වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දින සමරු පින්කම

ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දින සමරු පින්කම

ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 127 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් යෙදෙන පිංකම මෙම මස 22 සහ 23 යන දෙදිනයන්හි ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙයි.

වෙසුල් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය

ඔබ නැතුව ඔබ එක්ක නෙට්පැක් සම්මානයත් ප්‍රසන්නටයි

ප්‍රංශයේ වෙසුල් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි ‘රන් පා පැදිය’ (Golden Cyclo) සම්මානය ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය දිනා ගත්තේය. මේ සම්මානය මෙවර හිමි වූයේ කොරියාවේ ‘ජෙසූයීල්’ චිත්‍රපටය සමඟ සම සම්මානයක් ලෙසය.

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සඳහා නෙට්පැක් ජූරියේ හොඳම ආසියානු චිත්‍රපටය උදෙසා පිරිනැමෙන ‘නෙට්පැක් සම්මානය’ ද ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයට හිමි විය.

මෙවර වෙසුල් ජූරිය ඉන්දුනීසියානු ජාතික අධක්‍ෂවරයකු සහ ලේඛකයකු වන ගැරින් නුග්රෝහෝ ගේ ප්‍රධානත්වයෙන් යුතු වූ අතර ජූරි සභාව ගෞතම් ගෝෂ් (ඉන්දියාව), සෑම් හෝ (හොංකොං), බරාන් කොසාරි (ඉරානය) ගෙන් සමන්විත විය. සිද්ධික් බැරමක් (ඇෆ්ගනිස්ථානය), මාරා මාටා (ඉතාලිය) සහ කැවිච් නේන්ග් (කාම්බෝජය) නෙට්පැක් ජූරිය නියෝජනය කළහ.

සම්මාන ලාභී ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය ලබන අප්‍රේල් මස 05 වැනි දා ප්‍රංශයේ පැරිස් නුවර එම්ලි ගිමේ කෞතුකාගාරයේ දී තිරගත කිරීමට නියමිතය.

ඉන්දීය නිළි අංජලී පාටිල් සමඟ ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ රඟන මෙහි කැමරා අධ්‍යක්ෂණය එම්. ඩී. මහින්දපාලගෙනි. ශ්‍රීකර් ප්‍රසාද් ගේ සංස්කරණයකි. ලක්ෂ්මන් ජෝසප් ද සේරම්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. ඊබට් විජේසිංහ අංග රචනයෙන් ද, රොබි නේවිස් කලා අධ්‍යක්ෂණයෙන් ද, කල්ප ආරියවංශ සහ වින්දන ආරියවංශ රේඛීය නිෂ්පාදනයෙන් ද, ඉරන්ති අබේසිංහ, සුනිල් ෆොන්සේකා නදීරා ඇඩම් අලි විධායක නිෂ්පාදනයෙන් ද මේ සඳහා එක්ව ඇත. මෙරටින් ලසන්ත නවරත්න සහ මොහොමඩ් ඇඩම් අලී, ඉන්දියාවෙන් රාහුල් රෝයි නිෂ්පාදනය කොට ඇත. මෙය ප්‍රසන්න විතානගේ ගේ පිටපතකි.

ලාංකේය සිනමා ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් 24 දා එළි දකියි

ඈෂ්ලි රත්නවිභූෂණ සහ එම්. එල්. එම්. මන්සූර් විසින් රචිත අර්ලි ශ්‍රී ලන්කන් සිනමා ඇන්ඩ් ඉට්ස් ඇසෝසියේෂන් විත් ද සවුත් ඉන්දියන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි ග්‍රන්ථය මෙම මස 24 වැනිදා එනම් එන ඉරු දින සවස 5.30 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ ශ්‍රවණාගාරයේදී එළි දැක්වෙයි.

මේ අවස්ථාව සඳහා නෙට් පැක් ජූරියේ ගරු සභාපති ආචාර්ය අරුණා වාසුදේව් සහ ගරු ලේකම් වොන්ග් ටක් චෙන්ග් ප්‍රධාන අමුත්තන් වශයෙන් සහභාගිවීමට නියමිතය. මෙම උත්සවය අවසානයේදී ෂාජි එන්. කරුන්ගේ කුට්ටි ස්රන්ක් මලයාලම් චිත්‍රපටය තිරගත වනු ඇත. මෙම ග්‍රන්ථය ආසියානු සිනමා ප්‍රවර්ධන ජාලයේ (නෙට්පැක්) සහ ආසියානු සිනමා කේන්ද්‍රයේ (ඒ එෆ් සී) ප්‍රකාශනයකි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම වාර්තා පොත අලුත් කරයි

දිනක් තුළ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරැඹූ හා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ලෙස ඉදිරියට

සමන් වීරමන්ගේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා කෘතිය මේ වන විට ආදායම් වාර්තා කිහිපයක්ම තබා ඇති බව ඊ. ඒ. පී. ෆිල්ම්ස් ආයතනයේ මෙහෙයුම් විධායක ජයරත්න ගලගෙදර පවසයි. තිරගත වූ දා සිට දින 24 ක් තුළදී එය ඉපයූ ආදායම ලක්ෂ 722 කි. එය චිත්‍රපටයක් තිරගත කොට කෙටි කලක් තුළදී ලැබූ වැඩිම ආදායම වේ. මීට ප්‍රථම චිත්‍රපටයක් දිනක් තුළ ඉපයූ වැඩිම ආදායම ලක්ෂ 56 කි. ලක්ෂ 62 ක් උපයමින් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය එම වාර්තාව ද අලුත් කරන ලදී.

