වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ගංවතුරෙන් උපන් බොම්බායේ සිනමාව

ගංවතුරෙන් උපන් බොම්බායේ සිනමාව

ඉන්දියානු සිනමාවේ කතාව 02

පාල්කේ විසින් ඉන්දියාවේ මුල්ම චිත්‍රපටය වූ රාජා හරිශ්චන්ද්‍ර නිර්මාණය කරන ලද්දේ 1913 වසරේ වුව ද ඉන්දියාවේ චිත්‍රපට කතාව තවත් අතීතයට ගෙනා යුතු වේ. ඒ රාජා හරිශ්චන්ද්‍ර යනු ඕපාපාතික බිහිවීමක් නොවන බැවිනි.එබැවින් මේ කතාව ආරම්භ කළ යුත්තේ 1896 වසරෙනි.

ඒ රාජා හරිශ්චන්ද්‍ර නිපදවන්නට කලකට පෙර ය.මේ වනවිට ඉන්දියාව පැවැතියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් හැටියටය. ඒ දවස් වල එරට අගනුවරවූයේ කල්කටාවයි.

එය වත්මනෙහි කොල්කටාවයි.එවකට බ්‍රිතාන්‍යයේ කිරුළ පළන් වික්ටෝරියා රුජනගේ නියෝජිතයා ලෙස එල්ජින් සාමිවරයා කල්කටාවට පැමිණියේ ද මේ වසෙර්ය.එපමනක් නොවේ.මේ ජූලි මාසයේ මුල් සතියේ බොම්බායට මහ වැස්සක් ඇද හැළිණ.

එයින් ඇතිවූ ගංවතුරෙන් විසි දහසකටත් වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගියහ. කල්කටාවේ ජලය අපවිත්‍රවීමෙන් ද මහත් කලබැගෑනියක් ඇති වූයේ මේ දවස් වලය.කෙසේ වෙතත් මේ දවස්වල ප්‍රංශයේ සිට ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කළ නෞකාවක් අයහපත් කාලගුණය නිසාවෙන් බොම්බායට පැමිණියේ අහම්බයක් හැටියටය.

එහි ගමන් කළ එක් මගියෙක්වූයේ මෝරියස් සෙස්ටියර්ය. සෙස්ටියර් සිනමාව ලෝකයට හඳුන්වා දුන් ප්‍රංශයේ ලුමියේ සහෝදරයන්ගේ වෙළඳ නියෝජිතයා විය. ලුමියෙර් සහෝදරවරුන් සිනමාව ලොවට හඳුන්වා දුන්නේ 1895 වසරේ දෙසැම්බර් 28 වැනි දිනය.

පුදුමයකට මෙන් ලුමියේවරු සිය මුල්ම චිත්‍රපට දැක්ම පැවැත්වූ ප්‍රංශයේ ග්‍රෑන්ඩ් කැෆේ හෝටලයේ අදාල ශාලාවේ නම ද ඉන්ඩියන් නම් විය. කෙසේ වෙතත් ලුමියේ වරු සිය සිනමාව ලොව පුරා හදුන්වා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රි යාත්මක කළ ද බොම්බායේ එහි මුල් පියවර ට ඉන්දියාව ඇතුළත් නොවීය.එබැවින් සෙස්ටියර් ගමන් කළේ ඕස්ට්‍රේලියාවට වුවත් නරක කාලගුණය හරහට හිටි බැවින් ඔහු ඉන්දියාවට ගොඩ බැස්සේය.

දවසකින් දෙකකින් කාලගුණය හොඳ අතට හැරෙතැයි විශ්වාස කළ ද එය එසේ නොවූයෙන් නිකම් ඉන්න එකේ වැඩක් කරන්නට සෙස්ටියර් ට සිතක් පහළ වූයේය.ජූලි 07 වැනි දින ඔහු ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ දැන්වීමක් පළ කළේය. ඒ සියවසේ මහා පුදුමය වූ ජීවමාන ඡායාරූප දැක්ම නරඹන්නට වොට්සන් හෝටලයට පැමිණෙන ලෙසටය.

