වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයාට මාව මරන්න කිව්වොත් ඔයා මාව මරනවාද?

ඔයාට මාව මරන්න කිව්වොත් ඔයා මාව මරනවාද?

මිනිසුන් පිළිබඳ අප්‍රමාණ විශ්වාස කළ විජය

සරසවිය රසවත් කළ ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකාගෙන් ඇසූ ප්‍රශ්නයක්

මට සරසවිය අකුරු පහ යනු මගේ ජීවිතයයි. මේ ජීවිතයේ මා ලත් අත්දැකීම් කියන්නට මත්තෙන් මේ දාසය වැනිදාට අප අතහැර ගොස් විසි පස් වසරක් ගෙවෙන විජය ගැන කීමෙන් එය ඇරැඹිය යුතුය.

විජය කුමාරතුංගයන් අප අතැර ගොසින් අවුරුදු විසි පහකි. විජය ගේ රුව දකින හැම විටම ඒ රුව මගේ කැමරාවේ කීපවරක් සැඟවෙන්නට ඇතිදැයි මම ගණනය කරමි. එහෙත් එය ගණනය කළ නොහැක.

‘ඔබ රුව ඡායා - සැඟවේ පායා’

ඒ ගීතය අසන හැමවිටම මට හැඟෙන්නේ විජය සිනහමුසු මුහුණින් කැමරාවට මුහුණ දුන් අයුරුය. විජය හා මගේ මිත්‍රත්වයට මුල පිරුවේ සරසවියේ ඡායාරූප ගැනීමයි. ඒ මිත්‍රත්වය ඔහු අප අතරින් වෙන්ව යනතුරුම පැවැති එකකි. සරසවිය පුවත්පතට විජයගේ වැඩිම ඡායාරූප ප්‍රමාණයක් ගත්තේ මවිසිනි. එයට හේතු කරුණු කිහිපයක්ම විය.

පළමුවැන්න අප අතර පැවැති මිත්‍රත්වයයි. දෙවැන්න මා ලවා ඡායාරූප ගැනීමට විජය තුළ වූ කැමැත්තයි. මේ නිසාම මට විජයගෙන් ගැලවුමක් නැති තරම් විය. තමාගේ ඡායාරූප ගැන විජය හැමවිටම සැලකිලිමත් විය. එමෙන්ම මේ පොඩි මිනිසුන් පිළිබඳ කවදත් උනන්දු විජය, මේ ඡායාරූප ඇතැම් විට කාට හෝ දුප්පතකුට බෙදා දුන්නේ එයින් පොකට් කැලැන්ඩර ගසා විකුණා කීයක් හෝ හොයා ගන්නට කරන උදව්වක් හැටියටය. ඒ සඳහා ඔහු සත පහක්වත් අය කළේ ද නැත.

ඔහුගේ නිල ඡයාරූප ශිල්පියා ලෙස ටයිටලයක් මට නැති වුව ද ඇතැම් විට ඒ ආකාරයෙන් කටයුතු කරන්නට මට සිදු විය. සරසවිය සම්මාන උළෙලයන් අවසන් වූ විගස විජය මට පවසන්නේ උපාලි හෙට උදෙන්ම අද පින්තූර ඕනෑ යනුවෙනි.

ඒ තරමට ඔහුගේ නොඉවසිල්ල වැඩිය. බොහෝ විට පසුදා උදෑසන මා පිබිදෙන්නේ ද විජය ගේ ඇමතුමෙනි. ඔහුගේ පැනය ‘පින්තූර ලෑස්තිද’ යන්නය. ‘මම හර්මන් හෝ පද්මසිරි එවන්නම්. පින්තූර දෙන්න’. මගේ උත්තරය නොබලාම විජය පවසයි. මා දන්නා තරමින් තමන්ගේ ඡයාරූපවලට එතරම් ඇලුම් කළ වෙනත් නළුවකු නැති තරම්ය.

