වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රෝස ප්‍රේම නගරයේ මිනිස් බෝම්බ හෝරාව

රෝස ප්‍රේම නගරයේ මිනිස් බෝම්බ හෝරාව

අද සිට CEL මණ්ඩලයේ

බෝම්බ සහ රෝස අනුරුද්ධ ජයසිංහගේ නිර්මාණයක්

එරික් කුසුම් මාකවිටගේ නිෂ්පාදනයක්

ප්‍රධාන ශිල්පීය දායකත්වය:

තිර රචනය / අධ්‍යක්ෂණය - අනුරුද්ධ ජයසිංහ

නිෂ්පාදනය – එරික් කුසුම් මාකවිටගේ

රේඛීය නිෂ්පාදනය – ලකී ඉම්රාන්

කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය

කලා අධ්‍යක්ෂණය – ජගත් ඉඹුල්පේ

සහාය අධ්‍යක්ෂණය – ප්‍රියන්ත ප්‍රනාන්දු

වේශ නිරූපණය - ප්‍රියන්ත සිරි කුමාර

නිෂ්පාදන කළමනාකරණය – රාජා රණසිංහ

සංගීතය – රංග දසනායක

ගීත රචනය – කැලුම් ශ්‍රීමාල්

තාක්ෂණිත උපදේශකත්වය – රවීන්ද්‍ර ගුරුගේ

සංස්කරණය – රනේෂ් නානායක්කාර

නිෂ්පාදන සම්බන්ධීකරණය - සුදත් සිල්වා,

අජන්ත රණසිංහ, සමන් සමරවික්‍රම

මූල්‍ය කළමනාකරණය - චමින්ද මීමනගේ

ඇඳුම් නිර්මාණය – චරිත් වික්‍රමතිලක

ගායනය – අමල් පෙරේරා, දේවා ශ්‍රී ද සිල්වා

ශබ්ද පරිපාලනය – ප්‍රියන්ත කලුආරච්චි

තාක්ෂණික සම්බන්ධිකරණය – අජිත් රාමනායක

අනුරුද්ධ ජයසිංහ

අඳුරු කාමරයේ අස්සක් මුල්ලක් නෑරම පිරී තිබුණේ වෛරයේ අන්ධකාර සෙවණැලිය. සුළඟක් එහා මෙහා යන හඬ පවා සීරුවට ඇසෙන ඒ අඳුරු මූසල කාමරය අභ්‍යන්තරයේ සිදුවෙමින් තිබුණේ මහා විනාශයක මූලාරම්භයකි. මුළු රටම මිනිස් බෝම්බයෙන් භීතියට පත් ඒ මොහොතේ ඔවුන් තවත් ප්‍රභූ ඝාතනයකට සැලසුම අඳිමිනි. අලුත්ම වර්ගයේ මෝටර් බයිසිකලයක අටවා සැඟ වූ ඒ අධිබලැති මිනිස් බෝම්බයේ අවසන් ඉලක්කය වී තිබුණේ කොළඹ මහජන පුස්තකාල වටරවුමය. සූක්ෂමව නිමා කළ බෝම්බය උදෑසනම පිටවෙමින් කොළඹ කරා පැමිණෙමින් තිබුණි.

මේ කිසිවක් නොදත් සාමාන්‍ය ජනයා තමාගේ එදිනෙදා රාජකාරියේය. ඔවුන් අතර තමන්ගේ ජීවිතයේ අලුත්ම පෙම් සිහින බෙදා ගන්නා දෙදෙනෙකි. ශානි නම් වන අතිශය ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනිය සමඟ නිර්මාල් නම් කඩවසම් මෝස්තර නිරූපණ ශිල්පියා ප්‍රේමයෙන් බැඳෙන්නේ ශානිිගේ පළමු ගීතයේ රූප රචනාව නිම කිරීම සමඟය.

ශානිගේ ‘හංගන්න බැරි වේවි’ ගීතය සඳහා වෙහෙසෙන නිර්මාල් අවසානයේ ශානි තමාගේ පෙම්වතිය බවට පත් කර ගන්නේ දෙදෙනාගේම ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පෙරළමිනි. ප්‍රසිද්ධ දැන්වීම් නිර්මාණ ආයතනයක සේවය කරන නිර්මාල් නිරතුරුවම තමාගේ රාජකාරිය වෙනුවෙන් කැප වී කටයුතු කරන්නෙකි.

අලුත් ප්‍රේමයෙන් කුළුගැන්වුණු මේ නව යොවුන් යුවළ එදා දිනය වෙන් කර ගන්නේ ශානිගේ උපන් දිනය සැමරීමටය.

කුරිරු මිනිස් බෝම්බය රැගත් මරාගෙන මැරෙන මෝටර් බයිසිකල්කරු ක්‍රමයෙන් අතුරු පාරවල් අතරින් කොළඹට ළඟා වෙයි. කොළඹ තදාසන්න ප්‍රදේශ මඟ හරිමින් මේ මිලේච්ඡ ත්‍රස්තවාදියා තමාගේ ඉලක්කය වෙත ක්‍රමයෙන් ළං වෙමිනි. මේ ආරංචිය සැලවීමත් සමඟම වහා ක්‍රියාත්මක වන පොලිස් බුද්ධි අංශ ඔහුට යා හැකි සියලු මඟ අහුරමින් මාර්ග බාධක යොදයි.

මේ සියල්ල සැල වූ බෝම්බකරු තවත් අතුරු මඟ ඔස්සේ ඉදිරියට ඇදෙයි. ඒ ගමනේදී මුඩුක්කු පරිසරයක මෝටර් බයිසිකලය නවතා ඔහු කඩයට ගොඩ වන්නේ මේ කලබලකාරි බව මිදෙන්නට ඉඩ හැරීමටය.

