වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




එකම චිත්‍රපටයට හිමිකරුවන් තිදෙනෙක්

එකම චිත්‍රපටයට හිමිකරුවන් තිදෙනෙක්

ඉන්දියානු චිත්‍රපටයේ කතාව 06

ඉන්දියානු සිනමා කර්මාන්තය කෙරෙහි බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ඇස් අ?රෙන්නට පටන් ගත්තේ එරට සතු මහේශක්‍ය වෙළඳපොළ සඳහා වෙනත් රටවල් ආක්‍රමණය කරද්දීය. මුල්ම ඉන්දියානු චිත්‍රපටය ලෙස සැලකෙන නිර්මාණය බිහි වනුයේ 1913 වසරේ වුවත් ඒ වන විට වෙනත් රටවලට සාපේක්ෂව එය පසුපසින් සිටි බැව් නම් නොරහසකි. එයට හේතුව ඒ වන විට ලොව පුරා බොහෝ රටවල් චිත්‍රපට නිර්මාණයට එක්වී තිබුන හෙයිනි.

එහෙත් ඒ වන විට ඉන්දියාව සෙසු රටවල චිත්‍රපට නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීමේ හොඳ වෙළඳ පොළක් විය.ඒ චිත්‍රපට ප්‍රදර්ශකයන්ට ඉන්දියාව පුරා මිනිසුන්ගේ ආදරය දිනන්නට හැකි ව තිබුණ හෙයිනි.මේ අලුත් කතන්දර හරහා ගෙන ආවේ ඉන්දියානු සංස්කෘතියට එහෙම්පිටින්ම වෙනස් ජාතියක කතන්දරයන්ය.ඒ විවාහ ජීවිතය පිළිබඳ ඒවායේ කතාන්දර ඉන්දියානු සම්ප්‍රදායන්ට වඩා වෙනස්ය.පතිවත රැකි සීතාදේවිලා යුරෝපා චිත්‍රපට වල නොවීය.එහි සිටි ගැහැනුන් ඔවුනට වඩා ඉඳුරා වෙනස්ය. ඉඳීන් එයට විරුද්ධව මතවාද නැගීම අරුමයක් නොවේ.යුරෝපයේ ද ඇතැම් රටවල ඒ වනවිට සිනමාව නිසා ගැටවරයන් නොමගටයොමුවෙතැයි මතවාදයක් බිහිව තිබිණ.

සියවස් ගණනක් කතා සරිත් සාගරයක් මැවූ මහා දේශයක් චිත්‍රපට හරහා කතා කියන්නට එතරම් කල්මැරීම නම් පුදුමයට කරුණක් වෙයි.එහෙත් ඒ වනවිටත් චලන චිත්‍රය ඉන්දියානු ධනවතුන්ගේ විනෝදාංශයක්ව පැවැතිණ.ඒ නිතර ඔවුන්ගේ සාද සහ උත්සව චලන චිත්‍ර කැමරාවෙන් රූ ගැන්වීම විලාසිතාවක් කර ගත් බැවිනි.මේ යුගයේ ලොව පහෙන් එකක්ම පාලනය කෙරුණේ බ්‍රිතාන්‍ය මඟිනි. මේ නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිෂ්පාදන සඳහා වෙළඳ බාධා අවම විය. එය එක් අතකට බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා වාසියක් විය.බ්‍රිතාන්‍ය නිෂ්පාදන සදහා ඉන්දියාවේ පැවැති වෙළඳ පොළ කෙතරම් වාසිදායක ද යත් එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ සුපතල කපු රෙදි සඳහා හොඳම වෙළඳපොල පැවැතියේ ඉන්දියාවේය.නිදහස් ව්‍යපාරයට ආලෝකයක් වෙමින් විදේශීය නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමේ අරමුණින් ස්වදේශිය ව්‍යපාරය ඇරඹුනේ ද එබැවිනි.මෙකී ස්වදේශීය ව්‍යාපාරය ඉන්දියානු සිනමාවට ගෙන ආවේ දැවැන්ත අඩිතාලමකි.

