වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




වන්දනාවේ ගිය රංජනී පෙරේරා ඉන්දීයාවේදී බිහිසුණු රිය අනතුරක

වන්දනාවේ ගිය රංජනී පෙරේරා ඉන්දීයාවේදී බිහිසුණු රිය අනතුරක

ජීවිතේ බේරුණේ අනූ නවයෙන්
ඉස්පිරිතාලෙදි මගේ ගීතයක් අහල කෙනෙක් මට මුද්දක් තෑගි කළා

ඇගේ හිස වටා වෙළුම් පටියකි. මුවින් පිටවන සෑම වචනයකම ඇත්තේ මහත් වූ කම්පනයකි. නෙත් කෙවනියන්හි නිදා සිටි කඳුළක් අවදි වුණ ද ඒ පිළිබඳ ඇයට වගක් නැත. ඇත්තේ ඉක්මන් සුවයේ ප්‍රාර්ථනාව පමණි.

පසුගියදා ඉන්දියාවේ සිදු වූ දරුණු රිය අනතුකට මැදිව ඈ සුවය ලබමින් සිටින්නීය. එය සතුටුදායක පුවතකි.

මේ කතාවේ නායිකාව ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායකගේ බාල සොයුරිය රංජනී පෙරේරායි. ඇය පසුගියදා ඉන්දීය සංචාරයක් අතරතුරදී මුහුණදීමට සිදු වූ බිහිසුණු අනතුරෙහි සොභාවය දැන් මට පැහැදිලිය. එනමුදු සිදු වූයේ කුමක්දැයි අපි නොදනිමු. එහෙයින් ඉකුත් 10 වැනිදා උදෑසනම ඇයගේ මතකය සොයා යන්නට අපි උත්සාහ දරමු.

ඒ මොහොත මට දැන් වගේ මතකයි. මහත් වූ බලාපොරොත්තු පොදි බැඳගත් අප පෙරදා රාත්‍රිය ගත කළේ හරිම මිහිරියාවකින්. පහුවැනිදා වන්දනාමාන කරන්නට නියමිත ස්ථාන ගැන අන් හැමෝටම වැඩිය උනන්දු වුණේ මං. කෙටියෙන්ම කිව්වොත් සෑහෙන්න කාලයකට පසුව සිදු කෙරෙන්නා වූ වන්දනා ගමනක් නිසා පසුදා පහන්වනතුරු මගේ සිත නොඉවසිල්ලෙන් පසු වුණා.

එදා අප හිටියේ අග්‍රාවල. පේවී සිටි අප 10 වැනිදා උදෑසනින්ම බරණැස් නුවරට යන්න පිටත් වුණා. කුඩා බස් රථයක් බඳු එම වෑන් රථයට අප ගොඩ වූයේ පහන් වූ සිතකින්. තව සුළු මොහොතකින් අපට අත්වන්නා වූ ඉරණම ගැන කිසිම කෙනෙක් දැනන් හිටියේ නැහැ. නඩයේ දහ අට දෙනාම ගමන් කාලය වෙන් කෙරුවේ ද ආගම දහම වෙනුවෙන්. අග්‍රා සිට කිලෝ මීටර් හැත්තෑවක් පමණ රථය ගමන් කළේ හරිම සාමාන්‍යවයි. මෙතෙක් අපේ ජීවිත භාර වී තිබුණු රියදුරු දෑත ඉන්දීය වුණත් හැමෝමව ප්‍රවේශම් කරන්න ඔහු උත්සාහ ගත්තේ සහෝදරත්වයේ බැඳීමෙන්. ඒ ගැන අප එකිනෙකා සමඟ කෘතඥ වන්නට ද පසුබට වූයේ නැහැ.

හදිසියේම ඉදිරියේ වූ නවාතැන්පොළකින් රථය නතර කළා. පෙනුන හැටියට නම් රියදුරාට මහන්සියි වගෙයි. ඔහු රිය පැදවීම බාර කළේ සහයකයාට. සිදු වූ දෙය ගැන යම් කසුකුසුවක් අප අතරේ සිද්ධ වුණා. ඊට හේතුව කියනවා නම් සහායකයා පෙනුමෙන්වත් රිය පැදවීමට සුදුස්සකු යැයි අපට නොසිතීමයි. පෙර දැනුවත්කොට තිබූ ආකාරයට මෙවන් වූ දෙයක් සිදු වන බව කවුරුන් හෝ දැනන් හිටියේ නැහැ.

එහෙයින් මෙය අපට මහත් ප්‍රහේළිකාවක් වුණා. සහායකයාට රථයේ නුහුරුභාවය සුක්කානම අතට ගනිද්දී හැමෝටම තේරුණා. මේ වන තෙක් අපව සුරක්ෂිතව ගෙන ආ රියදුරු මහතාගේ අධික වෙහෙස ඔහුගේ මුහුණින් හොඳාකාරව පෙනෙන්නට තිබුණා. එහෙයින් සහයකයාට රිය පදවන්නට එපා යැයි කීමට හැමෝම අපොහොසත් වුණා. එන්න එන්න රථයේ වේගය වැඩිවනවා.

