වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ටෙලි නාට්‍යයකට ඇතුළත් වූ මුල්ම ගීතය, ගායකයා, එහි රචකයා, සංගීතඥයා හා ටෙලි අධ්‍යක්ෂවරයා කවුරුන්ද?

විශ්වකලා ගුණසේකර – අනුරාධපුරය.

නැසීගිය ජනක විමලවීර අධ්‍යක්ෂණය කළ ‘නුඹ නාඬන් සෙනෙහේලතා’ ටෙලි නාට්‍යයට, සීමා බන්ධන නර්තන රේඛා, නමැති ගීතය රචනා කළේ නැසීගිය සරත් විමලවීරයන්. ගීතය සංගීතවත් කොට ගායනා කළේ මහාචාර්ය සනත් නන්දසිරි විසින්.

පසුගිය සතියේ රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී ස්වයංජාත ටෙලි නාට්‍යය විකාශය වී ඇත්තේ ජාතික රූපවාහිනියේ බව පසුගිය සරසවිය පුවත්පතේ සඳහන්ව තිබුණා. නමුත් ස්වයංජාත ටෙලි නාට්‍යය විකාශය වූයේ ස්වාධීන රූපවාහිනී සේවයේ නේද?

සංගීත් වීරරත්න – වැල්ලව.

ඔව්, ස්වයංජාත විකාශය වූයේ ස්වාධීන රූපවාහිනියේ තමයි. එය රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලක් නිකුත් කරන ප්‍රතිඵල පත්‍රිකාවේ සඳහන් වූයේ ජාතික රූපවාහිනියේ යනුවෙනුයි. අප උපුටා දැක්වූයේ අදාළ නිල පත්‍රිකාවේ සඳහන් ආකාරයටයි. නිල ප්‍රතිඵල සටහනක් වෙනස් කිරීමට අපට අයිතියක් නැහැ.

සමාධි ඇරුණචායා රඟපාන වෛෂ්ණාවී චිත්‍රපටය තිරගත වෙන්නේ කවදාද?

යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙනිය.

නිශ්චිත දිනයක් තවම කියන්න බැහැ. ඉදිරියේදී තිරගත වේවි.

හියුගෝ ප්‍රනාන්දු දෙබස් ලියූ චිත්‍රපට කියන්න.

කේ.පී. පියසේන, රේමන් සිල්වා - බොරගොඩවත්ත.

ප්‍රේම තරගය, අහංකාර ස්ත්‍රී, මාතලන්, වනමෝහිනී, ධීවරයෝ, අල්ලපු ගෙදර, හරියට හරි, රම්‍යලතා, අටවෙනි පුදුමය වැනි චිත්‍රපට රාශියක් තියෙනවා.

ආගන්තුක රඟපෑම කියන්නේ මුදල් අය නොකරන රඟපෑම්ද?

ජේ. කරුණාදාස - ඉඳුරුව.

බොහෝවිට ප්‍රධාන රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක් මුදල් අයකිරීමකින් තොරව කරන රඟපෑමයි.

නළු වෘත්තියේ ගරුත්වය අඩු මුදලට පාවා නොදුන් ලැඩී රණසිංහ නිසි අගැයීමට ලක්වූයේ නැහැ නේද?

ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව.

ඔබ නිසි අගැයීම් ලෙස අදහස් කරන්නේ කුමක්දැයි මා දන්නේ නැහැ. එහෙත් ලැඩී රණසිංහ දක්ෂ, විශිෂ්ට නළුවකු ලෙස අදටත් පිළිගන්නවා. එමෙන්ම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා කියා ඇති පරිදි මෙරට බිහි වූ ඔහු කැමැතිම නළුවා ලැඩී රණසිංහයි. ලැඩී රණසිංහ ඇගැයීමට ඒ ටිකම ප්‍රමාණවත් නේද?

සුනිලා කියන සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළේ නැද්ද?

