වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




නළුකමෙන් උපන් මිනිසත්කමේ පොහොසත්කම වි ජ ය

නළුකමෙන් උපන් මිනිසත්කමේ පොහොසත්කම වි ජ ය

මරණින් මතුව ද යමකු පිළිබඳ මතකය චිරාත් කාලයක් මුළුල්ලේ ජන හදවත් හි නොමැකී පවතින්නේ නම් හේ නිසැකයෙන්ම අමරණීය චරිතයකි. එවන් අසාමාන්‍ය තත්ත්වයක් බොහෝ විට උරුම වන්නේ ජනකාන්ත කලාකරුවකු හට පමණය. විජය කුමාරණතුංග නම් වූ සුවිශේෂී කලාකරුවා, මානව හිතවාදියා අපට අහිමිව ගොස් මෙම 16 වැනි දිනට පුරා විසි පස් වසකි. නමුදු ඒ ගෙවුණු අඩ සියවස් අඩක කාලය පුරාවට විජයගේ අගය, වටිනාකම තව තවත් උද්දීප්තියට පත් වූවා විනා එය අබැටකදු තරමින්වත් ක්ෂය වූයේ නැත.

එදා මෙදාතුර සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රංගවේදියා කවුරුන්දැයි කිසිවකු මගෙන් විමසුවහොත් එය දෙවරක් සිතිය යුතුª කරුණකි. ඒ ගාමිණී ෆොන්සේකා යැයි පවසන්නට මගේ දිව නැමෙතත් ඒ හා සමඟම ජෝ අබේවික්‍රමයන්ගේ විශිෂ්ට රංග ප්‍රතිභාව ද මනසේ හොල්මන් කරමින් අර සිතිවිල්ල කිසියම් අභියෝගයකට නැතහොත් දෙගිඩියාවකට ලක් කරනු නියතය. සිනමා ලෝලීන් දහසකගෙන් එම පැනය විමසුවහොත් එකිනෙකාට සාපේක්ෂව ඒ පිළිතුර ගාමිණී හෝ ජෝ විය හැකිය. එහෙත් එදා මෙදාතුර අපේ සිනමාවේ බිහි වූ ජනප්‍රියම නළුවා විජය කුමාරණතුංගයන් බැව් නම් අවිවාදිතය.

හෙළ සිනමා මල් ගොමුවේ නිදහසේ පියඹා ගිය විජය නමැති රන් සමනලයා ඝාතනයට ලක්වන විට අපේ සිනමාව 41 වැනි වියට පා තැබුවා පමණකි. ඒ අමිහිරි, අවාසනාවන්ත සිදුවීමෙන් විසිපස් වසක් ගෙවී ගොස් ඇති මේ මොහොතේ දේශීය සිනමාව 66 වැනි වියට පියමැන තිබේ. එහෙත් ඒ ගෙවුණු කාලය පුරාවට විජයගේ ජනප්‍රියත්වය සොරා ගන්නට, උදුරා ගන්නට හෝ එය අබිබවා යන්නට අන් කිසිදු නළුවකුට අවස්ථාවක් නොලැබිණ. විජය ජීවමාන කලාකරුවකු වන්නේ එබැවිනි.

Glamour (කායික ආකර්ෂණීයත්වය)Popularity (ජනප්‍රියත්වය) Legend(පුරාවෘත්තය)  Charisma (මහිමාලංකාරය) වැනි උත්කෘෂ්ට වදන් සියල්ලම එකවිට භාවිත කළ හැකි එකම ලාංකේය කලාකරුවා විජය කුමාරණතුංගයන් පමණකැයි මම විශ්වාස කරමි. රුව, ගුණ, තේජස පිරි අපේ සිනමාවේ පහළ වූ එකම රංගන ශිල්පියා විජය යැයි ආචාර්ය තිස්ස අබේසේකරයන් වරෙක මා හා කළ සංවාදයකදී ප්‍රකාශ කළ අයුරු මේ මොහොතේ මගේ මතකයට නැඟේ.

සැහැල්ලු, විනෝදකාමී පෙම්වතාගේ චරිතය විවිධ ස්වරූපයන්ගෙන් රඟදක්වමින් ජනප්‍රිය සිනමා ධාරාවේ ජනප්‍රියම නළුවා ලෙස කිරුළු පැළඳුවේ විජයයි. එදා මෙන්ම අදට ද ඒ ආදරණීය සිහින කුමරා අපරාජිතය.

