වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න පුංචි තිරයේ අලුත්ම පෙම්වතුන් යුවළ

මෙන්න පුංචි තිරයේ අලුත්ම පෙම්වතුන් යුවළ

සඳා සහ සදෙව්

මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය සඳා ටෙලි නාට්‍යයේ සඳා සහ සෙඳව් සමඟ අපි කතා බහක යෙදෙමු. ඒ සඳා නිලුක්ෂි ප්‍රනාන්දුයි. සදෙව් පැතුම් රුක්ෂාන්ය.

පළමුව අපි නිලුක්ෂි දෙසට හැරෙමු.

ඉතින් නිලුක්ෂි සඳා නිසා නොසිතූ ජනප්‍රියත්වයක් ලැබුණා නේද?

සඳා කියන්නේ අන්ධ ගැහැනු ළමයෙක්. නමුත් එහෙම වුණයි කියලා ජීවිතයේ ලබන්න තියන සතුට නොලබා ඉන්නේ නැහැ. ඇය සුන්දරව ජීවිතය විඳීනවා සාමාන්‍ය අයකු වගේ. මේ හේතුන් නිසා ටෙලි නාට්‍ය ලෝලීන්ගේ අනුකම්පාව මුසු වූ ආදරය සඳාට ලැබෙමින් පවතිනවා. වසර දෙකහමරකට පසු රංගනයේ යෙදෙන මට ඒ ජනප්‍රියත්වය හොඳින් දැනෙනවා.

අවසන් වරට ඔබ රංගන දායකත්වය සැපයුවේ?

සුළඟ සහ ගැහැනු ළමයි යන ටෙලි නාට්‍යවලට. ගැහැනු ළමයි හි කුසුම් විදිහටයි වඩාත් මිනිසුන් අතරට ගියේ. එහෙම කිව්වම දැන් ගොඩක් අයට මාව මතක් වේවි.

ඇයි මෙතුවක් කල් රංගනයේ නොයෙදුණේ?

ම් ම් ම් . . . මට චරිතයක් රඟපානවා නම් ඒකෙ කරන්න යමක් තියෙන්න ඕනේ. ආරාධනා නම් එමටයි. ඒත් මට වුවමනා චරිත ඒ ආරාධනා තුළ නැහැ. ඒකයි රඟපෑවේ නැත්තේ.

එතකොට සඳාට කැමති වුණේ?

මෙහිදී කියන්න ඕනෑ ශාන්ත සොයිසා ගැන. මං ඔහුගේ නිර්මාණවල හොඳ රසිකයෙක්. පබා, පබළු සහ අමා යන නාට්‍ය මුල සිට නිමාවන තුරුම බැලුවා. ඒ වගේම ඔහු හොඳ මනුස්සයෙක් කියලත් අහලා තිබුණා. ඔය අතරෙදියි මට සඳා හි සහාය අධ්‍යක්ෂ මහේෂ්්ගෙන් දුරකථන ඇමතුමක් එන්නේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා. මං ඊට සහභාගි වුණා. ඉන් සමත් වූ බව දන්වලා දර්ශන තලයට එන්න කිව්වා. එතැනට ගියාට පසුවයි දන්නේ මා තෝරා ගෙන තියෙන්නේ ශාන්ත අයියාගේ අලුත් නාට්‍යයේ ප්‍රධාන චරිතය බවට.

පුදුම හිතෙන්නට ඇති?

මොකද නැත්තේ.

සඳාට දර්ශන තලයේදී සිනාවෙන්න තහනම්ලු? මොකක්ද හේතුව?

අන්ධ විදිහට මං රඟපාන කොට මගේ අයියා හැටියට රඟපාන සම්පත් ජයවීර මට විහිළු කරනවා. එතකොට මට හිනාවෙන්න බැහැ අනේ. සම්පත් අයියා සමහර විට දිගටම විහිළු කරනවා. එතකොට මං ඉවසගෙන ඉන්නවා. කොහොම හරි චරිතයේ මූඩ් එක යන නිසා මට හිතූ හිතූ විදිහට හිනාවෙන්න එපා කියලයි උපදෙස් ලැබිලා තියෙන්නේ. ඒක දැන දැනයි සම්පත් මට විහිළු කරන්නේ.

