වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ජනප්‍රිය නළුවා වෙන්න  මං ආස නැහැ

ජනප්‍රිය නළුවා වෙන්න  මං ආස නැහැ

කලකට පසු රොෂාන් රවීන්ද්‍ර හමු වී

ඔහු පරිපූර්ණ නළුවකුගේ සංකේතයක් බඳුය. තමන්ට ලැබෙන චරිතය තුළ ජීවත්වන්නා වූ රංගන ශිල්පීන් අතලොස්සෙහි හෙතෙම පෙරමුණේ සිටියි. මම ඔහුට පුංචි තිරයේ රස්තියාදුකාරයා හැටියට විරුදාවලියක් තබමි. ඒ ටෙලි නාට්‍යයන්හි ඔහු වැඩිපුරම පණ පොවනු ලැබුවේ නොහික්මුණු චරිත බැවිනි.

කැමරාව ඉදිරියේ රංගනයේ අපුර්වත්වය ප්‍රකාශ කොට විශිෂ්ටත්වයට පත් මේ සොඳුරු රංගනවේදියාට සම්මාන උළෙලයන්හී සම්මානයන්ට නිර්දේශ වීම දැන් සාමාන්‍ය තත්ත්වයක් බව කිව හැකිය.

රොෂාන් රවීන්ද්‍ර.

ඔහු ගැන ලියූ පූර්විකාව තවත් දීර්ඝ කිරීම අනවශ්‍යය. මෙතැන් සිට කතාබහ කිරීම ප්‍රමාණවත් යැයි මට සිතේ.

රොෂාන්, සෑහෙන්න කාලයකින් අනතුරුව ඔබ සිනමාපටයකට දායක වුණා. ඒ වසන්ත මොරගොඩගේ මවුස්?

චිත්‍රපට සඳහා ලැබුණු ආරාධනා එමටයි. ඒත් මගේ ප්‍රතිපත්ති ඇතුළේ ඒවාට සම්බන්ධවන්න මට බැරි වුණා. ඒත් මවුස්හි පිටපත කියවපුවාම එම චරිතය තුළ ඇති අන්තර්ගතයට මං ප්‍රිය කළා. සීමිත දෙබස් කාණ්ඩ වුණත් ඒවා මිනිස්සුන්ට දැණේවි යැයි මට විශ්වාසයක් ගොඩ නැගුණා. ඒක දැන් සත්‍ය වෙලා තියනවා. ඒ චරිතය ගැන යමක් කතා කළොත්, ඔහු ජීවිතය ජීවත්කරවන්න උත්සාහ ගන්නා මහ මඟ දුක්විදින තැනැත්තෙක්. ඔහු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සූකිරි සමඟ මිත්‍ර වෙලා ඔහුගේ අරමුණ කරා යන්න උදව් කරනවා. සූකිරිගේ අවශ්‍යතාවයන් ඔහුගේ මවුපියන්ටත් වඩා මේ පුද්ගලයා හඳුනා ගන්නවා. අවසානයේ සූකිරිගේ ජයග්‍රහණය පිටුපස සිටින්නේ ඔහු. මෙහි විශේෂය නම් එම චරිතයේ නමක් නොමැතිවීම.

මවුස් නරඹද්දී එකී චරිතයෙහි ඔබේ රංගනයන් පිළිබඳ කෙබඳු විනිශ්චයක් ද ගත්තේ?

ඇත්තම කිව්වොත්, සමස්ථ චිත්‍රපටයම මීට වඩා හොඳට කරන්න තිබ්බා. එහෙව් තත්ත්වයක් මත මම මගේ චරිතයට මනා සාධාරණයක් ඉටු කළා කියලා මට දැනෙන්නේ නැහැ. වසන්ත අයියට ඒ තිබුණු බජට් එකත් එක්ක සහ කාල වේලාව ඇතුළේ මෙවන් මට්ටමකට හෝ චිත්‍රපටය නිර්මාණය වීම ගැන සතුටුයි. අනික මේක එයාගේ පළමු සිනමාපටයනේ. ඒත් තව ටිකක් මහන්සි වුණා නම් යම්තාක් මගේ චරිතය ගැන වුණත් තෘප්තිමත් වෙන්න තිබුණා.

