වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




‘සිනමාවෙන් සමුගැනීම’

‘සිනමාවෙන් සමුගැනීම’

සෝමරත්න දිසානායකට පිළිතුරක්

දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයෙන් පිළිතුරක්

වර්ෂ 2013 ක් වූ ජනවාරි මස 31 වැනි බ්‍රහස්පතින්දා දින සරසවිය පුවත්පතෙහි පළ වී තිබූ ‘පිටපත් 35 කට සීමා කළොත් මම සිනමාවෙන් සමු ගන්නවා’ යන ශීර්ෂ පාඨය සහිත සෝමරත්න දිසානායක මහතාගේ ලිපිය දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ අවධානයට යොමු වූ බැවින් එහි අඩංගු ප්‍රකාශිතයන් අප සන්ධානයක් ලෙස සැලකිල්ලට භාජනය කිරිමේදී යම් ප්‍රමාණික සත්‍ය කරුණු කිහිපයක් පමණක් එම ලිපියෙහි ගැබ්ව ඇති බවත්, බහුතරය ඉතා සාවද්‍ය කරුණු සහිත පුළුල් විචාරයකින් තොරව ඉතා අදේශපාලනික අනවබෝධයකින් යුතුව ඉදිරිපත් කරන ලද කරුණු සමූහයකින් ද යුක්ත බැව් අපට පැහැදිලිවම පෙනුණි.

මෙම ලිපිය පිළිබඳව පිළිතුරු ලිපියක් සැපයිමේදී පෞද්ගලිකත්වයන් මත එය එතරම් සැලකිය යුතු කරුණක් නොවන නමුත් දේශීය සිනමාවක සුබ ලකුණු දැකීමට කැමති සියල්ලන් වෙනුවෙන් යමක් සඳහන් කිරීම මේ මොහොතේදී කළ යුතු යැයි අප තීරණය කළෙමු. එනිසාම උක්ත ලිපිය පිළිබඳව පිළිතුර ලිපි ලිවීම සහ සාකච්ඡා කිරීම කුමන මට්ටමින් සිදු වුවත් වෙසෙසින් පරිපාලකයන් සහ සිනමාවේ නියුතු වූවන් විසින් එකී ලිපියෙහි අන්තර්ගත කරුණු කාරණා පිළිබඳව විමසා බැලීමක් සඳහා යොමුවිය යුතුමය. එනම් ලියුම්කරුගේ කෙටි සිනමා ජීවිතය දෙස බැලීමේදී, ඔහුගේ එකී ප්‍රකාශයන් ඉතා දිගු ගමනකට හිමිකම් කියනු ලබන ලාංකේය සිනමාවට යම් බලහත්කාරකමක් කියාපාන හෙයිනි.

එකී ලියුම්කරුගේ ලිපියෙහි සකල ලාංකේය සිනමාව ම ඔහුට අනුව වර්ගීකරණයකට ලක් කොට ඇත. මෙය පිළිගත් ප්‍රමිතිකරණයක් යැයි ඔහු සිතන්නේ නම් ඒ ඔහුගේම මතවාදයන් පිළිබඳව පවතින ගැටලුවක් විනා අන් කවරක්වත් නොවනු ඇත. ඔහුගේ බෙදීමට අනුව 1. සිනමාරූපී සම්භාව්‍ය 2. සිනමාරූපී ජනප්‍රිය 3. කසිකබල් ජනප්‍රිය 4. කසිකබල් යන බෙදීම් 04 කට ලක්කොට ඇත. එහිදී ලියුම්කරු පැහැදිලිව ප්‍රකාශ කොට සිටිනුයේ ඔහුගේ වර්ගීකරණයට අනුව ඔහු විසින් එහි දෙවන පෙළ සෘජුවම නියෝජනය කරන වගයි. මෙකී ස්ථානය ඔහු විසින් කිසිදු අපහසුතාවයකින් තොරව ලබා ගැනීම ඔහුටම අනුව සිදු වූවක් බැව් ලිපිය කියවීමේදී පැහැදිලිව පෙනෙයි.

