වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සාන සිහිනයේ චාපා නොවුණා නම් මම අද මෙතන නැහැ

වස්සාන සිහිනයේ චාපා නොවුණා නම් මම අද මෙතන නැහැ

රැයකින් ජනප්‍රිය තරුවක් වූ ඩිනක්ෂි ප්‍රියසාද්

ඇය දැන් සම අධ්‍යක්ෂවරියක්

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මෙරට කලා ක්ෂේත්‍රයට දායාද කළ අනගි සම්පත් තුනකි. ඒ ඩිනක්ෂි, ශේෂාද්‍රි සහ ෂනුද්‍රිය. වත්මන වනවිට මේ තුන් සොහොයුරියන් අප රංගන කරළියට නැතිවම බැරි චරිත තුනක් වී හමාරය. සුරූපී බවින් අගතැන්පත් ඔවුන් අතරින් ඩිනක්ෂි ප්‍රියසාද් වැඩිමහල් තැනැත්තියයි.

රංගනයෙන් මෙන්ම නිවේදනයෙන් ද පෙළහර පාමින් ප්‍රේක්ෂකයන් රැසකගේ ආකර්ෂණයට පාත්‍ර වූ ඇය චාමර පීරිස්ගේ පියවි හි තරුෂාගේ චරිත නිරූපණයෙන් තව තවත් ජනප්‍රියත්වයට පත් වූවාය. මේ දිනවල යාය 4 ටෙලි සිතුවමේ පාරමීට පණ පොවමින් ඔබ හමුවන ඩිනක්ෂි තම පියාගේ අනුදැනුම යටතේ අධ්‍යක්ෂවරියකගේ භූමිකාව සමඟින් නිර්මාණකරණයේ යෙදීමට ද බලාපොරොත්තුවෙන් සිටින්නීය.

උදා වූ වසරේ සරසවිය දෙවැනි කලාපයේ මේ ඉඩකඩ වෙන් වන්නේ ඇයටය.

ඉතින් ඩිනක්ෂි? කොහොමද අලුත් අවුරුද්ද? මොන විදිහට ද අලුත් අවුරුද්ද ගෙවන්න ප්ලෑන් කළේ?

මුලින්ම මම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් යැයි ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්ද හොඳයි. සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා. මං සාමාන්‍යයෙන් වසරක් ආරම්භයේදී ඒ වසර ගෙවන්නේ කොහොමද කියලා සැලසුම් කරන කෙනෙක් නෙවෙයි. අද හෙට කරන වැඩක් හොඳින් කරනවා. අනික අපි හිතන දේවල් නොවෙන්නත් පුළුවන්නේ.

ඒ කියන්නේ හිතපු නැති දේවල් ද පහුගිය අවුරුද්දේ වුණේ?

නැත්නං, මම හීනෙකින්වත් හිතුවේ නැහැ මට සම්මානයක් ලැබෙයි කියලා. සුමති සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළිය හැටියටයි මට ඒ සම්මානය ලැබුණේ. ඒ වගේම පියවි නාට්‍යයේ මං කළ චරිතය. එවැන්නක් රඟපාන්න ලැබීම මං වැනි අයකුට සුවිශේෂියි. මොකද තරුෂා කියන්නේ බොලඳ චරිතයක් නොවන නිසා. මේ වගේ නොහිතන දේ වෙන හින්දා අවුරුද්දක් සැලසුම් කරන එක මට නම් නිෂ්ඵල වැඩක්.

අපි දැන් පාරමී ගාවට එමු?

යාය 4 ත් පියවි අධ්‍යක්ෂණය කළ චාමර අයියගෙ. ඔහුගේ නාට්‍යයත් ඒවා තුළ ජීවත්වන චරිතත් හරිම අපූරුයි. පාරමිත් ඒ වගෙයි. ඇය තමයි ඒ ගමේ වෛද්‍ය විද්‍යාලයකට ගිය එකම තැනැත්තිය. තරුෂා වගේම මට හොඳින් දැනිච්ච චරිතයක් තමයි පාරමී.

යාය 4 හි ඔබ ආසාවෙන්ම රඟපෑ දර්ශනය පාරමී කෝච්චියෙන් ඇවිත් බහින එකලු. ඇත්තද ඒ කතාව?

ඔව්, ඔව්, මං කෝච්චියේ යන්න හරිම ආසයි. දෙතුන් වතාවකට වඩා කෝච්චියේ ගිහින් නැහැ. ඒක තමයි හේතුව ආසම දර්ශනය ඒක වෙන්න.

සුනෙත් මාලිංග ලොකුහේවාගේ අධ්‍යක්ෂණය යටතේ චංචල රේඛා සිනමා නිමැවුම ටෙලි නාට්‍යයක් බවට පත්වුණා. එහි දං චූටි ඔබ?

