වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රොක් ස්ටාර් තාරකා මංගල්‍යයඅත ළඟම . . .

රොක් ස්ටාර් තාරකා මංගල්‍යය අත ළඟම . . .

විසිතුරු සිනමා ලෝකයට පිවිසි වහාම විවාහයක් වෙනුවෙන් උපදින ආදරණීය සිතිවිලි මරා දැමීම බොහෝ තාරකාවන්ගේ සිරිතයි. එහෙත් රැඟූ පළමු සිනමාපටයෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය නොමඳව දිනාගත් එක් නිළියක් විවාහය, ඊළඟ රංගනයට පෙර තම තෝරා ගැනීම කර ගත්තාය. ඇය නාර්ගීස් ෆක්රීය.

රොක්ස්ටාර් සිනමාපටයේ රඟපාමින් වසරේ තිරයේ ආදරණීය පෙම් යුවළ බවට පත් වූයේ රන්බීර් කපූර් සහ නාර්ගීස් ෆක්රීය. ඇය ලැබූ අසීමිත ජනප්‍රියභාවය නිසා චිත්‍රපට ගණනාවකම රංගනයට ඇරියුම් ලැබුණත්, ඇය එතරම් රංගනය ගැන උනන්දුවක් නොදක්වන බවක් පෙනුණි.

දැන් ඒ රහස හෙළි වී තිබේ. අග්‍රගණ්‍ය සිනමා අධ්‍යක්ෂ යාෂ් චොප්රාගේ බාල පුතු උදෙයි චොප්රා සමඟ බැඳි හාදකම රංගනයේ සෙමින් ගමනට හේතුවයි. පසුගිය වසර පුරාම උදෙයි සහ නාර්ගීස් පෙමින් වෙළී සිටි අතර 2012 වසර අවසාන වීමට පෙර විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියහ.

යාෂ් චොප්රා සිනමාවේදියාගේ උපන් දිනයේදී දෙදෙනාට යාෂ් මහතාගේ මෙන්ම පැමලා චොප්රා මහත්මියගේත් මනාපය ලැබී තිබේ. පුතාගේ තෝරා ගැනීමට කවදත් චොප්රා මාපියෝ කැමැත්ත ප්‍රකාශකර සිටිති.

උදෙයිට, නාර්ගීස් මුණ ගැසී ඇත්තේ මේ වසරේ තිරගතවීමට නියමිත ‘මැඩ්‍රාස් කැෆේ’ රූගත කරන කාලයේදීය.

උදෙයිගේ රංගනය මේ නත්තලේදී තිරගතවීමට නියමිත ‘ඩූම් 3’ සිනමාපටයේ දක්නට ලැබෙනු ඇත. ඔහු මීට පෙර තනීෂා මුඛර්ජි (කාජල්ගේ නැගණිය) සමඟත් පරිනීති චොප්රා සමඟත් පෙමින් වෙළී සිටියේය. උදෙයිගේ අවසාන සහ එකම තෝරා ගැනීම නාර්ගීස් වී මේ වසරේ බොලිවුඩ් පුරයේ මංගල අසිරිය ඔවුනගෙන් ඇරැඹේවා යන්න රසිකයන්ගේ ප්‍රාර්ථනයයි.

ඒ පැණි වරකා ගහටත් හෙණ වැදිලා

අපට නිතර අසන්න ලැබෙන්නේ විරසක වන තරු පෙම්වතුන් සහ විවාහක තරු යුවළ ගැනය.

එහෙත් සිනමාවේ හොඳම මිතුරන්ගේ නොහොඳ නෝක්කාඩු ගැන නම් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

මේ නොමනාපය ඇති වී තිබෙන්නේ චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් සහ සුපිරි තරුව ෂාරුක් ඛාන් අතරයි. අමනාපයට හේතුව නම් තවමත් අනාවරණය වී නැත.

ෂාරුක්ගේ නව වසර සැමරුම් උත්සවයට ලැබුණු ආරාධනාව ඩුබායිවල සිටිද්දීත් කරන් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවයි. ඔහු වෙනත් අවුරුදු උත්සවයකට ඒ වෙනුවට සහභාගි වී තිබේ.

