වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




දෙමළ සමාජයට මම පිටස්තරයෙක්

දෙමළ සමාජයට මම පිටස්තරයෙක්

අශෝක හඳගම

තව නොබෝ දිනකින්, එනම් පෙබරවාරී 19 වැනි දිනට ශ්‍රී ලාංකේය දෙමළ සිනමාවට පනස් වසක් සපිරේ. 1963 පෙබරවාරි 19 වැනිදා මුල්වරට තිරගත වූ ‘සමුදායම්’ (සමාජය) මෙරට ප්‍රථම දෙමළ චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. හෙන්රි චන්ද්‍රවංශ එය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළේය.

එහෙත් පසුගිය විසි වසර පුරාවට දෙමළ භාෂිත චිත්‍රපටයක් මෙරට නිෂ්පාදනය වූවේ නැත. 1993 සැප්තැම්බර් 24 වැනිදා ප්‍රදර්ශනයට එක් වූ ‘ශර්මිලාවින් ඉදය රාගම්’ (ශර්මිලාගෙ හදේ රාවය) අවසන් වරට තැනුණු ලාංකේය දෙමළ චිත්‍රපටයයි. එය සුනිල් සෝම පීරිස් ගේ අධ්‍යක්ෂණයකි.

මේ පනස් වසරක ඉතිහාසය, විසි වසරකට පසු නැවත අලුතෙන් ලියැවෙන්නේ ‘ඉනියවන්’ චිත්‍රපටයත් සමඟිනි. එය ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණයයි. එකී ප්‍රවේශය සමඟින් ‘හඳයා’ ගේ ආන්දෝලනාත්මක සිනමා භාවිතය පිළිබඳ ඔහු සමඟ කළ විවෘත සංවාදයකි මේ.

ලාංකේය දෙමළ සිනමාවට පනස් වසක් සපිරීම නිමිති කර ගනිමින් ද ඔබ ‘ඉනියවන්’ චිත්‍රපටය නිර්මාණය කරන්නේ?

නැහැ. ඇත්තටම මෙහෙමයි. මම චිත්‍රපටය කරන කොට ඒ ගැන හැඟීමක් තිබුණේ නැහැ. මට වුවමනා වෙලා තිබුණේ යුද්දෙන් පස්සේ අලුත් වටපිටාව ගැන, ඒ අයගේ ජන ජීවිතය පිළිබඳ කිසියම් විදිහක නිර්මාණයක් කරන්න. ලාංකික දෙමළ සිනමාවට මේ වසරේ අවුරුදු පනහක් පිරීමත්, ඒ හා සමගාමීව මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් වැදගත් සටහනක් වෙනවා.

එතකොට මේ චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ පශ්චාත් යුද සමයේ උතුරේ ජන ජීවිතය පිළිබඳ?

ඔව්. දැන් අපේම ජන කොටසක්නේ උතුරු, නැගෙනහිර ජීවත් වෙන ජනතාව කියන්නේ. හුඟක් වෙලාවට ඔවුන් ගැන අපේ අවබෝධය අඩුයි. සමහරක් වෙලාවට අවධානයත් අඩුයි. ඉතින් ඒ නිසා අපි ඒ අවබෝධය ඇති කර ගත යුතු වෙනවා සහ එය පුළුල් කර ගත යුතු වෙනවා, ඒ ජීවිත දිහා බලන්න.

ඇයි ඔබ තවත් සිංහල චිත්‍රපටයක් නොකර මෙවැන්නකට අත ගැසුවේ?

