වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




කංචන ඔබ අපට ආදර්ශයක්...

කංචන ඔබ අපට ආදර්ශයක්...

රණවිරු සෙවණින් අයෝමා රාජපක්‍ෂ මැතිනියට දුන් සිහිවටනය, ඇය විසින් එය කංචන කොඩිතුවක්කුට පිරිනමන ලද අයුරු

පසුගිය සතියේ ජනප්‍රිය නළු කංචන කොඩිතුවක්කුගේ ජංගම දුරකථනයෙන් මගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණා. එහි සඳහන් වූයේ මේ විදිහටයි. ‘මගේ උපන් දිනේ පෙබරවාරි 18 වැනි දා. රාගම රණවිරු සෙවණේ පොඩි වැඩක් කරනවා. පුළුවන්කමක් තියෙනවානම් එදා උදේ 10 ට රණවිරු සෙවණට පැමිණෙන්න කියලා ආරධනා කරනවා.’

කංචන ගේ ආරාධනාව මත මම 18 වැනි දා උදේ රණවිරු සෙවණට ගොඩවැදුණා. කංචන ‘පොඩි වැඩක්’ කියලා කිව්වට ඒ වැඩේ පොඩි එකක් නම් නෙවෙයි.

පසුගිය යුද්ධයෙන් පාද අහිමි වූ රණවිරුවන් පනස් දෙනකුට කංචන තම පෞද්ගලික ධනයෙන් කෘතිම පාද පනහක් පරිත්‍යාග කිරීමට තීරණය කරලා. මේ කර්තව්‍යය ගැන මට කනට වැටුණේ කංචනගේ විවාහ මංගල්‍ය ය දවසේ යි.

පසුගිය දෙසැම්බර් මාසේ විවාහ දිවියට පා තැබූ කංචනත් ඔහුගේ සහකාරිය ශානිකාත් මේ තීරණය ගත්තේ විවාහ උත්සවයට මාස කිහිපයකට කලින්. ඔවුන්ගේ මංගල උත්සවයේ මත්පැන්, කේක්, දුසිම් ගණන් දෙවෙනි මනාල මනාලියෝ මල් කුමර කුමරියන් ඇතුළත් කර තිබුණේ නැහැ.

ඒ නිසරු වියදම් කපා හැර ඔවුන් දෙදෙනා නිවෙසේදීම අරමුදලක් පිහිටුවා ගත්තා. මංගල දිනයේ නෑදෑ හිතවතුන්ගෙන් ලැබුණු මුදලුත් අරමුදලට බැර කළා. මේ සියලු මුදල් එකතුකරගෙන තමයි කංචනයි, ශානිකායි දෙමවුපියනුත් හවුල් කරගෙන මේ මහඟු පුණ්‍ය කර්මයට දායක වෙලා තියෙන්නේ.

ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි අයෝමා රාජපක්‍ෂ මැතිනිය, හිටපු යුද හමුදාපතිවරයකු වූ ජෙනරාල් රොහාන් දළුවත්ත ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් මේ පින්කමට රණවිරු සෙවණට රැස්ව සිටියා.

කංචනගේ මෑණියන් රණවිරුවන්ට සංග්‍රහ පිරිනමමින්

ඒ වනතෙක් කිහිලි කරුවලින් ඇවිදගෙන ගිය මේ රණවිරුවන් කංචන පරිත්‍යාග කළ කෘතිම පාද එවෙලේම පැලඳ ගන්නා අයුරු දුටු කාගේත් නෙත්වලට කඳුළු උණන දසුනක් වූවා. උත්සව සභාව මෙහෙය වූයේ කපිතාන් නොයෙල් රාජපක්‍ෂ යි.

කෘතිම පාද පැලඳ ගත්තාට පසු කංචනට ඔහුගේ උපන් දිනයට සුබ පතන්නැයි කපිතාන්වරයා රණවිරු කැලගෙන් ඉල්ලා සිටියා.

ඔවුන් යුහුසුළුව නැඟී සිට අත්වාරු පසෙකට දමා කංචන වෙත පැමිණ ඔහුගේ දෑත් අල්ලා මහත් වූ සෙනෙහසින් ඔහුට සුබ පතද්දී කංචනගේ දෑසින් කඳුළු රූරා වැටෙන අයුරු දැක කාගේත් දෙනෙත් තෙත් වූවා. ඒ හැඟීම්බර මොහොත වඩාත් තිවෘ කරමින් කපිතාන් නොයෙල් රාජපක්‍ෂ මෙසේ පැවසුවා.

‘මේ සද්කාර්යයට දායක වූ කංචන කොඩිතුවක්කු මහතා කෙරෙහි මේ පරිත්‍යාගයන් ලැබූ රණවිරුවන් ගේ සිත්තුළ ඇත්තේ අසීමිත භක්ත්‍යාදරයක්. ඔවුන්ගේ මුවින් එය නොකීවාට, ඔවුන්ගේ හද පත්ලෙන් ඔවුන් මේ විදියට මුමුනනවා ඇති.’

“දයාබර කංචන අත්වාරුවල ආධාරයෙන් සක්මන් කළ අපිට නිදහසේ ඇවිදින්න ඔබ ලබා දුන් මේ වටිනා තෑග්ගට ඔබට ගොඩක් පින්. නැවත එන්න මේ විරු සෙවණට අපිව බලන්න තවත් දවසක. තෑගි එපා බලලා යන්න විතරක් එන්න. මේ දුන්න තෑග්ගට වඩා වෙන තෑග්ගක් අපිට කොයින්ද?”