වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සොඳුරු ගිම්හානයේ සොඳුරු කතන්දර

සොඳුරු ගිම්හානයේ සොඳුරු කතන්දර

බොක්සිං පුහුණුවේදී රුවන්ගි ගේ ඇඟිලි බිඳෙයි

දුලිකාගේ කටහඬ නැති වෙයි

පසුගිය සති කිහිපය මුළුල්ලේ ටෙලි නාට්‍ය දර්ශන තලයන්හි සිදුවන රසබර සිදුවීම් අලළා සකස් වූ ලිපි මාලාවක් අපි ඔබ වෙත ගෙන ආවෙමු.

ඊට විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ගලා ආවෝහ. ඇතැමකුªට එම සිදුවීම් පුත්පතට ගියේ කෙසේද යත් ප්‍රහේළිකාවකි.

කුමන අන්දමේ මත පළ වුව ද හුදු රසාස්වාදය උදෙසා අද ද මෙලෙස දර්ශන තල ගමනක් ගැන සටහන් කරන්නෙමි. ටෙලි නාට්‍යයෙහි නම සොඳුරු ගිම්හානයයි. සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාත්‍රී 7.30 ට සිරස නාලිකාවේ විකාශය වන එය ප්‍රියන්ත කොළඹගේ ගේ අධ්‍යක්ෂණයකි.

මන්තිකා, වෛද්‍ය සුමේධ, සත්තරං, රොයිටර්, මලකඩයා යනාදී චරිත ගැන ඔබට අමුතුවෙන් යමක් කියන්න නොමැති වුවත් කැමරාව පිටුපසදී ඔවුනට සිදු වූ අපූරු අත්දැකීම් නම් විස්තර නොකරම බැරිය.

මෙහි මන්තිකාට පණ පොවන්නේ රුවන්ගි රත්නායකයි. ඇයට නිතරම සිදු වූයේ පොලිස් ඇඳුම් ඇඟලා සිටින්නටය. ඒ මන්තිකා පොලිස් ස්ථානාධිපතිවරියක බැවිනි.

සොඳුරු ගිම්හානයෙහි රූගත කිරීම් ඇරැඹුණේ මලකඩයා නම් වූ නීති විරෝධී පුද්ගලයාව මන්තිකා ලුහුබඳින දර්ශනයකිනි. කොළඹගේ ඇතුළු පිරිස බණ්ඩාරගම හන්දියේදී කැමරා ආම්පන්න ආදිය සූදානම් කොට බලා සිටියහ. මලකඩයාට පණ පොවන අජිත් ශාන්ත පදික වේදිකාව දිගේ දුවවිත් අවට සිටි මිනිසුන් ද පෙරළාගෙන පාරවල් හි ඇති අඩි පහක් පමණ උසැති යකඩ වැටකින් පැන්නේය.

කවුරුත් සිතුවේ රුවන්ගි වැට ඉවර වෙන තැනින් පාරේ අනෙක් අන්තයට මාරු වෙයි කියාය. ඒ සිතැඟි බිඳ දමමින් අජිත්ට නොදෙවෙනි වන ලෙස ඇය පුරුදුකාරියක මෙන් යකඩ වැටෙන් පැන්නාය.

පිරිසට ශ්‍රියානි කුලවංශ සිහි විණ. ඒ දර්ශනය අවසානයේදී පොදු මතය වූයේ කඩුලු පැනීම් ඉසව්ව නියෝජනය කරන්නට වහාම ඇය ඔලිම්පික් යැවිය යුතු බවයි. ඒත් එදින සවස රුවන්ගිගේ කලදසාව එතරම් හොඳ නැති විය.

ඒ ඇය බොක්ෂිං ක්‍රීඩාවේ යෙදෙන්නට ගොස් දකුණතෙහි ඇඟිලි පුරුක් කිහිපයක් බිඳ ගත් හෙයිනි. මන්තිකා බොක්ෂිං පුහුණුවීම්වල යෙදෙන දර්ශන තිබීම රුවන්ගිගේ මෙම අකරතැබ්බයට ප්‍රධාන හේතුව විය.