මෙහෙමයි, අද අපි චිත්‍රපට හදන එක වගේම බලන එකත් භාෂාමය අතින් බෙදිලනේ තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපේ තියෙනවා සිංහල චිත්‍රපට බලන සිනමා ශාලා වෙනම. දෙමළ චිත්‍රපට බලන දෙමළ සිනමා ශාලා වෙනම තියෙනවා. නමුත් සිනමාව කියන්නේ සිනමාවනේ. සිනමාවක භාෂාව සිනමා භාෂාව. ඒ ඒ චරිත කතා කරන භාෂාව කියන්නේ එහි ප්‍රස්තුත වැසියා කතා කරන භාෂාව. නමුත් ඒක නෙවෙයි සිනමා භාෂාව කියන්නේ. සිනමා භාෂාව කාටත් පොදුයි. එතකොට සිංහල වුණත්, දෙමළ වුණත්, ඉංග්‍රීසි වුණත්, හින්දි වුණත් චිත්‍රපටය නිදහසේ චිත්‍රපටයක් විදිහට යන්න ඕනෑ. චිත්‍රපටයක් සංනිවේදනය කරන්න පුළුවන්නේ උප ශීර්ෂ යොදාගෙන ඕනෑම භාෂාවකින්. ඊට පස්සේ තියෙන්නේ හැඟීම්. මනුෂ්‍යය හැඟීම් කාටත් එකයි.

සිනමාව බෙදා වෙන් කළ යුතු නැහැ කියල ද ඔබ කියන්නේ?

මම ඒකට එච්චර කැමැති නැහැ. මට මතකයි පොඩි කාලේ අපේ ගමේ තිබුණ සිනමා ශාලාවට සිංහල චිත්‍රපට, දෙමළ චිත්‍රපට, ඉංග්‍රීසි, හින්දි මේ ඔක්කොම චිත්‍රපට එනවා. ඒ ඔක්කොම අපි බැලුවා. නමුත් දැන් එහෙම නෑ. සිංහල චිත්‍රපට ශාලාවලට එන්නේ සිංහල චිත්‍රපට විතරයි. දෙමළ ඒවාට එන්නේ දෙමළ චිත්‍රපට විතරයි. ඉංග්‍රීසි, හින්දි චිත්‍රපට පෙන්වන්න වෙනම සිනමා ශාලා තියෙනවා. මම හිතන්නේ මේ බෙදීම සිනමාවට එතරම් වැදගත් නැහැ කියලයි. ‘ඉනියවන්’ දෙමළ ජීවිතය දිහා සිංහලෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්.

ඔබ කියන පරිදි සිනමාවට වැදගත් වන්නේ සිනමා භාෂාව. නමුත් ලාංකික ප්‍රේක්ෂක විඥානය පොදුවේ ගත්විට එකී සිනමා භාෂාව මැනැවින් ග්‍රහණය කරගත හැකි තලයක නෙවෙයි තිබෙන්නේ. මේක මගේ පෞද්ගලික මතවාදයක්?

ඇත්තටම ඒක අපට හැදීගෙන ආවා. ඒ සිනමා භාෂාව පරිශීලනය කරන ප්‍රේක්ෂක ප්‍රජාවක් හැදීගෙන ආවා. අසූව, අනූව දශකවල අග භාගය වෙන කොට අපේ තිබුණනේ පස්වැනි මණ්ඩලය කියා එකක්. ඒ සිනමා මණ්ඩලයට ප්‍රේක්ෂකාගාරයක් තිබුණනේ. එහෙම හැදීගෙන ආවා. මම හිතනවා රූපවාහිනිය තමයි ඒක නැති කළේ කියලා. රූපවාහිනිය ලංකාවේ ඉතාමත් පල්ලෙහා මට්ටමකට වැටුණනේ. රූපවාහිනිය ආරම්භක අවධියේ එහි වැදගත් නිර්මාණ තිබුණා. ‘කඩුල්ල’, ‘දඬුබස්නාමානය’, ‘පිටගම්කාරයෝ’ වගේ හොඳ ටෙලි නාට්‍ය ආවා. එතකොට ඒවා හොඳ සිනමාවක් රස විඳින්න පුළුවන් මෙවලම් හැටයටත් පාවිච්චි කරන්න පුළුවන් වුණා. දැන් ‘කඩුල්ල’ වගේ එකක් රස විඳපු කෙනෙක් අනිවාර්යයෙන්ම හොඳ සිනමාවක් රස විඳිනවා. ඒවා ඔක්කොම කඩා වැටිලනේ දැන්. අද ටෙලි නාට්‍ය කියලා තියෙන්නේ ඉතාම බාල, බොළඳ, හරසුන් දේවල්. එතකොට ඒවා තමයි දැන් බලන්න පුරුදු වෙලා ඉන්නේ. මිනිසුන්ට සිනමාව නැරඹීමට තිබුණ හුරුව මේ නිසා අත්හැරිලා ගියා.

