වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




නිරුදකට ගල් ගහන්න මාවත් තෝරාගෙන තිබුණා

නිරුදකට ගල් ගහන්න මාවත් තෝරාගෙන තිබුණා

දයාරත්න රටගෙදර දුක, සතුට පිරි අතීතය මැදහත් ව සිහිපත් කරයි

ප්‍රසිද්ධිය යනු ඕනෑම අයකුට හොඳින් හෝ නරකින් ලබා ගත හැකි දෙයකි. එහෙත් කීර්තිය ලබා ගැනීම එයට වඩා උගහටය. ඒ සඳහා බොහෝ දෑ කැප කළ යුතු වේ. දයාරත්න රටගෙදර රටතොට පතළ කීර්තිමත් මිනිසකු වූයේ අසීරු අභියෝගයන් රැසකට සාර්ථකව මුහුණ දෙමිනි. හිරිමල් ගැටවරයෙක්ව සිටි අවදියේ රඟපෑමේ උණ තදින් වැලඳී සිටි ඔහු එකල එම සිහිනය යම්තාක් දුරකට සැබෑ කරගත්ත ද පසුව ඔහු නළු නිළියන් මෙහෙයවන ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත් වූවේය.

ඇසිදිසි මාධ්‍යයේ සිය නිර්මාණ කුසලතා විවිධ අංශයන් ඔස්සේ ප්‍රකට කළ රටගෙදර තමා මෙතෙක් ආ ගමන් මඟ දෙස නැවත හැරී බැලිමටත්, අනාගත අභිප්‍රායන් පිළිබඳ අප දැනුම්වත් කිරීමටත් සරසවිය හා සංවාදයකට එක් වූයේ මෙලෙසිනි.

ඔබ කලා ජීවිතය ආරම්භ කරන්නේ නළුවකු විදියට. අප ඒ යටගියාව සිහිපත් කරමින් මේ සාකච්ඡාව ආරම්භ කරමු?

පුංචි සන්ධියට ගියොත් චිත්‍ර අඳීන්නට තමයි මම ඒ කාලේ වැඩිපුර කැමැත්තක් දැක්වූවේ සහ යම් පමණකට දක්ෂතාවයක් තිබුණේ. මට මතකයි අපේ අප්පච්චිට පුෂ් බයිසිකලයක් තිබුණා. අප්පච්චි මට කියනවා බයිසිකලය බලාගෙන ඒක අඳින්න කියලා. අප්පච්චි ඒ කාර්යය කළාට පස්සේ මට ටොෆියක් හෝ රසකැවිල්ලක් දෙන එක නිතර කළ දෙයක්. එහෙම කාලයක් තිබුණා. අපේ අප්පච්චි ගමේ මිනිහෙක් ගොවියෙක්, බණ්ඩා කෙනෙක්. අපේ අම්මා පහතරට සාමාන්‍ය පවුලක කාන්තාවක්.

කොහෙද ඔබේ ගම් පළාත?

අපේ අප්පච්චිගේ ගම හඟුරන්කෙත. නමුත් ඔහුට රැකියාව නිසා අගනුවර පදිංචියට එන්න සිදු වුණා. මම හැදී වැඩුණේ කොළඹ. පුංචි කාලේ මම කොලොන්නාවේ ටෙරන්ස් ද සිල්වා මහා විද්‍යාලයට ගියා. ඊට පස්සේ පොල්හේන්ගොඩ භද්‍රාවතී පාසල. දැන් ඒකෙ නම වෙනස් කරලා. උසස් අධ්‍යාපනයට තමයි මම තර්ස්ටන් විද්‍යාලයට ගියේ. පොඩි කාලේ මට මතකයි බයිස්කෝප් බැලීමේ පිස්සුවක් මට තිබුණා. අපේ අප්පච්චිත් කලාවට පොඩ්ඩක් කැමැත්තක් තිබුණ මනුස්සයෙක්. ඒත් අම්මාගේ ප්‍රසාදයක් තිබුණේ නැහැ. අපේ ආච්චි අම්මා තමයි මාව එක්කරගෙන යන්නේ බයිස්කෝප් බලන්න. කිරුළපන ඉඳන් බස් එකේ දෙමටගොඩ සමන්තා හෝල් එකට එනවා. මට මතකයි ‘රෑන ගිරව්’ චිත්‍රපටය බලන්න ඇවිත් 2.30 දර්ශනය ආරම්භ කර තිබූ නිසා සවස 6.30 දර්ශනය බලල, ආච්චි අම්මා එක්ක ගෙදර ආවා. ඒ කාලේ ජනප්‍රිය චිත්‍රපට ගොඩක් මම නැරැඹුවා.

