වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පුතාගේ උත්සවයේ නැති තාත්තාගේ සින්දු

පුතාගේ උත්සවයේ නැති තාත්තාගේ සින්දු

සෝමපාල ලීලානන්ද අපට මතක හිටින සෞන්දර්යමත් ගී පද රාශියක් පබැඳු නිර්මාණශීලී ගී පද රචකයෙක්. ඔහුගේ පුත් විරාජිත ලංකා පසුගියදා විවාහ වුණා. විරාජිත ලංකා මතක් වන සැනෙන් සෝමපාලයන් සිංහ පැටව් වෙනුවෙන් ලියූ විරාජිතයි ලංකා ගීතය අපේ සිහියට නැඟෙන්නේ ඉබේටමයි. ඒ ගීතයේ නම සෝමපාලයන් තම පුතාට යෙදුවේ ජනප්‍රියත්වය නිසාමයි.

සෝමපාලගේ පුත් විරාජිතගේ විවාහ උත්සවයටත් කලා ලොවේ බොහෝ මිතුරු මිතුරියන් සහභාගී වුණා. නව පරපුරේ සංගීත කණ්ඩායමකුත් මේ උළෙල ගීතයෙන් රසවත් කළා.

පාට පොදක් තිලක ලා නළල් තලාවේ, අම්මලා දුක් ගන්නේ ආදී ගීත රැසක් ලියූ සෝමපාලගේ එක් ගීතයක්වත් මේ සංගීත කණ්ඩායම වාදනය කළේ නැහැ. සෝමපාල ළඟට කිට්ටු කළ ඔහුගේ හිතවතෙක් සෝමෙගෙන් විමසා සිටියේ ‘ඈ සෝමේ මේ බෑන්ඩ් එක ඔයාගේ එක සිංදුවක්වත් ප්ලේ කළේ නැහැනේ, කියන්නකෝ ප්ලේ කරන්න කියලා. ඔයාගේ ලස්සන සිංදු කොච්චර තියෙනවද?’

‘අනේ මචං මේ අලුත් ළමයි මම සෝමාපාල ලීලානන්ද කියලවත් දන්නේ නැහැ. මම ලියපු සිංදු ගැන කොහොමවත් දන්නෙත් නෑනේ’ යැයි සිනහවෙමින් සෝමපාල තම මිත්‍රයාට පැවසුවා.


අපූරු වාර්තාවක්

අභිෂේකා විමලවීරගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා. අනුරාධා නන්දසිරිත් මේ විවාහ උත්සවයට සහභාගී වුණා. අනුරාධා එදා අපූරු වාර්තාවක් ගැන හෙළි කළා. අනුරාධා අභිෂේකාට වඩා වසර ගණකින් වැඩිමහල් වුවත් මේ දෙදෙනාගේ අපූර්ව සමානකම් ගැන වාර්තාවක් ගැන තමයි හෙළි කළේ. දෙදෙනාගේම නම් ආරම්භ වන්නේ සිංහල හෝඩියේ ‘අ’ යන්නෙන්. දෙදෙනාගේම තාත්තලා බෞද්ධ. අම්මලා කතෝලික. දෙදෙනාගේම විවාහ උත්සව පැවැත්වුයේ එකම හෝටලයක.

එකම දවසක. (අනුරාධා මීට වසර දහතුනකට පෙර මේ වගේ දවසක). මේ දෙදෙනාගේම ස්වාමි පුරුෂයන් නුවර පළාතේ වීම හා ඒ දෙදෙනාම ලන්ඩන්වල අධ්‍යාපන කටයුතු හැදෑරීම. මේ වාර්තාව ගැන අනුරාධා පැවසුවේ ‘මමයි අභිෂේකයි දෙන්නම මේ වාර්තාවට හිමිකම් කියනවා’ යනුවෙන්. බලාගෙන ගියාම මේකත් හරි අපූරු වාර්තාවක්.


රොහානිගේ සහ සුරාජ්ගේ ආදර්ශමත් උපන් දින සාදය

රොහානී වීරසිංහ අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගියදා ඇගේ උපන් දිනය සැමරුවේ හරිම වෙනස් විදියකට.

ඒ මේ රට දැය ත්‍රස්තවාදයෙන් බේරා ගන්නට තම ජීවිතය කැප කළ රණවිරුවන් සමඟ.

රොහානී අත්තිඩිය ආබාධිත රණවිරු සෙවණට ගොස් මේ රණවිරුවන් සමඟ සතුටින් කාලය ගත කර, ඔවුන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වූවා. ඉන් අනතුරුව යුද හමුදා සංගීත කණ්ඩායම සමඟින් ලංකාවේ ජනප්‍රිය සංගීත ශිල්පීන්, කලාකරුවන් සමඟ සංගීත ප්‍රසංගයක් ද එහිදී පැවැත් වූවා.

සුවහසක් ශ්‍රීී ලාංකිකයන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම සඳහා තම ජීවිතය කැප කළ රණවිරුවන්ව අමතක නොකොට ඔවුන් සමඟ සතුටින් මොහොතක් හෝ ගත කිරීම යුතුකම් දන්න කලාකාරිනියකගේ වගකීම කියලා රොහානී කියනවා.

රොහානී ඔබේ උපන් දිනය වෙනුවෙන් මේ රටේ මුර දේවතාවන් පිදීම ගැන ඔබට සරසවිය අපේ ප්‍රණාමය.

රොහානි එසේ රණවිරුවන් සමඟ ගත කරන විට අපේ ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපාගේ උපන් දිනයත් යෙදී තිබුණේ පසුගිය සතියේමයි.

