වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ රටේ රංගනයට වැලිකතර පාඩමක්

අපේ රටේ රංගනයට වැලිකතර පාඩමක්

තමන්ට නොලැබුණු හොඳම චරිත හතක් ගැන මහේන්ද්‍ර පෙරේරා කියයි

තමන්ට නොලැබුණු තමන් කැමැතිම චරිත ගැන අද කතා කරන්නේ සුවිශේෂ රංගන තරුවක්. විවිධාකාර වූ චරිත රැසක් සමඟින් පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් ඔබ හමුවට පැමිණි ඔහු මහේන්ද්‍ර පෙරේරා. මේ ඔහුගේ කැමැත්තයි.

”සිනමා ජීවිතයේ මම නැරඹූ චිත්‍රපට අතුරින් ‘වැලිකතර’ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම මහතා සහ ගාමිණී ෆොන්සේකා මහතා කළ රංගනයන් සුවිශේෂී ආකාරයෙන් මතකයේ රැඳී තියෙනවා. මේ දෙදෙනාම චරිත දෙක සමබරව නිර්මාණය පුරාවට රැගෙන ගිය ආකාරය විශේෂිතයි. ජෝ මහත්තයා විකට චරිත නිරූපණය කරමින් කළ රංගනය තුළ වැලිකතරේ ගෝරිං මුදලාලි ලෙස කළ නිරූපණය එතුමාගේ රංගන ජීවිතයේ වෙනසක් ලෙසත් මේ තුළින් නිර්මාණයට ද විශාල ආලෝකයක් ගෙන එන්නට සමත් වූ බවකුත් මම දකිනවා. ඒ වගේම ගාමිණී ෆොන්සේකා පවා ඒ පොලිස් නිලධාරියාගේ චරිතය තුළ ඉතා සියුම් තැන්වලට ගිහින් තියෙනවා. අපේ රටේ රංගනය අධ්‍යයනය කරන අයට, රඟපෑම සොයා යන අයට වැලිකතර චිත්‍රපටය පාඩම් පොතක් කියලා කියන්න කැමතියි.

ඒ වගේමයි තිස්ස අබේසේකරයන් පිටපත තුළ චරිත ගොඩනැගූ ආකාරය විශේෂයි. එහි දී ජෝ - ගාමිණී ගේ මේ චරිත දෙකෙන් කුමන චරිතය ප්‍රබල ද කියන්න බැරි තරම් විශිෂ්ට ලෙස රංගනයේ යෙදුණා. ගෝරිං මුදලාලි ගේ චරිතයේ දෙබස් ජෝ අබේවික්‍රම මහතා එය චරිතයට අදාළ වන ආකාරයෙන් කළ උච්ඡාරණය ගොඩක් සුවිශේෂයි. ඒ වගේම ගාමිණී ෆොන්සේකා මහතා පෞරුෂය සමඟ දෙබස් තම චරිතයට අදාළ ලෙස සියුම් තැන්හිදී කළ හැඟීම් ප්‍රකාශනය ඉතාම වැදගත්. මේ චරිත දෙකටම මැදි වූ සුවිනීතා වීරසිංහ මේ චරිත දෙකෙන්ම දැනෙන කතාව තුළ දැනෙන කම්පනය භාව ප්‍රකාශනයන් හොඳින් නිරූපණය කළ ආකාරයත් විශේෂිතයි.

ඒ වගේම ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ මාලන් බ්‍රැන්ඩෝ ගේ රංගනයත් ලෝකයේ ප්‍රබල රංගනයක් ලෙස මම දකිනවා. එතැන දී චරිතය ආරම්භයේ සිටම අවසානය දක්වාම හැසිරීම් රටාව, දෙබස් උච්ඡාරණ ශෛලිය වගේම දරුණුකම ආදිය ගොඩක් වැදගත්. මේ හැකියාවන් සියල්ල ඔහු ඒ චරිතය තුළින් පිට කළ ආකාරය වගේම එය පවත්වාගෙන යාමත් අධ්‍යයනය කළ යුතු කාරණාවක්. ඒ වගේමයි දර්ශනයෙන් දර්ශනයට පෞරුෂය රැක ගන්නා ආකාරයත් මගේ සිත ගත්තා. වචනවලට එහා ගිය සියුම් හැඟීම් සමුදායක් සමඟින් චරිත නිරූපණය මෙහිදී මම විශේෂයෙන් දැක්කා. මෙහිදී මම අධ්‍යයනය කළේ කෙතරම් පහසුවෙන් ඔහු මේ චරිත නිර්මාණය කරනවාද යන්නයි.