එමෙන්ම මන්තිකා නිසා යතුරු පාපැදි ධාවනය සහ කරාතේ පුහුණුව ලැබීමට ඇයට සිදුවිණ. ඒ සඳහා කොළඹගේ විශේෂ පුහුණුකරුවන් දෙදෙනකු ගෙන්වන ලදී.

ඊළඟට අපි හැරෙමු සුමේධ වෛද්‍යවරයා දෙසට. මනා ශික්ෂණයකින් යුතු ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෛද්‍යවරයකු යැයි කියන්නට පුළුවන. සුමේධට පණ පොවනු ලබන්නේ උද්දික ප්‍රේමරත්න වේ.

සාමාන්‍යයෙන් උද්දික දඟකාර ගතිගුණවලින් පිරුණු චරිතයකි. දර්ශන තලවලදී ගෙදර වගේ හැසිරෙන නළුවන් අතර උද්දික පෙරමුණේ සිටියි. එහෙව් තත්ත්වයක් මත මුල් කාලයේ සංයමයකින් යුතු සුමේධට පණ පොවන්න උද්දිකට ටිකක් අපහසු විය. පුරුදු දඟකාරකම් ඇතැම් අවස්ථාවලදී පිටතට පැමිණ ඇත.

අධ්‍යක්ෂවරයාගේ දේශන මාලාවක් උද්දික වෙනුවෙන්ම පැවැත්විණ. මේ වන විට සැබෑ ජීවිතයේ ද උද්දිකගේ කෙලිලොල්භාවය අඩු වී ඇති යැයි සොඳුරු ගිම්හානය කණ්ඩායම පවසති.

දුලීකා මාරපන සත්තරං වූ සොඳුරු ගිම්හානයෙහි වසන්ති රංවල කිංකිණිය.

එක්තරා දිනයක් තුළදී දුලීකා සහ වසන්ති වැඩි දර්ශන ප්‍රමාණයක රඟපාන්නට සිදුවිණ. එදින වැඩ කටයුතු අවසන් වෙද්දී මැදියම ද ඉක්මවා තිබිණ. ඊට පහුවෙනිදා හිමිදිරියේම පිරිවර වැඩ පටන් ගත්හ. දුලීකා ද එතැන සිටියහ.

පුදුමයකි. ඇයගෙ මුවින් පිටවන කිසිදු වචනයක හඬ ඇසෙන්නේ නැත.

ඊයේ කෑගහපු හින්දා තමයි ඔහොම වෙලා තියෙන්නේ?

කවුදෝ එලෙස කියූහ.

කලබලයට පත් වූ සැවොම උණු වතුර ජෝගු ගණන් පොවා දුලීකාගේ නැති වු කටහඬ යළි ප්‍රකෘති තත්ත්වයට පත් කළහ. ඒ මොහොතේ සිට දුලීකා නැවතත් පුරුදු හඬ භාවිතය නිසා පිරිසට සිතුණේ ඇය පෙර මෙන්ම සිටියා නම් හොඳයි කියාය.

නිතරම හාස්‍යෝත්පාදක චරිත ඔස්සේ රසික රසිකාවන් පින වූ මිහිර සිරිතිලක සොඳුරු ගිම්හානයක් හි රොයිටර් නමැති සොර චරිතයකට පණ පොවයි. රොයිටර් ගමක සිටි ගවයන් බලන තරුණයෙකි.

ඔහු ඉක්මනින් මුදල් සෙවීමටයි සොරකම තෝරා ගන්නේ. මිහිර ගවයන් දක්කන දර්ශන රූගත කළේ මොරොන්තුඩුව අවට ප්‍රදේශයේය.

දිනක් එම ගවයන් රැළ මිහිර කෙරහි වඩාත් ආකර්ෂණය විය. ඒ අතරින් සිටි හොඳින් අං වැඩුණු ගවයකු මිහිරට අනින්න උත්සාහ කළේය. මිහිර බේරුණේ වෑන් රථයකට ගොඩ වෙමිනි.

මේ සිදු වන දේවලට හේතුව මිහිර විසින්ම සොයා ගන්නා ලදී. ඒ ඔහු එදින ඇඳ සිටි තද රතු පැහැ කමිසයයි. එය ගලවා දැමූපසු මිහිර ගවයන්ගේ කරදරයෙන් නිදහස ලැබීය.