ඔහුගේ උපන් දිනය ගෙවුණේ මහරගම පිළිකා රෝහලේ රෝගීන් සමඟයි. සුරාජ්ගේ උපන් දිනයේදී පිළිකා රෝහලේ ගිලන් වූ සියලු දෙනා සමඟ සතුටින් කාලය ගත කළාලු.

ජනප්‍රිය තරුවක් වූ සුරාජ්ගේ පුද සත්කාර ලැබූ බොහෝ රෝගීන් මොහොතකට හෝ තම සිත සුවපත්කර ගත්තේ සුරාජ්ගේ කරුණාබර වදන් නිසාලු. බොහෝ රෝගීන් සුරාජ් තමන්ව බැලීමට පැමිණීම ගැන ප්‍රසංශා කළාලු.

ලබන වසරෙත් ඔවුන් බලන්න පැමිණෙන පොරොන්දුවත් සමඟ එදින බොහෝ වේලාවක් සුරාජ් රෝගීන් සමඟ ගත කළා.

සුරාජ්ගේ මේ උතුම් මනුස්සකමටත් සරසවිය අපේ ප්‍රණාමය.


පිනට, දහමට කැමැති රංගන ශිල්පිනිය ස්වර්ණමාලිනී ගමගේ

ස්වර්ණමාලිනී ගමගේ වේදිකාවට පා තැබුවේ පාසැල් කාලයේදීමයි. අනූව දශකයේදී ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි ඇය ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය රැසකට සිය දායකත්වය ලබා දුන් අතර මේ වන විට ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය සංඛ්‍යාව 30 කට අධිකයි. දශක දෙකකට අධික කාලයක් තුළ ස්වර්ණමාලිනී කලා ලොවේ පැමිණි ගමන පිළිබඳ අදහස් දැක්වූවේ මේ අයුරින්.

පාසල් කාලයේදී මම නැටුම් ගැයුම්වලට ගොඩක්ම යොමු වුණා. ඒ වගේම පාසැල් වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා සම්මානත් දිනා ගත්තා. පාසැල් ජීවිතයෙන් පසුව කලා කටයුතු අතපසු වුවත් 90 වසරේදී කෝපි කඩේ එන්සිනා ලෙස රංගනයෙන් එකතුවන සුසිලා කූරගම මහත්මියගේ මඟ පෙන්වීම යටතේ වසන්ත කොටුවැල්ල මහතාගේ ‘රස කතා’ ටෙලි නාට්‍ය මාලාවට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

එදා මෙදාතුර ඔබ දායක වූ අනෙකුත් නිර්මාණ?

තිස්ස විජේකෝන් මහතාගේ සඳ නැති ලොවක්, මහේෂ් කුමාරසිංහ මහතාගේ සෙබලාණෙනි, බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතාගේ බව සයුර, ස්වර්ණ කිංකිණි, ඉන්ද්‍රකීලය, සඳ මද්දහන, සත් සඳ කිරණ, ප්‍රේම පාරමී, ස්වරූපා වැනි ටෙලි නාට්‍ය සඳහා දායක වුණා. ඊට අමතරව රුවන් හේවගේ මහතාගේ යෝධයා, චන්ද්‍රරත්න මාපිටිගම මහතා අධ්‍යක්ෂණය කළ ඉක්බිති ටෙලි නාට්‍යය, නාලන් මෙන්ඩිස් මහතාගේ වසන්තේ ඇවිල්ලා, ජයසේකර මහතාගේ සිල් නාට්‍යයටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. කුසුම් චන්දන ගමගේ මහතා අධ්‍යක්ෂණය කළ හිරු සඳු සේ මා චිත්‍රපටයටත්, ටවර්හෝල් පදනමේ වේදිකා නාට්‍ය අතර සිරිසඟබෝ, විජය කුවේණි, පරංගි සංහාරය යන වේදිකා නාට්‍යවලට ද දායකත්වය ලබා දෙන්නට හැකි වීම මා ලද භාග්‍යයක්. මේ හැම අවස්ථාවකදීම මගේ රංගන ජීවිතයට අත්දැකීම් රැසක් ලැබුණා.

මීට අමතරව මම නාට්‍ය දෙකක් සහ කෙටි චිත්‍රපට 46 ක් නිෂ්පාදනය කළා. යම් යම් කැපිලි කෙටිලි නැතුවාම නොවේ. නමුත් හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරන්න ලැබීම සතුටක්. මේ දක්වා ලද අත්දැකීම් සමඟින් රංගනයෙන් තව තවත් ඉදිරියට යන්න ලොකු ශක්තියක් වුණා.

ස්වර්ණමාලිනීගේ පවුලේ විස්තර?

මගේ තාත්තා ජී. ඩී. ඇක්මන් අප්පුහාමි. අම්මා ඩබ්ලිව්. කේ. බේබි නෝනා. අපේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙක් ඉන්නවා. මගේ එකම පුතා අජිත් කුමාර ජයවර්ධන. මේ හැම දෙනාගෙන්ම මගේ කලා ජීවිතයට ලොකු සහයෝගයක් ලැබෙනවා.

කලා ජීවිතයේ ඉදිරි ගමන ගැනත් සඳහන් කරමු?

ලැබෙන චරිත වෙනුවෙන් සාධාරණය ඉටු කරමින් මට හැකිතාක් කල් රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පින්දහම් කරන්නත් මම ලැදියි. මේ හැම දේම සමඟින් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ගමන මේ දක්වා එන්න උදව් කළ හැමෝටම මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.