වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මම හැමදාමත් ශක්තිමත්ව අලුත් වෙන කෙනෙක්

මම හැමදාමත් ශක්තිමත්ව අලුත් වෙන කෙනෙක්

කලකට පසු දුලක්ෂි පෙරේරා සමඟ කතාබහක්

‘පුංචි කාලේ මගේ අනාගත බලාපොරොත්තුව වුණේ ගුරුවරියක් වීම. ඉස්කෝලේ නවය වසරේදී අම්ල – භෂ්ම අනුමාපන දැකපු වෙලාව ඒ හීනය වෙනස් කළා. එදා මට ඒක මැජික් එකක් වගේ වුණා. ඒ නිසාමයි මම විද්‍යා විෂයන්ට උනන්දු වුණේ. කොහොම වුණත් මාධ්‍යයට සම්බන්ධ නිවේදිකාවක් ලෙස දායකත්වය පාසල් ජීවිතය තුළත් තිබුණා. විද්‍යා අංශයෙන් සරසවි අධ්‍යාපනය නිමාවීමත් සමඟ මට මාධ්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ජීවිතයට දැන් අවුරුදු විසි තුනක් විතර වෙනවා.’

පසුගිය දවසක මේ විදියට සිය යටගියාවෙන් බිඳක් ආවර්ජනය කළේ ජනප්‍රිය නිවේදිකාවක වන දුලක්ෂි පෙරේරා. වසර ගණනාවක් පුරා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ඔබට ලෙංගතු වූ ඇය මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙස ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඒ කාර්යබහුල බව මඳකට පසෙකලා ඈ සරසවිය සමඟ සම්බන්ධ වූ මොහොතක් මේ.

දුලක්ෂි ඔබ කාර්යබහුල බැංකු නිලධාරිනියක ලෙස දැන් නිවේදන ක්ෂේත්‍රයෙන් ඈත් වෙලාද?

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිණියක් ලෙස කටයුතු කරන්න ලැබීම හොඳ අත්දැකීමක්. මෙහිදී මම වැඩ කරන්නේ මාධ්‍ය සමඟමයි. එතැනදි දැන්වීම්, ප්‍රචාරණය, ප්‍රවර්ධන වැඩසටහන් වගේ ගොඩක් දේවල් සිදු කෙරෙනවා. කොහොම වුණත් ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන්වලට පුරුදු පරිදි දායක වෙනවා. සෙනසුරාදා, ඉරිදා වැඩසටහන්, විශේෂ සංවත්සර වැඩසටහන්, ආගමික වැඩසටහන් සඳහා දායක වෙනවා. මීට අමතරව බාහිරව ආරාධනා කරන වැඩසටහන්වලටත් දායකත්වය දෙන්නේ සතුටින්.

රාජකාරියට අතරව බිරිදක්, මවක් විදියට ආදරණීය කැදැල්ලේ ජීවිතය ගැනත් විස්තර ටිකක් කියමුද?

මගේ සැමියා සුමිත් රාජකාරි කටයුතු වෙනුවෙන් මට සියයට සියයක්ම පූර්ණ නිදහස දීලා තියෙනවා. අපේ දුවට දැන් අවුරුදු තුනයි මාස හතරක් විතර වෙනවා. හරිම හුරතල් වයසනෙ එයා දැන් ඉන්නේ. එයා ගෙදර තනියෙන් නිසා අනිත් දරුවොත් එක්ක හැසිරෙන්න අපි එයාව ළදරු පාසලකට ඇතුළත් කළා. සුමිත් තමයි හැමදාම දුවව හැමදාම එක්කරගෙන යන්නේ. අපි තනිව ජීවත් වුණ කාලයට වඩා විවාහ ජීවිතය වෙනස්. දුව ලැබුණට පස්සේ ඒ ලෝකය තවත් වෙනස් වුණා. දැන් ඉක්මනටම ගෙදර දුවන්නේ දුවගේ සුරතල් බලන්න.

මේ හැමදේම අතරේ තවමත් අධ්‍යාපන කටයුතුවලත් නිරත වෙනවා නේද?

මම හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න තමයි උත්සාහ කරන්නේ. ස්වාධීන රූපවාහිනියෙන් ඉවත් වෙලා ඉතිරි කිරීමේ බැංකුවට ගිය කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. ඒ කාලයේ මට දුව ලැබෙන්න හිටියේ. වැඩිපුර රාජකාරි කටයුතු තිබුණේ නැහැ. ඒ කාලය මම ඉගෙනීමට යොමු කළා. මේ වන විටත් මම මගේ වෘත්තියට අදාළව අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා. ඇත්තටම එය හරිම ප්‍රයෝජනවත්. මේ තුළින් මම හැම විටම අලුත් දේ කරන්න උත්සාහ කරනවා.

නිවේදන ක්ෂේත්‍රය තුළත් ඔබ ඒ වගේ චරිතයක්ද?

