වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අත්තමට චිත්‍රපටයක් තැනූ සිනමාකාරියක්

අත්තමට චිත්‍රපටයක් තැනූ සිනමාකාරියක්

වෙනස සිනමා සංසදයේ කෙටි චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂිකාව ඇයයි

නිසංසලා මධුවන්තිගේ ‘වස්දඬුරාවය’ කෙටි චිත්‍රපටය මට දකිකන්න ලැබුණේ කෙටි චිත්‍රපට උළෙලකදී ජූරි සාමාජිකයකු ලෙස කටයුතු කළ අවස්ථාවකදී. එදා එම ජූරියේ ඒකමතික තීරණය වුණේ මේ කෙටි චිත්‍රපටයට හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය හිමි විය යුතු බවයි. එයට මූලිකම හේතුව වුණේ නුවර කලාවියේ ගමක මානුෂීය අත්දැකීම් ඉතාම නිර්ව්‍යාජව අධ්‍යක්ෂවරිය මේ නිර්මාණය මඟින් ඉදිරිපත් කළ අන්දමයි.

එහිදී ඇය රූපයෙන් මෙන්ම ශබ්දයෙන් ද එම අත්දැකීමට අප බැඳ තබා ගත්තේ එම පරිසරයේ ඒකමතිකභාවය රැක ගනිමින්. නුවර කලාවියට බිම් කරුවල වැටෙන මොහොතක එම ආලෝක තත්ත්වය චිත්‍රපටයේ අවසානය දක්වා පවත්වාගෙන තියෙනවා. එය ඉතා අසීරු දෙයක්. මෙතරම් හොඳින් නුවර කලාවියේ පරිසරය මතු කළ වෙනත් කෙටි චිත්‍රපටයක් මම දැක නැහැ. මෙවැනි කෙටි චිත්‍රපට රූපවාහිනි මාධ්‍ය තුළින් ද හඳුන්වා දී මෙවැනි දක්ෂතා ඇති අය ප්‍රේක්ෂකයාට හඳුන්වා දිය යුතු බව මගේ අදහසයි. ඉනෝකා සත්‍යාංගනි, ආචාර්ය ස්ටැන්ලි හෙට්ටිආරච්චි ඇතුළු එම කෙටි චිත්‍රපට උළෙලේ ජූරි සාමාජිකයන් වූ අපි ඇයගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා

- ප්‍රසන්න විතානගේ

මෙතෙක් වේලා හුරුළු වැව් දියවර සිපගත් ප්‍රචණ්ඩ හිරු කෙඳිති නිමෙන්නට ඇත්තේ තවත් සොච්චම් මොහොතකි. ජීවිතය ඉල්ලා අහසට යදින, නේක විධ වියළි තුරු පතර අතර දඟ කරන සල්ලාල සුළං රැලි අනාරාධිත මනමාල ගමනකය. මේ මොහොතේ ඈ තවමත් තරු ගණිච්චියේය. මේ වියළි හුරු පුරුදු සුළං රැල්ල ඇයට නිනව්වක් නොමැත. අහස දෙසත් වළා වියළ දෙසත් බලමින් ඈ අහසේ ඇදෙන සිතුවම් නෙත් කෙවෙනි මත ගබඩා කර ගත්තේ පරෙස්සමටය. ඒ සමීප දුරස්ථ මධ්‍යම රූප හිත තුළට සංස්කරණය කළ ඈ මනඞකල්පිත චිත්‍රපටයක් සිත තුළ නිපද වූවාය.

දෙඅත කොටුකොට ඉගිළෙන කුරුල්ලන් දෙස ඈ ඉඳු කඳුළු නැගෙන තෙක්ම බලා උන්නාය. සිත තුළ ඇඳගත් රූ පෙළහර අකල් වැස්ස සමඟ මැකී ගියේය.

නමුදු ඈ තම උත්සාහය අත් නොහැරියාය. වැස්සට පසු දලු දමන වියළි පඳුරක් සේ ඇගේ බලාපොරොත්තු දිනෙන් දින දලු දමා වැඩුණේය. ඈ තමාගේ ඉලක්කය හඹා යන්නට තීරණය කළාය. ගොවිතැනින් දිවි රකිමින් සැමදා සිහින දකිනවාද? හොඳින් අධ්‍යාපනය ලබා මේ දුක් කම්කටුලු මතින් ජීවිතය දිනනවාද යන දෙපැනයට ඈ පිළිතුරු සෙවුවාය. අවසානයේ ඈ දෙවැනි පැනය තමාගේ ජීවිතයේ ඉලක්කය ලෙස තෝරා ගත්තාය.