විජය කුමාරණතුංගයන් අයත් වූයේ සුන්දරත්වය (Physical Actor) හා පෞරුෂත්වය (Personality Actor) මුල් කොට ගත් නළුවන් ගොන්නටය. ඔහු සිනමාවේ ජය කෙහෙළි නැංවූයේ එවන් ප්‍රතිරූපයන්හි අනුහසින් වුව ද විජය යනු විටෙක දක්ෂ චරිතාංග නළුවකු ද විය. අපේ සිනමාවේ ආරම්භයේ සිට අද්‍යතන යුගය දක්වා විමසුම් නෙත් හෙළද්දී එය ප්‍රධාන ධාරාවන් සතරකට බෙදා දැක් විය හැකිය. එනම් ජනප්‍රිය, ස්වතන්ත්‍ර, ජනප්‍රිය සිනමාරූපී, ජනප්‍රිය අනුකරණාත්මක හා කලාත්මක චිත්‍රපට යනුවෙනි. විජය මේ සතර වර්ගයේම චිත්‍රපටවල රඟපෑවේය. ඒ පිළිබඳ විවරණය මඳකට පමා කරමි.

මුළු රටක් වසඟ කළ ඒ අසහාය කලාකරුවා උපන්නේ 1945 ඔක්තෝබර් 09 වැනි දිනය. උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වූයේ කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංග යනුවෙනි. විජය අද ජීවතුන් අතර සිටියා නම් ඔහුට වයස අවුරුදු 68 කි. එහෙත් කුරිරු දෛවය අපෙන් විජය උදුරා ගත්තේ ඔහු 43 වැනි වියේ පසුවද්දීය.

විජය යනු කඩවසම් බව හා ආකර්ෂණීය පෙනුම මුල් කොට ගත් සාමාන්‍ය නළුවකු සේ ඇතැමුන් හැඳින්වුව ද සැබැවින්ම හේ රංගනයට පිවිසියේ නිකමකුª ලෙස හෝ හිස් අතින් නොවේ. 1965 වසරේදීී සෙරන්ඩිබ් කලායතනයට බැඳී ශේෂා පලිහක්කාර වෙතින් නර්තනයත්, පී වැලිකල හා ජේ. එච්. ජයවර්ධන යටතේ නාට්‍ය රංගනයත් හැදෑරූ විජය මුලින්ම චිත්‍රපටයක ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්ෂණය කිරීමට සැරසුනු ‘පුරන් අප්පු’ චිත්‍රපටයටය. එහෙත් ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු අතරමග ඇණ සිටි අතර විජයගේ සිනමා සම්ප්‍රාප්තිය සිදු වූයේ ‘මනමාලයෝ’ චිත්‍රපටයේ සුළු දර්ශනයකට පෙනී සිටීමෙනි.

බොහෝ කලාකරුවන්ට මෙන්ම විජයගේ ද ගමන් මඟට පහන් ටැඹක් වූයේ ‘සරසවිය’ පුවත්පතය. 1967 වසරේ ‘සරසවිය’ පුවත්පතේ පළ වූ දැන්වීමකට අයදුම් කළ විජයට සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නට අවස්ථාව හිමි වුණි. බන්දුල නමැති විශ්ව විද්‍යාල තරුණයාගේ චරිතය රඟපාමින් ඔහු එලෙස සිනමාවේ විජයග්‍රාහී මාවතකට පය එසවූයේය. තාරුණ්‍යයේ සුන්දරත්වය හා පෞරුෂය ඔහුටම ආවේණික එකක් වූ නිසාවෙන්ම එවකට සිටි ප්‍රේක්ෂකයන් එක රැයකින් විජය වටා රොඳ බැද ගන්නේ අසීමිත වූ සෙනෙහසිනි. විජය සතු ගමන් විලාශය, අංග චලනය, පෞරුෂය මෙන්ම ඔහුගේ හඬ පවා එවක සිටි වෙනත් කිසිදු නළුවකු තුළ දක්නට නොලැබුනු ගුණාංගයන් විය. මෙකී අනන්‍යතාව විජයගේ ගමන් මඟට සෙවණැල්ලක් වූ බව නිසැකය.