එනමුත් ඔහුට නොතේරෙණ කාරණය නම් මෙම වර්ගීකරණයෙහි ඔහු ලබා ඇති ස්ථානය ලංකාවේ සමාජ කුඨයන් විසින් බලහත්කාරයෙන් ලබා ගන්නා ස්ථානයක් බවයි. බොහෝ පිරිස් මෙවන් සමාජතත්වයන් තුළ තමාට ඉහළින් වඩා හොඳ යමක් (ගෞරවනීය) හෝදෙයක් ඇති වගට විශ්වාස කරමින්, එහෙත් තමන් විසින් අටවාගත් විවිධ කාර්යයන් හෝ ඉසව් සඳහා පමණක් ඉව අල්ලමින් ප්‍රබුද්ධ කාරණාවට යටින් ජීවත් වන්නන් බැව් නොකියාම බැරිය. මන්ද යත් එහි ඇත්තේ ද බාහිරින් විදග්ධ පෙනුමක් ලබා දුන්න ද ඇතුළතින් ඉතාම කසිකබල් ප්‍රතිපත්ති මාලාවක් ඔවුන් සතුවන බැවිනි.

ලියුම්කරු කලාකරුවකුගේ භූමිකාවට ඉතා ඇලුම් කරන පුද්ගලයෙක් යැයි අප විශ්වාස කරන්නෙමු. එය එසේ නම් විශිෂ්ටය. එනමුත් කලාකරුවන් තම බුද්ධිය සහ හදවත ඉතා හොඳින් පිරිපහදු කරගත යුතුමය. මුසාවාදය හා ව්‍යාජය හැකි පමණින් බැහැර කළ යුතුය.

ලියුම්කරුගේ වර්ගීකරණයට අනුව ඔහු දෙවැනි පෙළ සිට ගනිමින් අංක 03 – කසිකබල් ජනප්‍රිය හා අංක 04 – කසිකබල් යන සිනමාකරුවනට නිර්දය ලෙස පහරදීමක් ද ඉතා අවඥාසහගත බැල්මක් ද ඔවුන් දෙස හෙලා ඇතිවා පමණක් නොව කිසියම් මතවාදී පහරදීමක් ද සිදුකර ඇත. අද දවසේ ලියුම්කරු පෙළ ගැසී සිටින්නේ ද ඔහුගේ නිර්වචනයට අනුව දක්වා ඇති අංක 3 හා 4 සඳහන් ඇත්තන් ද සමඟය. ඔවුන් සමඟ ඔබට ඇති ගනුදෙනුව කුමක්ද? රහස මුදල් බැව් ඔබ ඇතුළු සියල්ලෝම දනිති. ඔබ යන යන තැන්වලට සිනමාවේ නාමයෙන් ඔවුන් ද රැගෙන යනුයේ ඔබට සිනමා බිය සැබැවින්ම ඇති වී තිබෙන නිසාවෙන් ද? හොරු සමඟ හෙලුවෙන් බව අපට පෙනෙන්නේ මේ නිසාය.

සරසවිය පුවත්පත වැනි ප්‍රබල සිනමා මුද්‍රිත මාධ්‍යයකට ඉදිරිපත් කොට ඇති මෙම ලියුම්කරුගේ ලිපියෙහි අන්තර්ගතය ඔහුගේ උවමානවට වාසියට පමණක් සුදුසු යැයි සිතන්නෙමු. එකී ලිපිය ජාතික සිනමාවක් පිළිබඳව හෝ දේශජ සිනමාවක් කෙරේ කිසිදු අයුරකින් බල නොපානු ඇත. එහි ඇත්තේම හුදු වෙළෙන්දන්ගේ අඳෙීනාවක්ම පමණි. ඔබ සිනමාවෙන් ඉවත්වීමට තීරණය කිරීම ඔබගේ පෞද්ගලික කරුණකි. සැබවින්ම එය කුඩා දරුවකුගේ හැසිරීමකි. යම් ඉල්ලීමක් ලබා නොදුනහොත් ඊට විකල්පයක් ලෙස කුඩා දරුවකුගේ හැසිරීම මොනවට සිහිපත් කරයි. අප විශ්වාස කරන්නේ සිනමාවේ අර්බුදවලට දිය හැකි හොඳම ආදේශකය සිනමාව පමණක්ම බවයි.