ප්‍රේක්ෂකයා උසස් සිනමාවෙන් ඈත් කිරීමට පස් වැනි මණ්ඩලය අහෝසි කිරීමත් බලපෑවා?

ඔව්. පැහැදිලිවම. ඔබට මතක ඇති පස්වැනි මණ්ඩලයේ ප්‍රදර්ශනය වූ චිත්‍රපට නරඹන්න වෙනමම ප්‍රේක්ෂක පිරිසක් හිටියා. සිනමා ශාලා වෙනම හැදිලා තිබුණා. පස්වැනි මණ්ඩයේ නිදහස් කරන චිත්‍රපටයක් අඩුම තරමේ මාස තුනක්වත් හෝල් එකේ තිබුණා. එතකොට චිත්‍රපට හතරක් වගේ තමයි වසරකට තිරගත වුණේ. ඒ හින්දම පෝලිමක් හැදුණා. දැන් මම ‘චන්න කින්නරී’ චිත්‍රපටය හැදුවේ 1993 දී. ඒකට රැගුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබුණේත් 1993 මයි. ඒත් චිත්‍රපටය නිදහස් වෙන්නේ 1998 දී. ඒ වෙනකල්ම ඉඩක් තිබුණේ නෑ. නමුත් අපි ඒ වාරය එන තෙක් ඉවසිල්ලෙන් බලාගෙන හිටියා.

දැන් වාගේ පෝලිම් කඩාගෙන ගියේ නෑ?

දැන් ද? දැන් පෝලිමුත් නෑ, මොකුත් නෑ. සිනමාවකුත් නෑ. ඒකනේ තියෙන කනගාටුව.

මා දන්නා තරමින් ඔබ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක්, අවබෝධයක් තිබෙන කෙනෙකු නොවේ. චිත්‍රපටය තුළ චරිත හැසිරවීමේදී ඔබ මේ භාෂාවට පිටස්තරයකු වීම සෑහෙන අභියෝගයක් වෙන්නට ඇති?

භාෂාව ගැන සියලුම දේවල් නොදන්නවා වුණාට ඒ දෙමළ මනුෂ්‍යයාගේ හැඟීම්, දැනීම් ඒ භාෂාවත් එක්ක වර නගන විදිහ සහ ඒ කියවන විදිහ කියන එක අපෙන් ගොඩක් වෙනස් නැහැ. අපේ භාෂාවට ඉතා ළඟයි. අපිට තරහා දැනෙන විදිහටම තමයි ඒගොල්ලන්ට තරහා දැනෙන්නේ සහ ප්‍රකාශ කරන්නේ. ඒ හැඟීම් දැනීම් ප්‍රකාශ කරන විදිහ එකයි. එතකොට මම පරිවර්තකයකුගේ සහායත් එක්ක හරියට ඒ දෙබස් පේළිය කියෙව්වා ද කියන එක මට කියන්න පුළුවන් නළුවාගේ හෝ නිළියගේ හැඟීම් ප්‍රකාශනයත් එක්ක. ඒක වචන හැටියට හරියට කියවුණා ද බලන්න කෙනෙක් හිටියා. හුඟක් වෙලාවට මට දැනුණු දේ තමයි මට හරියි කියලා හිතිච්ච දේ අර වචනවල තේරුම අනුව බලන කොට නිවැරදියි කියන එක.

එතකොට අපට දැනගන්නට ලැබුණා ඇතැම් සිනමා ශාලාවලින් මේ චිත්‍රපටය ඉවත් කරන්නට කටයුතු කරනවා වාගේම, එහෙම කළා කියලා?