රඟපෑමේ පිස්සුව වැලඳුනෙත් ඔය කාලෙදිම නේද?

ඔව්. ඒත් ඒකට මට මඟක් තිබුණේ නැහැ. ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් මම අඳුනගෙන හිටියෙත් නැහැ. කිරුළපන අපේ නිවසට ගෙවල් දෙකකට එහායින් හිටියා උපාලි පෙරේරා කියලා කෙනෙක්. දවසක් මම දකිනවා පත්තරේක ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් ඔහු සිනමා සංග්‍රහයක් නිකුත් කළා කියලා. එහි සංස්කාරකවරයා තමයි උපාලි. මම හැම සති අන්තෙකම උපාලි අයියා හමුවෙන්න ඔහුගේ නිවසට යනවා. රඟපෑමට මගේ ඇති ආසාව ඔහුට මම ප්‍රකාශ කරලා තිබුණා. එයට ඔහු කිසිවක් කිව්වේ නැහැ. කොලොන්නාවේ ඉඳන් මම ලෙස්ටර් මහත්තයාගෙ ගෙදරත් යනවා උපාලි අයියා හම්බ වෙන්න. ඒත් ඔහු කිසිවක් කියන්නේ නැහැ. මටත් දැන් වැඩේට ලැජ්ජයි.

කෙසේ හෝ ඔබ ඔබේ රංගන සිහිනය සැබෑ කර ගන්නවා?

ඔව්. දවසක් උපාලි අයියා කිව්වා ‘වරෙන් මං උඹට චාන්ස් එකක් දෙන්නම්’ කියලා. ඒ ‘දෑස නිසා’ චිත්‍රපටයේ සමූහ දර්ශනයක්. නිරුදකට ගල් ගහන තැන කොල්ලන්ගෙන් කෙනෙකුට මාව තෝරා ගෙන තිබුණා. ෂූටිං තිබුණේ ගල්ගමුවේ.

එතැන තව පුංචි රසවත් කතාවක් තියෙනවා?

ජනප්‍රිය නළු, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සංජය ලීලාරත්න හිටියේ අපේ ගෙවල් ළඟ. මට චිත්‍රපටයක රඟපාන්න ලැබුණ පුවත මම ඔහුට කිව්වා. දැන් යන්න සල්ලිත් නැහැ. සංජය පොඩ්ඩක් හිටපං කියලා වත්ත පහළ තිබුණු හොඳ කෙසෙල් කැනක් කැපුවා. මිනිහාම ඒක කරගහ ගෙන ගිහින් තේ කඩේකට වික්කා. මමත් පස්සෙන් ගියා. ඒකෙන් රුපියල් විසි ගාණක් ලැබුණා. සනා මට ඒක දුන්නා. පහුවදා සනාලගේ තාත්තා කඩේට ගිය වෙලාවේ ‘ආ මහත්තයා පුතා ඊයේ හොඳ කෙසෙල් කැනක් ගෙනාවා. නැද්ද තව ඒ වගේ ඒවා’ කියලා මුදලාලි අහලා තිබුණා. අදටත් ඔය සිද්ධිය මතක් කරලා අපි හිනා වෙනවා.

එතකොට වයස කීයක් විතර ඇතිද?

දහ හතරක් පහළොවක් විතර ඇති. මම කවදාවත් තනියම පිටකොටුවටවත් ගිහින් තිබුණේ නැහැ. දැන් ගල්ගමුවට යන්න මාව ඇරලවන්න සනාත් මරදානේ ස්ටේෂන් එකට ආවා. මම ආවේ ඇඳුම් බෑගයත්, කොට්ටයක් එහෙම අරගෙන. සංජය මාව කෝච්චියට නැග්ගුවා. කෝච්චියේ ඇතුළට ගියාම සෙනඟ හිටගෙන හිරවෙලා ඉන්නවා මම දැක්කා. තවත් පෙට්ටි දෙකක සීට් ගාණටවත් සෙනඟ නැහැ. මම සනාට කතා කරලා කිව්වා, අර මිනිසුන්ට පිස්සුද මෙච්චර සීට් තියෙද්දී හිටගෙන යන්නේ කියලා. එතකොට ඔහු කිව්වා ‘උඹ ගිහින් අර සීට් එකක වාඩි වෙයන්’ කියලා. රට අතෑරලා යනවා වගේ බොහොම හැඟීම්බරව අපි සමු ගත්තා. ටික දුරක් යනකොට මට හොඳටම නින්ද ගියා. කවුදෝ ඇඟට තට්ටු කරනවා දැනිලා මම ඇහැරුණා. තොප්පි දාගෙන පොලීසියේ මහත්තුරු වගේ දෙන්නෙක්. ‘මල්ලි කෝ ටිකට්’ කියලා එක්කෙනෙක් ඇහුවා. මං ටිකට් එක දුන්නා. ‘ඔයා මේ තර්ඩ් ක්ලාස් ටිකට් එකක් අරගෙන නේද සෙකන්ඩ් ක්ලාස් යන්නේ. දඩේ ගෙවනවාද පොලීසි යනවද’ කියලා ඔවුන් මගෙන් ඇහුවා.