ඔබ පිටපත් සංඛ්‍ය්‍යාව 35 දක්වා සීමා කිරීම පිළිබඳ කිසිදු ගවේෂණාත්මක කරුණක් ඔබගේ ලිපිය තුළ හුවා නොදක්වයි. ලංකවේ චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩල දැනට ඇත්තේ පහක් බැව් ඔබ දන්නවා යැයි සිතන්නෙමු. එනම් 1. සී. ඊ. එල්. මණ්ඩලය 2. ඊ. ඒ. පී. මණ්ඩලය 3. රිත්මා මණ්ඩලය 4. එම්. පී. අයි. මණ්ඩලය 5. එල්. එෆ්. ඩී. මණ්ඩලය යන එකී මණ්ඩල පහයි. මෙම මණ්ඩල පහට අයත් සිනමා ශාලා ගණන එකසිය හැටක් පමණ සුළු ප්‍රමාණයකි. එයිනුත් ප්‍රේක්ෂකයාගේ පහසුව පිණිස ඇති මුල් වටයට සුදුසු සිනමා ශාලා ගණන අසුවක් පමණ වේ. එම සිනමා ශාලා අසුව වෙත පළමු වටයේදී යම් සිනමාපටයක් ප්‍රදර්ශන පිටපත් 50 හෝ 60 ක් මුදා හැරියහොත් අනෙකුත් පසුගාමී හෝ පෙරටුගාමී යැයි ඔබ විසින්ම හඳුන්වා දෙනු ලබන සිනමාපටවලට අත්වන ඉරණම කෙබඳු ද? මෙය ඔබට නොවැටහේ ද?

එක් මණ්ඩලයක් මේ අයුරින් කටයුතු කළහොත් සෙසු මණ්ඩල හතරේ ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපටවලට අත්වන ඉරණම අමුතුවෙන් කිව යුතුද? එහිදී සෙසු ප්‍රදර්ශක මණ්ඩලවලට මෙන්ම එම මණ්ඩලවල ඇති චිත්‍රපටවලට අත්වන ඉරණම කුමක්ද? ඒවාට ආයෝජනය කළ නිෂ්පාදකවරුන්ගේ මුදල්වලට වගකියන්නේ කවුරුන්ද? තව ද ලියුම්කරු යෝජනා කරන ආකාරයට එක් මණ්ඩලයක් පමණක් පෝෂණය වන අතර සෙසු මණ්ඩල දිනෙන් දින අක්‍රීය තත්ත්වයට පත් වෙයි. තව ද මේ ආකාරයට වෙනත් මණ්ඩලවලට අයත් ආදායම් ලැබිය හැකි හොඳ සිනමාහල් ලබාගෙන අසීමිතව එක් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම තුළින් වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයක් ඇති නොවන අතර ප්‍රේක්ෂකයාව ද එකම චිත්‍රපටයක් නැරැඹීමට නිතරඟයෙන් යොමු කරවයි. මෙය ප්‍රේක්ෂකයාට පමණක් නොව සෙසු නිර්මාණකරුවන්ට ද සිදුවන බලවත් අසාධාරණයක් වෙයි.