වසන්ත මොරගොඩ ලණු දෙන්න සෑහෙන්න ප්‍රසිද්ධයි. මවුස් රූගත කරද්දී ඔබ එවන් තත්ත්වයන්ට මුහුණ දුන්නේ නැතිද?

දෙයියන්ගේ පිහිටෙන් මට නම් වසන්ත අයියා ලණු දුන්නේ නැහැ. මං හැර බොහෝ දෙනෙක් වසන්තගේ ලණු කෑවා. හැබැයි ඒවා හිනාවෙන්න පුළුවන් ඒවා මිසක කාටවත් හානිවෙන ලණු නෙවෙයි.

සාමාන්‍යයෙන් ඔබට චරිතයක් ලැබුණම මොන වගේ තීන්දු තීරණ මත ද එය භාර ගන්නේ?

පළමුව බලන්නේ ගෙවන මුදලට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්ද කියන එක. ඒකට මං තිර පිටපත හොඳට කියවනවා. මං කොපමණ වෙලාවක් නිර්මාණයේ ඉන්නවද යන්න මට වැදගත් නැහැ. නිරූපණය කරන්න තියෙන්නේ තත්පර ගණනක දර්ශනයක් වුව ද යමක් කරන්න ඇත්නම් එය මට ප්‍රමාණවත්. ඒ වගේම මෙගා නොවුණත් කෙටස් සීයක නාට්‍යයක් නම් භාර ගන්නේ නැහැ.

ඒ මොකද?

ඒකට හේතු කිහිපයක්ම තියනවා. කොටස් සීයක නාට්‍යයක් කරද්දී එකම තැන එකම පිරිසක් එක්ක සෑහෙන්න කාලයක් වැඩ කරන්න වෙනවා. මට එහෙම එක තැන ඉන්න අමාරුයි. අනික ඔය වගේ නාට්‍යයක රඟපාද්දී නිර්මාණය කෙරෙමින් පවතිද්දීම හිතුමනාපෙට චරිත මාරුවනවා. ඒක හරිම අතාත්ත්විකයි. කොටස් 30 – 40 කියන නාට්‍යයවලටයි මං ආස. ඒවාවල එකී තත්ත්වයන් නැහැ.

රොෂාන් රවීන්ද්‍ර කියන්නේ පැහැදිලිවම උඩු ගං බලා යාත්‍රා කරන කලාකරුවෙක්. ඔබ අතින් නිෂ්පාදනය වුණ රස්තියාදුකාරයා සහ කඩදොර වැනි නාට්‍යයන්ගෙන් ඒ බව තවත් පසක් වුණා. නමුත් අවසානේ සිද්ධ වුණේ එම නිර්මාණ දෙක නිසා ඔබ එෆ්. එන්. ජී. නම් වූ ආයතනයට ණයකාරයකු වීමයි?

ආත්ම තෘප්තිය උදෙසා නිර්මාණ කරන කලාකරුවන්ගේ තත්ත්වය ඕකයි. ඉඩම් පවා උකස් කරමිනුයි මං නිෂ්පාදනයට අත ගැහුවේ. රස්තියාදුකාරයා සහ කඩදොර නොකොට රැල්ලට නාට්‍ය කළා නම් රොෂාන් රවීන්ද්‍ර නම් නිර්මාණකරුවා අද වන විට මිය ගිහින්.

මගේ නිෂ්පාදනයන් දෙකම සම්මාන උළෙලයන් කිහිපයකදීම විවිධ අංශ යටතේ සම්මානයට පාත්‍ර වුණා. තව කාලාන්තරයකට පසුව වුණත් වැලලෙන්නේ නැති ඒ නිර්මාණ ගැන මිනිස්සු කතා කරාවි. අගය කරාවි.

