වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රජ මැදුරෙන් වනාන්තරයට

රජ මැදුරෙන් වනාන්තරයට

සඳුන් විජේසිරිට අලකලංචියක්

සඳුන් විජේසිරි ලංකාවේ කලාව ස්පර්ශ කළ ඕනෑම අයකුට ආගන්තුක චරිතයක් නොවේ. සිනමාව, වේදිකාව මෙන්ම පුංචි තිරයත්, ගුවන් විදුලි නාට්‍ය සේම ග්‍රන්ථකරණයත් නිසා ගෞරවයට පත් සඳුන් විජේසිරි කලාවට කළා වූ සේවය වෙනුවෙන් සාහිත්‍ය කලා විභූෂණ, දේශබන්ධු ලංකා පුත්‍ර සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

සිනමාවේ, වේදිකාවේ, පුංචි තිරයේ නොමැකෙන සිහිවටන රැසක් තැබූ සඳුන් විජේසිරි සමඟ පිළිසඳරකි මේ.

* ඔබේ කලා දිවියේ අතීතය ඉතාමත් සශ්‍රික වූ එකක්. ඒ සශ්‍රීක මතක දිගේ ඔබ අදටත් ඉදිරියටම පිය නඟන්නේ හරිම අපූරුවට. ඒ සශ්‍රීක අතීතයෙන් කතාබහ වර්තමානය වෙතට රැගෙන යමු.

වේදිකාව, රූපවාහිනියේ, රිදී තිරයේ විතරක් නෙවෙයි ග්‍රන්ථකරණයේ යෙදීමට ලැබීමත් මා ලද භාග්‍යයක් කියලා හිතෙනවා. රූපවාහිනිය ආරම්භයේ පටන්ම අපි නාට්‍ය සඳහා දායකත්වය ලබා දුන්නා. වේදිකා නාට්‍ය ගණනත් සියයකට ආසන්නයි. චිත්‍රපට හතළිහක විතර වැඩ කළා. ඒ අතරතුර පොත් හතරක් ලිව්වා. දෙබස් කැවූ චරිත ඉතා ජනප්‍රිය වුණා. මේ සියලු දේම අපි කළේ හරිම ආදරයෙන්, ආසාවෙන්. ඒ කලාවට තිබුණු ළෙන්ගතු පිරිසුදු හිත තවමත් එහෙමමයි.

ඒ නිසාම සම්බන්ධ වන හැම නිර්මාණයකට ඉතාමත් ගෞරවනීය ලෙස සලකන්නට මා පුරුදු වෙලා ඉන්නවා. 60 – 70 දශකවල කලාවේ තිබූ පිබිදීමත් සමඟ අපි බොහෝ දේ ජීවිතයට එකතු කර ගත්තා. ඒ උකහා ගත් දේ එදාට වඩා අද ඉතා වටිනවා.

ඒ වගේම ඒ කාලේ නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය ගැන හොඳ සාකච්ඡා ගොඩ නැගුණා. අපි දර්ශන තලවල, ශබ්දාගාරවල, චිත්‍රාගාරවල කතාබහ කළේ නාට්‍ය ගැන. කලාව ගැන. එහෙමත් නැත්නම් ගුණාත්මක කලාවන් ගැන.

නමුත් අද තත්ත්වය ඊට වඩා වෙනස්. අද ප්‍රේක්ෂකාගාරයට රොක්වන පිරිස නැවත එළියට එන්නේ හිස් අතින්. ප්‍රේක්ෂකාගාරය විඳීන්නට දෙයක් ඉල්ලා සිටියත් දැන් ලැබෙන්නේ කිසිම තේරුමක් නැති දේවල්. නිර්මාණකරුවාගේ කාර්යය ද විය යුත්තේ ජන විඥානය උසස් මට්ටමට ගෙන ඒම. නමුත් ඒ කාර්යය අද නිර්මාණකරුවන්ගෙන් සිදු වෙනවාද කියන එක බරපතළ ගැටලුවක්.

මා හිතන්නේ නිර්මාණයක් බුද්ධිමත් විය යුතුයි. පරිණත විය යුතුයි වගේම නිර්මාණකරුවාත් අත්දැකීම් සන්නද්ධ කෙනෙක් විය යුතුය. එදා සහ අද සන්සන්ධනය කරද්දී අහසට පොළව වගේ වෙනසක් දැනෙනවා. ඒ තනාගත් ස්ථාවර මාවත ඔස්සේ මේ යන ගමන සශ්‍රීකයි කියලා මට හිතෙනවා.

ඔබ කියන්නේ අද ප්‍රේක්ෂකයොගේ මනසට කතා කරන නිර්මාණ බිහි වෙන්නේ නෑ කියන එකද?

අද බොහෝ දෙනෙක් ක්ෂේත්‍රය ගැන තිබෙන අවබෝධය ඉතාමත් අල්පයි. ඒ නිසා ඔවුන් කළ යුත්තේ කුමක්ද කියා හරි හැටි වටහාගෙන නැහැ.

