වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




එකම  ගීතයකින් ජනප්‍රියව නොකියාම ගිය ඩොරින්

එකම  ගීතයකින් ජනප්‍රියව නොකියාම ගිය ඩොරින්

‘අයියාට මේ රජගේ මල්ලි හදාලා’ ගීතය ගැයූ ගායිකාව

අයියාට මේ රජගේ මල්ලි හදාලා

ඔබෙ මල්ලි හදාලා

රජගේ වත් නැත මේ ලස්සනට තියාලා

නිවිහැල්ලේ සැනසිල්ලේ ඉන්න හොඳේ

කරදර නැතුව පාඩුවේ//

අතීතය වර්තමානයේ ද එක ලෙසින් කාගේත් සිත් සතන් තුළ පිළිරැව් දුන් 1959 දශකයේ සිනමාවට නැං වූ පුරුෂරත්නය චිත්‍රපටයේ ‘අයියාට මේ රජගේ මල්ලි හදාලා - පොඩි මල්ලි හාදාලා’ යන ගීතය එල්. ඒ. ඩී. ජෙනට් ඩොරින් නොහොත් සිනමාවේ බේබි ඩොරින් කලාකාරිනිය විසින් ගායනා කළාය.

එම ගීතය අප මුවින් මිමිණෙන්නේ නිරායාසයෙනි. එම ගීතය මුල් වරට ඇසූදා පටන් මිය යන තුරුම අප හදවතේ කොතැනක හෝ ඒ මිහිරි නම පිළිබඳ මතකය නිදන්ව ඇති නිසාය.

බේබි ඩොරින් නාමය ගීත කලා ලොවේත් සිංහල සිනමා ඉතිහාසයෙත් එක්තරා පරිච්ඡේදයක ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැඟි නාමයකි.

කලා දිවියට උරුමකම් කියූ පෙළපතකින් උපන් ඇය කඳාන, ගාලු ශ්‍රී මාවතේ මුල් ගම් බිම් වූවාය. සිප්සතර හදාරමින් සිටි 13 – 14 කුඩා අවදියේදී බේබි ඩොරින් නම් ඇය රම්‍යලතා චිත්‍රපටයේ රම්‍යලතා නම් යෞවනියගේ චරිතය රඟපෑවාය.

මෙම චිත්‍රපටයට අමතරව කුරුලුබැද්ද, නළඟන වැනි චිත්‍රපට දහයක පමණ රංගනයෙන් දායක වූ බව අපට දැනගන්නට ලැබිණ.

සිනමාවෙන් ජීවය ලැබ චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබා දුන් ඇය වයස අවුරුදු 15 වේදී පමණ ‘පුරුෂ රත්නය’ චිත්‍රපටයේ මුල් ගීතය පමණක් ගායනා කර හෙළ සිනමාවේ පමණක් නොව මුළුමහත් රසික රසිකාවන්ගේ ජනාදරයට පත් වූ සිනමා ඉතිහාසයේ නොමියෙන චරිතයක් බවට පත්වූවාය.

ගීත ලොවේ කලා තරුවක්ව බැබළෙන වාද බයිලා ගායක මාස්ටර් මොරීන් ඇයගේ මාමා විය.

කලා දිවියේ නොයකුත් කඩඉම් පසුකරමින් පැමිණි එම යෞවනිය 1964 පමණ කාලයේදී දුම්රිය දෙපාර්තමේන්තු සංඥා අංශයේ සේවයේ නියුතුව සිටි එල්. එච්. ජී. වික්ටර් මහතා සමඟ අතිනත ගෙන 1969 පමණ වකවානුවේදී රජරටට පැමිණ අනුරාධපුර ගල්වල පාර පොතානේගම ප්‍රදේශයේ තම කැදැල්ලේ ජීවිකාව ගෙන ගියාය.

1955 කාල වකවානුවේදී සිනමා රංගනය හා ගීත ගායනයට පිවිසි ඇය පුරුෂරත්නය චිත්‍රපටයේ මුල් ගීතය ගායනයෙන් පසු රංගනයෙන් ඉවත්වීමට තීරණය කළාය. ඒ වන විට ඇය චිත්‍රපට ගණනාවක විවිධ භූමිකාවන්ට පණ දී තිබිණ.

බේබි ඩොරින්ගේ සිනමා ජීවිතයේ අමරණීය මෙන්ම අමතක නොවන ගීත ගායනය හැටියට සලකනු ලබන්නේ ‘පුරුෂ රත්නය’ චිත්‍රපටයේ ‘අයියාට මේ රජගේ මල්ලි හදාලා - ඔබෙ මල්ලි හදාලා’ යන ගීතයයි. ‘පුරුෂ රත්නය’ සිංහල චිත්‍රපටයේ එම ගීතය එදත් අදත් යොවුන් පරපුරේ කා අතරත් ඒ මිහිරි හඬ සදා නොමැකෙනු ඇතැයි අපේ හැඟීමය.

බේබි ඩොරින් එකල සිනමාවට සම්බන්ධ වී සිටියත් රංගනයෙන් ගීත ගායනයෙන් ඈත් වූවාට පසු ඉතා නිහඬ ජීවිතයක් ගත කළ බේබි ඩොරීන් පසුකාලීනව දරු මුනුපුරන් සමඟ කාලය ගතකර අවුරුදු 69 ක් ආයු වළඳා 2012. 12. 21 දින අප කා අතරත් ඇයගේ සුමිහිරි මතකය රඳවා තබා මෙලොවින් සමු ගත්තාය.

බේබි ඩොරින් සමඟ සිනමා ජීවිතය ගත කළ බොහෝ කලාකාමීන් හට ඇයගේ සමු ගැනිමේ වියෝව දරාගත නොහැකි වනු ඇත.

අපට යළි කෙදිනකවත් බේබි ඩොරින් නම් චරිතය හමුවන්නේවත් මුණ ගැහෙන්නේවත් නැත.

කලා ලොවෙන් සදහටම සමුගෙන ගිය කලාකාරිනියට මොක් සුව පතමු.