සැබැවින්ම විදේශ භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමේ අරමුනින් ඇරඹුණ ස්වදේශිය ව්‍යාපාරය ඉන්දියානු නිදහස් සටනේ මංසලකුණක් විය. එය ඇරඹුනේ 1905 වසරේ දී පමණ බෙංගාලයේ දීය.බෙංගාලය බෙදා ඇසෑමය යනුවෙන් අලුත් ප්‍රාන්තයක් ඇරඹීමට එරෙහිව ගොඩ නැගැණ මේ ව්‍යාපාරයේ මුල් නායකයන් බවට පත්වූයේ අවුරෝබින් දොර් ගෝෂ්,ලෝකමාන්‍ය තිලක්,බිපින්චන්ද්‍ර තිලක් වැන්නන්ය. මෙහිදී ඉන්දියානුවන් විසින් එතෙක් පරිහරණය කරන ලද ආනයනිත ඇඳුම් පැළඳුම් මෙන්ම සාප්පු වල අලෙවි කිරීමට නියමිතව තිබූ ආනයනිත භාණ්ඩ ද ගොඩ ගසා ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කිරීමයි. මහත්මා ගාන්ධි තුමන්ට නූතන ඉන්දියාව ගොඩ නැංවීමට මහත් රුකුලක්වූයේ මේ ස්වදේශීය ව්‍යාපාරයයි.

එංගලන්ත සිනමාවේ මෙන්ම වාර්තා චිත්‍රපටකරණයෙහි ද පුරෝගාමියකු වූ චාර්ල්ස් අර්බන් 1911 වසරේ දිල්ලියට පැමිණෙන්නේ පස් වැනි ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් පැවැත්වෙන උළෙලේ වාර්තා චිත්‍රපටය නිර්මාණ කිරිමටය. අර්බන් ඒ වනවිට වර්ණ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් පර්යේෂණ කළේය. එබැවින් ඔහු සිය නව වාර්තා චිත්‍රපටය තැනුයේ වර්ණයෙනි. මේ වසරේ බ්‍රිතාන්‍ය බලධාරින් ඉන්දියානු අගනුවර ලෙස එතෙක් පැවැති කල්කටාව වෙනුවට දිල්ලිය තෝරා ගත්හ. ඔවුන් නව රජතුමාගේ මෞලි මංගල්‍ය සැමරීම සඳහා දිල්ලිය තෝරා ගත්තේ එබැවිනි.ඒ සඳහා ජෝර්ජ් රජු සමඟ මේරි බිසව ද උත්සවයට පැමිණියහ.

අර්බන් සමග එහි නිෂ්පාදකයාවූයේ ඉන්දියානු ජාතිකයකු වූ කේ.පී.කරන්දිකාර්ය.එහි දී නිර්මාණය කරන ලද දිල්ලි ඩර්බර් නම් වාර්තා චිත්‍රපටය (විත් අවර් කිංග් ඇන්ඩ් ක්වීන් තෲ ඉන්ඩියා ලෙස ද හැඳීන්වෙයි.) ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැදගත් නිර්මාණයක් විය. මේ පිළිබඳ කියැවෙන ඇතැම් තැනක සඳහන් වනුයේ මෙහි මුල් පිටපත කිසියම් කඩාකප්පල් කාරින් පිරිසක් විසින් විනාශ කරන ලද බවත් එයින් පසුබට නොවූ අර්බන් වෙනමම වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළ බවය. කෙසේ වෙතත් එයට පෙර හත් වැනි එඩ්වර්ඩ් රජුගේ එංගලන්තයේ පැවැති මෞලි මංගල්‍යය පිළිබඳ වාර්තා චිත්‍රපටය නිර්මාණය කරන්නට යෑමේදී ද අර්බන් මෙවැනිම අකරතැබ්බයකට මුහුණ දුන්නේය.

එම සිනමා කෘතිය නිර්මාණය කරන්නට අර්බන් සිය අධ්‍යක්ෂ ලෙස තෝරා ගත්තේ සිනමා ඉතිහාසයේ පුරෝගාමි මෙහෙවරක් කළ සිනමා කරුවකු වන ප්‍රංශයේ ජෝර්ජ් මේලියස්ය. එහෙත් උත්සවය පැවැත්වූ වෙස්ට් මිනිස්ටර් දේවස්ථානයේ ආලෝකය මදි වූ හෙයින් අර්බන්ගේ චිත්‍රාගාරයේ දී නැවත මෞලි මංගල්‍යක් පවත්වන ලදී. එවර එහි බ්‍රිතන්‍ය රජුට සමාන පෙනුමැති ලොන්ඩරි සේවකයෙක් රඟපෑවේය. එහෙත් ගැටලුවකින් තොරව චිත්‍රපටය තිර ගත කෙරිණ.