ටිකට් ගන්න ගියාම සිනමා ශාලාවෙන් කියනවලු ‘මේක දෙමළ චිත්‍රපටයක්’ කියලා. ඒ වගේ අත්දැකීමකට මුහුණ දුන් ප්‍රේක්ෂකයකු මගෙන් ඇහුවා ඒ විදිහට කියන්නේ තව විදිහකට මේ චිත්‍රපටය බලන්න එපා කියන එක නේද කියලා. ඉතිං ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා සීමිත ඉඩකඩක් ලැබුණේ. ඒ ඉඩකඩ ඇතුළේවත් ඒක හරියට ප්‍රදර්ශනය කර ගන්න බැරි බාධක තියෙනවා.

මේ චිත්‍රපටය හරහා සිංහල, දෙමළ ජාතික සමගියක් ඇති කරන්නටත් ඔබ අදහස් කළා . . .?

මේ චිත්‍රපටයේ වැඩිපුරම වැඩ කළේ දෙමළ තරුණයෝ. ඒ දෙමළ සමාජයත් එක්ක මේ චිත්‍රපටය ඇතුළේ ලොකුª ගනුදෙනුවක් සිදු වුණා. ඒගොල්ල මේකත් එක්ක වාද කරනවා. එතකොට අපිත් ඒ සංවාදයකට පැටළෙනවා. ඒක හරි වැදගත් මේ මොහොතේ. මේ චිත්‍රපටය පෙන්වීම පිළිබඳ සහ පිරිවැය ආපසු සොයා ගැනීම පිළිබඳ ඒ තරම් ගැටලුවක් නොවෙන්න පුළුවන්. මොකද මේක ප්‍රංශයේ නිදහස් වෙන්න නියමිතයි. ඊළඟට කැනඩාව වගේ රටවලත් නිදහස් වෙන්න නියමිතයි. දැනටමත් ඒකට කටයුතු හැදිලා තියෙනවා. ඒ නිසා මේක මේ මුදල් පිළිබඳ ගැටලුවක් නෙවෙයි. ගැටලුව මිනිස්සුන්ට මේ චිත්‍රපටය දැක බලා ගැනීමට නිසි අවකාශයක්, වටපිටාවක් නැතිවීමයි.

මෙතෙක් ඔබට ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ කතා කළොත්?

දැනට මේ චිත්‍රපටය වැඩිපුරම නරඹා තියෙන්නේ සිංහල ප්‍රේක්ෂකයෝ. මොකද වැඩිපුරම මේ සිනමා ශාලා තියෙන්නේ සිංහල ප්‍රදේශවලනේ. දෙමළ අයත් බලනවා. මේක ඉතිං මම දකින්නේ හොඳ තත්ත්වයක් හැටියට.

මීට පෙර ඔබ අතින් නිර්මාණය වූ චිත්‍රපටවලට ඔබ බොහෝ සෙයින් විෂය කොට ගත්තේ ලිංගිකත්වය හා ඒ හරහා මතුවන සාමාජීය, ආර්ථික, දේශපාලන ගැටලු. නමුත් ඔබ මේ චිත්‍රපටයේදී කතා කරන්නේ ඊට වඩා ඔබ්බට ගිය දෙයක් ගැන. මානව දයාව පිළිබඳ ගැඹුරු විග්‍රහයක් ඔබ ඉන් මතු කරනවා?