තව ද ලියුම්කරු දැවැන්ත හා ආකර්ෂණීය චිත්‍රපට ලෙස දකින්නේ විශාල මුදලක් වැය කළ චිත්‍රපටය. ඒ නිසාම ඔහු එවැනි චිත්‍රපට සඳහා සුවිශේෂ වරප්‍රසාද ලැබිය යුතු යැයි යෝජනා කරයි. මුදල් වියදම් කළ පමණින් චිත්‍රපටයක් දැවැන්ත වෙයි ද? සිනමා කෘතියක් සම්භාව්‍ය හෝ ජනප්‍රිය වන්නේ ප්‍රදර්ශනයට මුදා හැරීමෙන් පසු ප්‍රේක්ෂකයන්, විචාරකයන් වෙතින් විනා එහි නිෂ්පාදකයන්, ප්‍රදර්ශකයන් විසින් චිත්‍රපටයට අලවන ලේබලයකින් නොවේ.

අවාසනාවකට නම් මෙම ලියුම්කරු චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරයට රැගෙන යාමට පෙර එහි ලබන ජනප්‍රියත්වය හා සිනමාරූප සම්භාව්‍ය ගුණය වෙනුවෙන් පෙනී සිටිමින් වරප්‍රසාද භුක්ති විඳීමට බලහත්කාරයෙන් චිත්‍රපටය ඔසවා තැබීමට දරන උත්සාහයයි. මෙය කලාකරුවකුට හෝ සිනමාකරුවකුට තරම් වටිනා දෙයක් නොවනු ඇත. තව ද මෙම චිත්‍රපට සඳහා විදේශයන්ගෙන් උපකරණ ආනයනය කිරීමෙන් හෝ ශිල්පීය ශ්‍රමය ආනයනය කිරීමෙන් ඔවුන් දැවැන්ත ආයෝජනයක් කර ඇති බව පවසයි. එහෙත් එවැන්නක් කිරීම නිසා ලාංකේය භූගෝලීය සීමාවෙන් එහා විශිෂ්ට සම්මානනීයත්වයක් හෝ වානිජ ප්‍රදර්ශනයක් (වෙළෙඳපොළක්) අත්පත් කරගත්තේ ද නැත.

එසේ නම් මෙහි ඇති දැවැන්තකම මිථ්‍යාවක්ම නොවන්නේ ද? මේ සියල්ල පවසමින් මොවුන් උත්සාහ කරන්නේ අමු අමුවේ චිත්‍රපට කර්මාන්තය තුළ පැවති හා පවත්වාගෙන පැමිණි ආකල්ප ද සම්ප්‍රදායන් බිඳ දමා තමුන්ගේ වාසියට ගොඩ වැඩි කර ගැනීමට සෙසු සහෝදර නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් පැහැර ගනිමින් තම පැවැත්ම ගැන පමණක් සිතීම නොවේ ද? මේ අයුරින් ක්‍රමිතව තක්කඩි වෙළෙන්දන්ගේ න්‍යාය පත්‍රයට ගොනුවනු දැක්ම ඉතා කනගාටුදායක කරුණකි.

2013 ජනවාරි 01 සිට ජාතික චිත්‍රපට සංස්ථාව ක්‍රියාත්මක කළ නව චක්‍රලේඛයෙන් පසු තිරගත වූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය පිටපත් 35 කට යටත්ව ප්‍රදර්ශනය කිරීම තුළින් මේ වන විට උපයා ඇති ආදායම ඊනියා පිටපත් 50 මානසිකත්වයෙන් සිටින ලියුම්කරු ඇතුළු කණ්ඩායමට පිළිතුරු දී ඇත. තව ද ‘අබා’ චිත්‍රපටය පිටපත් 38 කින් උපදවා ඇති ආදායම ඊනියා පිටපත් 50 මානසිකත්වයට තවත් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක. මෙම වර්තමාන හා ඉතිහාස කරුණු සැලකිල්ලට ගෙන බලද්දී ඉතා පැහැදිලිව පෙනෙනේනේ ඊනියා පිටපත් 50 මානසිතත්වය තුළ සිටින්නේ තක්කඩි ව්‍යාපාරික අරමුණු පමණක් බවයි. එනම් චිත්‍රටයට ආයෝජනය කළ මුදල මුල් වටයේ ප්‍රදර්ශනයෙන් හා ප්‍රචාරණයෙන් ක්ෂණිකව ආපසු ලබා ගැනීමට ඇති කැමැත්ත හා උවමනාවයි. එය අප වරදක් ලෙස නොදකිමු. එසේ නම් සිදු විය යුතු වන්නේ අලුතින් සිනමාහල් ඉදි වීම හා වසා ඇති සිනමාහල් වහා නැවත විවෘත කිරීම තුළින් ඒ සඳහා ඇති ඉඩකඩ සොයා ගැනීමයි. තව ද චිත්‍රපට බෙදා හැරීම හා ප්‍රදර්ශනය 2001 දී පෞද්ගලික අංශයට පැවරීම තුළින් ඔවුන්ගේ මැදිහත් වීම හා ආයෝජනය මීට වඩා ලැබිය යුතුව තිබුණි.

