වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

විශ්වරූපම් කැපුවාද?කැපුනාද?

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩයේ සභාපති
ප්‍රවීණ මාධ්‍යවේදී, චිත්‍රපට විචාරක ගාමිණී සුමනසේකර

කමල් හසන් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ලද විශ්ව රූපම් චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය පසුගියදා අවසරය ලබා දීමට කටයුතුª කළේය. මුස්ලිම් ජනතාවට මෙන්ම ඉස්ලාමීය සංස්කෘතියට සෘජු බලපෑමක් එල්ල වන චිත්‍රපටයක් ලෙස විවිධ සංවිධාන හඳුන්වා දුන් මෙම චිත්‍රපටය අපේ රටේ ප්‍රදර්ශනය පිළිබඳ විවිධ මතභේද මෙන්ම රාවයන් ද පසුගියදා අන්තර් ජාලය ඔස්සේ සීඝ්‍රයෙන් ප්‍රචාරය විය.

මේ පිළිබඳ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර මහතා සමඟ කළ කතාබහකි මේ.

* පළමුවෙන්ම මෙම මතභේදයට තුඩු දුන් කරුණු පිළිබඳ කතාබහ කරමු?

ඇත්තටම මෙම චිත්‍රපටයේ කතාන්දරය තරමක් දුරට වෙනස් වූ එකක්. කමල් හසන් එහි රඟන්නේ විශ්වනාත් කියන චරිතය. ඔහු අමෙරිකාවේ කතක් නර්තන ශිල්පියෙක්. මෙම චිත්‍රපටය නැරැඹීමෙන් පෙනෙනවා ඔහු ශාරීරික ආබාධයකට ලක් වූ අයකු බව. මේ අතරතුර පරමාණු සම්බන්ධව පර්යේෂණ කරනු ලබන ඔහුගේ බිරිය තමාගේ පර්යේෂණ කටයුත්ත සඳහා අමෙරිකාව බලා එනවා.

විශ්වනාත්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කිරීමට බිරිය විසින් ඔහු පසුපස ආරක්ෂක නිලධාරියකු යොදවනවා. නිරතුරුවම විශ්වනාත්ගේ පසු පස යන මේ ආරක්ෂක නිලධාරියාට එක් මොහොතක විශ්වනාත් මඟ හැරෙනවා. ඔහු ගියා යයි සැක කරමින් මේ නිලධාරියා නිවෙසක දොරට තට්ටු කරනවා. මේ නිවෙසේ සිටින්නේ ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියාකාරීන්. මේ ආරක්ෂක නිලධාරියා ඔවුනට පවසනවා වැරැදීමක් සිදු වූ බව. නමුත් ඒ බව නොසලකා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වේ යයි සැකයෙන් මෙම සංවිධානය ඔහු ඝාතනය කරනු ලබනවා.

මේ අතරේදී ආරක්ෂක නිලධාරියාගේ පසුම්බියේ තිබෙන ලියකියවිලි පරීක්ෂාවෙන් ඔවුන් මෙම කටයුත්තට විශ්වනාත් සම්බන්ධ බව සොයා ගන්නවා.

ත්‍රස්තවාදී සංවිධානය මඟින් විශ්වනාත් සහ බිරිය නිරුපමා අත් අඩංගුවට පත් කර ගන්නවා. මේ අතරතුර ත්‍රස්තවාදී නායක ඕමාර් නමැත්තා විශ්වනාත්ගේ පෞද්ගලික හිතවතකු බවට හඳුනා ගැනෙනවා.

මෙම හිතවත්කම යට මීට පෙර විශ්වනාත් සහ ඕමාර් අල්කයිඩා සංවිධානයේ එකට පුහුණුව ලැබූ අය බවට පෙනී යනවා. ඉන් පසුව චිත්‍රපටය දිවෙන්නේ අල්කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායමේ පුහුණුවීම් පිළිබඳවයි.

අවසානයේ අල්කයිඩා සංවිධානය නිව්යෝර්ක් නුවර විනාශ කිරීමට සැලසුම් කළ ප්‍රහාරය විශ්වනාත් ඇතුළු කණ්ඩායම ව්‍යර්ත කරනවා. චිත්‍රපටය අවසානයේ ත්‍රස්තවාදී නායක ඕමාර් අපූරු කතාවක් කියනවා. ත්‍රස්තවාදය නිසා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ඔහු කනගාටුවෙන් ප්‍රකාශ කරනවා.