1967 වසරේ තිරගත වූ ටී. භවානන්දන් අධ්‍යක්ෂණය කළ ‘මනමාලයෝ’ චිත්‍රපටයේ සිට 1987 වසරේ තිරගත වූ යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ විජයගේ අවසන් චිත්‍රපටය ‘යුක්තිය ද - ශක්තිය ද’ දක්වා චිත්‍රපට අනූ දෙකක ඔහු දිවි රඟ මඬලෙන් නික්ම යන්නට මත්තෙන් රඟපා තිබිණි. ඔහු සිනමාවේ රැඳී සිටියේ විසි වසක කාලයක් පමණකි. කාලයට සාපේක්ෂව එබඳු වික්‍රමයක් පෑ එකම ලාංකේය සිනමා නළුවා විජය පමණකැයි මට සිතේ.

හතර දෙනාම සූරයෝ, අබිරහස, එදත් සූරයා අදත් සූරයා, මේ දෑස කුමට ද, ආදරේ හිතෙනවා දැක්කම, තුෂාරා, දුලීකා, සංගීතා, හිතුවොත් හිතුවාමයි, පෙම්බර මධු, විස්මය, මිහිදුම් සිහින, නැවත හමුවෙමු, ජය අපටයි වැනි පොදුවේ ජනප්‍රිය සිනමාවේ විජය රඟපෑ චිත්‍රපට නාමාවලිය දිගු එකකි. විජය සතුව තිබූ සුකුමාර පෙනුම නිසා ඔහු ජනප්‍රිය ධාරාවේ සිනමාව නියෝජනය කළ තීරණාත්මක සාධකය වුව ද, කලාත්මක සිනමාවේ ඔහු පෑ රංග ප්‍රතිභාව කිසිවකුටත් අවතක්සේරු කළ නොහැකිය.

ධර්මසේන පතිරාජයන් විසින් 70 දසකයේ ගොඩ නැගූ විකල්ප සිනමාවේ ප්‍රධාන නළුවා බවට පත් වූයේ විජයයි. පතීගේ ‘පාර දිගේ’ චිත්‍රපටයේ චන්දරේ හා ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ බේබි මහත්තයා එබඳු චරිත ද්විත්වයකි. එමෙන්ම ‘අහස් ගව්ව’, ‘මරුවා සමඟ වාසේ’, ‘පොඩි මල්ලී’, ‘කරුමක්කාරයෝ’, ‘මහ ගෙදර’, ‘මධු සමය’, ‘බැද්දේගම’, ‘කැඩපතක ඡායා’, ‘ක්‍රිස්තුª චරිතය’ විජය සිය චරිතාංග නිරූපණ මුද්‍රාව තැබූ සෙසු චිත්‍රපට වේ.

‘විජය අති දක්ෂ නළුවකු නෙවෙයි. නමුත් ඔහුගේ ප්‍රතිරූපය ඉතා ප්‍රබලව වැඩී තිබුණා. දක්ෂතම නළුවා නොවුණාට ඔහු තමා නිසැකයෙන්ම අපේ ජනප්‍රියතම නළුවා.’

විජය සමඟ ‘හන්තානේ කතාවෙන්’ සිනමාවට පිවිස පසු කලෙක ඔහුගේ ප්‍රාණසම මිත්‍රයකු බවට පත් වූ අමරසිරි කලංසුරිය වරෙක එලෙස ප්‍රකාශ කර තිබිණ. සැබැවින්ම ඒ කියමනේ සත්‍යතාව අපට සක් සුදක්සේ පැහැදිලි වන්නේ ඔහු පිට පිටම සය වතාවක් එනම් 1983 සිට 1988 දක්වා (අභාවයෙන් පසු ද එක් වතාවක්) ජනප්‍රිය නළුවාට හිමි ‘සරසවිය’ සම්මානයෙන් පිදුම් ලැබීමය.

විජයගේ ගායන හැකියාව ද ඔහුගේ රංගනය සේම විචිත්‍රවත්වය. ඔහුටම ආවේනික, ගැඹුරු එහෙත් ළයාන්විත හඬකින් ගී ගැයූ විජය ගායකයකු ලෙසින් වඩාත් ප්‍රකට වූයේ ඔහුගේ මරණින් මතුය. ‘සහරාවේ සිහිනය’ (1991) සහ ‘දොළොස් මහේ පහන’ (1992) චිත්‍රපට සඳහා හොඳම ගායකයාට හිමි ‘සරසවිය’ සම්මානය හිමි වූයේ විජයගේ නමටය. ඒ ඔහුගේ ගායන කෞශල්‍ය පිළිබිඹු වූ සුවිශේෂී අවස්ථාවන්ය.