ඉතිං?

දඩේ කීයද කියලා මං ඇහුවා. රුපියල් විසිපහක් ද කොහෙද කියලා කිව්වා. මං ළඟ තිබුණෙත් ඒ වගේ මුදල් ප්‍රමාණයක්. අනේ ඉතිං ඇස් දෙකේ කඳුළු පුරෝගෙන බොහොම හිතේ අමාරුවෙන් මං ඒ දඩ මුදල ගෙව්වා. දැන් මං කොට්ටෙයි බෑග් එකයි අරගෙන කැන්ටිම ළඟට වෙලා අඬ අඬා හිටගෙන ඉන්නවා. එහා පැත්තේ හිටපු සරොම් කාරයෙක් ඇවිත් ඇහුවා ‘මල්ලි මොකද අඬන්නේ’ කියලා. මං වෙච්ච දේ ඔහුට කිව්වා. මිනිහා මට රුපියල් දහයක් දීලා ඇහුවා ‘ඇතිද මල්ලි’ කියලා. මං කිව්වා ‘පුළුවන්නම් තවත් කීයක් හරි දෙන්න’ කියලා. කොහොම හරි මම ගල්ගමුවට යනකොට ඒ සීන් එක ෂූට් කරලා ඉවරයි. ඒත් ජෝ අබේවික්‍රම, ශ්‍රියානි අමරසේන වගේ දැවැන්ත නළු නිළියන් දැක බලා ගන්න මට එදා අවස්ථාව උදා වුණා.

බලාපොරොත්තු කඩවීම නිසා සිත් තැවුලක් ඇති වුණාද?

එහෙම සිත් රිදීමක් ඇති නොවුණාම නොවෙයි. ඒත් ඒ සිදුවීම මගේ ජීවිතයේ එක්තරා කඩඉමක් වුණා. ආතර් යූ. අමරසේන මහත්තයත්, ශ්‍රියානි අමරසේන එක්ක ඒ රූගත කිරීමට ඇවිත් තිබුණා. එතැනදි අපි දෙන්නා අතරේ හිතවත්කමක් ඇති වුණා. මගේ හිතේ තිබුණ ආශාව මං ඔහුට හෙළි කළා. අධෛර්යයට පත්නොවී කෙසේ හෝ අරමුණ කරා යන්න කියා උපදෙස් දුන් ඔහු හැකි උදව්වක් කරන්නම් කියා මට පොරොන්දු වුණා. මේ සේරම මම දින පොතේ ලිව්වා. අද ශ්‍රියානි අමරසේන එක්ක කතා කළා. අද ජෝ අබේවික්‍රම එක්ක එක මේසයේ ඉඳන් කෑම කෑවා වගේ දේවල්. මට ඒවා හරි විශේෂිත දේවල් වුණා.

කෙසේ හෝ ඒ කාලයේදීම ඔබේ සිහිනය මල්පල ගැන්වෙනවා?

මගේ සිනමා සම්ප්‍රාප්තිය සිදු වුණේ ‘මඩොල් දූව’ චිත්‍රපටයෙන්. ජෝ අබේවික්‍රමයන් සමඟ එකම රූප රාමුවක පෙනී සිටින්න මට අවස්ථාව ලැබුණා. දැන් ඉතිං මට රඟපෑම ගැන ආශාව තවත් වැඩි වුණා. මම උපාලි අයියාට ඒ බව නැවත මතක් කළා. ඔහු මට වේශ නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කරන්න අවස්ථාව උදාකර දුන්නා. ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ හිල්ටන් මෙන්ඩිස්ගේ සහාය වේශ නිරූපණ ශිල්පියා ලෙස තමයි මම ඒ කටයුත්තට මුල පිරුවේ. මට මතකයි එහි පසුතල නිර්මාණය කළේ එරල් කෙලී. කලා අධ්‍යක්ෂවරයා වුණේ ධර්මසේන හේමපාල. මේකප් කරන ගමන් මම පුංචි රෝල් එකකුත් කළා.