වියානි ගුණවර්ධන - වෙන්නප්පුව.

හෙන්රි චන්ද්‍රවංශ විසින් සුනිලා නමින් චිත්‍රපටයක් නිර්මාණය කළත්, එය තිරගත වූයේ ප්‍රධාන සිනමාශාලාවල නොවේ. එමෙන්ම එය නිෂ්පාදනය වූයේ මිලිමීටර් 35 ක්‍රමයට නොව මිලිමීටර් 16 ක්‍රමයට.

සරසවිය පුවත්පතේ මුල්ම කතුවරයා කවුද?

සැම්සන් වික්‍රමරත්න – ලිහිණිවැහැර.

කිවිවර, මීමන පේ‍්‍රමතිලක.

මා දන්නා හැටියට චිත්‍රපටයක දෙබස් කවන්නේ රූගත කිරීමෙන් පසුවයි. ටෙලි නාට්‍යයක රූපගත කරන අවස්ථාවෙම දෙබස් පටිගත කරයි. මෙයට හේතුව පහදා දෙන්න.

රත්න කහඳගම – අලව්ව.

සමහර චිත්‍රපටවලත් රූ ගන්වන අවස්ථාවේම දෙබස් පටිගත කෙරෙනවා. එහෙත් අපේ රටේ ටෙලි නාට්‍යවල නම් එසේ දෙබස් කවන්නේ වෙන කිසිම හේතුක් නිසා නොවේ. තුට්ටු දෙකට අශ්වයා අරං ගඟෙන් පනින්න පහසු නිසා.

ලෝකයේ හොලිවුඩ්, බොලිවුඩ් හා කොලිවුඩ් කියා සිනමා ක්ෂේත්‍ර තිබේ. එතකොට අපේ සිනමාවට තියෙන නම කුමක්ද? ඒ වගේම මා දැනගන්න කැමැතියි හොලිවුඩ්, බොලිවුඩ් හා කොලිවුඩ් හැදුන ආකාරය.

විතානආරච්චි – ගම්පහ.

අමෙරිකානු සිනමාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි හොලිවුඩ් නගරයයි. මේ නිසා ලෝක සිනමාවේ ප්‍රධාන අග නගරය ලෙස හොලිවුඩ් සැලකෙනවා. හොලිවුඩ් නමට අනුව යමින් හින්දි සිනමාව බොම්බායේ නම අනුව බොලිවුඩ් යනුවෙනුත් දෙමළ චිත්‍රපට වැඩිපුර හැදුන චෙන්නායි හි කෝඩම්බක්කම් ප්‍රදේශයේ නම අනුව යමින් කොලිවුඩ් යනුවෙනුත් ඒ සිනමා කර්මාන්ත නම් කළා.

නයිජීරියානු සිනමාව හඳුන්වන්නේ නොලිවුඩ් යනුවෙනුයි. කල්කටාවේ බෙංගාලි සිනමාව හැඳින්වෙන්නේ බොලිවුඩ් නමින්. එහෙනම් අපේ රටේ සිනමාව ගැන කියන්න දාන්න වෙන්නේ ලක්වුඩ් කියලා තමයි.

මාධ්‍යවේදී ආරියරත්න කහවිට සිනමා නිළි ස්වර්ණා කහවිට, ගායිකා මල්ලිකා කහවිට යන අය ඥාතීන්ද?

ආරියරත්න කහවිට විවාහ වී සිටින්නේ මල්ලිකා ද සිල්වා සමඟයි. ඇය මල්ලිකා කහවිට වනුයේ ඒ නිසයි. ස්වර්ණා කහවිට, මල්ලිකා කහවිටගේ සැමියගේ නැගණියයි.

ඇත්තටම, ප්‍රේමය යනු රාගයෙන් තොර වූවක්ද?

සුජාතා ගුණවර්ධන – කඩවත.