මීට ප්‍රථම මගේ චිත්‍රපටවලින් මම කතා කළේ ආංකිකකරණය වූ සමාජ කොටස් ගැනනේ. මේකෙත් ඒකම තමයි. නමුත් මේ චිත්‍රපටයේදී ඊට වඩා වෙනස් ටෙම්පෝ එකක, තානයක ඉඳන් තමයි මම කතා කරන්නේ. මේ චිත්‍රපටය හසුරුවන්නේ. මොකද මේ සංස්කෘතිය අපට ඈතයි. එතකොට අපි ඒක ඇතුළට ගිහින් මේ චිත්‍රපටය කිරීම හරහා කිසියම් විදිහක කම්පනයක්, කැලඹීමක් ඒ සමාජයට දෙනවා තමයි. නමුත් මම කොච්චර වුණත් ඒ සමාජයට පිටස්තරයි කියන හැඟීම එනවනේ. ඒ නිසා මට සීමා තියෙනවා ඒ සමාජය ඇතුළට යනකොට. ඒ සීමාවල් හිතුවක්කාර විදිහට ආක්‍රමණය කිරීම හරහා වෙන තලයකට යන්න තිබුණා. නමුත් මම මටම සීමාවන් පනවාගෙන බොහොම ශික්ෂණයකින් යුතුව මේ චිත්‍රපටය කළා. මම හිතනවා අනාගතයේදී මේ සිනමාව හසුරවන දෙමළ තරුණයෝ එකී සීමාවන් කඩාගෙන ඇතුළට යයි කියලා.

චිත්‍රපට සංස්ථාව හරහා ඔබට කිසියම් අනුග්‍රහයක් ලැබුණා ද මේ චිත්‍රපටය සම්බන්ධයෙන්. මා එසේ විමසන්නේ මෙය ජාතික කර්තව්‍යයක් නිසා?

නෑ. දැන් චිත්‍රපට සංස්ථාවට සිනමාව වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් සීමිත වෙලානේ තියෙන්නේ. පසුගිය වකවානුව පුරා සිද්ධ වෙච්ච දෙයක් ඒක. මම හිතනවා මොකක් හරි විදිහකට නැවත මේක සකස් විය යුතුයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු සිනමා ශාලාවක් කඩනවා කියලා. එහෙම කඩලා ඒ ඉඩකඩ සුපර් මාර්කට් එකකට ගත්තා කියලා ගැටලුවක් නෑ. නමුත් සංස්ථා පනතේ තියනවා එහෙම සිනමා ශාලාවක් කඩලා ඒක වෙන එකක් බවට පරිවර්තනය කරන කොට ඒ සිනමා ශාලාවට තිබුණ ඉඩ ඒ සංකීර්ණය ඇතුළේ තියෙන්න ඕනෑ කියලා. නමුත් ඒවා දැන් සිද්ධ වෙන්නේ නැහැ. මම හිතනවා මේ මොහොතේ අපට ඕනෑ කරන්නේ අලුත් තාක්ෂණයත් එක්ක ආපු සිනමා ශාලා සංකීර්ණ නගරබදව ඉදි කිරීමයි.

ඒ හරහා ඔබ බලාපොරොත්තු වෙන්නේ?

දැන් විවිධ වර්ගයේ චිත්‍රපට අපේ රටට එනවා අලුත් තාක්ෂණය සමඟ. 3ච් චිත්‍රපට. ඒ වගේ දේවල්, හින්දි, ඉංග්‍රීසි චිත්‍රපට. මේවා නරඹන්නට විවිධ විදිහේ ප්‍රේක්ෂකයෝ එනවා. සිනමා සංකීර්ණ ඉදි කිරීම මඟින් මේ හැමෝටම තමන් කැමැති චිත්‍රපටයක් නරඹන්න පුළුවන්. චිත්‍රපට සංස්ථාව මේ පිළිබඳ කිසියම් ප්‍රතිඵලදායක වැඩ සටහනක් දියත් කරන්න ඕනෑ. අද චිත්‍රපට සංස්ථාව තියෙන්නේ මාධ්‍ය අමාත්‍යාංශය යටතේනේ. එය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කර්මාන්තයක් විදිහට ප්ලේස් කරන්න ඕනෑ. එතකොට තමයි සිනමාවට නිදහස හම්බ වෙන්නෙත්, කර්මාන්තයක් හැටියට ආර්ථික පැවැත්මක් තියෙන්නෙත්.

බොහෝ සිනමා විචාරකයන්ගේ සහ ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ මතය තමයි ‘අක්ෂරය’ ඔබේ හොඳම චිත්‍රපටය බව. නමුත් අවාසනාවකට මේ චිත්‍රපටය පොදු ප්‍රේක්ෂකයා අතරට ගියේ නැහැ. ‘අක්ෂරයට’ සිදු වූ සන්තෑසිය පිළිබඳ අද ඔබ දුක් වෙනවාද?

