වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඇවිත් සේමිණී තරු මිහිරම සතුටින් පිරුණී

ඇවිත් සේමිණී තරු මිහිරම සතුටින් පිරුණී

අපූරු වර්ණ රටා එක්කරමින්, හිමිදිරි උදෑසන සූර්ය කුමරු ලොව එළි කරන්නේ සුන්දර මිනිසුන්ගේ ප්‍රාර්ථනා, යථාර්ථයක් බවට පත් කරන්නටයි. හිරු කුමරුගේ එළියෙන් දිලෙන “ස්වේත මැණික” නැතහොත් ‘සුදු මැණික’ගේ ආගමනය සිදුවන තුරු දෑස් දල්වාගෙන බලා සිටින පිරිසකි.

හිරු එළියෙන් දිදුලන ස්වේත මැණිකක් තරමටම මේ ආගන්තුක පිරිසගේ දෑස් දීප්තිමත්ය. බලාපොරොත්තු සහගතය. නේකවිධ වර්ණ රටාවන්ගෙන් දිදුලන ‘ස්වේත මැණික’ දැන් එතැයි, දැන් එතැයි කියා මේ පිරිසගේ සිතුවිලි අසීමාන්තික තරගයක යෙදෙයි. මේ පිරිස නම්,

වේයන්ගොඩ සිට පැමිණි රොෂාන් චතුරංග, පන්නිපිටිය සිට පැමිණි ඩී. එම්. ලලිනි, මොරටුව සිට පැමිණි බී. කමල් ප්‍රේමරත්න හා පඬුවස් නුවර සිට පැමිණි ඉනෝකා පි‍්‍රයදර්ශනී යන පිරිසයි.

මේ කාණ්ඩයේ අභිලාෂය වන්නේ, පුංචි තිරය, රිදී තිරය තම රංග ප්‍රතිභාවෙන් එකලු කළ සුරූපී ‘ස්වේත මැණික’ ගේ රුව දැකීමයි. මේ සියලු දෙනා බලා උන් ස්වේත මැණික අප හැමට ලෙන්ගතු සේමිණි ඉද්දමල්ගොඩයි.

‘කෝ මගේ ආදරණීය රසික පිරිස’ කියූ සේමිණි සරසවිය ඡායාරූපගාරයට පිවිසුණේ හැම දෙනාගෙම බලාපොරොත්තු දල්වමින්.

මේ රසික පිරිස සේමිණිගේ රසිකයන් මෙන්ම සරසවියට අපමණ පෙම් බඳින සරසවිය අපගේත් පාඨක පිරිසයි.

එකිනෙකා හඳුනාගත් ඔවුන් දැන් පිළිසඳෙර්ය.

ඔයාට මතකද මන්දා මීට අවුරුදු දහයකට විතර කලින් මට ඔයාව මුණ ගැහුණා. එතකොට ඔයාගෙ දුව ‘කුමලි’ට අවුරුදු දෙකයි.

‘ලලනි මට මතකයි ඔයාව’.

‘ආ මේ බලන්න දැන් මගේ දූ ලොකුයි. දැන් වයස අවුරුදු දොළහයි’. කියමින් සේමිණීගේ ආදරණීය දූ සිඟිත්තිය ‘කුමලි’ගේ ඡායාරූප කිහිපයක් තම අත වූ ජංගම දුරකථනයෙන් ඇ තමාට ලෙන්ගතු මේ පිරිසට පෙන්නුවාය.

‘අර නෙතු පියෙන තුරා නාට්‍යයේ ඔයා තට්ටෙ ගෑවේ’ ඒක නම් හරිම සංවේදියි....

’ඒ නාට්‍යයේ තිබුණු චරිතයට උපරිම සාධාරණයක් කරන්න ඕනෑ නිසා තමයි මම තට්ටෙ ගෑවේ’.

අක්කේ ඔයා දැන් වැඩිපුර ටෙලි නාට්‍යවල නැහැනේ....? ඉනෝකාගේ තනියට පැමිණි හර්ෂණී ඇසුවේ සේමිණිගේ දීප්තිමත් නෙත් සඟළ දෙස බලාගෙනයි.

‘නංගී ඇත්තටම මම රඟපාන්න කැමැති ටිකක් හරවත්, මට යමක් කරන්න පුළුවන් නාට්‍යවල විතරයි. රඟ නොපා පෙනී සිටින නාට්‍යවලට මම කැමැති නැහැ. ඒ නිසා දැන් මම තෝරා බේරාගෙන තමයි නාට්‍ය රඟපාන්නේ. අනික දැන් මම වැඩිපුර සිනමාව පැත්තට යොමු වෙලා ඉන්නේ.

ඔයා වෘත්තියෙන් රංගන ශිල්පිනියක් ද? කමල් ගේ සිත තුළ තෙරපාගෙන සිටි පැනය ඔහු කල්යල් බලා සේමිණි වෙත යොමු කළා.