මෙන්න මේ වගේ කතාන්දරයක් තමයි විශ්වරූපම් චිත්‍රපටයේ තියෙන්නේ. මෙම චිත්‍රපටය තුළ කමල් සංස්කෘතික ත්‍රස්තවාදය ගැනත් කතාබහට ලක් කරනවා.

මෙම චිත්‍රපටය නැරැඹූ අපි එය ඔ සහතිකය යටතේ (වැඩිහිටියන්ට පමණයි) ප්‍රදර්ශනය කිරීමට තීරණය කොට තිබුණා. මේ අතරේ ඉන්දියාවේ යම් යම් තැන්වල මෙම චිත්‍රපටය මතභේදයට තුඩු දී තිබුණා. මේ කාලයේ අපේ රටේ මුස්ලිම් සංවිධාන මා හට සන්දේශයක් මඟින් ඉල්ලීමක් කළා මෙම චිත්‍රපටය තහනමට ලක් කරන ලෙස.

නමුත් නැවත චිත්‍රපටය නරඹා දර්ශන දෙකක් ඉවත් කිරීමෙන් අනතුරුව අපි චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරීමට තීරණය කළා.

තමිල්නාඩුවේ මෙම චිත්‍රපටය වාරණයට හේතු වුණේ දේශපාලන ගැටලුවක්. ඒ නිසා කමල් හසන් මෙම චිත්‍රපටයේ දර්ශන පහක් පමණ ඉවත්කොට තිබෙනවා. ඇතැම් දර්ශනවල හඬ ඉවත් කරලත් තිබෙනවා.

කමල් හසන් කියන්නේ හොඳ චිත්‍රපට නිපදවන අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ හේරාම් වීරමුන්ඩි නායගම් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඉන්දියාවේ මධ්‍යම කොටසේ මෙම චිත්‍රපටයේ කිසිදු දර්ශනයක් ඉවත් නොකොට ප්‍රදර්ශනය වුණා.

මෙම තීරණය අපි ගත්තේ කලාකරුවාගේ පැත්තෙන් බලලා. අතිගරු ජනාධිපතිතුමා මේ තත්ත්වය දැනගත් වහාම චිත්‍රපටය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස දැන්වුවා. නමුත් එතුමා මේ සම්බන්ධයෙන් නිවැරැදි තීරණ ගැනීමට අපට බලය පවරා තිබුණා. ඒ බවත් මේ මොහොතේ කිව යුතුමයි.

* මෙම චිත්‍රපටයේ මොන වගේ අංග ද ඉවත් කිරීමට තීරණය කළේ?

ශාරියා නීතිය අනුව ගෙල කපා මරණ දර්ශනයක් චිත්‍රපටයේ තිබුණා. ඒ වගේම එල්ලා මරණ දර්ශනයක් ද ඇතුළත් වුණා. අපි එම දර්ශන ද්විත්වයම චිත්‍රපටයෙන් ඉවත් කිරීමට තීරණය කළා.

කෙසේ නමුත් ජනවාර්ගික ගැටලු ඇතිවන දේවල්, ජාතික හා ආගමික සමගියට බාධා පමුණුවන දේ, කැරැලි කෝලාහලවලට උසිගන්වන දේ වගේම බිහිසුණු ඝාතන, ලේ වැගිරීම් ප්‍රදර්ශනයට වැට බැඳීමට අපි වග බලා ගන්නවා. ඒ වගේම මනස විකෘති කරවන කාමුක දර්ශන අනවශ්‍ය ලෙස යොදා ගන්නා කාමුක රූපරාමු ඉවත් කිරීමට අපි නිබඳව අවධානයෙන් ඉන්නවා.

මෙසේ ඉවත් කරනු ලබන දර්ශන කිසිවකු හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළහොත් ඊට දැඩි දඬුවම් පමුණුවන්නට අපි පැකිලෙන්නෙත් නැහැ.

* ඔබ ප්‍රකාශ කළ අඩංගු නොවිය යුතු දර්ශන රූපවාහිනී මාධ්‍යයෙන් අපේ ගෙදරටම එනවා නේද?

ඔව් . . . බිහිසුණු මරණ, ලේ වැගිරීම් වැනි දේ නිතර රූපවාහිනියෙන් පෙන්වනවා. මේ සඳහාත් නීති මාලාවක් ගෙන ඒමට අපි මේ දිනවල වගකිවයුතු සංවිධාන සමඟ සාකච්ඡා කරමිනුයි ඉන්නේ.

නමුත් ච්. ඍ. ච්. අන්තර් ජාලය මඟින් දැන් ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් බලන්නට පුළුවන්. උදාහරණයක් විදිහට විශ්වරූපම් චිත්‍රපටයේ ඉවත්කළ දර්ශන සහිතව මේ වන විට බොහෝ දෙනෙක් පෞද්ගලිකව චිත්‍රපටය නරඹලා ඇති. මේ විශාල දොරටුව පුංචි අතකින් වහන්නට බැහැ. මේ ගලාගෙන එන දේවල් වියතකින් වලක්වන්නට බැහැ. ඒක ප්‍රායෝගික නැහැ.

* ප්‍රසිද්ධ රැඟුªම් පාලක මණ්ඩලයට හුරු පුරුදු නම තමයි ‘කැපුම් මණ්ඩලය’?

ඔව්. ඉස්සර මේ මණ්ඩලයෙන් ෆනී ඇන්ඩ් ඇලෙක්සැන්ර් වගේ චිත්‍රපටත් තහනමට ලක්කරල තිබෙනවා. අපි අනවශ්‍ය සුචරිතවාදයකට හෝ අන්තවාදයට යාමට අවශ්‍ය නැහැ. මධ්‍යම ප්‍රතිපදාව අනුව තමයි කටයුතු කළ යුත්තේ. සාමකාමී එක්සත් ශ්‍රී ලංකාවත් ඇති කිරීමට රජය ගෙන යන ප්‍රතිපත්ති මාලාවට එකඟව කටයුතු කිරීමයි අපේ වගකීම. ඒ සඳහා අප බැඳී සිටිනවා.

අපට අන්තවාදී විවේචන වැදගත් නැහැ. කලාකරුවාගේ අයිතිය අප සුරක්ෂිත කරනවා.

ඇතැම් තැන්වලදී රැඟුම් පාලක මණ්ඩලය ගත් තීරණ සමඟ මම එකඟ නැහැ. මගේ පෞද්ගලික අදහස අක්ෂරය වැනි චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනය විය යුතුයි.

මේ සියලු දේ අතරේ අපට ජාතික වගකීම් පැවරිලා තිබෙනවා. අපට වල් බූරු නිදහසක් නැහැ. ආගම්, සංස්කෘතිය, රටේ ගෞරවය අප ආරක්ෂා කළ යුතුයි.

මීට පෙර අපේ රටේ ප්‍රදර්ශනය සඳහා පැමිණි ඩික්ටේටර් චිත්‍රපටය අපි තහනමට ලක් කළා. මේ ගැන බොහෝ දෙනා දන්නේම නැහැ. මෙම චිත්‍රපටය දමිළ සරණාගතයන් පිළිබඳ වැරැදි චිත්‍රයක් මවා පෙන්වා දෙනවා. ජාතීන් අතර ගැටලුවක් හෝ එක් ජාතියකට අගෞරවයක් වෙන දෙයක් ප්‍රදර්ශනයට අපි ඉඩ දෙන්නේ නැහැ.

ඒ වගේම චිත්‍රපටයට අවශ්‍ය දේවල් හිතුමතේට කපා කොටා දාන තැනක් නෙවෙයි මේක. අපි ඉටු කරන්නේ ජාතික වගකීමක්.

* ඕනෑම චිත්‍රපටයක සැඟවිච්ච අරමුණක් තිබෙන්නට පුළුවන් නේද?

ඔව්. ඒ පටු අරමුණු, දේශපාලන සමාජීය ඉඟි අපට වටහා ගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් සැලකිල්ලෙනුයි ඉන්නේ.

ලංකාවේ මුස්ලිම් කාන්තාව ෆර්දා හැඳ නැතැයි කියා චිත්‍රපටයක් තහනමට ලක් කරන්නට අපට බැහැ. මෑත දිනකදී ෆර්දාව හැඳගත් තරුණයකු බැංකු මංකොල්ලයක් සඳහා ගොස් හසුවුණා. එම කතාව චිත්‍රපටයකට නැඟුණොත් ෆර්දා යොදා ගත්තා කියල එම චිත්‍රපටය තහනම් කිරීමට අපට බැහැ. ඒ වගේ පටු අරමුණු පදනම් කර ගනිමින් නිර්මාණයක් වාරණය කිරීම බලවත් අසාධාරණයක්