නිලුක්ෂි රංගනයට පිවිසි අයුරු දැනගන්නට කැමැතියි. ඒක බොහොම සුන්දර කතාවක් බව මං අසා තිබෙනවා?

මං නිළියක් වීමට කිසිදු දවසක හිතාගෙන හිටි කෙනෙක් නෙවෙයි. ඒත් රංගනයට ඇල්මක් තිබුණා. වසන්ති චතුරාණි අක්කාට මං පුදුම විදිහට ඇලුම් කළා. ඇය මගේ ලෝකයේ වීරවරියක්. වසන්ති අක්කා නිෂ්පාදනය කරන සද්ගුණාකාරය නම් වූ නාට්‍යයකට අලුතින් අයව ගන්නවා කියලා දැන්වීමක් තිබුණා. මං එය තිබුණුු දින එතනට ගියා. ඒ වෙන කිසි දේකට නෙවේ, වසන්ති චතුරාණි නම් වූ මගේ වීරවරිය බලන්න. ආපු එකේ සම්මුඛ පරික්ෂණයටත් මුහුණ දුන්නා. ඒ ගමන නිමාව දුටුවේ මට සද්ගුණාකාරයේ වසන්ති අක්කාගේ තරුණ වියට පණ පොවන්න අවස්ථාව ලබාගෙන.

එහි පළමු දර්ශනය හරිම ත්‍රාසජනකයි නේද?

ඒක නම් මගේ ජීවිත කාලයටම අමතක වන්නේ නැහැ. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා මාව දෝතින් ගෙන ගඟක් තරණය කරනවා. මගේ සිතට විවිධ සිතුවිලි පහළ වුණා. බයත් දැනුණා. මේ සියල්ල මැද අපි දෙන්නා ගඟෙන් එතෙර වුණා.

මං ඊළඟට කතා කරන්නේ සඳාහි ඔබේ පෙම්වතා වූ පැතුම් ගැන. මොනවද ඔහු ගැන කියන්න තියෙන්නේ?

පෙම්වතා වුණාට එයා මගේ මල්ලි කෙනෙක්. ඒත් ඒක එච්චර ගැටලුවක් නැහැ. එයාට පෙම් ජවනිකා නුහුරුයි. අපි දෙන්නා බොහොම සැහැල්ලුවෙන් පෙම් ජවනිකා සාකච්ඡා කොටයි රඟපෑවේ. ඇත්තටම හොඳ අනාගතයක් තියෙන නළුවෙක්.

නිලුක්ෂි කතාබහ අවසන් කළේ පැතුම් ගැන හොඳ අදහසක් පවසමිනි. පැතුම් මොකද ඒ ගැන කියන්නේ?

සඳා තමයි මගේ පළමු නාට්‍යය. මහා ලොකු බලාපොරොත්තුවක් ඇතුව නෙවෙයි සෙට් එකට ආවේ. ඒත් දැන් හිතෙනවා දිගටම රංගනයේ යෙදෙන්න.

ඔබටත් මහේෂ් ද සඳෙව් සඳහා ඇරැයුම කළේ?

ඔව්.

පැතුම් ක්ෂේත්‍රයට එන්නේ?

මෝස්තර නිරූපන ශිල්පියකු වන්න. ඒ සඳහා රොසෑන් ඩයස් මහත්මිය ගාව ඉගෙන ගත්තා. තවමත් එතුමිය යටතේ මං එම වෘත්තියේ යෙදෙනවා. ඔන්න ඔය අතරතුරදියි මහේෂ් සෙඳව් චරිතය රංගනයට කතා කළේ.

මුල්ම රංගන අත්දැකීම මතකද?

මාව වෙව්ලුවා, දෙබස් කියාගන්න බැරි වුණා, ලැජ්ජාවට මූණත් රතු වුණා. මගේ තත්ත්වය දැනගත් ශාන්ත අයියා තාත්තා කෙනෙකු වගේ මගේ හිත හැදුවා. දැන් හරි.

ඔබ කලාවට එනවට ගෙදරින් කැමැති වුණාද?

අම්මෝ මගේ අම්මා මට යන්න දුන්නෙම නැහැ මෝස්තර නිරූපණයේ යෙදෙන්න. ඇයගේ දැඩි විරුද්ධත්වය මැද ආවේ.

තවමත් එහෙමද?