එවකට බොම්බායේ එනම් වර්තමානයේ මුම්බායි හි පැවැති මහ හෝටලයක් වූ වොට්සන් හෝටලය පිළිබඳ සුප්‍රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන් විසින් අපූරු සටහනක් තබා ඇත්තේය.ඒ ගොඩනැගිල්ල යෝධ යකඩ කුරුළු කූඩුවක් හැටියට හඳුන්වා දෙමිනි. ඒ දැවැන්ත වානේ කඳන් සහිත ව තනන ලද අපූරු ගොඩනැගිලි සැලැස්ම නිසා එය එකල චිරප්‍රසිද්ධ ව තිබූ හෙයිනි.

වොට්සන් හෝටලයේ පැවැති චිත්‍රපට දැක්මට චිත්‍රපට අංග 6ක් ඇතුළත් ව තිබිණ.ඒ අතර තිබුණු දුම්රිය පළට දුම්රියක් පැමිණීම,මුහුදේ නෑම සහ කම්හලෙන් පිටවීම යන චිත්‍රපට ත්‍රිත්වයම එයට මාස කිහිපයකට පෙර ලුමියේලා විසින් ලොව මුල්ම චිත්‍රපට දැක්ම සඳහා එක් කළ චිත්‍රපට වීම විශේෂයකි. මේ දර්ශන පැවැත්වූයේ පස්වරු 6ට 7ට 9 සහ 10 ටය.ඒ අනුව චිත්‍රපට දර්ශණ වාරයක් පැයකට අඩුවූයේය.ප්‍රක්ශේපණ යන්ත්‍රය අතින් ක්‍රියාකරවන්නක් වූ අතර එහි හඬ පටයක් නොවීය.

අය කරන ලද්දේ රුපියලකි.එහෙත් මුල් දර්ශන වාරයට වැස්ස හෙනහුරාට හිටියේය.පුදුමය නම් ලොව මුල්ම සිනමා දැක්ම දවසේ ද ලුම්යේලා ද මේ අතවරයට මුහුණ පෑමය.එදා මේ ආකාරයෙන් අනෝරාවට වසින්නට පටන් ගත්තේ හිම කැටිය.එහෙත් සෙසිට්සර් දෙවැනි දවසේ ද ලොව පුදුම දැක්ම පැවැත්වූයේය.

එය මුල් දවසට වඩා සාර්තක වූයේය.මේ පිළිබද අපූරු වාර්තාවක් එම ජූලි 9 වැනි දින එනම් පසු දින බොම්බේ ගැසට් පුවත්පතෙහි පළ විය.එය සැබැවින්ම පුදුමාකාර දර්ශණයක් ලෙස එහි ලේඛකයා විසින් හඳුන්වා දී ඇත්තේය.අනතුරුව වොට්සන් හෝටලයේ චිත්‍රපට දැක්ම සතියක්ම පැවැත්වීමට සෙස්ටියර් සමත්වූයේය.

එය දවසින් දවස සාර්ථක වූයේය. වැස්ස තුරල් වුවද ඕස්ට්‍රේලියාවට යෑම තවත් ටික දවසකට කල් දැමූ හෙතෙම පැරීසියේ ලුමියේ ලාට පණිවිඩයක් යවා තවත් ටික දවසක් බොම්බායේ රුඳී සිටියේය.?එන්න එන්නම චිත්‍රපට නරඹන්නට එන සෙනග වැඩි විය.

කතාවක් නැතත් දුවන පනින රූප පෙළ ඉන්දියානුවන්ගේ සිත් සතන් සොරා ගෙන තිබිණ.දිනපතාම පුවත්පත් දැන්වීම් පළ විය. ප්‍රතිචාර එන්න එන්නම වැඩි විය.ජූලි 14 වැනි දින එය වොට්සන් හෝටලයෙන් නවල්ටි ශාලාවට මාරු විය.එය වඩා ඉඩ කඩ ඇති රංග ශාලාවක් විය.එහිදි වරකට පෙන්වන ලද චිත්‍රපට සංඛ්‍යාව පළමුව 12 ක්වූ අතර ඉල්ලුම වැඩිවත්ම එය 24 දක්වා වර්ධනය කළේ ප්‍රේක්ෂක ආදරය වැඩි කිරීමටත් එක්කය.