නැහැ, මම කනගාටු වන්නේ නැහැ. මම චිත්‍රපටය කළා. නමුත් ප්‍රේක්ෂකයන් පිළිබඳ මම කනගාටු වෙනවා. මොකද සිනමාවටයි ඒ ගැටලුව සිද්ධ වුණේ. මට නෙවෙයි. ‘අක්ෂරය’ යූ ටියුබ් එකේ ලක්ෂ හැටකට කිට්ටු වෙන්න බලලා තියෙනවා. එතකොට අක්ෂරය අහිමි වුණේ මේ රටේ සිනමා ප්‍රේක්ෂකයන්ට. එය අහිමි වුණේ මේ රටේ ඊළඟට සිනමාවට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින තරුණ සිනමාකරුවන්ට. මම හිතන්නේ ඒක අපේ සිනමාවේ ඉදිරි ගමනට ලොකුª බාධාවක් හැටියට සලකුණු වෙනවා. අක්ෂරය ආවා නම් අපේ සිනමාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා. පෙරටුගාමී සිනමාවක් කරා යන ගමනට තරුණයන්ව මෙහෙයවන චිත්‍රපටයක් වන්නට තිබුණා.

ඔබේ සෙසු චිත්‍රපට අතර ‘අක්ෂරය’ ඔබ තබන්නේ කුමන ආස්ථානයකද?

මම කරපු චිත්‍රපටවලින් වඩාත්ම අභියෝගයට ලක්වුණ චිත්‍රපටය තමයි ‘අක්ෂරය’ කියලා කියන්නේ. ඒකට ඒ පෙළඹවීම ඇතිවන බව මම දැනගෙන හිටියා. නමුත් ඒක මෙහෙම කෙළවර වෙයි කියා මම බලාපොරොත්තු වුණේ නැහැ. මොකද සාපේක්ෂ වශයෙන් සිනමාවේ ප්‍රකාශනයට තිබුණ නිදහසත් එක්ක බලපුවාම. නමුත් එසේ නොවීම මම හිතන්නේ කනගාටුදායක තත්ත්වයක්. කවදා හරි දවසක එහි සැබෑ වටිනාකම් එක්ක ලංකාවේ ප්‍රදර්ශනය වෙයි කියන විශ්වාසය මට තිබෙනවා.

එදාටත් ‘අක්ෂරය’ වලංගු වේවි ද?

ඒ චිත්‍රපටයට කාලයෙන් ස්වායත්ත වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ සර්වකාලීන වටිනාකමක්. එහි තේමාව හා කතා කරන විෂයය ගත්තාම. ඒ නිසාම එහි කාලීන බව පිළිබඳ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අක්ෂරය ලෝකයේ සිනමා උළෙලවල නිදහස් වුණා. කැලිෆෝනියා සිනමා කෞතුකාගාරයෙත් මෙහි පිටපතක් සංරක්ෂණය වී තිබෙනවා.

‘අක්ෂරය’ චිත්‍රපටයෙන් අපේ ළමා පරපුරට සිදු වූ අත්වැරැද්දට පව් සමා කර ගැනීමේ අරමුණින් ඔබ ‘විදූ’ චිත්‍රපටය නිර්මාණය කළ බව කිසිවකු පැවසුවහොත්?

