත් කිරීමකි.

රාස්ස සහ පරාස්ස හෙට ලුම්බිණියේ

රෝහණ දන්දෙණිය රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘රාස්ස සහ පරාස්ස’ වේදිකා නාට්‍යය හෙට (22) කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිතය.

ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, රිචඩ් මානමුදලි, මාදනී මල්වත්තගේ, ජයනාත් බණ්ඩාර, දිමුතු චින්තක, ජයන්ත ප්‍රේමදාස, ප්‍රදීප් ඇරෑගම, සමන්ත පරණලියනගේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. - යතේජා

නිර්මලි වික්‍රමනායකගේ චිත්‍ර දැක්ම 23 දා

දිලීපා නිර්මාලි වික්‍රමනායකගේ චිත්‍ර ප්‍රදර්ශනය ලබන 23 වැනිදා රාජගිරිය රෝයල් පාර්ක් ආලින්දයේදී පැවැත්වේ. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට නියමිතය.

තිස්ස ගේ හාංකවිසියක් 28 එළි දකී

යොවුන් පරපුරේ කිවියෙකු වන තිස්ස විමලධීර විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය ‘හාංකවිසියක්’ පෙබරවාරි 28 වැනිදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දොරට වඩියි.

සම්මානලාභී ගත්කතුවර පූජ්‍ය බටුවන්දර රාහුල හිමි, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහ ඇතුළු ගිහි පැවිදි විද්වතුන් මෙහිදී දේශන පැවැත්වීමට නියමිතය.

’අකලට පරවුන මලක්’ ළඟදිම වේදිකාවට...

මාධ්‍යවේදියකු හා නිර්මාණශීලී ඡායාරූප ශිල්පියකු වන ජයලත් සේනානායක කතාව ලියා, ඔහුම අධ්‍යක්‍ෂණය කරන පළමු වේදිකා නාට්‍ය නිර්මාණය ‘අකලට පරවුන මලක්’ හි පුහුණුවීම් මේ දිනවල සිදුකෙරේ.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් අකාලයේ විනාශවන තරුණ ජීවිතවල ඛේදවාචකය පිළිබඳ කියැවෙන මෙහි ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයට එක්වන අතර රඟපාන්නට කැමැති නව පරපුරේ කිහිප දෙනකුට අවස්ථාවක් ලබා දීමට ද ඔහු බලාපොරොත්තුවෙන් සිටී.

‘පුංචි අපිත් බය නැහැ දැන්’ රූගැන්වී අවසන්

සහාය අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරගේ පළමුවරට අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘පුංචි අපිත් බය නැහැ දැන්’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා නිම විය. ළමා චිත්‍රපටයක් වන මෙය ගමකට පැමිණෙන ග්‍රීස් යකකු සහ ළමුන් පස් දෙනෙකු වටා ගෙතුණු කතා පුවතකි.

සන්දීප් සන්රාජ් සහ රෝසි මැනුවෙල් නිෂ්පාදනය කරනු ලබන පුංචි අපිත් බය නැහැ දැන් සඳහා ගිරිරාජ් කෞශල්‍ය, මහින්ද පතිරගේ, රජිත හිරාන් චාමිකර (පිං පොං), සුසන්තා චන්ද්‍රමාලි, මිලින්ද පෙරේරා, නිල්මිණි බුවනෙක, වසන්ත කුමාරසිරි, තිස්ස බණ්ඩාරනායක, කැලුම් නිරෝෂන්, රන්ජන් ගලගෙදර, සන්දීප් සන්රාජ්, ප්‍රියංකර ජනක කුමාර, රසංගිකා අබේරත්න, සුනෙත් මැල්සිරිපුර, රෝසි ප්‍රනාන්දු, ප්‍රියන්ති මංගලිකා, සිසිර රණසිංහ, ලලිත් නවරත්න, ගාමිණී සිසිල්, නදී හර්ෂණී, දිනූෂා ලක්මාලි සමඟ ළමා නළුවන් වන සචින් චතුරංග, දිල්කි නෙත්මිණි, සන්තුෂ් දිල්හාර, ඉෂානි විදුරංගනා, නිමිදු චමල්, නිමේන් වික්‍රමරත්න, චන්දිප වාසල යන පිරිස රංගනයේ යෙදෙති.

රන්ජන් ගලගෙදර සහ අයි ඩී ඕ මව්ලානා සහාය නිෂ්පාදකවරුන්ය. එස්. සුබසිංහගේ නිෂ්පාදන විධායකයකි. ගාමිණී චමින්ද කැමරා අධ්‍යක්ෂවරයාය. රන්දික විජේමාන්න සංස්කරණයෙන් ද, විජයසිරි මල්ලිකාරච්චි තිර රචනයෙන් ද, ඩබ්ලිව්. රවීන්ද්‍ර සහාය අධ්‍යක්ෂණයෙන් ද, සුමති කුඩලිගම කලා අධ්‍යක්ෂණයෙන් ද, ලස්සන ජයසේකර සංගීත අධ්‍යක්ෂණයෙන් ද සහාය ලබා දී ඇත. හෙන්රි ප්‍රේමරත්නගේ අංග රචනයකි. පුබුදු රණසිංහ නිෂ්පාදන කළමනාකරුය.