තවද ලියුම්කරු වර්තමානයේ සිනමාවේ ඇති වී ඇති ප්‍රබෝධයට හේතුව වශයෙන් ඊනියා පිටපත් 50 සීමාව ආදේශ කිරීමට උත්සාහ ගෙන ඇත. එය ද සැබෑ යථාර්ථය වසන් කිරීමකි. පසුගිය දශක කිහිපයක සිට රට තුළ පැවති පශ්චාත් යුද සමය නිමාවීමත් සමඟ ජන ජීවිතය යහපත් වීම හා සාමාන්‍ය වීම තුළ ඇති වූ ප්‍රබෝධය හා මානසික නිදහස ඒකකාරී බවින් මිදීම වැනි කාරණ හේතුවෙන් ජන ජීවිතය තුළ ඇති වූ අවශ්‍යතාවන් හා නිදහස මීට ප්‍රබලව හේතුª කාරණා වූ බව අප පිළිගත යුතුයි. එය සිනමාවට ද ප්‍රබෝධයක් හා වාසනාවක් ඇති කිරීම අනිවාර්යය වූවක්.

ලියුම්කරු සිනමාවට සැබෑ ලෙසම ආදරය නම්, සැබෑ ලෙසටම කර්මාන්තය නඟා සිටුවීමට උනන්දු නම් සැබෑ සිනමා කෘති ජනතාවට දායාද කිරීමට කැමැත්තේ නම් මේ මොහොතේ ඔබගේ හැසිරීම කෙබන්ඳක් විය යුතුªද? නොමේරූ දරුවකුගේ හැසිරීම පමණක් මේ සඳහා සුදුසු ද? ලියුම්කරුවාණෙනි, සැබැවින්ම තක්කඩින් පිරිස මේ මොහොතේ සැරිසරනුයේ ඔබ වටාය. ඔබ බුද්ධිමත් නම් ඔවුන්ගෙන් ප්‍රවේශම් වී කර්මාන්තය ද ප්‍රවේශම් කර ගත යුතුය.

හැකි නම් පුළුල් මතයක් සඳහා පරපුරක් තනමින් ජාතික සිනමාවක් සඳහා අවැසි ශක්තිමත් වැඩ පිළිවෙළකට දායක වීම සඳහා උනන්දු වන්න. එදිනට දේශීය සිනමාවකට ලැදි සියලු දෙනාගේ සහයෝගය ඔබට ලැබෙනු නියතයි.

ඉදිරියේදී මෙවැනි පිටපත් 35 වැනි කාරණා පමණක් නොව සිනමාව නැවත ගොඩ නැඟීම සඳහා අලුත් ශ්‍රී ලංකාවේ අලුත් න්‍යාය පත්‍රයට සිනමාව ගොඩ නැංවීමේ අපේක්ෂාව ද අප සියලු දෙනාගේ එකමුතුවෙන් න්‍යාය පත්‍ර ගත කර ගැනීමට උනන්දු වෙමු.