එයට වඩා දෙතුන් ගුණයකින් අප හදවත්හි වේගය ඉහළ ගියා. ඒ මාර්ගය අධිවේගී එකක් වූ බැවින් ඔහුගේ වේගය නීතියට හසුනොවුණා. යන්නට හැකි වූයේ ඉතාම පොඩි දුරයි. මාර්ගයේ තිබුණු ගලක වාහනය වැදෙන්නට ඇති. මහා හඬක් නගමින් රථය පාවී යනවා සිහිනයෙන් මෙන් මට යන්තමට මතකයි. එයින් පසුව බෝම්බයක් පිපිරෙනවාටත් වඩා හඬක් ගුවනට මුසු කොට එය බිමට පතිත වුණා. කන් දෙක එහෙම් පිටින්ම අ¼ගුළු වැටිලා. තදින් වැදුණු හිසින් ලේ ගලනවා. මගේ අත්දෙක ඉබේම ඔළුවට ගියා. රථය පෙරළී තිබුණේ එක පැත්තක කවුළු යට වෙන්න. එතකොට මං හිටියේ යට වුණු පැත්තේ. අනික් අන්තයේ සිටි සියලු දෙනා අප ඇඟ මතට වැටී දඟලමින් සිටියා. මං වහාම ඔවුන්ව එහෙ මෙහෙ කළා. විකල් වූ සිහියෙන් අප එකා දෙන්නා ඉහළ වූ ජනෙල්වලින් ඉතා අපහසුවෙන් පිටතට පැමිණියා. තුන්දෙනකු හැර අනෙක් හැමෝටම බරපතළ විදිහට ආපදා සිදු වෙලා. මගේ ඇඟේ පැත්තක් හරියට හූරලා දාලා වගේ රිදෙනවා.

සිදුවීම දැනගෙන අවට ඇති පොලීසියකින් නිලධාරීන් කිහිප දෙනෙකු එතනට ආවා. හොඳ රෝහලකට එන්න ආපහු කිලෝ මීටර් හැටක් විතර ආපස්සට එන්න ඕනෑ. ඒ උත්තර් ප්‍රදේශ්වලට. බැරි බැරි ගාතෙ අපි එහෙම ආවා. මගේ ඇඟ පුරාම ලේ තැවරිලා. සමහරෙක් විලාප දෙමින් කෑගහනවා. උත්තර් ප්‍රදේශ්වල ඉතාමා ගමෙහි තියනවා රෝහලක්. ඒකේ නියම නම යූ පී රුරල් ඉන්ස්ටර්ටියුටි මෙඩිකල් සයන්ස් ඇන් රිසර්ච්. ඒත් මහ ඇමතිගේ ඉස්පිරිතාලේ කියපුවාමයි හැමෝම දන්නේ. ඉතින් අපි ඒකට ඇඩ්මිට් වුණා. සිංහල දන්න කවුරුවත් නැහැ. අතපය සංඥා භාවිතයෙනුයි කතාබහ කළේ. මේ අතරවාරයේ තවත් අපූරු සිදුවීමක් වුණා. මං ලංකාවේ ගායිකාවක් කියලා කවුදෝ ඉස්පිරිතාලේ අයට දන්වලා. මේ කලබලය අස්සේ අම්මා කෙනෙකුයි පුතෙකුයි එතනට ආවා. මට දැඩිව පෙරැත්ත කළා සිංදුවක් කියන්න කියලා. මගේ හිසෙහි ලේ විලයි. ඒ මදිවට ඇඟේ පැත්තක්ම තුවාල වෙලා. කොහොම වුණත් විජාතිකයකුගේ ඉල්ලීම අහක නොදා මං වේදනාව පසෙකලා සිංදුවක් කිව්වා. ඒක ශ්‍රවණය කොට ඒ කාන්තාව කොතරම් සංවේදී වුණාදැයි කිව්වොත් අතේ තිබුණු රත්තරං මුදුව ගලවලා දුන්නා වියදමක් වුණොත් උකස් කොට මුදල් හොයාගන්න.

යුහුසුලුව අපට බෙහෙත් කරන්න පටන් ගත්තා. මගේ හිසට මැහුම් නවයක් දැම්මා. අතපයවලට වේදනා නාශක ආලේප කළා. දවස් දෙක තුනකට පසුව අපට ලංකාවට එන්න පුළුවන් වුණා. තවමත් මේ වෙච්ච සිද්ධිය මට හිතාගන්න අමාරුයි. අපිත් එක්ක ගිය ඇතැමකුට මටත් වඩා බරපතළයි. තවත් අයකුගේ අතකුත් ඉවත්කරන්න සිදු වුණා. මේ අත්දැකීමෙන් මට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. කවුරුන් හෝ මෙවැනි චාරිකාවක් යනවා නම් නිසි ප්‍රධානියකු එක්ක යන්න. ඒ වගේම රක්ෂණයක් පිළිබඳ සිතන්න. එතන තමයි අපට වැරැදුණු තැන. කොහොම හරි දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපේ දිවි බේරුණා.