වේශ නිරූපණ ශිල්පියෙකු ලෙසත් ඔබ නමක් ඇති කර ගන්නවා?

ඊබට් විජේසිංහයන් උපාලිගේ මාර්ගයෙන් මට හඳුනා ගන්න ලැබෙනවා. ඒ වන විටත් ඔහු ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. ‘තවලම’, ‘වීර පුරන් අප්පු’ සහ එම්. එස්. ආනන්දගේ චිත්‍රපට කිහිපයක මම ඊබට්ගේ ඇසිස්ටන් මේක්අප් ආර්ටිස්ට් විදියට කටයුතු කළා. දවසක් ‘තවලම’ දර්ශන තලයේ රූගත කිරීම් පිළිබඳ විශේෂාංග ලිපියක් ලියන්න සරසවියෙන් සුනිල් හොරේෂස් සහ බන්දු එස්. කොඩිකාර ආවා. ඒ ලිපියේ තැනක සහාය වේශ නිරූපණ ශිල්පියා විදියට මගේ නමත් පළ වුණා. කොහොම හරි ඒ හමුවීමෙන් පසු සුනිල් හොරේෂසුත් මාත් හොඳ මිතුරන් බවට පත්වුණා.

පුවත්පත් කලාවට ඔබ අවතීර්ණ වන්නේ මේ කාලයේදීමද?

ඔව්. ඔය කාලයේ මම ‘සුරතුර’ සිනමා පුවත්පතට විශේෂාංග ලේඛකයකු ලෙස එක් වුණා. එහි කර්තෘ විදිහට හිටියේ ආතර් යූ. අමරසේනයන්. පරණ ටයිම්ස් මන්දිරය තමයි අපේ කාර්යාලය. ගුණදාස ලියනගේ තමයි එවකට ලංකාදීපයේ කර්තෘ. චන්ද්‍රසේන කිරිවත්තුඩුව සුරතුර උප කර්තෘ. මම සමඟ රොඩ්නි විදානපතිරණ සහ ඩී. කීරගලආරච්චිත් සුරතුරේ වැඩ කළා. පස්සේ කාලෙක අනුර සොලමන්ස් අපිත් එක්ක එකතු වුණා. ඒ කාලේ මම ලියපු ‘කැමැති හතක්’ නළු නිළියන් අතරත් පාඨකයන් අතරත් බෙහෙවින්ම ජනප්‍රිය වුණ විශේෂාංගයක්. සුරතුර පත්තරේ නැවැත්තුවාට පස්සේ ‘සිත්සර’ පත්තරේට මම සම්බන්ධ වෙනවා, යම් වටිනාකමක් සහිතව. දැන් අපි පොඩි පලපුරුද්දක් තියෙන පත්තරකාරයොනේ. මාවත් දන්නවා සාමාන්‍ය මට්ටමෙන්. වත්මන් ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා ආරම්භ කළ ‘කුමරි’ පත්තරේටත් මම ලිව්වා ඒ කාලේ. මල්ටි ෆැක්ස් ආයතනයෙන් තමයි මේ පත්තර පටන් ගත්තේ.

ඔබේ ජීවිතයේ බොහොම සුන්දර අවධියක් වෙන්න ඇති එය?

සුන්දර වගේම මගේ ජීවිතයට බොහෝ වටිනාකම් එක් වූ අවධියක්. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්, එදිරිවීර සරච්චන්ද්‍රයන්, ටී. බී. ඉලංගරත්න වැනි වියතුන් හඳුනාගෙන ඔවුන් සමඟ සම්මුඛ සාකච්ඡා කරන්නත් මට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ඒ කලේ හිටපු නළු නිළියන් හැමෝ ගැනම මම ලිව්වා.

දැන් එතකොට නළුවෙක් වෙන සිහිනයට මොකද වුණේ?

