වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම තරම් දුක්ඛිත ජීවිතයක් ගෙවන වෙන කිසිම නිළියක් තවත් නැතිව ඇති

මම තරම් දුක්ඛිත ජීවිතයක් ගෙවන වෙන කිසිම නිළියක් තවත් නැතිව ඇති

සුජාතා විජේසේකර කියන කඳුළු කතාව

එදා චිත්‍රපටයක හෝ දෙකක රඟපෑමෙන් නොනැසෙන ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට තරම් පැරණි නළු නිළියන් වාසනාවන්ත වූහ. ඊට සාධක බොහෝ ඇත. අසෝකමාලා, මාතලන්, ඩිංගිරි මැණිකා, රේඛාව යනාදී චිත්‍රපටවල රඟපෑ නිළියන්, නළුවන් එක සිනමාපටයකින් ප්‍රේක්ෂක මතකයේ නිධන්ගත තිරතරු වෙති. මෙවන් තවත් නිළියක් මට පසුගිය දිනක හමු විය. ඇය ප්‍රධාන පෙම්වතිය ලෙස 1959 හා 1960 රිදී තිරයෙන් දැක ඇත්තේ චිත්‍රපට දෙකකින් පමණි. නමින් සුජාතා විජේසේකර වන මැය සමඟ කළ සුහද පිළිසඳර මෙසේ පෙළ ගැස්විය හැකිය.

ඔබේ පෞද්ගලික ජීවන වෘත්තාන්තය පළමුවෙන් විමසා බලන්න පුළුවන් නේද?

මම උපන්නේ මහනුවර සීතල ප්‍රදේශයක. ඒ උපත සිදුව ඇත්තේ 1933 ඔක්තෝබර් 20 වැනිදා. උප්පැන්න සහතිකයේ සඳහන් වන උප්පත්ති නාමය දන්ගම්පලගේ සුජාතා විජේසේකර. පියා පෙඩ්රික් විජේසේකර. ඔහු බටහිර වෛද්‍යවරයෙක්. මව ජොස්ලින්. මම පවුලේ බඩපිස්සී. මේ නිසා ගෙදර හැමෝම ආදරේට කිව්වේ හැපී කියලා. මට වැඩිමහල් අක්කලා පස් දෙනෙක් හා අයියලා තුන්දෙනෙක් සිටියා. ඉගෙන ගත්තේ ගම්පොල කන්‍යාරාමයේ. ඒත් අපි බෞද්ධ.

ඔබේ පවුලේ කී දෙනෙක් කලාවට සම්බන්ධව සිටියාද?

එක්කෙනෙක්වත් නැහැ. හැබැයි මගේ පොඩි අක්කගෙ දුව සුගන්ධි විවාහ වෙලා ඉන්නේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම සමඟ. ඔහුගේ ටෙලි නාට්‍යයක මාත් රඟපෑවා. නම ඉරට හඬන මල්.

ඔබේ කලා කටයුතුවල ආරම්භය ඇති වෙන්නේ කොහොමද?

මම සුප්‍රකට නර්තන ශිල්පි ශේෂා පලිහක්කාර යටතේ නැටුම් ඉගෙන ගත්තා. ඔහුගේ බැලේ නාට්‍යයකත් රඟපෑවා. ඔය අතරේ පංච කල්‍යාණි තරග කිහිපයකට ඉදිරිපත් වුණා. මේවායින් මුල් තැන දිනා ගන්න ඒ තරම් අපහසු වුණේ නැහැ. මගේ දණහිසින් පහළ දක්වා දිගැති කේශය මට පංච කල්‍යාණි තරඟ ලකුණු වැඩි කොට දුන්නා.

එතකොටත් ඔබ පදිංචිව සිටියේ මහනුවරද?

නැහැ. කැලණියේ දළුගම කෑම්ප් පාරේ නිවෙසක. ඔය කාලේ නිකමට වගේ මගේ ඡායාරූපයක් කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයට යොමු කළා. ඒ අනුව රම්‍යලතා චිත්‍රපටයේ ප්‍රේමවතීගේ යෙහෙළියක ලෙස සුළු චරිතයක් රඟපාන්න ලැබුණා. එම චරිතය සුළු එකක් වුණත් රීටා රත්නායක වැන්නියක සමඟ රඟපාන්න ලැබීම සතුටක්. රම්‍යලතා චිත්‍රපටය පෙන්නුවේ 1956. එහි නිෂ්පාදකවරයා එස්. එම්. නායගම්. අධ්‍යක්ෂවරයා ඒ. බී. රාජ්.

ඔබව ඊළඟට අපිට දකින්න ලැබන්නේ චිත්‍රපටයක කතා නායිකාව ලෙසින් නේද?