මේ අතර කඩපළේ එහා මෙහා ඇවිදිමින් එදා වේල සොයන කොළඹ පාතාලයේ ‘ගොට්ටා’ මේ අලුත්ම බයිසිකලය තම උකුසු ඇසට හසු කර ගනියි. ගෙතම් නම් වන ගණිකා තරුණිය සමඟ කතාබහේ යෙදී සිටින ගොට්ටා එකවරම බෝම්බය සහිත යතුරු පැදිය කොල්ල කා පලා යයි.

මේ බව දකින ත්‍රසස්තවාදියා කලබලයෙන් කලබලයට පත් වෙයි. ඔහු ත්‍රීරෝද රථයක් නවතා බයිසිකලය ලුහුබඳියි. නමුදු පේළි ගෙවල් කුඩා මාර්ගවලින් සමන්විත මඟෙහි බයිසිකලය ගිය මඟ පිළිබඳ හෝඩුවාවක් හෝ සොයා ගැනීමට ඔහු අපොහොසත් වෙයි.

බයිසිකලය මංකොල්ල කෑ පාතාල සාමාජිකයා කෙළින්ම බයිසිකලය රැගෙන මහීල් නමැති ව්‍යාපාරිකයා හමුවට යයි. කොල්ලකා ගෙනෙනු ලබන වාහන අඩු මිලට ගෙන අලුත් පෙනුමක් ලබා දී විකුණනු ලබන මහිල් දේශපාලනඥයන්ගේ සමීපතම මිතුරෙකි.

ගොට්ටා කොල්ල කෑ යතුරුපැදිය මහිල් මිලට ගනියි. අංක තහඩුව මාරු වී අලුත් අංකයක් බයිසිකලයට ලැබේ. දැන් මේ යතුරු පැදිය නව යතුරු පැදියකි.

උපන් දින සාදය සැලසුම් කරනු ලබන ශානිත් නිර්මාලුත් වෙන් වන්නේ සැන්දෑවේ හමුවන බලාපොරොත්තු පුරවා ගනිමිනි. මේ අතර රූගත කරනු ලබන දැන්වීමක් සඳහා කලින් ඇනවුම් කළ මෝටර් බයිසිකලය මිල ගණන් ප්‍රශ්නයක් හේතුවෙන් නෙලැබී යයි. ඒ හේතුවෙන් දැන්වීම රූගත කිරීමට අවශ්‍ය මෝටර් බයිසිකලයක් සෙවීමේ වගකිම පැවරෙන්නේ නිර්මාල්ටය.

නිර්මාල් මහිල්ගේ සමීප හිතවතෙකි. දැන්වීම රූගත කිරීම සඳහා වාහන ලබා ගැනීමෙන්ම හිතවත් වූ නිර්මාල් හා මහිල් දැන් හොඳම මිතුරන් බවට පත්ව තිබේ. දැන්වීම රූගත කිරීමට මෝටර් බයිසිකලයක් නොමැති බව දැන් වූ වහාම නිර්මාල් මහිල් අමතයි. ඒ මොහොතේ වෙනත් කටයුත්තක යෙදී සිටින මහිල් තමාට කැමති බයිසිකලයක් රැගෙන යන ලෙස නිර්මාල්ට දන්වයි. තමාගේ කටයුත්ත සාර්ථක වූ බව දැනගත් නිර්මාල් මහිල්ගේ ගරාජයට පැමිණෙයි.

උදෑසනම රැගෙන ආ අලුත්ම මෝටර් බයිසිකලය නෙත ගැටෙන නිර්මාල් බෝම්බය සහිත ඒ නවීන බයිසිකලය රැගෙන කෙළින්ම ගොඩ වන්නේ ශානිගේ නිවෙසටය. ප්‍රේමයේ සතුටින් ඉපිලී යන දෙදෙනා මෝටර් බයිසිකලයෙන් රවුමක් යාමට තීරණය කරයි. ප්‍රේමයේ සුන්දර සිහින ගනිමින් ඔවුන් රිසි සේ මෝටර් බයිසිකලයේ ඒ මේ අත සැරිසරමිනි.

ඇසිල්ලකින් පුපුරා යන අධි බලැති බෝම්බය සඟවාලූ මෝටර් බයිසිකලයක් . . .

දලුලා වැඩෙන අලුත්ම ප්‍රේමයක සුන්දරම දිනයක් . . .

ඉලක්කය සොමින් උන්මාදයෙන් ඒ මේ අත යන ත්‍රස්තවාදියෙක් . . .

රෝස ප්‍රේම නගරයේ මිනිස් බෝම්බ හෝරාව කෙසේ නිමා වේවිද?

මේ සියල්ල කැටි කොටගත් අලුත්ම චිත්‍රපටයයි බෝම්බ සහ රෝස.

‘බෝම්බ සහ රෝස’ සිනමාපටයට දායක වන ප්‍රධාන නළු නිළියන්:

මහේන්ද්‍ර පෙරේරා, උපේක්ෂා ස්වර්ණමාලි, විශ්ව කොඩිකාර, බිමල් ජයකොඩි, ජයනි සේනානායක, සුමින්ද සිරිසේන, ගිරිරාජ් කෞෂල්‍ය, ශ්‍රියානි අමරසේන, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ප්‍රමුදි කරුණාරත්න, සෝමසිරි අලකොලංග, උදයන්ති කුලතුංග, ඩයනා පෙරේරා, සම්පත් ජයවීර, වසන්ති ගුණවර්ධන, දර්ශන් ධර්මරාජ්, සම්පත් තෙන්නකෝන්