මම තර්ස්ටන් විද්‍යාලයේදී නාට්‍ය කිහිපයක් කරනවා. එක නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන්නේ මම. ඒ නාට්‍යය අසාර්ථක වෙන්නේ මම රඟපාන්න ගිහිල්ලා. ඉතිං එදා මම හිතාගත්තා මට රඟපාන්න බැහැ කියලා. ඊට පස්සේ ඒ වැඩේ එහෙමම අත ඇරලා දැම්මා. හැබැයි වේදිකාවට මගේ තිබුණ ඇල්ම නිසා වේශ නිරූපණ ශිල්පියෙක් විදියට වේදිකා නාට්‍ය විස්සක විතර මම වැඩ කළා.

වේදිකාවෙත් ඔබ නව ඉසව්වක් හොයාගෙන යනවා?

නොබෙල් ත්‍යාගලාභී ජෝන් අර්නස්ට් ස්ටෙන්බර්ග්ගේ ‘බර්නින් බ්‍රයිටි’ කෘතිය ඇසුරෙන් මම ‘ගරු ලිසී’ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. ඒක අනුවර්තන නාට්‍යයක්. පිටපත ලිව්වේ මෙල්රෝයි ධර්මරත්න. රඟපෑවේ මර්සි එදිරිසිංහ, ගාමිණී හෙට්ටිආරච්චි, සම්පත් තෙන්නකෝන්, කිංස්ලි ලෝස් ඇතුළු නළු නිළි පිිරිසක්. මේ වේදිකා නාට්‍යය සංගීතවත් කළේ ක්ලැරන්ස් විජේවර්ධන. ඔහු සංගීතවත් කළ එකම වේදිකා නාට්‍යය එයයි. මට මතකයි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඒ නාට්‍යය නරඹා තරුණ නාට්‍යකරුවකුගේ හොඳ නාට්‍ය නිර්මාණයක් ලෙස එය අගය කළා. දර්ශන වාර පනහක් පමණ ගරු ලිසී රට පුරා වේදිකා ගත කළා. 1978 වසරේදී තමයි මම ඒ නාට්‍යය පටන් ගත්තේ.

ඒ කාලේ ඔබ අත්තෙන් අත්තට පනින කුරුල්ලෙක් වගේ?

එහෙම කිව්වත් වැරැදි නැහැ. මොකද මම මාධ්‍ය කීපයක් අතපත ගාපු කෙනෙක්. මම චිත්‍රපට සහාය අධ්‍යක්ෂණයට පිවිසෙන්නෙත් අහම්බයකින්. දවසක් මම සරසවිය පුවත්පතට ආපු වෙලාවේ සෝමවීර සේනානායකයන්ගේ මඟ පෙන්වීමෙන් තමයි මම චිත්‍රපට සහාය අධ්‍යක්ෂණයට යොමු වන්නේ. ඒ ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ ‘ආදර චරිකා’ චිත්‍රපටයෙන්. නමුත් ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ. ඒ කාලෙම තමයි මට තිස්ස අබේසේකරයන් හමු වුණේ. සරත් ගුණරත්නගෙන් සහ සෝමදාස මල්දෙණියගෙන් පසු ඔහු අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යවල සහාය අධයක්ෂවරයා වෙන්න මට භාග්‍යය උදා වුණා. මම ‘මහ ගෙදර’ චිත්‍රපටයේ සෙකන්ඩ් ඇසිස්ටන්ට්. ඊට පසු ‘මං මුලා වැල්’ චිත්‍රපටයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා වුණේ මම. ඒක දැවැන්ත නිර්මාණයක්. හැබැයි අවාසනාවකට වගේ ඒ චිත්‍රපටයත් අවේ නැහැ. ‘වත්සලා අක්කා’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වුණේ මම. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘අහස් මාළිගා’ සහ ගාමිණී හේවාවිතාරණගේ චිත්‍රපට කීපයකම සහාය අධ්‍යක්ෂවරයා විදියට මම කටයුතු කළා.

නමුත් මේ සියල්ල පසෙක ලා ඔබ වෘත්තීය වශයෙන් තෝරා ගන්නේ ඇසිදිසි නොඑසේ නම් රූපවාහිනී මාධ්‍යය?

