වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මවුස් බලන්නට ජනපති පැමිණි දා...

මවුස් බලන්නට ජනපති පැමිණි දා...

වසන්ත මොරගොඩගේ නවතම සිනමා නිර්මාණය ‘මවුස්’ චිත්‍රපටය මේ දිනවල අතිසාර්ථක අන්දමින් දිවයින පුරා සිනමාහල් රැසක තිරගත කෙරේ.

කුඩා දරුවකු වටා ගෙතුන අපූරු කතා පුවතක් රැගත් ‘මවුස්’ චිත්‍රපටය නැරඹීමට පසුගිය දා කොළඹ රීගල් සිනමා ශාලාවට විශේෂ අමුත්තෙක් පැමිණියා.

ඒ වෙන කවුරුවත් නොව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

කලාකරුවන්ට මෙන්ම කලාවට කවදත් හිතැති ජනපතිතුමා මවුස් නරඹන්නට පැමිණි මොහොතයි මේ.

එහිදී මවුස් චිත්‍රපටයේ ප්‍රධාන ළමා නළු තිසල් තුල්නෙත් මොරගොඩ විසින් ජනාධිපතිතුමා පිළිගත් අවස්ථාවයි මේ.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ, ස්වාධීන රූපවාහිනී සභාපති රොස්මන්ඩ් සේනාරත්න, ජනපි‍්‍රය සිනමා න¼ථ සිරිල් වික්‍රමගේ, මවුස් චිත්‍රපටයේ අධ්‍යකෂ වසන්ත මොරගොඩ මහත්වරුන් ද පසෙකින් සිටීයි.

පිටපත් තිස්පහේ සීමාවට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති තුමා විසින් චිත්‍රපට මුල් ප්‍රදර්ශන වාරය සඳහා පිටපත් 35 කට සීමාකරමින් හා චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියා පිළිවෙළ සම්බන්ධයෙන් පසුගිය ජනවාරි පළමුවැනි දා නිකුත් කරන ලද ලිපිය බල රහිත කරමින් කොළඹ දිසා අධිකරණය විසින් ලබන පෙබරවාරි 22 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත්කර තිබේ. එසේම අතුරු තහනම් නියෝග නොතීසි ද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට සහ එහි සභාපතිවරයා වෙත පසුගිය 11 වැනි දා නිකුත් කළේය.

2013 ජනවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 2012 දෙසැම්බර් 13 වැනි දා නිකුත් කළ මෙම ලිපිය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ පැමිණිලි පහක් කොළඹ දිසා විනිසුරු ආර්. එල්. රණරාජා ඉදිරිපිට කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. චිත්‍රපට නිෂ්පාදකවරුන් වන ආචාර්ය සෝමරත්න දිසානායක, ඊ. ඒ. පී. ෆිල්ම්ස් ඇන්ඩ් තියටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, සුනිල් තොම්සන් ප්‍රනාන්දු, ප්‍රසන්න ගයාන් රණධීර සහ රාජා සදීප් කුමාර් යන පැමිණිලි කරුවන් ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගත් අධිකරණය මෙම තීරණය ගෙන ඇත.

පැමිණිලි කරුවන් වෙනුවෙන් නීතිඥ නිරංජන් අරුල්ප්‍රගාසම් සහ නීතිඥ සුගත් කල්දේරා සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් පෙනී සිටියහ.

ඔබ නැතිව ඔබ එක්ක අයර්ලන්ත යද්දී ප්‍රසන්නගෙන් රංගනය ඉගෙන ගනිමු

තමා විසින් නිර්මාණය කරන ලද දෙවැනි චිත්‍රපටය වූ අනන්ත රාත්‍රියේ සිට මේ දක්වා නිර්මාණය කළ සෑම චිත්‍රපටයකම ප්‍රධාන නළුවා, නිළිය හොඳම නළුවා හෝ නිළිය ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර කරමින් දේශීය සිනමාවේ අනභිභවනීය වාර්තාවක් තැබූ ප්‍රසන්න විතානගේ සිනමාව පිළිබඳ වූ රංගන පාසලක් ආරම්භ කරයි. මෙමඟින් අප සිනමාවට අලුත් පරපුරක් හඳුන්වා දීම ඔහුගේ අරමුණ වේ.

හෙළ නිළි රැජන මාලිනිය, ජෝ අබේවික්‍රම, නීටා ප්‍රනාන්දු, නිම්මි හරස්ගම සහ අංජලි පාටිල් ප්‍රසන්නගේ සිනමාපට ඔස්සේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූවෝ වෙති.

මේ අතර හතළිස් තුන්වැනි ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය වූ ඉන්දීය නිළි අංජලි පාටිල් රඟන ප්‍රසන්නගේ නවතම සිනමා කෘතිය වූ ‘ඔබ නැතුව ඔබ එක්ක’ හි අයර්ලන්ත මංගල දැක්ම මෙම මස 15 වැනිදා එනම් හෙට අයර්ලන්ත ඩබ්ලින් සිනමා උළෙලේදී පැවැත්වෙයි. එමෙන්ම එහි ප්‍රංශ මංගල දැක්ම පසුගිය 09 වැනිදා විසුල් සිනමා උළෙලේදී පැවැත් විය.