ලංඩන් කෙල්ලන්ගේ නැටුම්,හයිඩ් පාර්ක්,පොඩි එකාගේ කෑම වේල මේ අලුතෙන් එක් වූ චිත්‍රපට අතර වඩා ජනප්‍රිය වූයේය. මේ කියන දවස්වල සිනමාවේ ආරම්භය බැවින් ඒවායේ කතාවක් නැත.

චිත්‍රපට රීලයකට මොනවා හෝ සිදුවීමක් රූප ගත වී නම් එයම චිත්‍රපටයක් විය. රීලයක් වැඩිම වුවහොත් මිනිත්තු දහයක් දිගය.ඉල්ලුම වැඩිවද්දී ප්‍රවේශ පත්‍රයේ මිළ ගණන් ද වෙනස් වූයේ ශාලාවේ ආසන පැනවීමේ ක්‍රමය අනුවය. අවම මිළ ඇනා හතරක් වූ අතර වැඩිම මිළ රුපියල් දෙකකි.

වැඩේ කොපමණ දුරට අල්ලලා ගියා ද කිව හොත් චිත්‍රපට දර්ශන දිනකට වාර දෙකකට පැවැත්වූ අතර එක් දර්ශනයක් පැය දෙක හමාරක් පමන විය.පර්දාවෙන් හිස වසා සිටින කාන්තාවන් සදහා ම නවල්ටි ශාලාවේ වෙනම බොක්ස් කාමර පහසුකම් ඇති කෙරිණ.

එපමනක් නොව සෙස්ටියර් තවත් වැඩක් ද සිය චිත්‍රපට දැක්මේ නවතාවය සදහා සිදු කළේය.ඒ ඇතැම් රිල සඳහා පසුබිම් සංගීතයක් නිර්මාණ කිරීමයි. ඒ අනුව බොම්බායේ කොලබා පෙදෙසේ ශාන්ත ජෝන් දෙව් මැදුරේ සංගීතඥයා වූ එෆ්.සීමර් ඩෝව් කුණාටු මුහුද, ඩර්බි තරගය වැනි චිත්‍රපට රීල සදහා සංගීතය සැපයීමට එක් විය.

ජූලි 27 වැනි දින ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කරන අන්දමට මේ මාහැඟි දර්ශණයන් දුටු විටෙක භීතියෙන් ද තවත් විටෙක ශෝකයෙන් ද ඇළලී වූ වග සඳහන් කරයි.එමෙන්ම ඔවුහු විටෙක හාස්‍යයෙන් ද මත්ව ගියහ.

ජනතාව ඉහලට ඇද ගත් හුස්ම පහලට හෙළනු බැරිව බලා සිටිය වග මේ පත්තරයේ මනාව විස්තර කර ඇත්තේය.බොහෝ ගුරුවරුන් ද සිසුන්ද විද්‍යර්ථින් ද සියවසේ පුදුමය නැරඹිමට පෙළ ගැසී සිටියහ.

කෙසේ හෝ වේවා 1896 වසරේ අගෝස්තු 15 වැනි දින චිත්‍රපට ප්‍රදර්ශනය අවසන් විය. එයින් පසු මෝරියස් සෙස්ටියර් සිය බිරින්දෑ මාරි ලුයිස් සමග ඕස්ට්‍රේලියාවට යන්නට නැව් නැංගේය.එහෙත් ඔහු මහා වැසි සමයකට පින්සිද්ධ වන්නට ලෝකයේ සිනමා රාජධානියකට මුල් අඩිතාලම දැමූ වග නොදත්තේය.