එමෙන්ම චිත්‍රපටයක් දිනක් තුළ නැරැඹූ වැඩිම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකට හිමි වාර්තාව ද අලුත් කිරීමට මෙම චිත්‍රපටය සමත් වූ බව ගලගෙදර වැඩිදුරටත් දන්වා සිටියි. ඒ අනුව දිනකදී 44840 ක් ප්‍රේක්ෂකයන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නරඹා ඇත. දැනට මෙය ප්‍රේක්ෂකයින් 486161 ක් නරඹා ඇති යැයි ගලගෙදර වැඩිදුරටත් ‘සරසවිය’ට දන්වා සිටියි.

නිහාල්සිංහ : පුරෝගාමී තෙවන ඇස දොරට වැඩිය දා ඉහළම අලෙවි වාර්තාවක්

මාධ්‍යවේදී නුවන් නයනජිත් කුමාර විසින් රචිත ‘නිහාල්සිංහ : පුරෝගාමී තෙවන ඇස’ කෘතිය පසුගිය 12 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දොරට වැඩිණි. කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම කෘතිය එළිදැක්වූ එම අවස්ථාවේ දී මෙරට සිනමා කෘති ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙම කෘතිය ඉහළම අලෙවියක් වාර්තා කළ බව ෆාස්ට් පබ්ලිකේෂන්ස් ආයතනය සඳහන් කරයි.

සුසාන් ප්‍රනාන්දු මිය යයි

චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම රංගන ශිල්පියකු වූ සුසාන් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය. මිය යනවිට පණස් දෙහැවරදි වියෙහි පසු වූ ඔහු නගරං, බඹර සැනකෙලි, උකුසු ඇස්, ස්වීට් ඒන්ජල් ඇතුළු චිත්‍රපට කිහිපයක් ද ටෙලි නාට්‍ය කිහිපයක් ද නිපද වූයේය. විකාශය වීමට නියමිත ‘හිතන්න පොඩ්ඩක්’ ටෙලි නාට්‍යය ද ඔහුගේ නිෂ්පාදනයකි.

නිර්සත්වයෝ රූපවාහිනියට එයි

එකට ගැටුම, ඉසුරුයෝගය වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ටී. ජී. සුසිරන් ද සිල්වාගේ නවතම ටෙලි නාට්‍ය වන නිර්සත්වයෝ මෙම මස 24 ඉරිදා සිිට සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට ජාතික නාලිකාවේ විකාශය ඇරැඹේ. කොටස් 32 කින් යුතු ටෙලි නාට්‍යයක් වන මෙය ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදනයකි.

ජයලාල් රෝහණ, අමිත්ත වීරසිංහ, දුලීකා මාරපන, රොෂාන් පිලපිටිය, වසන්ත කුමාරසිරි, විශ්ව කොඩිකාර, දයා අල්විස්, දිමුතු චින්තක, සංජීවනී වීරසිංහ, මනෝහාරි විමලතුංග, ප්‍රතිභා හෙට්ටිආරච්චි මෙහි රංගනයේ යෙදෙති.

අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද සුසිරන්ගෙනි. රංජිත් ජයන්තගේ කැමරාකරණයකි. ප්‍රියන්ත විජේසූරිය සංස්කරණයෙන් එක් වෙයි. ආනන්ද ගමගේ සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රගීත් රත්නායකගේ කලා අධ්‍යක්ෂණයක් වේ. චමින්ද හේවාසිංහ අංග රචනා ශිල්පියාය. චමින්ද හේවාවසම් නිර්සත්වයෝ සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.

‘ෆැමලි බොන්ඩ්’ 22 තරංගනී ශාලාවේදී

ඉරාන සිනමා කෘතියක් වූ නදීර් මොහඩාස්ගේ ෆැමලි බොන්ඩ් මෙම මස 22 වැනිදා සවස 6.30 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය වේ. මෙම අවස්ථාව සඳහා ඉරාන තානාපති ආචාර්ය මොහොමඩ් නබිහසනිපොර් සහභාගි වනු ඇත.

මෙම චිත්‍රපට දැක්ම ඉරාන තානාපති කාර්යාලයේ සහ සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවිධානයකි.