වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




කාගෙත් උපන් දිනයට සුබ පතන සිරි කහවලගේ උපන් දිනය 16 දා

කාගෙත් උපන් දිනයට සුබ පතන සිරි කහවලගේ උපන් දිනය 16 දා

මෙරට සියලු දෙනාගේ උපන්දින සැමරුම් ආදී සියලු කරුණු විනෝදාංශයක් ලෙස එක් රැස් කර තබන ආණ්ඩුවේ කන්තෝරුවක්වත් නැත. එහෙත් ඒ අඩුව පිරිමසන්නේ සිරි කහවලයි. එපමණක් නොව ඕනෑම කලාකරුවකුගේ උපන් දිනයදාට ඔහුට හෝ ඇයට උදෑසනින්ම සුබ පතන්නට සිරි කහවල අමතක කරන්නේ නැත.

ලංකාවේ කලාකරුවන්, විද්වතුන් ඇතුළු ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන්ගේ උපන් දින, ලිපින හා දුරකථන ඇමතුම් අවශ්‍ය ඕනෑම අයෙක් කතා කරන්නේ ඔහුටය. එසේම ඔහුගෙන් උපන් දින සුබ පැතුමක් නොලද කලාකරුවෙක්, විද්වතෙක් හෝ ජනපි‍්‍රය පුද්ගලයෙක් මෙරට නැති තරම්ය. ලංකාවේ සියලුම ජන මාධ්‍යයන් මෙන්ම රාජ්‍ය ආයතන පවා උපන් දින, ලිපින හෝ දුරකථන අංක අවශ්‍ය වූ විට අමතන්නේ ඔහුටය.

හොරණ මිල්ලනිය බෞද්ධ මිශ්‍ර පාසලෙන්, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන්, පානදුර ශාන්ත ජෝන් විදුහලෙන් හා පානදුර සිරිල් ජෑන්ස් විදුහලෙන් අධ්‍යාපනය ලද ඔහු සිය පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ කොළඹ ආනන්ද විදුහලෙනි.

ආනන්ද විදුහලේ සමකාලීනයන් වූ ආනන්ද ගුණතිලක සමඟ සංස්කරණය කළ සිසු පෙරමුණ පුවත්පත ඔහුගේ පුවත්පත් කලා දිවියේ එක් සන්ධිස්ථානයකි. ඒ වකවානුව ඔහුගේ සහෘදයන් වූ තිලක් කරුණාරත්න, සුනිල් මාධව ප්‍රේමතිලක, වික්‍රමබාහු කරුණාරත්න, ආනන්ද අබේසිංහ, ආනන්ද එරත්න, දයා රණවීර, අතුල මංචනායක ආදී විවිධ අදහස් ඇති සමකාලීනයන්ගෙන් ආනන්දය ආලෝකමත් වූ යුගයකි.

මේ කාලයේ සුදේශ් ගුණරත්න විසින් ජේ. සෙල්වනායගම් මහතාට ඔහු හඳුන්වාදීමත් සමඟම හතර ග්‍රහයෝ නම් තිර රචනය ඔහු අතින් බිහි විය. මේ වකවානුවේ කවියෙක්, විචාරකයෙක්, හින්දි ගීත පරිවර්තකයෙක් වශයෙන් ඔහු සරසවිය ඇතුළු පුවත්පත් රාශියක කටයුතු කළේය. උපාධිධාරියෙක් වශයෙන් විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් පිට වූ සිරි ඉන් පසු පොහොර සංස්ථාවේ ගබඩා පාලකයෙක් වශයෙන් දිවයිනේ නන් දෙස සේවය කළේය. දේශපාලනයේදී සැමදාමත් ප්‍රගතිශීලී අදහස් දැරූ ඔහුට ඒ නිසාම බදුල්ල, හම්බන්තොට, අම්පාර, පොලොන්නරුව ආදී අති දුෂ්කර පළාත්වල සේවය කරන්නට සිදු විය.

අවුරුදු කිහිපයක් පොහොර සංස්ථාවෙන් මිදී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙක් වශයෙන් එක් වූ ඔහු දේශීය වෛද්‍ය ආයතනයේත්, චිත්‍රසේන වජිරා කලායතනයේත් හින්දි භාෂා කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කළේය.

1973 වසරේදී ප්‍රකාශයට පත් වූ ඔබේ ගීත මගේ කඳුළු කවි පොත ඔහුගේ කාව්‍යමය කුසලතාවය පෙන්නුම් කළ කෘතියකි.

1982 වන විට දේශපාලනයට පිවිසි සිරි කහවල හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී කලාකරුවන් එක්රැස් කරන්නට විශාල මෙහෙවරක් කරන ලදී. මේ වන විට ඔහු ට්භඪඤඥ නම් කෘතිය හින්දි භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ ද එය පාඨකයා අතට පත් නොවීය. පසුකාලීනව යසපාලිත නානායක්කාර සමඟ එක් වූ ඔහු නැවත හමුවෙමු, රෝසි, සුරනිමල යන චිත්‍රපටවල තිර රචනා කළේය. ඔහු ආදරයේ රන් දම්වැල් තිර රචනය කළේ ඇලරික් ලයනල් ප්‍රනාන්දු වෙනුවෙනි.

හින්දි චිත්‍රපට සිංහලෙන් උපසිරැසි ගැන්වීමේ පුරෝගාමී මෙහෙවරක් කළේ ඔහුය. ස්වාධීන රූපවාහිනී සේවය විසින් විකාශය කළ හින්දි චිත්‍රපට ඔහු විසින් සිංහලයට නගන ලද අතර මෙය වසර 10 කට ආසන්න කාලයක් පුරා අඛණ්ඩව කෙරිණි. දිගු කලකට පසු ඔහු යළි සරසවියට එක් විය. විශ්ව ලේඛා ආයතනයේ ප්‍රකාශනයක් වූ විශ්ව තරංග සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක වශයෙන් කටයුතු කල සිරි කහවල ඉන් පසුව දිනකර පුවත්පතට ද සම්බන්ධව සේවය කළේය. සිය ජීවිතයෙන් වැඩි කාලයක් ප්‍රගතිශීලී දේශපාලනයක් දිනවීමට සෘජුවම මැදිහත් වූ සිරි කහවල මේ වන විට ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කරයි.

ක්ෂේත්‍ර ගණනාවක සිය කුසලතාවන් මැනවින් විදහා දැක් වූ චිත්‍රපට තිර රචකයෙක්, ගුරුවරයෙක්, ලේඛකයෙක් මෙන්ම මානව හිතවාදී දේශපාලනයක් වෙනුවෙන් අවංකවම කැප වූ පුද්ගලයෙක් වශයෙන් ඔහු කළ සේවය අපි ඉතසිතින් සිහිපත් කරමු. මේ වනවිට සිය ආරණීය බිරිඳ මල්ලිකා වික්‍රමආරච්චි මහත්මිය සමඟ රත්මලාන සිරිමල් උයනේ වෙසෙන සිරි කහවල චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට මෙලෙස උපන් දින සුබපැතුම් එක් කරමු. සිරි කහවල සුබ උපන්දිනයක්