‘විදූ’ චිත්‍රපටයයි ‘අක්ෂරය’යි අතරේ එහෙම සම්බන්ධයක් නැහැ. මම ‘විදූ’ චිත්‍රපටය කරන්නේ ළමයින්ට තමයි. ඒත් එය ‘අක්ෂරය’ එක්ක සම්බන්ධ කරන එක ඉතාම වැරැද්දක්. ‘විදූ’ මම නිර්මාණය කරන්නේ අපේ ළමයින්ගේ නිර්මාණාත්මක පිළිබඳ ඇති වෙච්ච කම්පනය නිසයි. ඒ ළමයින් තුළ කිසියම් විදිහක ආත්ම විශ්වාසයක්, ආත්ම අභිමානයක් ඇති කරළීම සඳහා. ඉතින් ඒක මගේ වෙනත් චිත්‍රපටයක් එක්ක සංසන්දනය කිරීම තේරුමක් නැති වැඩක්. ඒක නිකං පරිප්පුයි, අයිස්ක්‍රීමුයි සංසන්දනය කරනවා වගේ වැඩක්. ඒවා එහෙම කරන්න බෑ. මම දන්නේ නැහැ ඇයි අපේ සිනමා සමාජය එහෙම කරන්නේ කියලා.

සිනමාකරුවකුට සීමා මායිම්, වැටකඩොලු පැනවිය යුතු නැහැ?

ඔව්. ස්පීල්බර්ග් ‘ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටිං ටිං’ කරන ගමන් ‘ලින්කන්’ චිත්‍රපටයත් කරනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම්පෙරළිය වගේම ‘පිංහාමිත්’ අධ්‍යක්ෂණය කළා. ඉතිං එහෙම තමයි සිනමාව. තහනමක් නෑනේ එහෙම කාටවත් නේද? ඇයි සිනමාවට ළමයි අකැපද?

අද ළමා සිනමාවක් නෑ කියනවනේ. එතකොට ‘විදූ’ ළමා චිත්‍රපටයක්මද?

‘විදූ’ ළමයින්ට මම පෙන්නුවනේ. ළමයි ලබන උත්තේජනය මම දැක්කනේ. ළමයින්ට ඒක සංවේදියි කියන කාරණයනේ ඉන් හැඟෙන්නේ. ළමයින්ට ඒක දැනෙනවා. එතකොට ඒක ළමා චිත්‍රපටයක් නොකියන්නේ කොහොමද?

අපේ සිනමාවේදීන් අතරේ එඩිතරම නිර්මාණකරුවා ඔබදෝ කියා මට වෙලාවකට හිතෙනවා. මම එහෙම කියන්නේ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔබ ඔබේ බිරිය ප්‍රේක්ෂකයා අභිමුවට යවනවා නිරුවතින්. එදා ඔබ කළ දේ හරි කියා අද හිතනවාද?

ඒ චිත්‍රපටය සඳහා තෝරා ගන්න ඕනැම කෙනෙකුට ඒ රඟපෑම කරන්න සිද්ධ වෙනවානේ. ඒක මගේ බිරිය වීම කියලා වෙනසක් නැහැ. එතකොට ඇය වෘත්තීය සිනමා නිළියක්. ඒ භූමිකාව නිරූපණය කිරීම සඳහා ඇයවයි තෝරා ගැනුණේ. ඒ ජවනිකාවත් ඇගේ රංගන කාර්යයේ එක් කොටසක්. ඒකට කැමති වෙලානේ චරිතය බාර ගන්නේ. ඒක මට වෙනසක් වුණේ නෑ. නමුත් ඒක කම්පනයක් වුණේ අපේ සමාජයටනේ. මොකද සමාජය කුහකයි. ඒ නිසා ඒක කම්පනයක් වුණා. මට එහෙම එකක් නැහැ. මේක පටලවා ගත්තේ චිත්‍රපටය බලපු සමහර මිනිස්සු. ඒක තමයි ලංකාවේ හැටි.

එතකොට මට අවසන් වශයෙන් කියන්න මොනවද ඔබේ ඉදිරි කටයුතු?

මම සිනමාකරුවකු විදිහට ඉදිරියටත් ඉඳීවි. මගේ ඔළුවේ වැඩ කරන සිනමා කෘති දෙක, තුනක් තියෙනවා. ඉදිරි කාලයේදී ඒවා මගේ අතින් සිනමාවට නැගේවි. සමහර විට මේ වසරේ අලුත් චිත්‍රපටයකට යන්න අදහසක් තියෙනවා. බලමු.