අර්බන් ඉන්දියාවේදී තැනූ වාර්තා චිත්‍රපටය තවත් දෙදෙනකුට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය. ඒ නානාබායි ගෝවින්ද් චිත්‍රෙ සහ ටී.ආර්.ටිප්නිස් යන දෙදෙනාය.චිත්‍ර බොම්බායේ කොරනේෂන් සිනමාහලේ හිමිකරුවූ අතර ටිප්නිස් එයට චිත්‍රපට සැපයූ තැනැත්තාය.ඒ වන විට ජනප්‍රිය මරාති නාට්‍යයක් වූ ශ්‍රී පුන්ඩලික් සිනමාවට නැගීමට චිත්‍ර අදහස් කළේන් ඔහු සතුව තිබූ චලන චිත්‍ර කැමරාවෙන් පුන්ඩලික් නාට්‍ය රූ ගන්වා සිය මිතුරකු මෙන්ම මරාති වේදිකාවේ කැපී පෙනෙන පුද්ගලයකු වූ රාම්චන්ද්‍ර ගෝපාල් ටෝනිට පෙන්වූයේය. නාසික් හි ශ්‍රීපද් සංගීත් මණ්ඩලි මඟින් නිපදවන ලද මේ නාට්‍යය රචනා කරන ලද්දේ රාම්රාඕ කීර්තිකාර් විසිනි.එය හින්දු දෙවිවරයකු පිළිබද ලියන ලද්දකි.

කෙසේ වෙතත් චිත්‍ර විසින් රූ ගන්වන ලද රූප රාමු පෙළ තනිකරම වේදිකාව ඉදිරිපිට කැමරාව තබා රූ ගැන්වීමක් විය.එහි සංස්කරණයක් නොවීය. එහෙත් ටෝනි චිත්‍රපටයේ බොහෝ දර්ශන යළි රූ ගන්වන්නට තීරණය කළේය.ඒ අනුව බොම්බායේ ග්‍රාන්ට් වීදියේ දී බෝර්න් ඇන්ඩ් ෂෙපර්ඩ් සමාගමේ කැමරා ශිල්පියකු වූ ජොන්සන් චිත්‍රපටයේ තවත් දර්ශන කිහිපයක් කැමරා ගත කරන ලදී.එමෙන්ම චිත්‍රපටය යළි සම්පූර්ණයෙන් සංස්කරණය කළේය. එහි ධාවන කාලය මිනිත්තු 22 කි.1912 වසරේ මැයි 18 වැනි දින බොම්බායේ කොරනේෂන් තියටර් හි මේ චිත්‍රපටය තිර ගත කිරීම ආරම්භ කෙරිණ. එම වසරේම මැයි 25 වැනි දින ටෛම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ මේ සම්බන්ධ දැන්වීමක් ද පළ කෙරිණ.

එහෙත් පුන්ඩලික් සිනමාකෘතියෙහි සැබෑ නිර්මාණකරු කවරේදැයි තවමත් මතවාද පවතී.එහෙත් එහි වැඩි ගෞරවය ටෝනිට හිමි විය යුතුයැයි සලකන ඇතැමුන් ඔහු ඉන්දියානු සිනමාවේ පියා ලෙස ද හඳුන්වයි.බොහෝ කලක් යන තුරු මේ චිත්‍රපටයේ හිමිකාරිත්වය පිළිබඳ මතවාද රැසක් පැවතිණ.එහෙත් ඇතැමුන් ශ්‍රී පුන්ඩලික් සම්පූර්ණ චිත්‍රපටයක් ලෙස ගණන් ගන්නේ නැත. එයට හේතුව එය සම්පූර්ණයෙන් නාට්‍යයක් රූ ගැන්වීමක් බැවිණි. ශ්‍රී පුන්ඩලික් සඳහා එම ගෞරවය හිමි කර දෙන්නේ නම් එයට පෙර නාට්‍යය දර්ශන රූ ගන්වා ප්‍රදර්ශණය කළ කල්කටාවේ හිරාලාල් සෙන් ට එයටත් පෙර එම ගෞරවය හිමි විය යුතුයැයි ඉතිහාසඥයෝ තර්ක කරති. මේ නාටකීය ගැටලුව නිසාම මුල්ම ඉන්දියානු සිනමා කෘතියේ ගෞරවය හිමිවනුයේ එයට හරියටම වසරකට පසු කොරනේෂන් සිනමාහලේම තිර ගත කරන ලද රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටය නිර්මාණය කරන ලද පාල්කේටය.