තෙවැනි නිෂ්පාදනයක් කෙරෙහි පුංචි හෝ බලාපොරොත්තුවක් නැතිද ඔබට?

නිර්මාණ කරන එක නවත්වන්නේ නැහැ මං ණයකාරයකු වුණත්. ඒත නිසා තෙවැන්නට අත ගහන්න දැන් සැලසුම් සකස් කරමින් පවතිනවා. හැබැයි ඒක මගේම අධ්‍යක්ෂණයක් වේවි.

ඇයි පළමු හෝ දෙවැනි නිෂ්පාදනයන් ඔබ අධ්‍යක්ෂණය නොකළේ?

කෙටියෙන්ම කිව්වොත් ඒවායින් අත්දැකීම් එකතුªකර ගන්නයි මට වුවමනා වුණේ. වසර පහළොවකටත් වඩා වැඩි කාලයක් අංග රචනා සහායකයකු, සහාය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ වෙනත් අංශ යටතේ නිර්මාණයන්ට දායක වුණා. මේ වන තෙක් කළේ දැනුම එක්රැස් කරගන්න එක. දැන් මට අවුරුදු තිස් පහයි. අධ්‍යක්ෂණයට හොඳම කාලයයි මේ.

පසුගිය කාලයේ පැවති සම්මාන උළෙලයන්හී හොඳම යන අංශය යටතේ සම්මානයන්ට නිර්දේශ වුණත් ජනප්‍රිය නළුවන් සිටින ලැයිස්තුවේ රොෂාන් අහලකවත් හිටියේ නැහැ?

එහෙම හොඳයි. ජනප්‍රිය නළුවා වන්න මං ආසත් නැහැ. ජනප්‍රියත්වය ඕනෑවට වඩා ලැබුණාම වෙන වෙන අයට වුවමනා විදිහට හැසිරෙන්න සිද්ධ වෙනවා. මං සූදානම් නැහැ එහෙම වෙන්න. මේ ඉන්න විදිහ හොඳයි.

හොඳම නළුවාට ජනප්‍රිය නළුවා වන්නට නොහැකිද?

ඉතිහාසයේ ඒ වගේ අවස්ථා හරිම කලාතුරකින් සිද්ධ වුණේ. ඔය අංශ දෙක නිර්ණය කරන්නේ දෙපිරිසක් නිසා එක් අයකුට හිමිවන්න තියෙන අවස්ථාව අඩුයි.

ඔබ රංගනයට අවතීර්ණ වූ මුල් යුගයේ චරිත මැවූ ආදරණීය වස්සානය සහ සමනලයාණෝ ටෙලි නාට්‍යය වැනි නිර්මාණයන්ගෙන් පසුකාලීනව බැහැර වුණා යැයි පැවසුවොත්?

ඒකට මට මෙහෙම පිළිතුරක් දෙන්න පුළුවන්. බැහැරවීමක් නෙවෙයි, මට ලැබුණු චරිතවල වෙනස්වීමකුයි එතන තියෙන්නේ. කුමන අන්දමේ ප්‍රේමවන්තයකුගේ චරිතයක් වුණත් අද මට ලැබුණොත් මං ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

මේ දිනවල දායක වන නිර්මාණ ගැන කතා කළොත්?

බුද්ධි වික්‍රමආරච්චි තරු අතර මම කියලා චිත්‍රපටයේ වැඩ. එහි සහන් නම් වූ ගායන ශිල්පියකු ලෙසයි මං රඟන්නේ. ඒක ප්‍රේමවන්තයකුගේ චරිතයක්. තව දූවිලි සහ අමුතුª මිනිස්සු යන නාට්‍යයන්හි රගපෑවා. ඒවා ඉදිරියේදී විකාශය වේවි. මේ දිනවල විකාශය වන්නේ තුංමංතැන්න විතරයි.

ඔබේ පුංචි පවුලේ විස්තරත් කියමු?

මගේ බිරිය සංජීවනී. පුතා නේතෲ. එයාට අවුරුදු හයයි. දුව කේතකි. දුවට අවුරුදු හතරයි.