වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිරිතුංග පෙරේරා උපහාර 16 දා

සිරිතුංග පෙරේරා උපහාර 16 දා

ස්වයං චරිතාපදානය නිල වෙබ් අඩවිය එදින එළි දකියි

* දෙවැනි චිත්‍රපටයේ සමාරම්භයත් එදින

සිරිතුංග පෙරේරාගේ කලා දිවියට වසර හතළිස් අටක් සපිරීම නිමිතේතෙන් ඔහු විසින් වේදිකාව සිනමාව රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වය අරබයා කළ අප්‍රමාණ සේවය අගයමින් කොළඹ කලා කවය, සිරිතුංග පෙරේරා රසික කැල සංවිධානය කරනු ලබන සිරි අසිරිය 48, සිරිතුංග පෙරේරා හතළිස් අට වසරක කලා පෙළහර අභිනන්දන උළෙල ඔහුගේ ජන්ම දිනයදා එනම් පෙබරවාරි 16 දින සවස 4.00 ට කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එදින ඔහු විසින් රචිත ස්වයං චරිතාපදානය දොරට වැඩීම, නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ අභිනවයෙන් අධ්‍යක්ෂණය කරනු ලබන සිරිතුංගගේ දෙවන සිනමා නිර්මාණයේ සමාරම්භය සිදුවන අතර දශක පහකට ආසන්න කාලයක කලා දිවිය තුළ ඔහු කළ අප්‍රමාණ කැපවීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරිදාස, චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ, කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය යන අයගේ විද්වත් දෙසුම්වලින් උළෙල විචිත්‍රවත් වේ.

1965 අවුරුද්දේ කොළොන්නාවේ ටෙරන්ස් එන්. ද සිල්වා විදුහලේ පහළොස් හැවිරිදි සිසුවකුව සිටියදී රජකම කාටද නාට්‍යය නිර්මාණය කරමින් ප්‍රදේශයේ ජනතාවගේ ආදරය දිනාගත් සිරිතුංගයන් 1972 දී ‘කොහොම කියන්නද උඹට පුතේ’ නාට්‍යය නිර්මාණය කරමින් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණේය. අනතුරුව ගිනිකඳු (1975) පරාජිතයෝ (1976) ගමනේ යා (1977) සිටුතුමා (1978) යන වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ට දායාද කළ හෙතෙම 1981 දී මෙරට ප්‍රථම සිනමාස්කෝප් වර්ණ චිත්‍රපටය වූ ‘කැලෑමල්’ සඳහා දායක වෙමින් සිංහල සිනමාවට ද අත්පොත් තැබීය.

මෙරටට රූපවාහිනිය පැමිණ මුල් වකවනුවේම එකී මාධ්‍යයේ පුරෝගාමී අධ්‍යක්ෂවරු අතරින් කෙනකු වූ ඔහු විවිධ රූපවාහිනී නිර්මාණ රාශියක්ම නිර්මාණය කරන ලදී. ඒ අතරින් මේ දිනවල ජාතික රූපවාහියෙන් විකාශය වන හද රැඳි ගී සහ මීට පෙර ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ගී තරු දැහැන ප්‍රේක්ෂකයන්ට සදා මතකයන් රැසක් එක් කරන ලදී.

2009 වසරේ කන්‍යාවි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවේදියකු වූ සිරිතුංගයන් මේ වන විට රංගන සහ කාර්මික ශිල්පීන් බොහොමයක් ක්ෂේත්‍රයට හඳුන්වා දී ඇත.


’ගී අනුරා’ 23 දා

ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරු ආයතනයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස සංවිධානය කෙරෙන ‘ගී අනුරා’ සංගීත ප්‍රසංගය පෙබරවාරි 23 වැනි දා මියුසියස් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නිරෝෂා විරාජිණී, සමිතා මුදුන්කොටුව යන ගායන ශිල්පි ශිල්පිනියන් ගේ හඬින් ගීතවත් වන මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙය වීම සංගීත ශිල්පී සමන්ත පෙරේරා විසිනි. රංගන දායකත්වය චන්න – උපුලී රංගායතන ශිල්පීන් විසිනි.