එහෙත් ටෝනි ඉන්දියානු සිනමා ඉතිහාසයේ අමතක නොකළ යුතු සුවිශේෂ චරිතයක් වෙයි. ඔහු උපන්නේ 1890 අප්‍රේල් 13 වැනි දාය.ඒ බොම්බායේ මල්වාන් ප්‍රදේශයේය. ළමා වියේ දීම සිය පියා අහිමි වන ටෝනි සිය මව සමඟ ගමෙන් පිටවෙයි. දස හැවිරිදි වියේ දී පාසැල් ගමන අත් හරින ඔහු බොම්බායේ කොට්න්ග්‍රීන් ඉලෙක්ට්‍රික් සමාගමේ රැකියාවක් සොයා ගනී. ඔහු එහි දක්ෂ විදුලි ශිල්පියකු වන්නේ ඉක්මනිනි. නාට්‍ය සදහා ලොල් වූ ටෝනි ශ්‍රීපද් සංගීත් මණ්ඩලිහි කැපී පෙනෙන සාමාජිකයකු වෙයි. ඒ වන විට චලන චිත්‍රය ඉන්දියාව ආක්‍රමණය කරමින් සිටිය ද එයට අභියෝග කළ හැකි නාට්‍ය නිර්මාණය කරන්නට ඔහු සමත් විය. ශ්‍රී පුන්ඩලික් නිර්මාණය කරන්නට තරම් ඔහු සමත් වනුයේ එබැවිනි.

එහෙත් මේ වන විට ද තම රැකියාවේ නිරත ව සිටි ටෝනි සමාගම මඟින් එවකට ඉන්දියාවට අයත් ව තිබූ වර්තමාන පාක්ස්ථානයේ කරච්චි නගරයට උසස්වීමක් සහිතව යැව්වේය.ඒ වන විට කරච්චියට හොලිවුඩ් චිත්‍රපට ආනයන කළ බාබුරාඕ පායි ටෝනි සමඟ ව්‍යාපාරික මිත්‍රත්වයත් ගොඩ නගා ගත්තේය. අනතුරුව කොල්හපූර් වෙත පැමිණි හෙතෙම බාබුරාඕ පේන්ටර් හා එක්ව කැමරා උපකරණ හා ප්‍රක්ෂේපණ යන්ත්‍ර සේවා සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. එපමණක් නොව ඔහු මේ වන විට තැනෙණ අලුත් චිත්‍රපට සඳහා ද මුදල් ආයෝජනය කිරීමෙන් ලාබ ලබන්නට පටන් ගත්තේය. 1929 වසරේ දී ඔහු ෆේමස් පික්චර්ස් නමින් නවතම සමාගමක් පිහිටුවාලූයේය. මේ සමාගම ඉන්දිය සිනමා ඉතිහාසයේ විප්ලවීය වෙනසකට මග පෑදූ සමාගමක් විය. මේ අවදියේ ටෝනිට මුණ ගැසුන බොම්බායේ මැජස්ටික් සිනමාහලේ පාලකයා මෙන්ම පසුකලක මුල්ම ඉන්දීය කතානාද චිත්‍රපටයේ නිර්මාණකරුවා වූ අර්දේශර් එම්.අයිරානි ටෝනි ගේ සිනමා සමාගම හරහා ෆේමස් ජෝති චිත්‍රාගරය පිහිටුවාලූයේය.