නැහැ, ඒකනේ මම කිව්වේ වෘත්තීය රංගන ශිල්පීන්ට අකැමැත්තෙන් හරි අර බාල බොළඳ නිර්මාණවලට දායක වෙන්න වෙනවා.

ඔයා නාට්‍යයක් නිෂ්පාදනය කළා නේද? නිහඬව සිටි රොෂාන් යොමු කළ පැනයයි ඒ.

ඔව්, නිෂ්පාදනය කළා තමයි. ඒත් තවමත් චැනල් එකක වෙලාවක් ගන්න බැරි වුණා. ඒක මගේ පළමු සහ අන්තිම නිෂ්පාදනය වේවි.

ක්‍ෂේත්‍රය ගැන කලකිරීමෙන් ද?

නැහැ, මම ක්‍ෂේත්‍රය ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ.

අනේ අක්කේ ඔයා ඔච්චර ලස්සනට ඉන්න රහස මොකක්ද? ඔයා නිර්මාණවල දකිනවා වගේම හැබැහිනුත් හරිම ලස්සනයි. ඉනෝකා සිතේ මෙතෙක් වේලා සිරකරගෙන සිටි පැනය යොමු කළේ එලෙසිනි.

සිත සතුටින්, කාටවත් ඊර්ෂ්‍යා නොකර, සිටීම තමයි. අනික තමා අපි කන බොන දේවල් ස්වභාවිකව ශරීරයට ගුණදායක දේවල් වෙන්න ඕනෑ. බොරු මවා පෑම් නැතිව සරලව, ආගමානුකූලව ජීවත් වෙනවානම් හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන්.

ඇත්තටම කවදාවත් අක්කා ඊර්ෂ්‍යා කරලා නැද්ද? හර්ෂණී ගෙන් නැවතත් පැනයක්.

මෙහෙමයි, දවසක් මම උත්සවයක දී මාලිනී අක්කා (මාලිනී ෆොන්සේකා) රඟපාන ගීතමය ජවනිකා වගයක් බැලුවා. ඒ අවස්ථාවේ මාලිනී අක්කා ඒ උත්සවයට ඇවිත් හිටියා. ඉඳගෙන හිටියේ මට එහා සීට් එකේ. ‘මම මාලිනී අක්කට කනට කරළා කිව්වා අනේ අක්කේ ඒ කාලේ ඔයා රඟපානවා දැක්කම මට හරිම ඊර්ෂ්‍යයි කියලා. මාලිනී අක්කා හයියෙන් හිනා වුණා. ඔය වගේ සුළු සුළු දේවල්වලට ඊර්ෂ්‍යා හිතුනට ඒවා හිතේ පැලපදියම් කරගෙන ඉන්නේ නැහැ. හැබැයි මම නවගුණවැල අතින් අරන් ඉන්නෙත් නැහැ.

ඔයා වැඩියෙන්ම කන්න බොන්න ආස මොනවද? නළු නිළියන්ගේ කෑම බීම ගැන නිතර සොයන හර්ෂණී හා රොෂාන් ඇසුවේ වඩාත් උනන්දුවෙන්.

සතියකට දවස් තුනක්වත් ඉතින් ඇඹැරැල්ලා පොත්ත පිටින්ම ජූස් හදලා බොනවා.තව බහෙත්නෙල්ලි හැකි හැම වේලාවකම කනවා.එළවලු පලතුරු තමා වැඩිපුරම කන්න කැමැති.

ඔයා රඟපාන්න එනවට මහත්තයා කැමතිද?

අනේ මම ඉස්සෙල්ලාම රඟපෑවෙත් බැඳලා මාස ගාණක් ගියාට පස්සේ. මගේ මහත්තයා ධම්මික තමයි මගේ හෙවණැල්ල, වගේ පස්සෙන් ඉඳගන උදව් කරන්නේ. අනික මහත්තයා හැමවේලේම කියන්නේ වැරැදි කරන ගැහැනි කොහේ හිටියත් ඒක කරනවා. එකිනෙකා අතර විශ්වාසය තමයි වැදගත් කියලා.

අනේ ඔයා රඟපෑවට ඔයා කැමැතිම ටෙලි නාට්‍ය මොකක්ද?

මේ ලඟදී නම් මම ආසාවෙන් නැරැඹුව ‘සුජාත දියණී’.ඒ ටෙලි නාට්‍යය මගේ දුව ආසාවෙන් නැරැඹුවා. මම පසුගිය දවස්වල ආසාවෙන් නැරැඹුව එකම ටෙලි නාට්‍යය. බලන්න ඒ ටෙලි නාට්‍යවල පසුබිම, මේකප්, කැමරා කෝණ මේ හැම දේම නීට්නේ. ඒ වගේම ඒ නාට්‍යයේ සිංහල හඬ කැවීම මට නම් අති විශිෂ්ටයි. සිතාරා චංගුමීට හරිම සාධාරණයක් කරලා තියෙනවා.