සිරිමලී චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ලැබීම මට අදටත් අදහාගන්න අමාරුයි. ඊට මඟ පෑදුණේ ශේෂා පලිහක්කාරගේ නැටුම් පංතිය. රොබින් තම්පෝ කියන නිෂ්පාදකවරයා තමාගේ දෙවැනි චිත්‍රපටයේ කතා නායිකාවගේ චරිතයට නැටුම් දන්න නවක නිළියක් සොයමින් සිටියදී මා ගැන අසන්න ලැබිලා තියෙනවා. ශේෂා පලිහක්කාරගේ මැදිහත්වීමෙන් මේ චිත්‍රපටයේ රඟපෑමේ අවස්ථාව උදා වුණා කිව්වොත් නිවැරදියි.

සිනමා රසිකයන් ඔබව හඳුනා ගත් සිරිමලී චිත්‍රපටය ගැන වැඩිදුර විස්තරයක් කළොත් නේද වඩාත් හොඳ?

සිරිමලී මුළුමනින්ම නිෂ්පාදන කටයුතු සිදු වුණේ ඉන්දියාවේ. චිත්‍රාගාර දර්ශන මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේදී කැමරාවට නැගුවා. රූපය හා ශබ්දය එකවර සිනමාපටයට නගා ගැනීම විශේෂයයි. පළමුවෙන්ම චිත්‍රගාර දර්ශනයක් වශයෙන් ආකාසෙ ආවාසෙ සූර්යා නැගී යුග ගීතයට අනුව රංගනයේ යෙදුණා. සහාය නළුවා බොනිපස් ප්‍රනාන්දු. ඔහුත් එදා මං වගේම නවකයෙක්. සෙසු චරිත ජෝ අබේවික්‍රම, ඩේවිඩ් ධර්මකීර්ති, වින්සන්ට් වාස්, අශෝක පොන්නම්පෙරුම, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා නිරූපණය කෙරුවා.

පිරිමියෙක් නිසා

සිරිමලී චිත්‍රපටයේ තවත් නවක නිළියක් වන රීටා කාමලින් ප්‍රනාන්දු උප ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවා. ජොසපින් නමින් හඳුන්වන එය චිත්‍රපට කතාව පුරාවට විහිදෙන සටන්කාමී චරිතයක්. මේ චරිතය ඉස්මතු කරන්න ඇය කළු රෙදි ඇස් වැසුමක් පැළද කසයක් අතින් රැගෙන සිටින පෝස්ටරයක් පවා නිර්මාණය කළා මට මතකයි.

වර්තමානයේ රීටා තම්පෝ නමින් රොබින් තම්පෝගේ බිරිඳ ලෙසින් හඳුන්වා දිය හැකි ඇය ඊට පෙර සූරයා චිත්‍රපටයේ හියුගෝ ප්‍රනාන්දුගේ දියණිය ලෙස රඟපා තිබෙන බවත් ඒ කාලේ කව්දෝ මට කිව්වා. නමුත් සිරිමලී චිත්‍රපටයේ ඉඳහිට විකාශය කරන රූපවාහිනී පිටපතේ රීටා කාමලින්ගේ සියලුම දර්ශන ඉවත්කොට තිබීම සාපරාධයක්. මේ හින්දා නාමාවලියෙන් මගේ නම පවා කැපී ගොස් තිබෙනවා.

සිරිමලී චිත්‍රපට රංගනය වෙනුවෙන් ඔබ කොපමණ මුදලක් අය කළාද?

චිත්‍රපටවල රඟපාන නළු නිළියන්ට ගෙවන මුදල් ගැන මට වැටහීමක් කොහොත්ම තිබුණේ නැහැ. මාසික වැටුපක් නැත්නම් පොකට් මනි විදියට රුපියල් 50 ලැබුණා. මට හා මවට ඉන්දියාවට යෑමේ ඒමේ ගුවන් ටිකට් පත්, නැවතීමේ පහසුකම්, ආහාරපාන නිෂ්පාදන සමාගමෙන් සැපයුවා.

ඔබට තෙවන චිත්‍රපටය සඳහා ආරාධනා ලැබුණේ කොහොමද?

පිරිමියෙක් නිසා මගේ තෙවන හා අවසාන චිත්‍රපටයයි. මීට මාව තෝරා ගත්තේ ඊ. ඒ. පී. එදිරිසිංහ හා කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා. මෙය ඊ. ඒ. පී. සමාගමේ ප්‍රථම නිෂ්පාදනය. අධ්‍යක්ෂණය කළේ ටී. සෝමසේකරන්. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ඔහුට අධ්‍යක්ෂණයෙන් සහාය වුණා. මෙය සම අධ්‍යක්ෂණයක් ද කියලා කියන්න මම දන්නේ නැහැ. ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතයට මුලින්ම තෝරා ගත් චිත්‍රපටයත් මේකයි. ඔහුගේ පෙම්වතිය මම. අනිත් චරිතයන්ට ප්ලොරිඩා ජයලත්, ඩේවිඩ් ධර්මකීර්ති, උදුලා දාබරේ, ජෝ අබේවික්‍රම, කිංස්ලි රාජපක්ෂ, එල්. එම්. පෙරේරා දායක වුණා. පිරිමියෙක් නිසා චිත්‍රපටය සම්පූර්ණයෙන් රූපගත කළේ කිරුළපනේ සිලෝන් ස්ටුඩියෝස් එකේ.