අයිරානිගේ ඉම්පීරියල් ෆිල්ම් කම්පැණි මෙන්ම චිත්‍රාගාරයේ ද කළමනාකාර අධ්‍යක්ෂවූයේ ටෝනිය. මේ සමාගමේම අතුරු සමාගමක් ලෙස සාගර් ෆිල්ම්ස් බිහි කරණ ටෝනි එමගින් නිහඬ චිත්‍රපට ලෙස නීරා(1926) සින්බෑන්ඩ් ද සේලර් (1930) සහ දිල්බර්(1931 ) චිත්‍රපට නිපදවූයේය.1931 වසරේ අයිරානි ඉන්දියාවේ මුල්ම කතානාද චිත්‍රපටය අලම් අරා තනද්දී එයට ශබ්ද උපකරණ සැපයුවේ ටෝනි විසිනි. අනාගතය කල් යල් බලා දුටු ඔහු ඉතා ඉක්මනින් ශබ්ද උපකරණ ආනයනට එක්වූයේ ඒ වනවිට ලෝක සිනමාව ඉතා ඉක්මනින් කතානාද සිනමාව වැලඳ ගන්නා බැව් ප්‍රත්‍යක්ෂ වූ බැවිනි. ඒ වන විට ඉන්දියාවේ නම ගිය චිත්‍රාගාරවූ රංජිත්,ප්‍රභාත්,වැනි චිත්‍රාගාර සියල්ලටම ශබ්ද උපකරණ සැපයුවේත් ඒවා නඩත්තු කරන ලද්දේත් ටෝනි විසිනි.

මේ සාර්ථකත්වයත් සමග පූනාවේ ශංකර්ෆශ්න් පාරේ තමාගේම සරස්වතී සිනෙටොන් සමාගම ගොඩ නැගූ හෙතෙම එමඟින් ඉන්දියානු සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් නිර්මාණය කළා පමණක් නොව ඒ හරහා පසුකලක ඉන්දියානු සිනමාවේ විශිෂ්ට චරිත රැසක් හඳුන්වා දීමට ද කටයුතු කළේය. සරස්වතී සිනෙටෝන් මුල්ම චිත්‍රපටය වූයේ ශ්‍යාම් සුන්දර්ය. එහි අධ්‍යක්ෂණය බල්ඝන්ධාර් පෙන්ඩර්කාර්ය. 1932 වසරේ නිපදවුණ මේ චිත්‍රපටය ඒ වන විට ඉන්දියාවේ තැනුණ අති සාර්ථකම චිත්‍රපටය විය. එය එක දිගට මුල්වරට සති විසි පහක් තිර ගත කළ හින්දි චිත්‍රපටය විය.බාබුරාඕ කේට්කාර් සංගීතවත් කළ එහි කැමරාව මෙහෙයවූයේ චින්තාමන් මේධාකර්ය. මේ හවුල පසුකලක ටෝනිට නැතිවම බැරි දෙදෙනෙක් විය.

ශාහු මොඩක් සහ ශාන්තා අප්තේ යන ජනප්‍රිය නළු නිළි යුවළ සිනමාවට හඳුන්වා දුන්නේ ද එමඟිනි.මාස්ටර් විතාල්,මෙහෙබුබ් ,ඒ.සී.කාදර්,බාලාජි පෙන්දර්කාර් ඇතුළු පසුකාලින හින්දි හා මරාති සිනාමවේ දැවැන්තයන් රැසක් ටෝනි ගේ සරස්වතී ස්ටුඩියෝ හරහා දොරට වැඩියහ. ඔහු චිත්‍රපට 17ක් නිර්මාණයට සම්මාදම් වූයේය. 1947 වසරේ දී ඔහුගේ හවුල් කරුවන් විසින් ඔහුට හොරා ඔහුගේ උපකරණ පාකිස්ථානයට විකුණා දැමීම ඔහුට හෘදයාබාධයක් ගෙනාවේය.

එයින් ආර්ථික හා ශාරීරික වශයෙන් ද පිරිහුණ ඔහු සිය මෑණියන් නමින් ඉදි කළ චන්ද්‍රිකා නම් නිවසේ සිට මරාති චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළේය. එහෙත් බිඳුණ සිත සුවපත් කිරීමට එය ප්‍රමාණවත් නොවිණ. 1960වසරේ ජනවාරි 19 වැනි දින නිදි යහනේම මෙලොව හැර යන තුරුම එය ඔහුට අපමණ වේදනා ගෙන දුන්නේය.

මතු සම්බන්ධයි