අඳුරු රාත්‍රී චංචල කළ රූස්ස බැද්දේ සද්දය ගණනකට නොගෙන ඈ උගත්තාය. අවසානයේ විශ්ව විද්‍යාලයට යාමට ඇයගේ මඟ ඇහිරුනේ ලකුණු දශම ගණනකිනි. නමුදු ඈ තමාගේ ධාවන තරගය මඟ නතර නොකළාය.

‘ඒක හරියට දෛවයේ සරදමක් වගේ. රෑ එළිවෙනකල් නිදි මරාගෙන පාඩම් කරල උදේ ඉඳන් ආයෙත් රෑ වෙනකල් පොළවත් එක්ක ඔට්ටු වෙලා සිහින දැක්කේ ජීවිතය දිනන්නටයි. විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා කියලා ඒ ගමන අතරමග නතර කරන්න මගේ ශක්තිමත් හිත ඉඩ දුන්නේම නෑ. මේ හැම බලාපොරොත්තුවක්ම පොදි බැඳගෙන තවත් මං වගේම යහළුවෝ ටිකක් එකතු කරගෙන අපි කොළඹට ආවේ ගිලිහිච්ච බලාපොරොත්තුවල ඉතුරු කොටස හොයාගෙන. බලාපොරොත්තුව ගොඩක් දුර වුණාට හෙව්වොත් හොයා ගන්න අමාරු වෙන එකක් නැහැ කියල අපි දැනගෙන හිටියා. හේන් ගොවිතැනම ජීවිතය වුණ අපට වපුරපු තරමට තමයි අස්වැන්න කියන කතාව හරිම ළඟයි.

අන්තිමේදී අපිට අලුත්ම අලුත් පාරක් හම්බ වුණා. අපි හැමෝම එකතු වෙලා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර අංශයෙන් කලා උපාධිය හදාරන්න කතිකා කර ගත්තා. අපි තෝර ගත්තේ ඉමේජ් ආර්ට් කියන විෂය. ඒක අලුත්ම විෂයක්. අලුත්ම පාරක් හොයපු අපි බයක් නැතුව ඒ විෂය තෝර ගත්තේ හිතේ තිබුණ හයිය නිසාම වෙන්න ඇති.

අද, අපේ කතා නායිකාව සියලු දෙනා සමඟ අලුත් විෂය හදාරන්නට පටන් ගත්තාය. කිසිදු පහසුකමක් නොමැති අනුරාධපුරයේ සිට මේ විෂය හැදෑරීම ප්‍රයෝගික නොවන බව ඔවුනට සිතුන වාර අනන්තය. මතකයක් ඇති කලක පහසුවකින් චිත්‍රපටයක් නොබැලූ ඔවුනට මේ විෂය තුළ ගැබ් වූ න්‍යායික දැනුම වටහා ගන්නට කලක් ගත වූවේය. ඔවුන් තෝරාගත් විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබා දෙන්නට දෙවියකු සේ ඉදිරිපත් වූවේ කැලුම් කුමාර මොහොට්ටිගේ ගුරුතුමාය. ඔහු මේ දිරිය දියණියන් පෙරටු කර ගනිමින් අනුරාධපුරයේ ගලෙන්බිඳුණු වැව සුවිශාල ගස් සෙවණක් යට දැනුම බෙදන මිනිසත්කමේ තක්සලාව ඇරැඹුවේය. කලක් රූපවාහිනී මාධ්‍ය නිර්මාණකරුවකු වූ කැලුම් එක් අවස්ථාවක නිර්මාණ දිවිය පසෙකලා වගාවට බැස්සේය. නොදැන ගොවිතැනට ගොස් අමාරුවේ වැටුණු කැලුම් තමාගේ ශිල්ප ඥාණය ගැමි දරුවන්ට ලබා දුන්නේය.