මින් පෙර කරන්, ෂාරුක්ගේ ආරාධනා කිසි විටකත් ප්‍රතික්ෂේප කරනැත.

කරන්ට තමන් කැමැති ආකාරයට උත්සවය පවත්වන්න අවශ්‍ය වන්නට ඇති බව මේ ගැන විමසූ විට ෂාරුක් පැවසුවේය.

ෂාරුක් – කරන් මිතුදම ඇරැඹුණේ ‘දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ’ සිනමාපටය රූගත කළ කාලයේ සිටයි. කරන් ඔහුගේ සිනමාපට ගණනාවකම ප්‍රධාන නළුවා කරගත්තේ ෂාරුක්වය.

ජීවිතයම සැරසුවේ ඇයයි

අක්ෂේ තමන්ගේ වාසනාව ට්වින්කල් බව කියා සිටින්නේ සෑම සාර්ථක පිරිමියකු පිටුපසම යහපත් බිරියක් සිටින බවට ඇති පැරැණි කියමන සනාත කරමිනි.

ට්වින්කල්ගේ තිස් අට වැනි උපන් දිනය යෙදී තිබුණු දෙසැම්බර් 29 වැනිදා ඔහු ට්විටර් වෙබ් අඩවියෙන් මේ බව ලොවටම කියා සිටියේය. ‘මගේ සිහිනයේ කාන්තාව ඇයයි. ඇය සෑම අතින්ම මගේ ජීවිතය උත්සව සැමරුමක් කළා.’ හතළිස් පස් හැවිරිදි ආදරණීය සැමියා ‘සුබ උපන් දිනයක් ටීනා!’ කියා හදවතින්ම සුබ පැතුවේ 2001 දී අතිනත ගන්නා විට බැඳුණු සෙනෙහසම සිතේ රඳවා ගෙනයි.

දැන් ට්වින්කල් - අක්ෂේ දරුවන් දෙදෙනකුගේ මාපියන්ය. ආරව් පුතා දස හැවිරිදිය. දෝණි උපන්නේ පසුගිය සැප්තැම්බරයේයි. නිතාරා ඛන්නා භාතියා දුවණියගේ නමයි. නැසීගිය බොලිවුඩයේ පළමු සුපිරි තරුව රාජේශ් ඛන්නාගේත්, ට්වින්කල් ඛන්නාගේත් උපන් දිනය යෙදී තිබෙන්නේ දෙසැම්බර් 29 වැනි දිනටයි. 2011 වසර වෙනතුරුම රාජේශ් ඛන්නා සහ ට්වින්කල් උපන් දිනය සැමරුවේ එකටමය.

එහෙත් මේ වසරේ සුපිරි නළු පියා වියෝවීම නිසා ට්වින්කල් දියණිය චාම් අන්දමින් උපන් දිනය සැමරුවාය. ජීවත්ව සිටියා නම් රාජේශ් ඛන්නා සමරන්නේ හැත්තෑ වැනි උපන් දිනයයි.

පියාට උපහාර වශයෙන් ට්වින්කල් දියණිය සහ අක්ෂේ බෑණා දියණියගේ නමට ඛන්නා වාසගම එක් කළහ.

අක්ෂේට 2012 වසර අති සාර්ථක වසරකි. 2013 ට ද ඔහු සුබ ආරම්භයකට පියවර තබා තිබේ. අක්ෂේ ‘තුප්පාකි’ ද්‍රවිඩ සිනමාපටය හින්දි සිනමාපටයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කිරීමට පටන්ගෙන අවසන්ය. සෝනක්ෂි සිංහ මෙහි ප්‍රධාන නිළියයි. අක්ෂේගේ ‘ජෝකර්’ ‘රවුඩි රතෝර්’ සිනමාපටවල ප්‍රධාන නිළිය වූයේ ද සෝනක්ෂිය.

පසුගිය වසරේ ඔහුගේ සිනමාපට හයක් තිරගත වූ අතර ඉන් පහක්ම ඉහළම ආදායමක් ලැබුවේය. හවුස්ෆුල් 2, රවුඩි රතෝර්, ඕ මයි ගෝඩ්, ඛිලාඩි 786 කෝටි සියයක ආදායමක් ඉපද වූ සිනමාපට අතරට එක් විය.