ජීවිතයේ හමුවන හැම ප්‍රේමයකටම රාගයක් මිශ්‍ර වූවොත් කම්මුතුයි.

පැරැණි සිංහල චිත්‍රපටවල ගීත රැගත් දර්ශන සංරක්ෂණය කර තිබෙනවා නම් ඒ ගී ඇතුළත් චිත්‍රපටවලට මොකද වුණේ?

ප්‍රේමරත්න හෙට්ටිආරච්චි – කුරුවිට.

ගීත තියෙනවා නම්, චිත්‍රපටත් ඇති.

භද්‍රජී මහින්ද ජයතිලක ගායකයා ගැන බැලුම්ගලින් කළ වැඩසටහන ගැන ඔබේ අදහස කුමක්ද?

චාමර ප්‍රේමනාත් විජේසිංහ – මිරිස්වත්ත, පිළියන්දල.

බැලුම්ගල වැඩසටහන අතිශය ජනපි‍්‍රය වැඩසටහනක් බව මම පිළි දන්නවා. අවාසනාවකට මම ඒ වැඩසටහන අසා නැත.

“තකාරා” චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න.

කැමිලස් ප්‍රනාන්දු – හලාවත.

බරතන් නමැති කේරළ සිනමාකරු විසින් 1980 දී නිර්මාණය කළ මේ චිත්‍රපටය ඒ යුගයේ මහත් ආන්දෝලනයකට ලක් වූ චිත්‍රපටයක්. පද්මරාජන් විසින් තිර රචනය කළ එහි ප්‍රතාප් හොතේන්, සුරේකා, මේනු, කේ.ජී. මෙනන් ඇතුළු නළු නිළියන් රැසක් රඟපෑවා. තකාරා යනු අනාථ මන්දබුද්ධික තරුණයෙක් හා ගමේ තරුණියක් වන සුරේඛා අතර ගොඩ නැගෙන සබඳතාව ගැන කියැවෙන කතාවක්.

චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාරගේ චිත්‍රපට අතුරෙන් ඔබ කැමැති චිත්‍රපටය කුමක්ද?

ප්‍රේමසිරි නාරසිංහ – ගඩලාදෙනිය.

තුෂාරා

පැරණි ඉන්දීය නළුවන්වන දිලිප්කුමාර සහ රාජ්කපූර්ගෙ රඟපෑම්වලට සමාන කළ හැකි වර්තමාන ඉන්දීය නළුවන් කවුද?

රාජ් කපූර්ට හා දිලිප් කුමාර්ට වර්තමානයේ නළුවන් ආදේශ කරන්න මා කැමැති නැහැ. වර්තමාන නළු නිළියන්ට ලැබෙන තාක්ෂණික හා අනෙකුත් දෑ සසඳා බලන කල එදා සහ අද විශාල වෙනසක් තියෙනවා. හැබැයි දිල්ප් හා රාජ් අතුරෙන් මා වැඩිපුරම කැමැති රාජ්ටයි.

ඇන්ටන් ග්‍රෙගරි, වාමදේමන් කියන සිනමාවේ රූස්ස ගස් දෙක තවම අප අතර සිටීයිද?

හේවගේ සිරිල් - කඩවත, මහර

ඔවුන් තවමත් අපේ රටේ සිනමාව ඔවුන්ගේ දැනුමෙන් පෝෂණය කරනවා.

සරසවිය පුවත්පත සිනමා පුවත්පතක්ද? නැතිනම් සිනමා කලා පුවත්පතක්ද?

කපිල ජයවිලාල් හේරත් – කුලියාපිටිය.

සරසවිය ආරම්භ වන්නේ කලාව ඇතුළු විවිධ විෂයයන් සහිත පුවත්පතක් ලෙසයි. එහි ප්‍රධාන තේමාව කලාවයි. එහි වැඩිපුර ඇත්තේ සිනමාවයි. රූපවාහිනියයි.