සුමිත්‍රා පීරිස් ගේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයට විජය ගැයූ ‘ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී’ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ ගායන ක්ෂේත්‍රයේ ද විජයට විශාල ඉඩහසරක් වෙන් කර දෙමිනි. ඔහු රඟන චිත්‍රපටවල ඔහුටම පසුබිම් ගීත ගායනා කරන ලෙස චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගෙන් විජයට නිතර ඇරැයුම් ලැබිණ. එහෙත් ඒ හැම විටෙකම විජය තිරසාරව පැවසුවේ මෙවන් දෙයකි.

‘ජෝතිපාල කියන්නේ අපේ සිනමාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ගායකයා. එයාට අභියෝග කරන්න තියා කිට්ටු වෙන්නවත් කාටවත් බැහැ. කොටින්ම මගේ හඬට වඩා මට ගැලපෙන්නේ ජෝතිගේ හඬ. ඔහුගේ ගායනය හා මගේ රංගනය අතරේ ලොකු ආත්මීය බැඳීමක් තියෙනවා.

විජයගේ ඒ කියමන සනාථ කරමින් වරක් ජෝති ද එක්තරා පුවත්පතකට මෙසේ ප්‍රකාශ කර තිබුණි.

‘සෑම නළුවකුටම මගේ හඬ ගැළපෙන බව බොහෝ දෙනෙක් කියනවා. ඇත්තෙන්ම පසුබිම් ගීයක් ගයද්දී මම නිතරම උත්සාහ කරන්නේ ඒ රඟපාන නළුවාගේ හඬට සමානව මගේ ගායනය ඉදිරිපත් කරන්නයි. ඒත් විජය වෙනුවෙන් ගී ගයද්දී මම කිසිම ආයාසයක් දරන්නේ නෑ. වඩාත් හැඟීම්බර ගායනයක් මගෙන් සිදු වෙන්නේ මටත් නොදැනුවත්වමයි. මම හිතන්නේත් මගේ හඬ වැඩියෙන්ම ගැළපෙන්නේ විජයටයි.’

එහෙත් මේ අපූර්ව සුසංයෝගය බිඳ වැටී දැන් විසි පස් වසක් ගෙවී ගොස් අවසන්ය. ජෝති මිය ගියේ 1987 ජූලි 07 වැනිදාය. එවකට විජය සිටියේ සෝවියට් රුසියාවේය. එහි සිට ජෝති වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් එවූ විජය සඳහන් කළේ තමන්ට සහෝදරයකු හා සමාන මිත්‍රයකුª අහිමි වූ බවය. එසේ පැවසූ විජයට සිය ජීවන ගමන් මගෙහි ඉදිරියට පිය මනින්නට වරම් ලැබුණේ හරියටම තවත් සත් මසක් පමණි. ඒ දෛවයේ හැටිය. ගහක් ගලක් මෙන් සිටි මේ ප්‍රතාපවත් මිනිසා රුදුරු වෙඩි පහරකට ලක්ව කපා හෙළූ කෙසෙල් කඳක් මෙන් බිම පතිත වූයේ 1988 පෙබරවාරි 16 වැනිදාය. විජය නමැති අසිරිමත් මිනිසාට වෙඩි තැබූ ඝාතකයන් සිතන්නට ඇත්තේ මින්පසු මේ මිහිපිට විජය කුමාරණතුංග කෙනෙක් නැතැයි සිතා විය යුතුය. එහෙත් මිය ගිය විජයගේ යෝධ රූපකාය ජීවත්ව සිටි විජයටත් වඩා ප්‍රබලව ජන මනසේ සදාතනිකව අරක් ගෙන තිබේ.

‘මානව හිතවාදී’ යන විශේෂණය විජයගේ නමෙහි මුලට එක්වන්නේ ඔහුගේ දේශපාලන භූමිකාව හරහාය. ඔහු නළුකමෙන් මෙන්ම දේශපාලනයෙන් ද හරි හම්බ කළේ මිල මුදල් නොව මිනිසුන්ය. බොහෝ විට සිදු වූයේ නළුකමෙන් ඔහු උපයාගත් මුදල් දේශපාලන කටයුතු සඳහා නිර්ලෝභීව විය පැහැදම් කිරීමය.

මේ එක් උදාහරණයකි.