‘ඇත්තටම මේ විෂයේ කිසිම දෙයක් මුලදී තේරුණේ නැහැ. කැලුම් සර් තමයි මේ විෂය ගැන අපට කියල දුන්නේ. මම පුංචි දරුවෙක්ගේ අම්මා කෙනෙක්. දරුවා වඩා ගෙන සමහර වෙලාවට මම පංතියට ගියා. මගේ පුංචි පුතත් කිසිම දෙයකට කරදර නොකර හිටියේ හරියට හැම දේම දන්න ළමයෙක් වගේ. සමහර මාසවල සර්ගේ බස් කුලියට හරි යන්නවත් මුදලක් දෙන්න අපි ඔක්කොම එකතු කරලවත් සල්ලි හොයා ගන්න බැරි වුණා. ඒවායෙන් අපි පහුබැස්සට සර් තවත් දිරිමත් වුණා. කොහොම කොහොම හරි අපි සිනමාව ගැන දැනුම ටිකක් එකතු කර ගත්තා. සමහර දේවල් වචනවලට විතරයි අපි ඉගෙන ගත්තේ. චිත්‍රපටයක් බලන්න පෙරුම් පුරපු අපට චිත්‍රපටයක් හදනවා කියන්නේ ගව් ගාණක ඈත සිහිනයත්.

කෙසේ හෝ සියලු දෙනා එක්ව අලුත් මඟේ කෙන්ද්‍රීය ලක්ෂයට ළඟා වූයේය. එදා තුරු වියන යට සඳ සිහිලේ තරු ගැන්න ඈ දැන් නිර්මාණකාරියක වන්නට සුදුසු පරිසරයක දෙපසින් නැඟී සිටින යෝධ තුරු සිරසක් වැනිය.

‘මේ කාලෙදි තමයි අපි පර්යේෂණ නිබන්ධනයට කෙටි චිත්‍රපටයක් යෝජනා කර ගත්තේ. අපි නව දෙනාගෙන් හත්දෙනෙක් කෙටි චිත්‍රපට හදන්න එකඟතාවයකට ආවා. ඒත් ඉතිං කෝ අපිට සම්පත්. අපි කවදාවත් කඩා වැටුණේ නැහැ. තැනින් තැනින් කටයුත්තට අවශ්‍ය මෙවලම් ටික එකතුªකර ගත්තා. අපි අතේ මහ ලොකු සල්ලියක් තිබුණෙත් නැහැ. මගේ මහත්තයා මට යෝධ සෙවණැල්ලක් වගේ පිටුපසින් හිටියා. කතිකා කර ගත්ත විදියට චිත්‍රපටයේ වැඩ පටන් ගත්තා. අපි වැඩ කළේ අත්තම් ක්‍රමයට.

අපි දන්න හොඳම හුවමාරු ක්‍රමය වුණේ අත්තම් ක්‍රමය. හත්දෙනා මාරුවෙන් මාරුවට අත්තමට වැඩ කළා. හැමෝටම කෑම උයල දුන්නේ මගේ මහත්තයා. මම චිත්‍රපටවල වැඩවලට වෙහෙසෙද්දී එයා ගෙදර වැඩ වෙනුවෙන් වෙහෙසුනා. මට පුදුමත් හිතෙනවා. එයා තමයි පුතාට අම්මා වුණේ. සමහර වෙලාවට මං දරුවත් අරගෙන තමයි ෂූටිංවලට ආවේ. දරුවා කිහිල්ලේ ගහගෙන මං චිත්‍රපටය වෙනුවෙන් වැඩ කළා. මං හිතන්නේ මගේ දරුවා බහ තේරුවේ ‘කට්’ කියලා. චිත්‍රපටයේ ‘කට්’ කියන වචනය කියන වාරයක් පාසා පුංචි පුතත් ‘කට්’ කියන්න පුරුදු වුණා. අපි කෙටි චිත්‍රපටයක් හැදුවා. පළවෙනි වතාවේ ඒක බලද්දී ජීවිතයේ හැම දුකක් දොම්නසක්ම එපා වෙලා ගියා. අපට හිනා වෙන්න ගොඩක් කල් ගත වුණා.

ඈ කෙටි චිත්‍රපටයක් නිමා කළේ ජීවිතයේ අලුත් ගමනක් අරඹමිනි. එම කෙටි චිත්‍රපටය රත්නපුර වෙනස සිනමා සංසදය සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළාය. ප්‍රසන්න විතානගේ, ඉනෝකා සත්‍යාංගනී, ආචාර්ය ස්ටැන්ලි හෙට්ටිආරච්චි වැනි විද්වත් මඩුල්ලක් මේ සිනමා උළෙලේ තීරකයෝ ලෙස කටයුතු කළා.

