වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




හිර ගෙදරදී ආරක්ෂක නිලධාරියාට විජයගෙන් සමරු සටහනක්

හිර ගෙදරදී ආරක්ෂක නිලධාරියාට විජයගෙන් සමරු සටහනක්

විජය භාරව සිටි ආරක්ෂක නිලධාරියාගේ මතකය

රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළ කුමන්ත්‍රණකරුවන් යයි චෝදනා නඟමින් විජය වැලිකඩ හිරගෙදර සිරගත කරන ලද්දේ 1982. 11. 25 වෙනිදාය. වෘත්තියෙන් බන්ධනාගාර නිලධාරියකු වූ මා එවකට සේවය කරන ලද්දේ වැලිකඩ බන්ධනාගාරයේය. යුද හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් විසින් විජය වැලිකඩ හිරගෙදරට ගෙන එන ලද්දේ පස්වරු තුනට පමණය. විජය ප්‍රථමවරට වැලිකඩ හිරගෙදර තුළ රඳවන ලද්දේ ‘එච් වෝඩ්’ නමින් හඳුන්වන සිර මැදිරි එකසිය පනහකින් පමණ සමන්විත තෙමහල් සිර ගොඩනැගිල්ලේ තුන්වන මහලේ වම්පස පළමුවන සිර මැදිරියේය. විජයව එම සිරමැදිරි ගොඩනැගිල්ලේ රැඳවීමට පෙර, එම ගොඩනැගිල්ලේ රඳවා සිටි සියලුම සිරකරුවන් එයින් පිටත යවා විජයව පමණක් එහි රැඳවීම ද විශේෂ සිද්ධියකි.

විජය මහත්මාව සිරගතකළ වැලිකඩ හිරගෙදර ‘එච් වෝඩ්’ සිර ගොඩනැගිල්ලේ රඳවන ලද ප්‍රථම අවස්ථාවේදී, විජය ආරක්ෂිත හා සිරමැදිරි ආරක්ෂිත රාජකාරි කටයුතු ඉටු කිරීමට සිදු වූයේ මා හටය. එම සිද්ධීන් මතකයට එන සෑම අවස්ථාවකදීම කිසියම් සතුටක් ඇති වුවත්, ඊටත් වඩා වේදනාවකින් හද වෙලී යයි.

වැලිකඩ හිරගෙදර අධිකාරිවරයා ඇතුළු උසස් නිලධාරීන් කීප දෙනෙකු විසින් විජයව එම සිර මැදිරිය වෙත රැගෙන විත්, රාජකාරි සටහන් පොතේ, අධිකාරිවරයා විසින් මෙසේ සටහන්කර විජය ආරක්ෂිත රාජකාරි කටයුතු මා වෙත බාර දෙන ලදී.

‘විශේෂ සැකකරු අංක 3020 දරණ විජය කුමාරණතුංග නමැති සැකකරුව ආරක්ෂක නිලධාරී ෂෙල්ටන් කුරේරාට ‘එච්’ වෝඩ්හිදී භාර දුනිමි.

දිනය සහ වේලාව - 1982. 11. 25 පස්වරු 3.45

විජය ආරක්ෂිත රාජකාරි කටයුතු අධිකාරිවරයා විසින් නිල වශයෙන් මාහට බාරදී විජයට කිසිවකු සමඟ කතා කිරීමට ඉඩ නොදෙන ලෙසට ද උපදෙස් දී අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් පිරිස පිටත්ව යන ලදී. මේ අවස්ථාවේදී මගේ සමරු පොත කාර්යාලයේ මගේ මේස ලාච්චුවේ තිබෙන බව මතක් වූ මම, සිරකරුවකු යවා එය සිර මැදිරිය වෙත ගෙන්වා ගෙන සිර ජීවිතය ගැන, මතක්වීමට මොනවා හරි ලියන්න යයි කියා සමරු පොත විජයට දුනිමි. විජය එය ගෙන පෙරළා බලා ලියන ලද සමරු සටහන, විජය රසික ‘සරසවිය’ පාඨක ඔබ සැමගේ පහන් සංවේගය සඳහා රසාස්වාදය සඳහා පහත සඳහන් කරමි. විජය කුමාරණතුංග මහත්මා වැලිකඩ හිරගෙදර තුළදී සමරු පොතක ලියන ලද එකම සමරු සටහන ද මෙයයි.

25. 11. 82

වැලිකඩ සිරගෙදරදී

 

කවදාහරි දිනක

මේ අසාධාරණ

සමාජ ක්‍රමයෙන්

සත්‍යයත් සාධාරණත්වයත්

එළි දකින තෙක්

ඔබත්

මාත්

අපි හැම දෙනාමත්

සහෝදරත්වයෙන්

අත්වැල් බැඳගෙන

ඉදිරියට යමු

එදාට උදාවෙන

විමුක්තියෙන්

සියලු සත්ත්වයෝ යහතින්

වෙසෙත්වා!
 

විජය කුමාරණතුංග