එවක විජයගේ ඇඳුම මසනු ලැබුවේ චැතැම් වීදියේ ෂෙල්ටන් ජයසිංහයන්ය. අලුත් ඇඳුම් කීපයක් එකවර මසන විජය ඒ ඇඳුම්වලින් සැරසී මා ලවා පින්තූර ගත් කොතෙකුත් අවස්ථා ද තිබිණි. ඔහුගේ වාහනයේ ද නිතර ඇඳුම් කීපයක් තිබුණේ කවුරුන් හෝ පින්තූර ගැනීමට හදිසියේ කතා කළොත් බැහැ නොකියා එයට එකඟ වීම ඔහුගේ සිරිත වූ බැවිනි. සරසවිය පත්තරය සඳහා පින්තූර ගැනීමට දිනයක් වේලාවක් වෙන්කර ගන්නට ඔහු කිසි විටෙකත් මැලි නොවීය. බොහෝ විට විජය ඒ සඳහා යොදා ගන්නේ කඳානේ ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ නිවසයි. විජයට තිබෙන කාර්යබහුලත්වය නිසාම ඇලරික් ලයනල්ගේ නිවසේ විජය වෙනුවෙන් සැම විටම ඇඳුම් කිහිපයක් විය. මේ ඇඳුම් මාරු කරමින් පින්තූර ගැනීම විජයගේ පුරුද්දක් විය.

සරසවියේ නළු නිළියන්ගේ ඡායාරූප සමඟ මගේ නම පළවීමත් සමඟ ඡායාරූප ශිල්පියකු ලෙස මටත් පෞද්ගලික වශයෙන් ඡායාරූප ගැනීමේ අවස්ථා ගලා එන්නට විය. මේ අතරින් බහුතරය විවාහ මංගල උත්සවයන් විය. මේ නිසාම මම ඒ අවධියේ කොටහේනේ දී උපාලි ස්ටුඩියෝ නමින් ඡායාරූපාගාරයක් ආරම්භ කළෙමි. එහි ආරම්භක අවස්ථාව සඳහා විශාල නළු නිළි පිරිසකට මා ආරාධනා කළ අතර ඔවුන් කවුරුත් ඒ සඳහා සහභාගි වූහ.

මේ සඳහා මා විජය කුමාරතුංගයන්ට ද ආරාධනා කළ ද එහි ආරම්භක අවස්ථාවට ඔහුට පැමිණීමට නොහැති බව කියා මට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. මාගේ ඉල්ලීම වූයේ කෙසේ හෝ ඇවිත් යන ලෙසය. ඒ විජය කුමාරතුංග ඡන්දයක් සඳහා සූදානම් වන කාලයක් විය. එබැවින් ඔහු අතිශය කාර්යබහුල විය. එහෙත් මගේ ඉල්ලීමට කන්දුන් ඔහු එහෙනම් මම පටන් ගන්න කලින් ඇවිත් යන්නම්. විජය මට පොරොන්දු විය. පොරොන්දු පරිදි විජය පැමිණියේය.

ඔහුගේ විශාල ප්‍රමාණයේ 16ඔ 18 ප්‍රමාණයේ ඡායාරූපයක් මා ස්ටුඩියෝවේ සවිකර තිබුණේ කාටත් පෙනෙන්නටය. මෙය දුටු සැනින් විජය එය ඉල්ලා සිටියේය. දැන් ඒක දුන්නොත් මට වෙන එකක් නෑ. මම පස්සේ දවසක මේක දෙන්නම්. අදට විතරක් ඔහොම තිබුණාවේ යැයි කන්කෙඳිරි ගා යන්තම් එදිනට පමණක් එය රැක ගතිමි. එහෙත් පසුදාම ඔහුගේ ඡන්ද ව්‍යාපාර වැඩවලට ඒ විශාල ඡායාරූපය රැගෙන යන්නට හෙතෙම අමතක නොකළේය.

මම විජය කුමාරතුංගයන්ට කතා කළේ විජය අයියා කියාය. ඔහු මට කතා කළේ උපාලි නැතහොත් උපාලි මල්ලි යනුවෙනි. දිනක් විජය අයියා ඔහුගේ මිත්‍රයකුගේ මහරගම නිවසක හෝම්කමින් එකක පින්තූර ගැනීම මට භාර කළේය. නිවසේ මඟුල් කෑම මේසය විවෘත කිරීම සඳහා ආරාධනා කර තිබුණේ ද විජය අයියාටමය. රෑ නවය පසු වුව ද මනමාලයාගේ පියා වූ ගෙහිමියා විජය අයියා නැතිව කෑම මේසය විවෘත කිරීමට අකැමැත්ත ප්‍රකාශ කළේය. කවුරුත් මුනිවත රැක්කාහ. අද මෙන් එදා ජංගම දුරකථන ද නොතිබිණි. කෙසේ හෝ රාත්‍රී නමයයි තිහ පසු වී විජය අයියා එතනට ආවේ මම ටිකක් පරක්කු වුණා යැයි කියමිනි. ප්‍රමාද වුවත් විජය අයියාගේ පැමිණීමත් සමඟ මඟුල් ගෙදරට ආරාධනා ලබා සිටි අය සේම ආරාධනා නොලබා සිටි අය ද එතැනට රොක්වන්නට විය. මඟුල් ගෙදර කටයුතු අවසන් වී මම ද විජය අයියාගේ කාරයෙන් ආපසු එමින් සිටියෙමි. එවක විජය දේශපාලනය ද කරමින් සිටි අවධියයි. මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.