තවද නිධානය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සිය චරිතය තුළ රිද්මයානුකූලව රංගනයේ යෙදෙනු දුටුවා. විලී අබේනායක නම් වූ ඒ චරිතයේ ආරම්භයේ සිට අවසානය දක්වා පවත්වා ගෙන ආ පෞරුෂය තමයි මගේ හිත ගන්නේ. අතිශයෝක්තියකින් තොරව සජීවී නිරූපණය තමයි එහිදී ඔහු තුළින් මා දුටුවේ. තුන්මං හන්දිය චිත්‍රපටයේ අබිලිං නම් අව්‍යාජ ගැමියාගේ චරිතයටත් මගේ සිත තුළ විශේෂ තැනක් හිමි වෙනවා. එහිදී ජෝ අබේවික්‍රම නම් රංගධරයා ආවේගාත්මක අවස්ථාවලට මුහුණ දුන් ආකාරය යි වැදගත් වුණේ.

ඇත්තටම එය පුදුමාකාරයි. ගැමි පරිසරයේ සුවඳ හොඳින් හඳුනන අයෙක් වූ නිසා වෙන්න ඇති අබිලිං නම් වූ එම චරිතය මා සජීවී ලෙස දුටුවේ. ඒ වගේම ප්‍රසන්න විතානගේ ගේ පුරහඳ කළුවර චිත්‍රපටයේ ජෝ මහත්තයා සමඟ රංගනය සඳහා ලැබුණ අවස්ථාව මගේ රංගන ජීවිතයේ ලද සුවිශේෂී අවස්ථාවක් එහිදී ඔහු හැම තත්ත්පරයකම සියුම් ලෙස භව ප්‍රකාශ පවත්වා ගැනීම පුදුමාකාරයි. ඇත්තටම දෑස නොපෙනෙන අයකුට බලෙන් පෙන්වන්න බැහැනේ. ඒ වෙනුවෙන් ජෝ මහතතයා කළ රංගනය මගේ රංගන ජීවිතයේ දුටු සුවිශේෂ රංගනයක්.

චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා කළ රංගනයත් මගේ හිතට විශේෂයෙන් දැණුනා. ඒ චරිතය පසු කාලීනව චිත්‍රපටවල පෙනී සිටි කාඩ්බෝඩ් චණ්ඩින්ට කදිම පාඩමක්. ඒ වගේමයි ඔහු පරසතුමල් චිත්‍රපටයේ බොනී මහත්තයාගේ චරිතයෙනුත් වෙනමම දඩබ්බර කමක් සමඟ තමයි පෙන්වන්නේ. මේ චරිත දෙක තුළ මම ලොකු වෙනසක් දකිනවා. ඒ වෙනස තමයි අපි හඳුනාගත යුත්තේ. මා ප්‍රිය කළ චරිත අතර සජීවී ලෙස දුටු තවත් එක් චරිතයක් තමයි පවුරු වළලු චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ චරිතය. කලා අධ්‍යක්‍ෂ ලෙස මටත් එම චරිතය අධ්‍යක්‍ෂණයට හසු වූ අවස්ථාව දැක ගන්නට ලැබුණා. එහිදී දිගින් දිගටම කතා කරමින් ඇය ඇගේ පුහුණුව අත්දැකීම් තුළින් සජීවී චරිතයක් ගොඩනැංවූ ආකාරය මම එහිදී දුටුවා.

විශේෂයෙන් කියන්නට ඕනි මේ සියලු දෙනා තවත් කිසිවකුට අත තියන්න බැරි අයුරින් චරිත නිරූපණය කරලා තියෙනවා. රඟපාන්න තියෙන ආශාවට මම නම් මේ හැම චරිතයක්ම භාර ගනියි. මේ චරිත තුළින් මම අධ්‍යයනයට ගන්නේ කෙතරම් සියුම් ආකාරයෙන් සමස්ත නිර්මාණයටම ඔවුන් කෙතරම් සාධාරණයක් ඉටු කරලා තියෙනවාද කියන එකයි. මම හැම විටම බැලුවේ මේ චරිත තුළින් ඉස්මතු වූ සජීවී බවයි. ඒ වගේමයි දැඩි අවංකකම ගැනත් විශේෂයෙන් අධ්‍යයනය කළා.

රංගන ශිල්පයෙක් වගේම සිනමාවට දැඩි ඇල්මක් දක්වන ප්‍රේක්‍ෂයෙක් ලෙසත් සිත් ගත් දෙස් විදෙස් සිනමා චරිත නම් ගොඩක් තියෙනවා. රංගන ශිල්පියෙක් ලෙස ඒවා අනුකරණය කිරීම නොව අධ්‍යයනය කිරීමයි වැදගත්. ස්ටැනිස්ලවුස්කි කී පරිදි කෙසේ හෝ වේවා එය සත්‍යයක් ලෙස පිළිගත් විදියට රංගනයේ යෙදිය යුතුයි කියන දේ තමයි මම හැමවිටම සිතන්නේ.