හේමන්ත ප්‍රසාද් නම් නව පරපුරෙහි රංන ශිල්පියා රඟනුයේ සුමේධගේ සොහොයුරා ලෙසටයි.

ඔහු කාර් රථයක් පදවාගෙන එන දර්ශනයක් රූගත කිරීමට තිබිණ. කාරයෙහි සුමේධගේ මව වූ මල්කාන්ති ජයසිංහත් පියා ලෙස රඟන ඔස්ටින් සමරවික්‍රමත් සිටියහ.

ඇක්ෂන් . . .

කොළඹගේගෙන් විධානය ලැබිණ. සිදු වූයේ නොසිතූ දෙයකි. හේමන්තට වේගය පාලනය කරගත නොහැකි විය. අසල තිබූ ෆයිනස් ගසක පිහිටෙන් එය නතර කර ගැනීමට හැකි විය. අවසන සියල්ල රූගත කිරීම් පසෙකලා කිසිදු කරදරයක් නොවූ බැවින් දෙවියන්ට තුති ප්‍රසංසා කළහ.

සොදුරු ගිම්හානයෙහි පාත්‍ර වර්ගයා.

ඩබ්ලිව්. ජයසිරි, සරණපාල ජයසූරිය, බන්දුල විජේවීර, දුලීකා මාරපන, දයා තෙන්නකෝන්, වසන්ත මොරගොඩ, වසන්ති රංවල, උද්දික ප්‍රේමරත්න, රුවන්ගි රත්නායක, ග්‍රේස් තෙන්නකෝන්, අජිත් ලොකුගේ, උදේනි අල්විස්, මිහිර සිරිතිලක, තරුෂි පෙරේරා, අජිත් ශාන්ත, නිර්ධා උයන්හේවා, අතුල ජයසිංහ, මල්කාන්ති ජයසිංහ, ඔස්ටින් සමරවික්‍රම, හේමන්ත ප්‍රසාද්, නිරෝෂා තලගල, අනුරුද්ධ ප්‍රනාන්දු , කීර්ති රංජිත් පීරිස්.

අධ්‍යක්ෂවරයා ගැන:

එක්දාස් නවසිය අසූහය වර්ෂයේ මාධ්‍යවේදියකු ලෙස තම කලා දිවිය ඇරැඹූ ප්‍රියන්ත කොළඹගේ නවලිය, ආරාධනා, යොවුන් ජනතා වැනි පුවත්පත්වල සේවය කරන ලදී.

එනමුදු ඔහුට අවශ්‍යව තිබුණේ අධ්‍යක්ෂවරයකු වන්නටය. එම හීනය සැබෑ කරමින් ඔහු දැහැන චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට අධ්‍යක්ෂවරයකු විය. විමුක්ති ඔහුගේ දෙවැනි චිත්‍රපටයයි.

ඔහුගේ වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටය වූයේ ‘අරුමෝසම් වැහි’ වේ. එය 2007 වර්ෂයේ චීනයේ නින්බෝ චිත්‍රපට උළෙලේදී හොඳම ළමා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. මේ වන විට වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ යෙදෙන ඔහුගේ පළමු මාලා නාටකය වනුයේ සොඳුරු ගිම්හානය වේ.

කාර්මික ශිල්පීන්:

තිර රචනය – වජිර කස්තුරි
කැමරාකරණය - ලක්ෂ්මන් වික්‍රමතිලක
සංස්කරණය – අකිල බුද්ධික, ලක්රුවන් ද සේරම්, මේඝ කාවිංද
නිෂ්පාදන කළමනාකරු - මංජුල ගුණවර්ධන
රේඛීය නිෂ්පාදනය – ජූඩි ෆොන්සේකා
අංග රචනය – රුචිර සංජීව
කලා අධ්‍යක්ෂණය - සුරේන් රාජපක්ෂ
සහාය අධ්‍යක්ෂණය - හර්ෂ සන්දනායක
අතිරේක අධ්‍යක්ෂණය – වසන්ත වීරද්දන, අනුර ඒකනායක
නිෂ්පාදනය - ක්‍රියේටිව් ෆෝස්