විශිෂ්ටතම වාර්තා චිත්‍රපට රැසක එකතුවක් ප්‍රතිබැහැදැක්ම 20 වැනි දා සිට

රජයේ චිත්‍රපට අංශයේ සිනමා දැක්ම

මහාචාර්ය ඇතුගල සහ ඈෂ්ලි රත්නවිභූෂණ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශය මඟින් සංවිධාන කර ඇති ‘ප්‍රතිබැහැදැක්ම” වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට උළෙල පෙබරවාරි 20 සිට 23 දක්වා කොළඹ පොල්හේන්ගොඩ විජය කුමාරණතුංග රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ නව ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙහි සමාරම්භක උත්සවය ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 20 වැනි දින ප.ව.4.00 ට ආරම්භභ කෙරේ.

මෙම උළෙලේ දී රජයේ චිත්‍රපට අංශය මඟින් නිෂ්පාදනය කරන ලද විශිෂ්ට සිනමා කෘති 40ක් පමණ තිරගත කිරීමට නියමිතය.

මෙහිදී රජයේ චිත්‍රපට අංශය විසින් ආරම්භයේ සිටම නිෂ්පාදනය කරන ලද ඉතා වැදගත් හා ඓතිහාසික අගයකින් යුත් වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට රැසක් ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත.

සමාරම්භක අවස්ථාවේදී රජයේ චිත්‍රපට අංශයේ ඉතිහාසය ඇතුළත් ‘ප්‍රතිබැහැදැක්ම” ග්‍රන්ථය දොරට වැඩීම ද සිදු කෙරෙනු ඇත.

මෙම ග්‍රන්ථය රජයේ චිත්‍රපට අංශය විසින් නිෂ්පාදනය කරන ලද වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට පිළිබඳ, පොදුවේ වාර්තා චිත්‍රපට පිළිබඳ ලියැවුණු ලිපි, රජයේ චිත්‍රපට අංශයට සුවිශේෂී දායකත්වයක් සැපයූ ශිල්පීන් පිළිබඳ තොරතුරු හා මෙතෙක් චිත්‍රපට අංශය මඟින් නිෂ්පාදනය කරන ලද වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට පිළිබඳ ලේඛනයක්ද ඇතුළත් වේ.

මෙම උළෙල පිළිබඳ පෙබරවාරි 11 දින පවත්වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මැතිතුමා විසින් අවධාරණය කරන ලද්දේ ‘ ශ්‍රී ලාංකේය වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට ඉතිහාසයේ නොමැකෙන සිහිවටන ලෙස සඳහන් කල හැකි මෙම චිත්‍රපට නැරඹීමට ලැබෙන අවස්ථාව ඉතා දුර්ලභ එකක් බවයි.

මෙහිදී අදහස් දක්වමින් චිත්‍රපට උළෙලේ අධ්‍යක්ෂ හා ‘ප්‍රතිබැහැදැක්ම’ ග්‍රන්ථයේ සංස්කාරක ඈෂ්ලි රත්නවිභූෂණ මහතා කියා සිටියේ,මෙම උළෙලට ඉදිරිපත් කර ඇති චිත්‍රපට වැඩි ප්‍රමාණයක් ජගත් සිනමා උත්සවවලදී සම්මානයට පාත්‍ර වී ඇති බවයි.

තවද ඩී.බී. නිහාල්සිංහ, තිස්ස ලියනසූරිය,තිස්ස අබේසේකර, රංජිත් ලාල්, සුගතපාල සෙනරත් යාපා වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් පවා රජයේ චිත්‍රපට අංශයේ සේවය කර ඇති අය බවද මෙහිදී අවධාරණය විය.

මෙම චිත්‍රපට උළෙල පෙබරවාරි 20 වැනි දින සිට 23 වැනි දින දක්වා ප.ව. 4.00 සිට මහජනතාවට නොමිලයේ නැරඹීමට හැකිවේ.

‘ධවල භීෂණ’ 16 දා ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ධවල භීෂණ මෙම මස 16 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ වේදිකාගත කෙරේ.

ප්‍රංශ නාට්‍ය රචක ෂෝන් පෝල් සාත්‍රේ විසින් රචිත මෙන් විතවුට් ෂැඩෝ හි සිංහල අනුවර්තනයක් වන අතර එය ගත්කරු සිරිල් සී. පෙරේරා විසින් සිංහලයට පරිවර්තනය කර ඇත. 1988 වර්ෂයේ සිට මේ දක්වා නාට්‍යය හි භාවිත කරනුයේ ආචාර්ය කේමදාසයන්ගේ සංගීතය වේ.