තනියම මෙහෙම යන්න බය නැද්ද? විජය අයියාට තර්ජන එහෙමත් තියෙනවානේ. ඔහු සිනාසුණේය. ඔයාට කවුරු හරි මාව මරන්න කිව්වොත් ඔයා මාව මරනවද? මට දෙන්නට තිබුණේ එක් පිළිතුරකි. ඒ මමනේ කියාය. විජය අයියා තුළ ඔහුට කවුරුත් ආදරෙයි යනුවෙන් ලොකු විශ්වාසයක් තිබිණි. ඊට පසුදා ඔහුගේ පාස්පෝට් එකට පින්තූරයක් අරන් දෙනු ලැබුවේ ද මා විසිනි.

එක් සරසවිය සම්මාන උළෙලක සිදු වූ අමතක නොවන සිදුවීමක් ද වූයේ එවර රවීන්ද්‍ර රන්දෙණිය හොඳම නළුවා ලෙස සරසවිය සම්මාන දිනා ගනු ලබද්දී විජය කුමාරතුංග ජනප්‍රිය නළුවා ලෙස සම්මානය දිනා ගැනීමයි. මේ දෙදෙනාටම පින්තූරයක් ගැනීමට ආරාධනා කළෙමි. උපාලි මල්ලි අපි දෙන්නම ශාන්ත බෙනඩික් විද්‍යාලයේ කොල්ලො දෙන්නෙක් යයි විජය අයියා රවීගේ කරට අත දමා පැවසුවේය. මම විජය රවීන්ද්‍රත් එකට තබා ගනු ලැබූ පින්තූරය සරසවිය මුල් පිටුවේ පළ විය.

ඒ ඡායාරූප සඳහා බොහෝ දෙනෙකුගෙන් මා වෙත ප්‍රසංශා ගලා එන්නට විය. පසුව පත්තරයෙන් කොපි කළ මේ ඡායාරූපය විශාල ප්‍රමාණයේ කැලැන්ඩරයක් ලෙසකින් ද මුද්‍රණය කොට තිබිණි. සරසවියේ පළ වූ මේ ඡායාරූපය සඳහා මා වෙත ගලා ආ ප්‍රසංශාව නිසාම එහි විශාල ඡායාරූප දෙකක් පසුව රවීන්ද්‍රටත් විජයටත් මම තෑගි කළෙමි.

මගේ පවුලේ අයකු වෙනුවෙන් හැරුණු කොට මා ජිවිතයේ මුල් වරට වෙනත් අයකු වෙනුවෙන් දුක් වූ, ඇඬුව දවසක් වේ නම් ඒ 1988 පෙබරවාරි 16 වැනිදාය. ඒ මා ආදරය කළ මගේ කලණ මිතුරකු වූ විජය කුමාරතුංගයන් අකාලයේ මරා දැමූ දිනයයි. මගේ ජීවිතයේ කිසිදා අමතක නොවන දිනයක් වූ එදින විජයට වෙඩි තබන අවස්ථාව වන විට මා සිටියේ සරසවිය පත්තරයේ පින්තූර කතාවක් සඳහා පින්තූර ගැනීමට ගොස් මැණික් කුරුකුලසූරියගේ නිවසේය.