ධම්ම ජාගොඩ මහතා සමඟ මගේ ළඟ ඇසුරක් තිබුණා. ඔහු තමයි ඇරැයුම් කළේ රූපවාහිනියට සම්බන්ධ වෙන්න කියලා. 1983 දී විධිමත් පරීක්ෂණයකින් පසුව මා රූපවාහිනී සේවයට සම්බන්ධ වෙනවා. ඒ සම්මුඛ පරීක්ෂණයට ආ පිරිස අතරේ වේදිකාව, සිනමාව, පත්තර කලාව මම තරම් අතපත ගාපු වෙන කෙනෙක් හිටියේ නෑ කියලයි මට හිතුණේ. කොහොම හරි රූපවාහිනී නාට්‍ය අංශයට ධම්ම ජාගොඩ මුලින්ම බඳවා ගන්නේ මාව. මගෙන් පස්සේ විමලරත්න අධිකාරි සහ සුදත් සේනාරත්න නාට්‍ය අංශයට බඳවා ගන්නවා. අපි යන්නේ නිෂ්පාදක සහකාර තනතුරට. මම සහාය අධ්‍යක්ෂණය කරපු ප්‍රථම ටෙලි නාට්‍යය තමයි ධම්ම ජාගොඩගේ ‘පළිඟු මැණිකේ’. සිනමාවේ තිබූ බොහෝ ශිල්පීය උපක්‍රම මම පළි¼ගු මැණිකේ හරහා රූපවාහිනියට සම්බන්ධ කරනවා, සහාය අධ්‍යක්ෂණය කියන විෂය වටා. මැලේසියාවේ සහ නැගෙනහිර ජර්මනියේ රූපවාහිනීකරණය පිළිබඳ හදාරන්නත් මට අවස්ථාව ලැබුණා.

ධම්ම ජාගොඩ වගේම එවකට සිටි දැවැන්තයන් සමඟ රූපවාහිනී මාධ්‍ය තුළ කටයුතු කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා?

ඔව්. බන්දුල විතානගේ, පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, ටයිටස් තොටවත්ත, යූ. ආරියවිමල්, ජනක මල්ලිමාරච්චි වගේ අය. තොටවත්තයන්ගේ ‘රන් කහවණු’, ලූෂන්ගේ ‘තාරාදේවී’ වැනි ටෙලි නාට්‍යවල ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා වුණේ මම. ඊට අමතරව සරසවිය, සුමති, දීපශිඛා වැනි සම්මාන උළෙලවල ආශ්‍රේය නිෂ්පාදකවරයා විදියට කටයුතු කළේත් මම. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මෝරා’, ‘අත්’ වගේ වේදිකා නාට්‍ය රූපවාහිනි දර්ශන සඳහා පටිගත කළේත් මමයි.

එතකොට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට ඔබ පිවිසෙන්නේ?

සෝමවීර සේනානායක රචනා කළ ‘එක වහලක් යට’ ඒකාංගික ටෙලි නාට්‍යය තමයි මම මුලින්ම අධ්‍යක්ෂණය කළේ. ඒකේ රඟපෑවේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ජේ. එච්. ජයවර්ධන, ශාන්ති ලේඛා, චන්ද්‍රා කළුආරච්චි, චන්දි රසිකා ආදී නළු නිළියන්. මගේ ඒ මුල්ම ටෙලි නාට්‍යය. 1988 වසරේ හොඳම ටෙලි නාට්‍යය හැටියට ඕ. සී. අයි. සී සම්මානය දිනා ගන්නවා. හොඳම නළුවා වුණේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර. හොඳම අධ්‍යක්ෂවරයා වුණේ මම. මේ නාට්‍යය කළේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන්. එහෙම විශේෂ අවස්ථාවලට ටෙලි නාට්‍ය ගණනාවක් මම නිර්මාණය කළා.

ඉන් පසු ඔබ දීර්ඝ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයට යොමු වෙනවා?

ජැක්සන් ඇන්තනිගේ තිර පිටපතක් අනුව මම ‘මහ මෙර පාමුල’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා. ඒ 1988 වසරේදී. මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස් එයට රංගනයෙන් දායක වුණා. එවකට තිබූ එක්සත් ජාතික පක්ෂ රජයෙන් මෙම ටෙලි නාට්‍ය විකාශය අතරමගදී තහනම් කළා. සම්පූර්ණ කොටස් තිස් පහකින් සමන්විත ‘මහ මෙර පාමුල’ ඒ වන විට විකාශය වෙලා තිබුණේ කොටස් විසි පහක් පමණ. ප්‍රේක්ෂකයන් අතරේ මේ ටෙලි නාට්‍ය ගොඩක් ජනප්‍රිය වුණා. ඊළඟට ජයලත් මමෝරත්නගේ ස්ක්‍රිප්ට් එකක් අරගෙන මම කළා ‘දොළොස් මහේ අපි’ ටෙලි නාට්‍යය. කපිල කුමාර කාලිංගගේ තිර රචනයකට අනුව ‘දෑකැති මුවහත’ මම කළේ ඊට පස්සේ.