ඇත්තටම ඔව්. හැමදාම අලුත් දෙයක් කරන්න මට තියෙන්නේ පිස්සුවක්. හැමදාම අලුත් දේ ඉගෙන ගන්න නිසා වෙන්න ඇති මට ඕනෑම දෙයකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඕනෑම ආකාරයක අවස්ථාවක් නිවේදනය කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් අය අතරේ වෙනස් යමක් කරන්න ඕනෑ කියන කැක්කුම මගේ හිතේ තියෙනවා. දශක තුනක් පුරා ත්‍රස්තවාදය පැවැති සමයේ වරෙක සිංගප්පූරුවේ පැවැති සාම සාකච්ඡා ආවරණය කිරීමට අවස්ථාවක් මට ලැබුණා. ඇන්ටන් බාලසිංහම් සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කිරීමේ අවස්ථාව කිසිදු මාධ්‍ය ආයතනයකට ලැබුණේ නැහැ. කොහොම වුණත් සාකච්ඡාව නිම වෙලා හැමෝම නික්මුණා.

මම හෙමිට ගිහින් ඔහු ළඟින් වාඩි වෙලා කතා කළා. වීඩියෝ ශිල්පියා දිහා මම බැලුවා විතරයි ඔහු සියල්ල තේරුම් ගත්තා. එතැනදි වෙන කිසිම මාධ්‍යයක් සතු නොවූ දෙයක් අප සතු වුණා. ඔවුන්ගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති ඇතුළත් වූ ඒ සාකච්ඡාව පැය එක හමාරක් ඇතුළත ලංකාවට එව්වා. සියලු මාධ්‍යයන් සමඟින් පැවති සාකච්ඡාව අනෙකුත් මාධ්‍ය මඟින් විකාශය කරන්නටත් පෙර අපට එය විකාශය කරන්න හැකි වුණා. හැමෝම පුදුම වෙලා ඇහුවා දුලක්ෂි ඔයා ඒක මොන වෙලාවේ, කොහොමද කළේ කියලා. වෙලාවේ හැටියට මම ඒ අවස්ථාව උදාකර ගත්තා. ඒක තමයි විශේෂත්වය.

නිවේදිකාවක් ලෙස පැමිණි මේ ගමනේදී ඔබ තිගැස්සුන අවස්ථා එහෙමත් තියෙනවාද?

මම හොඳ සූදානමකින් තමයි හැම වැඩසටහනකටම මුහුණ දෙන්නේ. හැබැයි මට හොඳටම විශ්වාසයි කවදාවත් මට වැරදීම් නම් සිදු වුණේ නැති බව. මම හිතනවා ක්ෂේත්‍රය තුළ මම කළ දේ මිනිසුන්ට දැනුණා තියලා. එක දවසක් ප්‍රවෘත්ති නිවේදනයට සූදානම් වූ කෙනා නැතිව මට හදිසියේ ඒ ප්‍රවෘත්ති විකාශය කරන්න සිදු වුණා. නිවුස් බුලටින් එක පාරක්වත් කලින් බලන්නේ නැතිව මම නිවැරැදිව ඒ ප්‍රවෘත්ති විකාශය සිදු කළා. එදාවත් එහෙම ගැස්මක් ඇති වුණේ නැහැ. ඒ වුණත් අදටත් සජීවි වැඩසටහනකක් ආරම්භයට පෙර තේමා වාදනය ඇහෙන කොට මගේ අත්දෙක සීතලයි. කිසිම වෙලාවක ඕනෑම වැඩසටහනක වගකීම සරල වෙන්නේ නැහැ.

නිවේදන වෘත්තියේදී වගේම දැන් බැංකු නිලධාරිණියක ලෙසත් ඔබ මාධ්‍ය සමඟයි කටයුතු කරන්නේ?

මාධ්‍ය කියන්නේ දිනෙන් දින අලුත් වන විශාල ලෝකයක්. ඒ තුළ කළ හැකි දේ බොහෝයි. අපේ උනන්දුව කැපවීම තියෙනවා නම් ඒ ලෝකය දිනාගන්න හරිම පහසුයි. මෙහිදී මම මූලික තැන දෙන්නේ මගේ වෘත්තියටයි. එහි රාජකාරි කටයුතු මම ඉහළින්ම අකුරටම ඉටු කරනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතෙන් එකතු වෙන්න බලාපොරොත්තුවෙන් සිටින අයට ඔබ කියන්නේ?

මාධ්‍ය කියන්නේ ලොකු ලෝකයක්. ඒ තුළ තමන් තමන්ගේ තැන සොයා ගන්න ඕනෑ. ජනතාව ප්‍රවීණයෙක් දෙස වුණත් බලන්නේ ඔහු හෝ ඇය අවසානයට කළ ඉදිරිපත් කිරීමට සාපේක්ෂවයි. ප්‍රවීණයෙක් විසින් අවසන් වශයෙන් අසාර්ථක ලෙස ඉදිරිපත් කිරීමක් වගේම නවකයෙක් ඉතාම දක්ෂ වගේම සාර්ථක අයුරින් තම ප්‍රථම වැඩසටහන ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ නිසා මම විශේෂයෙන් කියන්න කැමැතියි ක්ෂේත්‍රයට ඇවිත් වසර විසි තුනක් ගත වුණත් මම තවම අලුත් කෙනෙක් විදියටයි හිතන්නේ. අපට මේ ක්ෂේත්‍රය තුළ හැමදාම එකම තැන රැඳී සිටින්න බැහැ. නව දැනුම සොයමින් ඉදිරියට යාමයි කළ යුත්තේ.