අලුත් කතාව ඇරඹෙන්නේ එතැනිනි. මෙතෙක් වේලා අපේ කතා නායිකාව වූ ගලෙන්බිඳුණ වැව දිරිය දියණිය එසේත් නැතහොත් නිසංසලා මධුවන්ති විජේසිංහ සම්මානනීය අධ්‍යක්ෂිකාවක් වන්නේ එතැනිනි. දැන් නිසංසලා සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවකි. දැන් ඇගේ වත සිනහවෙන් පිරී ඉතිරී ගොසිනි. ඇගේ දහදිය, මහන්සිය, ධෛර්යය, සහයෝගය මේ සියලු දේ සමඟින් නිර්මාණය වූ අනුරාධපුර ගැමියාගේ අව්‍යාජත්වය පෙන්නුම් කරන්නා වූ ඒ නිර්මාණය ‘වස්දඬුරාවය’ මේ සිනමා උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය බවට තීරකයෝ ඒකමතිකයව තීරණය කළහ.

‘ඒ වෙලාවේ මට දරා ගන්න බැරි තරම් ලොකු සතුටක් දැනුණා. මේ තරම් ලොකු ජයග්‍රහණයක් බලාපොරොත්තු නොවුණත් අනුරාධපුරේ ඉඳල රත්නපුරයට ගියේ බොහොම අමාරුවෙන්. ඒ තරම් දුරක් ගෙවාගෙන ගිහින් මේ වගේ ජයග්‍රහණයක් ලැබෙන කොට මට මතක් වුණේ මේ මොහොත තෙක් පැමිණි ගමනයි. වස්දඬුරාවයෙන් කියන්නෙත් අපේ ගැමිකම ගැනම තමයි. ඒක මගේ අත්දැකීමක්. ග්‍රාමීය ජනතාවගේ තියෙන නූගත්කම, මිත්‍රශීලී බව, ආගන්තුක සත්කාරය නාගරික සමාජය අත්වැරැද්දක් කර ගන්නා අන්දම තමයි එයින් මම කියන්න උත්සාහ කළේ. අලුත් ගමනේ පළමු පියවරෙන්ම සම්මානයක් හිමි වුණ නිසා මගේ හිත තවත් ධෛර්යමත් වුණා. මේ ජයග්‍රහණයට හැමෝගේම සහාය ලැබුණා. මේ ගමනේ යෝධ හෙවණැල්ලක් වගේ මා ළඟින්ම සිටින සැමියා, මිල කරන්න බැරි තරම් දැනුම් සම්භාරයක් ලබාදුන් කැලුම් සර්, මගේ යහළු යෙහෙළියන් විශේෂයෙන් සිහිපත් කරන්න කැමැතියි. අපේ ජීවිතවල මොන තරම් නම් බාධක තිබුණත් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් විදියට ඉදිරියට යන්න යෝධ ශක්තියක් ලැබුණා. ඇත්තටම අපි ගමන් කළ අලුත් පාරේ සාර්ථකව එක කඩඉමක් පහුකලා කියල හිතෙනවා.’

හොඳින් අධ්‍යාපනය ලබා දුක් කම්කටුලු මතින් ජීවිතය දිනන පැනයට ඇය පිළිතුරු සොයා ගන්න සමත් වී තිබේ. අලුත් විෂයක් හදාරා ජීවිතය තුළින්ම ඇය ලද දෙයින් අද ඈ ජයග්‍රහණය කළාය. එදා ඇයගේ ජීවිතය වෙනස් කළා වූ අලුත් විෂය අද ඈ යා යුතු තැන පෙන්වා දී ඇත. හෙට උදාවන අලුත් දිනයේ නිසංසලා නම් වූ මේ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාව පිවිසි නව මාවතේ නව මානයක් සොයා ගමන් ගනු ඇත.

මේ කතාන්දරය තුළ හැඟෙන දැනෙන දෑ බොහෝය. නිසංසලා මේ අදුරු මඟ තමාගේම උත්සාහයෙන්ම එළි කරගත් පහන් තාරකාවකි. මේ සැමියා ද ආදර්ශවත් හිතවතෙකි. තමාගේ බිරියගේ නිර්මාණය සඳහා බත් උයා කන්න බොන්නට දෙන්න තරම් නිහතමානී වූ ඒ හිතවතාට ද මේ සම්මානයේ බරෙන් අඩක් හිමි විය යුතුය.

නිසංසලා . . .
ඇත්තටම ඔබ රිදී තිරයට පහන් තාරකාවක්.
අපි ආයෙත් හමුවෙමු.