‘තරු මිහිර’ විශේෂ ඡායාරූප සියල්ලම එසැනින් සජීවීව සරසවිය වෙබ් පිටුවේ පළවද්දී සේමිණී ඒවා නැරැඹුවේ අසීමිත සතුටකිනි. sarasaviya.lk වෙබ් පිිටුව වෙත පිවිස පාඨක ඔබට ද ඒ සොඳුරු අවස්ථාවන් දැක බලා ගත හැකිය.

දවසක් මම බණ්ඩාරවෙල ෂූටිං කරද්දී හැමදාම රාත්‍රී 6.30 වෙනකොට ලෙඩක් අරගෙන ලොජ් එකට යනවා. ඒ චංගුමී ගේ කතාව බලන්න ඕනෑ නිසා. තව මම ආසාවෙන් බලපු කතාවක් තමයි කාංචනා මෙන්ඩිස් රඟපාපු ‘මේ වසන්ත කාලයයි’ ටෙලි නාට්‍යය. ඒකත් හරිම ලස්සනයි.

රස කතා ගලාගෙන යද්දී, රොහාන් ඉදිරිපත් වී මනරම් හින්දි ගීතයක් ගායනා කළා. සේමිණී මැද සිටගෙන කමල්ට හා හර්ෂණීට අකුරු නම් කරමින් ගීතයෙන් ගීතය ආකාරයට ගීත වැලක් ගායනා කළා. කමල්ගේ හඬින් මා නෙත් කැදැල්ලේ ගීතය ගැයෙද්දී, හර්ෂණී ගේ ගීතය වූයේ ලස්සනට පිපුණු වන මල් ගීතයයි.

මේ සියල්ල, අතරේ සේමිණී අතක් බරට රැගෙන ආ කෑම බීමවලින් තම හිත මිතුරු රසිකයන්ට මෙන්ම සරසවිය කර්තෘ මණ්ඩලයට ද සංග්‍රහ කළේ සතුටින් ඉපිල යමිනි.

ලලනි ගේ සැමියා හා ලලනි ‘අපේක්ෂා’ චිත්‍රපටය ගෙදරට හොරෙන් නැරැඹූ අයුරු අසමින් සේමිණී සිනහ වූයේ ඇගේ ප්‍රේමයේ පසුගිය මතකයන් ද අවදි කරමිනි.

මේ සියල්ල අතර සේමිණි ගෙනා රස සංග්‍රහ ඇගේ සුරතින්ම හැමෝටම කැව්වේ කමල්ට ‘කුකුළා’ යන නමක්ද ආදේශ කරමිනි.

ඔයා’සුජාත දියණිය’ බැලුවට ඒ වගේ නාට්‍යයක හඬ කවන්න කැමැති නැද්ද?

අනේ මම හරිම ආසයි ඒ වගේ නාට්‍යයක හඬ කවන්න. ආරාධනා කළොත් වෙලාව තියෙන විදියට සම්බන්ධ වෙනවා.

අද ආදරවන්තයින්ගේ දවසේ මම ඔයාලා හමුවෙලා මෙහෙම සතුටු වෙන්න අදම යොදා ගත්තේ මට ඇත්තටම ආදරේ ඔයගොල්ලෝ නිසා. ඒ වගේම සරසවියටත් මගේ ආදරය අඩු නැතිව ලැබෙනවා.

එකිනෙකා තුරුලු වෙමින් ඔවුනොවුන් ගේ සතුට බෙදා ගත්තේ අපමණ සෙනෙහසක් ද ඒක් කරමිනි. මෙවර ‘තරු හමුව‘ සජීවීව www.sarasaviya.lk වෙබ් පිටුව හරහා ලොවටම දැක බලාගන්නට ලැබුණු අවස්ථාව ද සේමිණි ඇතුළු පිරිස නැරැඹුවේ හද පිනා යන සතුටිනි.

හැමදාමත් වගේම ‘තරු මිහිර’ ආදරණීය ත්‍යාග අනුග්‍රහකයා වන ‘ලක් සළුසල’ ආයතනයෙන් ලබා දෙන තෑගි සේමිණී ගේ පින්වන්ත අතින් පාඨකයන්ට ලබා දෙන විට සළුසල සභභාපතිතුමන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම ජනක, රෝමා, ෂාමෙන් ඇතුළු පිරිසත් මතක් කරන්නට ඇය අමතක කළේ නැහැ.

ලකඹරේ දිදුලන කලා තරු අතර දීප්තිමත් කලා තාරකාවක වූ සේමිණි ගේ ආගමනයෙන් හැඩ වූ තරු මිහිරට එසේ සමුදෙද්දී ඔවුනොවුන් වැලඳගෙන වෙන්වන දුක නිවා ගත්තේ තවත් දවසක හමුවීමේ ප්‍රීතිය සිත් හි සඟවා ගනිමිනි.

ලලනිගෙන් සේමිණීට තෑගි . . .

රෝෂන්ගෙන් ආදරවන්තයින්ගේ දිනයේදී රෝස මල්

ඉනෝකා සහ හර්ෂණී සේමිණීට රහසක් කියයි

සේමිණී වටකර සැවොම සතුටින්