ඔබේ ටෙලි නාට්‍ය අතුªªරින් වඩාත් ජනප්‍රියත්වයට හා සම්මානයට පත්වන්නේ ‘බෝගල සවුන්දරිස්’?

ඒක ඇත්ත. මේ ටෙලි නාට්‍යයට සම්මාන රාශියක් හිමි වුණා. මා නිර්මාණය කළ දීර්ඝ ටෙලි නාට්‍ය එකිනෙකට වෙනස් ආකෘතින්ගෙන් හා අන්තර්ගතයන්ගෙන් යුතුයි කියා බොහෝ අය මට පවසා තියෙනවා. වසර එකොළහක් තිස්සේ මම අධ්‍යක්ෂණය කරන ‘සිත නිවන කතා’ මාලා නාටකයට තවමත් ඉතා හොඳ ප්‍රේක්ෂත ප්‍රතිචාර ලැබෙනවා. සමාජයේ කොයි කා අතරත් ‘සිත නිවන කතා’ ජනප්‍රියයි.

ඔබ රූපවාහිනියෙන් මෑත්ව සිටි යුගයකුත් තිබුණා. ඒ ගැනත් කතා කරමු?

එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාව සිටි අනූෂ පැල්පිට මහතාගෙන් ආරාධනයක් ලැබෙනවා චිත්‍රපට අංශයේ මුල් පුටුව හොබවන ලෙස. ඒ පුටුවේ මුලින්ම වාඩි වෙලා තිබුණේ අපේ රටේ මහා සිනමාකරු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඊට පස්සේ පී. හෙට්ටිආරච්චි, තිස්ස ලියනසූරිය, ධර්මසේන පතිරාජ වැනි අය ඩොක්ටර් පතිරාජගෙන් පස්සේ මම යනවා චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයා විදිහට මට එය ආඩම්බරයට කරුණක් වගේම ආශිර්වාදයකුත් වුණා. එහෙම ගිහින් මම අවුරුදු තුනක් හිටියා. ඒත් මගේ මහ ගෙදරනේ රූපවාහිනිය. මම ආයෙත් එකතු වුණා රූපවාහිනියට.

ඔබේ පුනරාගමනය සිදු වන්නේ යම් විශේෂත්වයකුත් සමඟ?

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාව අධ්‍යක්ෂ විවිධ වැඩසටහන් තනතුරට පත් කරනවා. වැඩසටහන් අධීක්ෂණය හා පරිපාලනය කිරීම තමයි මට පැවැරුණු මූලික වගකීම. වර්තමානය දක්වා මම ඒ තනතුරේ කටයුතු කරනවා. ඒ කාලය ඇතුළත මම සහාය නිෂ්පාදක, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක, නියෝජ්‍ය අධ්‍යක්ෂ වගේ තනතුරුවලට පත් වෙනවා. ටයිටස් තොටවත්ත මහත්තයාගේ හඬ කැවීම් අංශයට මුලින්ම ගන්නේ මාවයි සුරේජ් තම්බපිල්ලේ කියලා කෙනෙක්වයි. අපි කළ ප්‍රථම ටෙලි නාට්‍යය තමයි ‘රන් කහවණු’. නාට්‍ය අංශයේ ඉඳලා පොඩි ප්‍රශ්නයක් නිසා තමයි මම හඬ කැවීම් අංශයට එන්නේ. ඊට පස්සේ මම යනවා ප්‍රවෘත්ති අංශයට. අවුරුද්දක් විතර වැඩ කරන්නේ එතැන. ඊට පසුව ආයෙත් නාට්‍ය අංශයට එකතු වෙනවා.

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසෙනවා?

‘නිල් දිය යහන’ චිත්‍රපටයෙන් තමයි සිනමා අධ්‍යක්ෂවරයකු බවට මා පත්වන්නේ. ප්‍රේක්ෂකයන් එය ආදරයෙන් වැලඳගත්තා කියා මට සිතෙනවා. රූපවාහිනී ආයතනයක සේවය කරමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ප්‍රථම තැනැත්තා මමයි.