1982 ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා දිනවීමට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ විජය ඒ සඳහා සිය මුදල් ද අතමිට දිගහැර වියදම් කළේය. එහෙත් කොබ්බෑකඩුව පැරදුණි. ජේ. ආර්. ජයවර්ධන වැනි දේශපාලන පතාක යෝධයකු සමඟ කරනා මේ සටනේ ජයග්‍රහණය සිහිනයක් බඳු බව දැන සිටිය ද, විජය සිය මතය වෙනුවෙන් එසේ සෘජුව පෙනී සිටියේය. මැතිවරණය සඳහා ණය වූ මුදල ගෙවා දමන්නට ‘බත්තුළු ඔය’ පිහිටි ඔහුට අයත් අක්කර විස්සක ඉඩම විකුණා දමන්නට විජයට සිදු විය. ඒ එවකට ඔහු සතුව තිබූ නළුකමෙන් උපයාගත් එකම වස්තුවයි.

දේශපාලනයේදී විජයට පැහැදිලි දර්ශනයක් මෙන්ම ප්‍රතිපත්තියක් ද තිබිණි. පොදු ජනතාවගේ විමුක්තිය උදෙසා ඔහු අපමණ දුක්ගැහැට, නින්දා, පරිභව වින්දේය. අවසානයේ විජයගේ දැවැන්ත දේශපාලන ප්‍රතිරූපයට බිය වූවන් ඔහු හිරේ, විලංගුවේ දමන්නට කටයුතු කළේ සිත් පිත් නැතිවුන් ලෙසිනි.

‘වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට, දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිටකොඳු බිඳගත් ඔලමොල නිවටුන්’

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදවැලකට හා විශාරද ගුණදාස කපුගේ විසින් නිර්මාණය කළ තනුවකට විජය එදා එසේ ගැයුවේය. සැබවින්ම ඒ ගීතයෙන් කියැවුණේ ඔහුගේම දේශපාලනයෙහි සැබෑ යථාර්ථයයි. හරි හෝ වැරැදි තමා පිළිගත් දේශපාලන ආස්ථානයෙහි රැඳී සිටියා විනා විජය කිසිවකුගේ එහෙයියෙක් හෝ ඔඩොක්කු කුක්කෙක් වූයේ නැත.

විජය කුමාරණතුංගයන් මා පණ පිටින් දැක ඇත්තේ එකම එක වරක් පමණකි. ඒ මතකය මෙසේය. 1987 වසරේ අග භාගයේ පමණ මගේ මිතුරකු විසින් ඔහුගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් වේයන්ගොඩ වේටෙක්ස් රඟහලේ සංවිධානය කර තිබුණි. ඔහු තුෂාන් ජයනෙත්ති නම් වූ මිතුරෙකි. එම ඒක පුද්ගල ගී ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරැයුම් කොට තිබුණේ විජයටය.

‘ආං . . . විජය කුමාරණතුංග එනවා. . .’

කවුදෝ කෑ ගැසුවේය. මා හැරී බලන විට විජය තව දෙතුන් දෙනකුª සමඟ වේදිකාවට පිටුපසින් තිබූ පිය ගැට පෙළ නගිමින් සිටියේය. සැබැවින්ම ඔහු පැමිණෙමින් සිටියේ නේපථ්‍යාගාරය දෙසටය.

ආ . . . සර් . . . ඔහේ නෙවෙයි. අර පැත්තේ . . . කිසිවකු වහා ඉදිරිපත් වී විජය නිවැරැදි දිශාවට යොමු කරද්දී මා සිටියේ ඔහුට මුහුණට මුහුණලාය. ‘කොහොමද’ යැයි විජය සිනහා මුවින් මගෙන් විමසූයේ ඉතා හිත මිත්‍ර ලීලාවෙනි. අනතුරුව ‘මම දැන් මොකද කරන්න ඕනෑ’ යැයි ඉතාමත් නිහතමානීව විමසමින් ආපසු පියගැට පෙළ බැස යන අයුරු මම දුටුවෙමි. සිනමාවේ නොයෙකුත් වේශයන්ගෙන් මා විජය දැක ඇතත් එදා සජීවී අයුරින් ඔහු දුටු පළමු හා අවසන් දර්ශනය මගේ මතකයේ තවමත් රැඳී තිබේ.

විජය බඳු ජනකාන්ත නළුවකු, අපූර්ව ගායකයකු යළි අපේ කලා ලොවේ බිහි නොවනා වග හොඳ හැටි විශ්වාසය. ඒ සැමටම වඩා විජය වැනි සුදුර්ලභ මිනිසෙක් නොමැති අඩුවත්, මිනිස් වෙස් ගත් නොමිනිසුන් සිටිනා මේ සමාජයේ අපට වඩ වඩාත් දැනෙනු ඇත.

කලාවත්, මිනිසත්කමත් එක් තැන් කළ සහෘදයාණෙනි, ඔබ සදා ජීවමානය . . .