චිත්‍රපට ටෙලි නාට්‍ය කරන රැල්ලක් ආවා. එහෙම තැනු ටෙලි නාට්‍යවලට ගොඩක් විරෝධතා එල්ල වුණා. එහෙම තත්ත්වයක් තියෙද්දියි සුනෙත් අයියා චංචල රේඛා ටෙලි නාට්‍යයක් කරන්න හැදුවේ. දං චූටි චරිතයට මට ඇරැයුමක් ලැබුණා. ඒත් මගේ ප්‍රියතාවයක් තිබුණේ නැති තරම්. ඊට පස්සේ චිත්‍රපටයේ කතා රචක සෝමපාල ලීලානන්ද මහත්මයා තාත්තා හරහා මාව දං චූටි හැටියට දෙන්නම කියලා බල කරලා. තාත්තා මට කරුණු පැහැදිලි කිරීමක් කොට ඒ චරිතය පිළිබඳ ආසාවක් ඇති කළා. එවන් චරිතයක් කරන්න ලැබීම සතුටක්. ඒත් මං මුලදි අකමැති වුණේ ප්‍රතිනිර්මිත ටෙලි නාට්‍යවලට පමණක් නොව ඒවායේ නළු නිළියන්ටත් විවේචන ආවානේ, ඒකයි. හැබැයි බනින අය මොන දේ කළත් බනිනවා. ඒක පසුවට තේරුම් ගියා.

ඩිනක්ෂි දැන් සම අධ්‍යක්ෂවරියක්?

තාත්තා නිසා තමයි ඒ අවස්ථාවත් උදා වුණේ. ඔහුගේ නවතම අධ්‍යක්ෂණය වූ ‘ඩබල් ට්‍රබල්’ හි සම අධ්‍යක්ෂවරිය මං. එහි සම්පූර්ණ ගීතයක් රූගත කරන්නත් තාත්තා ඉඩ හදලා දුන්නා. පුංචි කාලේ මට වුවමනා වුණේ රඟපාන්න නෙවෙයි. නංගිලා දෙන්නටයි නිළියන් වෙන්න උනන්දුව තිබුණේ. මං ගොඩක් ආස කළේ කැමරාව පිටුපස ඉඳන් කරන දේවල් ගැන ඉගෙන ගන්න. විශේෂයෙන් නිර්මාණයක ටෙක්නිකල් පැත්තට ආසයි. ඒක තාත්තා දන්නවා. ඔහු මට නියමිත කාලයට අවස්ථාව දුන්නා. මේවා ගැන ටික ටික ඉගෙන ගෙන හැකි ඉක්මනට නිර්මාණයක් අධ්‍යක්ෂණය කරනවා.

නංගිලා දෙන්නා ගාව නැති ඩිනක්ෂි ගාව විතරක් තියෙන ගතිගුණය මොකක්ද?

ඉතාම ඉක්මනින් මිනිස්සුන්ව විශ්වාස කිරීම. ඇත්තටම ඒක නරක ගතිගුණයක්. ඉක්මනට වෙනස් කර ගන්න ඕනේ.

පොඩි නංගි ෂනුද්‍රි ඔබත් එක්ක වැඩිය හිතවත් නැතිලු. ඇයි ඒ?

මං එයාට සැර කරනවා. මොකද දන්නවද, ඉගෙන ගන්න වැඩ පැත්තකින් දාලා රඟපාන්න, සිංදු කියන්නයි හදන නිසා. ශේෂාද්‍රිත් එක්කයි එයා යාළු. දෙන්නා එකතු වෙලා තමයි කරන හොර වැඩ ඔක්කොම කරන්නේ.

මෙගා නාට්‍ය නැතිනම් ඩිනක්ෂි ප්‍රියසාද් නම් වූ රංගන ශිල්පිණිය බිහි නොවෙන්න ඉඩ තිබුණා?

මෙගා නාට්‍ය නිසා නෙවෙයි, වස්සාන සිහිනය නාට්‍යය නැතිනම් මම අද මෙතන නැහැ. ජානක සිරිවර්ධන මහත්මා මට එහි චාපා වන්නට ඇරැයුම් කළා. එතැනින් පටන් ගත් ගමන තමයි මේ තවමත් යන්නේ.

ඔබ දර්ශන තලවලට යන්නේ මව හෝ පියා සමඟ. ඔවුන් සිටිද්දී පෙම් ජවනිකා රඟපාන්න අපහසුතාවක් දැනෙන්නේ නැතිද?

ආපෝ . . . එයාලව මං ලොකේෂන් එකෙන් එළියට එළවනවා ලව් සීන් ෂූට් කරද්දී. කොහොම හරි මගේ හැටි දන්න නිසා ඔවුන් ඩිරෙක්ටර් කට් කියනකම් මට පෙනෙන්නේ නැති තැනකට වෙලා ඉන්නවා. ටී. වී. එකේ බලද්දී නම් අපහසුතාවයක් නැහැ.

ඩිනක්ෂිට දැනට විවාහ යෝජනා කීයක් විතර ඇවිත් තියෙනවද?

වැඩිය නෑ අනේ. ආව ඒවත් අම්මගෙනුයි අහන්නේ දුව ගැන. මං තවම ඉගෙන ගන්නවා. එයින් අනතුරුවයි විවාහයක් ගැන හිතන්නේ.

ඔබ ගැන ක්ෂේත්‍රයේ අය වැඩිපුරම කියන කතාව මොකක්ද?

මං හරි හොඳයි කියනවා.