දැන් ඒ තත්ත්වය කනපිට පෙරළිලා. රෑ අට වෙද්දී අම්මා අයි. ටී. එන්. දානවා මාව බලන්න.

ඉක්මන් ජනප්‍රියත්වය ඔබට කොහොමද බලපෑවේ?

සඳෙව් කියන්නේ ප්‍රධාන චරිතයනේ. මෙවැනි නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාද්දී නිතැතින්ම ජනප්‍රිය වෙනවා. මටත් එහෙමයි. වෙනදා වගේ පාර තොටේ යන්න බැහැ. නිතර දැක්කොත් අගය අඩුවනවා. එනමුත් කොතරම් ජනප්‍රිය වුණත් රසිකයා රජු ලෙස සිතිය යුතුයි. මගේ තියරිය ඒක.

ඔබේ ස්වරූපය අනුව කෙනෙකුට සිතෙන්න පුළුවන් පැතුම් හරි සැර පුද්ගලයකු කියලා?

ඔව්.මං සැරයි. ඒ වගේම මට ඉතාම ඉක්මනින් කේන්ති යනවා. ඒ ගති ගුණය මං වෙනස් කර ගනිමිනුයි සිටින්නේ. මෙහිදී කියන්න ඕනෑ මං කවදාවත් අනවශ්‍ය දේවල්වලට නෙවෙයි සැර වෙන්නෙත් කේන්ති ගන්නෙත්.

ඔබයි නිලුක්ෂියි අතර පෙම් ජවනිකා රඟපාද්දී ඊර්ෂියා හිතෙන විශේෂ අයකු ඇති?

ඔය අහන්නේ ප්‍රේමවන්තිය ගැනද? එතැන තවමත් හිස්.

ඇත්තමද කියන්නේ?

මං හරි විවෘත කෙනෙක්. ඇත්ත තමයි කියන්නේ.

නිළියකගෙන් විවාහ යෝජනාවක් ආවොත්?

ඒ කෙනා අනුව මං ප්‍රතිචාර දක්වාවි. නිළියක වුණත් එයා මගේ ජීවිතයට ගැළපෙනවා නම් විවාහ වන්නට තෝර ගන්නවා.

දැන් පැතුම්ට නිලුක්ෂි ගැන පවසන්න වෙලාව?

නිලුක්ෂි අක්කා නිසයි මං පෙම් ජවනිකා හරියට කරන්නේ. මං ලැජ්ජාවෙන් ඇඹරෙන කොට ඇය තමයි මාව දිරිමත් කළේ. ඇයට මං සදා ණය ගැතියි. එයා මට මගේම අක්කියෙක් වගෙයි.


පැතුම් ගැන තවත් තොරතුරු ටිකක්

ගම - කුරුණෑගල

උපන් දිනය - 10, 07

ලග්නය - කටක

වැඩිපුරම අඳින්න කැමැති - ටී ෂර්ට්

විවාහක අවිවාහක බව - තවම තනිකඩයි

තමා වෙනස් කෙනෙක් වග ඔහු කිව්වා. ඒ වගේම ශාන්ත සොයිසා, මහේෂ් රත්සර මද්දුමආරච්චි, පරාක්‍රම දිමිත්‍ර, රොසෑන් ඩයස්, සඳා පිරිවර, අම්මා, තාත්තා, අක්කලා දෙන්නා සහ නංගි යන අයටත් තුති පිදුවා.

නිලුක්ෂි ගැන තවත් තොරතුරු ටිකක්

ගම - පානදුර

උපන් දිනය - 04, 19

ලග්නය - කුම්භ

වැඩිපුරම අඳින්න කැමති - ෂල්වාරි

විවාහක අවිවාහක බව - විවාහකයි

සැමියා - ජනක මාපිටිය, ඔහු වෘත්තියෙන් කැමරා අධ්‍යක්ෂවරයෙක්.

නිලුක්ෂි හරිම සරල කෙනෙක් කියලා කිව්වා. ඒ වගේම පැතුම් මතක් කළා වගේ වසන්ති චතුරාණි, අශෝක ආතවුදහෙට්ටි, ශාන්ත සොයිසා, මහේෂ් රත්සර මද්දුමආරච්චි, අම්මා, තාත්තා, නංගිලා තිදෙනාට සහ සැමියාට තුති පිදුවා.