රවීන්ද්‍ර රන්දෙණිය සහ මැණික් කුරුකුලසූරියගේ පින්තූර ගනිමින් සිටින මොහොතේ අප එහි රැගෙන ගිය ලේක්හවුස් ආයතනයේ රියදුරු මා වෙත දුවගෙන ආවේය. දැන් රේඩියෝවෙන් කිව්වා විජය මහත්තයාට වෙඩි තියලා යැයි කීය. ඒ කතාව ඇසුණු සැනින් මා ගල් ගැසුණේය එවැන්නක් අසන්නට කිසි දිනෙක මා බලාපොරොත්තුª නොවූ හෙයිනි. අපි සියලු දෙනාම රියැදුරා වට කොට ඇසුවේ මොනවද වෙලා තියෙන්නේ කියාය. ඒත් ඉන් එහාට යමක් රියදුරා දැන සිටියේ නැත. විනාඩි කීපයකින් අප වෙත දුවගෙන ආවේ කොණ්ඩා මෝස්තර ශිල්පී ලලිත් ධර්මවර්ධනය. විජය අයියාව මරලා යනුවෙන් ලලිත් කෑගසමින් කියන්නට විය. ඒ මොහොතේම සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වාගෙන් මැණික්ගේ ගෙදරට දුරකථන ඇමතුමක් ලැබිණි.

ඒ ඇමතුම මට විය. ‘උපාලි ඉක්මනට විජයගේ ගෙදරට ගිහින් පින්තූර ටිකක් ගන්න’. මම හැකි ඉක්මනින් විජයගේ ගෙදරට ගොස් පින්තූර ගත්තෙමි. සිදු වූ දේ මගේ දෑස්වලින් දකින විට මට දැනුණ වේදනාව මටම පාලනය කරගත නොහැකි විය. විජයගේ සිරුරෙන් ගිලිහුණු ලේ බිම තෙත් කොට තිබිණි.

හැඬුම් මධ්‍යයේ මම පින්තූර රැගෙන යළිත් ලේක්හවුස් බලා පැමිණියෙමි. මේ සිද්ධිය මට මහා කම්පනයක් ගෙන දුන්නක් විය. සියලු නෙගටිව් රෝල් ඩාක්රූම් එකට භාර දුන් මම මුද්‍රණය වූ කිසිදු පින්තූරයක් බැලීමටවත් නොගියෙමි. ඒ වන විටත් ලේක්හවුස් ආයතනයේම සේවකයෝ විජයගේ පින්තූර බැලීමට ඩාක් රූම් එක වටා පොරකමින් සිටියහ.

මා ග්‍රැන්විල් මහතාට කතා කොට ඇවිත් පින්තූර තෝරගෙන යන්න. පින්තූරයක් තෝරන්න මට නම් බැරි යැයි පැවසුවෙමි.

යළිත් ග්‍රැන්විල් මහතා මා අමතා කීවේ උපාලි තව එක උදව්වක් කරන්න. විජය සමඟ ඔයා හුඟක් කිට්ටුවෙන් ඇසුරු කළ නිසා ඔහු ගැන ලිපියක් ලියා දෙන්න. අපි විජය වෙනුවෙන් විශේෂ සරසවිය පත්තරයක් ගහනවා.

‘ඔය කිසිම දෙයක් දැන් මගේ ඔලුවට එන්නේ නෑ. විජය අයියා දැන් මාත් එක්ක නෑ’ මම කෑගැසුවෙමි. ඒත් ග්‍රැන්විල් මහතා කෙසේ හෝ මට ලිපියක් ලියා දෙන ලෙස බල කළේය. මම ඔහු ගැන ලිපියක් ලියා දුන්නෙමි. එය සරසවිය පත්තරයේ පිටුවක් පුරා පළ කර තිබුණේ උපාලි කැමරාවෙන් විජය දුටු හැටි නමිනි. එදා ඒ විශේෂ සරසවිය කලාපය ලක්ෂය ඉක්මවා මුද්‍රණය කෙරිණි. පසුදා එකදු සරසවිය පත්තරයක්වත් සොයා ගන්නට නොතිබිණි.

එවක ලේක්හවුස් සභාපතිතුමන් වූයේ රණපාල බෝධිනාගොඩ මහතාය. එතුමන් සමඟ සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වා යළිත් කතා කොට තවත් විශේෂ සරසවිය පත්තරයක් විජයගේ ආදාහනය සිදු කළ දිනයේ මුද්‍රණය කෙරිණි. ඒ සඳහා මා විසින් ගනු ලැබූ තවත් අලුත් ඡායාරූප රාශියක් එකතු කරනු ලැබිණි. ඒ පත්තරය ද නිකුත් වූ දා පැය කීපයකදී අලෙවි වූයේ එකදු පත්තරයක්වත් බේතකටවත් සොයා ගන්නට නොහැකි ලෙසිනි.

එහෙත් වසර විසි පහකට පසු ද විජය අප අතර ඇතැයි මට සිතෙයි.

(මතු සම්බන්ධයි)