ඔබ සිනමාවෙන් සමු ගැනීමට තීරණය කළේ මක්නිසාද?

සිනමාවේ අරම්භක යුගයේ තිබුණේ හැකියාව පමණක් නොවෙයි ලිංගිකත්වය සූරාකෑමේ ක්‍රියාවලියක්. විශේෂයෙන් නවකයින් ඊට මුහුණපෑවා. මේ අනුව චිත්‍රපට දෙකකට සම්බන්ධවීමෙන්ම මට සිනමා රංගනය තිරසාර වෘත්තියක් නොවන බව පසක් වුණා. මගේ මවට මම ගොඩාක් ආදරෙයි. ඇය රැක බලා ගැනීම මගේ යුතුකමක් වුණා. ඒ වගේම ඇස් පෙනීම හොඳටම දුර්වල සහෝදරයකුගෙත් ආවතේවකම් කරන්න මට පැවරුණා. ඇත්තම කියනවා නම් 1980 ඔක්තෝබර් 11 වැනිදා මව මිය යන තුරු මට විවාහයක් ගැන සිතන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වෙන කොට මගේ තුරුණු විය ගෙවිලා. දැන් ඉතින් මේ ඉතුරු ටික කාලයත් අවිවාහකව ගත වෙලා යයි.

ඔබ තනි පංගලමේ මේ ගෙවන ජීවිතය කටුක නැද්ද?

හැම දෙයක්ම සිදු වෙන්නේ කර්ම විපාකය අනුව. මම තට්ට තනියම මේ කාමර කෑල්ලේ ජීවත් වෙන්නේ වෙන ඉන්න තැනක් නැති හන්දා. මේකටත් මාසෙකට රුපියල් 6000 ක් ගෙවන්න ඕනේ. ලයිට්, වතුර, දුරකථන බිල් ඊට අමතරව. එම මුදල් නම් එංගලන්තයේ පදිංචි අක්කගේ දුව එවනවා. කෑම, බීම, බෙහෙත්වලට චිත්‍රපට සංස්ථාවෙන් මට මාසිකව ලැබෙන රුපියල් 2000 කොහෙත්ම මදි. මෙබඳු දුක්ඛිත ජීවිතයක් ගත කරන වෙන කිසිම නිළියක් තවත් නැතිව ඇති. ඒත් මක්කරන්නද?

ආහාර පිස ගැනීමේ කාර්යයේ සිට ඔබට අවැසි හැම කටයුත්තක්ම ඔබ තනියෙන් ඉටු කර ගන්නවා නේද?

මට අත්උදව්වට කිසිම කෙනෙක් නැහැ. අසනීප තත්ත්වය උග්‍ර වුණ අවස්ථාවල විස්කෝතු වගේ සුළු ආහාරයක් ගන්නවා. ඇත්තම කියනවා නම් අද මම ඉන්නේ අසනීප ගතියෙන්. ඒ නිසා මට ඔබට තේ එකක්වත් හදලා දෙන්න අපහසුයි.

අපි තේ බිව්වයි කියලා සිතමු. දැන් කියන්න බලන්න ඔබේ මතු බලාපොරොත්තුව?

සිහින සිතුවිලි නැහැ. පිනක් දහමක් කරගෙන අවසන් කාලය ගෙවනවා. කනගාටුව මටම කියලා නිවහනක් නැතිකමයි. මේ රටේ ආර්. ප්‍රේමදාසගේ පටන් වත්මන් ජනාධිපතිතුමා දක්වා මගේ දුක්ගැනවිල්ල ලිඛිතව ඉදිරිපත් කෙරුවා. සුබදායක ප්‍රතිචාරයක් කාගෙන්වත් ලැබිලා නැහැ. අතීතයේ සිනමාව වෙනුවෙන් දරදිය ඇද්ද සිනමා ශිල්පීන් නඟා සිටුවන්න කවුරුත් නැහැ.

කඳුළක් උනන්න තරම් සංවේදී හදවත් ඇති අපට දැන් ඔබේ අන්ත අසරණ තත්ත්වය වැටහිලා තිබෙන මේ අවස්ථාවේ අවසාන වශයෙන් දිවයින පුුරා විසිරී සිටින සරසවිය පාඨකයින් වෙනුවෙන් ලිපිනය හා දුරකථන අංකය කියන්න පුළුවන්ද?

අංක 567/2, ඇරැව්වල, පන්නිපිටිය. ඒ කියන්නේ මහරගම – පිළියන්දල පාරේ වෙරළුගස් හන්දියට නුදුරින් මම ඉන්නේ. දුරකථන අංකය 011- 5648633.