ඉස්සර ප්‍රවීණයන්ගෙන් අපි බොහෝ දේ එකතුªකර ගත්තා. ප්‍රවීණයන්ගෙන් පමණක් නොවෙයි සමකාලීනයන්ගෙනුත් හොඳ දේවල් උකහා ගත්තා. උදාහරණයක් විදියට ධම්ම ජාගොඩයන් වෙලාවට වැඩ කරන හරිම කැමති චරිතයක්. එතුමා කියන්නේ කලාව භාවනාවක් කියලයි. ඔහුගෙන් මම ජීවිතයට ඈඳා ගත් දේ අදටත් වලංගුයි.

* අද පරම්පරාවේ විනයක් නෑ කියන එක ද ඔය ව්‍යංගයෙන් කියන්නේ?

ඔව්. බොහෝ දෙනෙක් තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි උදවිය ඉන්නවා. අද වෙලාවට වැඩ කරන අය ඉන්නේ කීයෙන් කී දෙනාද? දර්ශනතලවලදී ආචාර ධර්ම රකිනවා තියා ඒවා දන්න අය ඉන්නෙත් අතේ ඇඟිලි ගාණට.

අද පරම්පරාවේ අපටත් වඩා අති දක්ෂයන් ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් ඉතා ඉහළයි. නමුත් ඒ හැකියාවන් හරහා දෙයක් කරන්නට ඔවුන්ට තේරෙන්නේ නැහැ.

* ඔබ වසර ගණනාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ඒ වගේම සාහිත්‍ය කලා විභූෂණ, දේශබන්ධු ලංකා පුත්‍ර ගරු නම් හිමි අයෙක්. මේ හැම දේම ඔබට ලැබුණේ කලාව නිසාද?

නැහැ. බැංකුª නිලධාරියකු වීමම කලාවට බලපෑවේ නැහැ. නමුත් ගෞරව නාම ලැබුණේ කලාව හරියට අවබෝධයෙන් සංයමයෙන් කළ නිසා කියලා මට හිතෙනවා.

* ඔබ අතින් ලියැවුණු ග්‍රන්ථ ගැනත් කතා කරමු.

පූජිත පාදර්, මහ නගරය, හිරු නොදුටු නර්තනය, සුපුශ්පිත අරණක ගෙතූ පදවැල් කෘති මා අතින් ලියැවී තිබෙනවා.

* රස කතාවකටයි දැන් ඉඩ.

රස කතන්දර නම් එමටයි. එක දවසක් වේදිකාවේ මං රජ කෙනෙකුට රඟපානවා. ඒ කාලේ පසුතල තිරයෙන් තමයි දර්ශන තලය පෙන්වන්නේ. මං වේදිකාවට එද්දී වැටෙන්න ඕනෙ රජ මාලිගය. නමුත් වැරැදිලා වැටුණේ මහා වානාන්තරයක්. හැමෝම විමතියෙන් බලන් හිටියා. මං ඉතාමත් සංයමයෙන් නාට්‍ය ඉදිරියට ගෙන ගිය හැටි මතකයි.

* ඔබට බොහෝ සෙයින් ලැබෙන්නේ පෘතුගීසි චරිත. මේකට විශේෂ හේතුවක් තියෙනවාද?

ඔව්. පොකුරු වැස්සේ ෆොන් හැගර්ට්, ශ්‍රී වික්‍රම ආණ්ඩුකාර නෝර්ත් හා බ්‍රවුන්, සමුද්‍ර දේවි දියර්ගෝ ඩී අරාජෝ වගේ චරිත මට ලැබුණා. ඒ හැම පෘතුගීසි චරිතයක්ම ඉතාමත් මැනවින් කරන්නට මට හැකි වුණා. මං පෘතුගීසි භාෂාව ඉගෙන ගෙන තියෙනවා. ඒ උච්චාරණ ක්‍රමවේදයන් ගැන අධ්‍යයනය කරලා තියෙනවා. වේදිකා රංගනයට අමතරව බොහෝ පෘතුගීසි චරිතවලට මං හඬ කවල තිබෙනවා. මේ හැම දේටම මා තෝරා ගත්තේ අධ්‍යයනය තුළ ඒ දේවල් කළ නිසයි. අනෙක පෘතුගීසි චරිත හැම විටම එකම රාමුවේ කරන්න බැහැ. නාට්‍යයෙන් නාට්‍යයට ඒ චරිත හමුවන ආකාරය විවිධයි.

මං හිතන්නේ මේ වන විට පෘතුගීසි චරිත වැඩියෙන්ම කරල ඇත්තේ මං වෙන්න ඇති.

* ඉදිරිය ගැන කතා කරමු.

ඉදිරියේදීත් වැඩිපුර කාලය කලාවට තමයි. නවකතා ලියන්නටත් හිතාගෙන ඉන්නවා. මේ කටයුතු අතර ජනතාව පිනවන්නට ඉදිරියේදීත් රංගනයට යොමු වෙනවා.