රාජකාරි බහුලත්වය නිසා සිනමාකරුවෙකු හෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු හැටියට ඔබට යාමට තිබූ ඉදිරි ගමන වැළකුණා කියා ඔබ සිතනවාද?

මම සියලුම දේ සමබරව කරන කෙනෙක්. මම ලෝකය හඳුනා ගත්තෙත් ලෝකය මා හඳුනා ගත්තෙත් මේ කලාව නිසා. පාරම්පරික කලා උරුමයන් අපි ළඟ තිබුණේ නැහැනේ. කලාකරුවන් වගේම දේශපාලඥයනුත් මම ඇසුරු කරනවා. එහෙත් දේශපාලනය හරහා කිසිම තනතුරක් ගන්න මම කවදාවත් උත්සාහ කරලා නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මම හඳුනා ගන්නේ විරුද්ධ පක්ෂ නායකයාව සිටින කාලයේදීී. එතුමා ගමේ ගොඩේ වෙල් එළියේ ඇවිදින විදිහ, සාමාන්‍ය මිනිසුන් අතරට ගිහින් කතාබහ කරන පිළිවෙළ වැනි සාමාන්‍ය ජීවිතයේ ගති, පැවැතුම් මම ඉදිරිපත් කළේ දේශපාලන ප්‍රතිරූපයෙන් ඔබ්බට ගිහින්. එතුමාගේ බොහෝ රූපවාහිනී වාර්තා වැඩසටහන් නිර්මාණය කළේ මම. හැබැයි මම ඒවා නිර්මාණය කළේ වාර්තාමය ස්වරූපයෙන් මිදිලා අලුත්ම ආරකට. යුද්ධයෙන් පසු ලංකාවේ වර්තමාන තත්ත්වය විෂය කරගෙන මම වාර්තා වැඩසටහන් මාලාවක් නිර්මාණය කළා. එය මට කරන්න කිව්වේ ජනාධිපතිතුමා. ‘දි ඔෆිසර්ස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ට්’ කියන වැඩසටහන තමයි ජිනීවාවලට පවා ගෙන ගියේ. ජාතික රූපවාහිනිය වෙනුවෙන් මම එය නිර්මාණය කළේ.

අලුත් නිර්මාණ කටයුත්තකට සූදානමක් නැතිද?

චිත්‍රපටයක් හදන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ලෝකයේ දියුණු රටක් සමඟ හවුලේ ටෙලි නාට්‍යයකුත් නිිර්මාණය කිරීමේ සැලසුමකුත් තියෙනවා. නමුත් මගේ රාජකාරියට බාධාවක් වන විදියට ඒ කටයුතු කරන්න මම සූදානම් නැහැ. මාව හදා වඩාගෙන රටට වැඩදායි පුද්ගලයෙක් කළේ ජාතික රූපවාහිනියයි. මා වැඩිහිටියකු දැනමුත්තකු බවට පත් කළෙත් රූපවාහිනිය.

එදා මෙදාතුර වෘත්තීය ජීවිතයේ ඔබට දිරියක් වූ හිතැත්තන් ගැනත් සිහිපත් කළොත්?

උපාලි පෙරේරා, ආතර් යූ. අමරසේන, සෝමවීර සේනානායක, ගාමිණී හේවාවිතාරණ, තිස්ස අබේසේකර, අනූෂ පැල්පිට ඒ වගේම රූපවාහිනියේ සිටි සියලුම අධ්‍යක්ෂවරු නිව්ටන් ගුණරත්න, මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය ගංගානාත් දිසානායක, යන හිටපු සභාපතිවරුන් සහ වත්මන් සභාපති මොහාන් සමරනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිශාන්ත උභයවංශ යන මහත්වරුන් මේ ගමන යන්න මට පාර හෙළි පෙහෙළි කළ උදවිය.

පෞද්ගලික තොරතුරු බිඳක්?

මම දූවරු තිදෙනකුගේ පියෙක්. දිනාලි, ගයත්‍රි, චත්රිකා දියණියන්ට පියා වගේම මවත් මමයි. මගේ නැන්දනියගේ ආදර රැකවරණයත් ඔවුන්ට ලැබෙනවා. ජීවිතයේ වගකීම් රාශියක් මට තියෙනවා. මම කිසිදාක කිසි කෙනෙක් දිහා වපර ඇහින් බලපු නැති කෙනෙක්. මට ජීවිතයේ කවදාවත් වැරැදුණේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති.