වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මුළු හදින් මම ආදරෙයි

 මුළු හදින් මම ආදරෙයි

විජය ලියූ එකම ගීතය

කලාකාමී කවුරුනුත් ඔහුට මුළු හදින් පෙම් බැන්ෙඳීය. ඔහුගේ වියෝවේ 25 වැනි සැමරුම අබියස සිටින අප හට ද කිව හැක්කේ, “මු¼ථ හදින්ම ඔබ හට ආදරෙයි” කියායි.

“මුළු හදින්ම මම ඔබ හට ආදරෙයි...” මේ... විජය කුමාරණතුංගයන් රචනා කළ පළමු සහ අවසන් ගේය පද සංකල්පනාවයි.

විජයගේම වචනයෙන් එකී ගීත රචනය ඔහුගේ පෞද්ගලික ජීවිතයට සමීප අත්දැකීමකි. හැඟීම් මුසු වූ අත්දැකීම්, අකුරු ඔස්සේ ගීතයක් වූ එකී කඩදැහිය තවමත් සුරක්ෂිතය.

එහි හිමිකාරිය සන්ධ්‍යා වීරසිංහයි. හෙළ සිනමාවේ, සොඳුරුතම පේ‍්‍රමවන්තයා ලියූ එකම ගීය ලියැවුනේ ඇයගේ හඬටයි.

‘කුණ්ඩලකේශී’ චිත්‍රපටයේ රූ ගැන්වීම් සිදුකළ අවධියේයි සන්ධ්‍යා හට විජය කුමාරණතුංගයන් පළමුව මුණගැසුණේ. එම චිත්‍රපටයේ සුළු චරිතයකට ඇයද දායක වූවාය. රසිකාවක් ලෙස මේ අසහාය කලාකරුවා හැඳිනගත්තද පසුකාලීනව විජයගේ දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ වන්නට සන්ධ්‍යාට හැකිවිණ.

පානදුරේ සන්ධ්‍යා වීරසිංහ, ගායිකාවක් ලෙස කලඑළි දුටුවේ ද, විජය කුමාරණතුංගයන් ඉදිරියේයි. ඒ 1987 මාර්තු 21 වැනි දා පාණදුර පුරහලේ පැවති ඇයගේ පළමු ප්‍රසංගය දින, “කල්පනා ගී සඳැල්ල” ලෙස එය නම් කළේ ද විජයම වීම, සන්ධ්‍යා තම ජීවිතයේ ලැබූ විජයග්‍රහණයකි.

මෙම ගීතය, නව සංගීත සංයෝජනයෙන් 17 වැනි දා ජාතික රූපවාහිනියේ ‘හද රැඳි ගී’ වැඩසටහනින් ඔබට දකින්නට ලැබේ. ඒ වෙනුවෙන් සිරිතුංග පෙරේරා මහතා හට ස්තුතිය පිරිනමන බව සන්ධ්‍යා වීරසිංහ කියා සිටියා. “මුළු හදින්ම මම ඔබ හට ආදරෙයි” නව තනු නිර්මාණය උපාලි කලාපි‍්‍රය. සංගීතය රංජිත් ඩයස්.

“විජය අයියා, මුල ඉඳන්ම මගේ හැකියාව අගේ කළා. විජය අයියා මට ගීයක් ලියා දුන්නොත් මම සතුටින් ගයනවා කියලා කිව්වා. හිනා වුණා විතරයි. කොහොම හරි මගේ ඉල්ලීම ඉෂ්ට කළා. ඒ වගේ රත්තරං කෙනෙක් ආයෙ අපට ලැබෙන්නෙ නැහැ.”

නෙතඟ රැඳි කඳුළු බිඳුවක් පිසිමින් සන්ධ්‍යා කතාව අවසන් කළේ එලෙසින්.

මුළු හදින්ම මම ආදරෙයි

මුළු හදින්ම මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ
මුළු සිතින්ම මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ

සදා දැවෙනා ගිනි කන්දක් වගේ
ඔබේ ගත මා හැඳිනුවා

ගලා බසිනා දිය දහරක් වාගේ
ඔබේ සිත මා හැඳුණුවා

ඔබව පමණි හඳුනා ගත්තේ
ඔබව පමණි හඳුනා ගත්තේ

ඉපිද මැරෙන ආත්මයක් ගානේ
සසර සැරි සරනා තුරා

සුසුම් හෙලනා වාරයක් ගානේ
මෙලොව ජීවත් වන තුරා

ඔබව පමණි සොයලා එන්නේ
ඔබව පමණි සොයලා එන්නේ

මුලු හදින්ම මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ
මුලු හිතින් මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