වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




බුදු පිළිමයක් නිසා ආන්දෝලනයක්

බුදු පිළිමයක් නිසා ආන්දෝලනයක්

‘ඩයි අනදර් ඩේ’ DIE ANOTHER DAY

කියුබාවේ හවානා නගරාසන්නයේ මනරම් මුහුදු තීරයේ අවන්හලක සිට ඈත මුහුදේ ජලතලය මතින් ඉහළට නැගී සිටින විසල් ගොඩනැගිල්ලක් දෙස දුර දක්නයක ආධාරයෙන් විමසිලිත්ව බලා සිටින තරුණයෙකි. තද නිල් පාට මල් ඉහිරුණු සෆාරි කමිසයකින් හා සුදු පැහැ කලිසමකින් සැරසී සිටින ඔහු කියුබානුවකු නොව විදේශිකයෙකි. හදිසියේම වෙරළට ආසන්න මුහුදු රළ දෙබෑ කරමින් මතුවන්නේ සුරූපී තරුණියකි. එම දසුනින් සසල වූ තරුණයාගේ දුර දක්නය නිතැතින්ම යොමු වන්නේ ඈ වෙතටයි. දුර දක්නයේ ආධාරයෙන් ඇගේ යොවුන් දේහයේ නාරි ලාලිත්‍යය ඇයටත් හොරා රස විඳීමට පටන් ගන්නේ කිසිවකුගේ බාධාවකින් තොරවයි.

තැඹිලි පාට කෙටි බිකිනියකින් පමණක් යන්තමට වැසී තිබුණු ඇගේ රූබර අඩ නිරුවත් සිරුර අවට සිටි බාල මහලු කාගේත් නෙත් සිත් පැහැර ගත් අපූරු දසුනක් වෙයි. කෙස් කලඹ කෙටි කර කපන ලද පෙනුමෙන් කළු ජාතික තරුණියක් වන ඈ ‘ජින්ක්ස් ජොන්සන්’ නම් වූ එස්. එන්. ජී. රහස් නියෝජිතවරියෙකි. ඇගේ මනහර රූ සපුව දෙස ඇසිපිය නොහෙලා බලා සිටින ඔහු අන් කිසිවකු නොව සුපිරි රහස් ඔත්තුකරු වන ජේම්ස් බොන්ඩ්ය.

‘ඩයි අනදර් ඩේ’ 2002 වසරේ තිරයට ආ 20 වැනි බොන්ඩ් චිත්‍රපටයයි. එය පියර්ස් බ්‍රොස්නන් බොන්ඩ් චරිතය නිරූපණය කළ අවසන් චිත්‍රපටය ද වෙයි. බොන්ඩ් සිනමාවලියේ 40 වෙනි සංවත්සරය නිමිත්තෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ බාබරා බ්‍රොකොලි සහ මයිකල් ජී. විල්සන් විසිනි. එහි අධ්‍යක්ෂණය ලී ටැමහෝරි ගෙනි.

1962 වසරේ ෂෝන් කොනරි ජේම්ස් බොන්ඩ් ලෙස රඟපාමින් ලොවට හඳුන්වා දුන් ‘ඩොක්ටර් නෝ’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන සිහිගන්වන ජවනිකා කිහිපයක් චිත්‍රපටයට ඇතුළත් කිරීමට ටැමහෝරි කටයුතු කර තිබුණා. ඩොක්ටර් නෝ චිත්‍රපටයේ ‘උර්සුලා ඇන්ඩ්‍රස්’ හනී රයිඩර් ලෙස රඟපාමින් මුහුදු වෙරළේදී ප්‍රථම වරට බොන්ඩ් මුණ ගැසෙන අවස්ථාව සිහිගන්වමින් තැඹිලි පාට බිකිනියකින් සැරසුණු ප්‍රධාන නිළි හැලී බෙරී සයුරෙන් ගොඩට පැමිණෙන දර්ශනය උදාහරණයක් ලෙස දැක්විය හැකියි.

ප්‍රථම වතාවට ඇමෙරිකානු කළු ජාතික තරුණියක් ප්‍රධාන නිළිය හෙවත් ජීන්ක්ස් ජොන්සන් නමැති එස්. එන්. ඒ. රහස් ඔත්තුකාරිය ලෙස රඟපෑමට එක් වන්නේ මෙම චිත්‍රපටයටයි. ඇය වරක් ඇමෙරිකානු රූ රැජිනක් වූ ‘හැලී බෙරී’ නම් සුරූපිනියයි. ඔස්කාර් සම්මානලාභී නිළියක් ප්‍රථම වතාවට බොන්ඩ් චිත්‍රපටයක රංගනයට එක්කිරීමේ ගෞරවය ද ඇයට හිමි වෙයි. ගුස්ටාව් ග්‍රේව්ස් නමැති ප්‍රධාන ප්‍රතිවාදී චරිතය ටෝබි ස්ටීවන්ස් විසින් නිරූපණය කළ අතර ඔහුගේ සහායක ‘සාඕ’ ලෙස රික් යූන් රඟපෑවේය. සරාගී නිළි රොස්මන්ඩ් පයික් නිරූපණය කළේ රහස් ඒජන්තවරියක වන මිරැන්ඩා ෆෙ‍්‍රාස්ට්ගේ චරිතයයි. කොරියානු ජාතිත ‘ජෙනරල් මූන්’ ලෙස කෙනත් සැන්ග් ද ‘කර්නල් මූන්’ ලෙස විල් යූන් ලී ද රංගනයට එක්විය. ජූඩි ඩෙන්ච් ‘එම්’ ගේ චරිතයත් ජෝන් ක්ලීසි මිස්ටර් ‘කිව්’ ලෙසත් රඟපෑවේය. සමන්තා බොන්ඩ් නිරූපණය කළේ මිස් මනිපෙනිගේ භූමිකාවයි. ‘වෙරයිටි’ නම් චරිතයක් ද නිරූපණය කරමින් මෙහි තේමා ගීතය ගායනා කළේ ලෝක ප්‍රකට පොප් ගායිකාවක් වූ සුරූපී ‘මැඩොනා’ විසිනි. චීන හමුදා නියෝජිතවරියක් ලෙස සුරීපී රේචල් ග්‍රාන්ට් ද රංගනයට එක් වූවාය.

දකුණු කොරියාවේ හමුදා කඳවුරකදී ‘කර්නල් ටැන් සෙන් මුන්’ විසින් අප්‍රිකානු දියමන්ති තොගයකට යුද අවි හුවමාරු කර ගැනීමට සිදු කෙරෙන සැලැස්මක් කඩාකප්පල් කර දමන බොන්ඩ් සහ හමුදා කණ්ඩායමක් අතර ඇවිල යන ගැටුමේදී කර්නල් ටෑන් මිය යයි. කොරියන් හමුදාව ඇතුළු සෙසු ලෝකයා එසේ සිතුව ද දිවි බේරා ගන්නා ‘ටැන්’ තම හිතෛෂිවන්ත සගයා වන ‘සාඕ’ සමඟ කියුබාවට පැන ගොස් එහිදී ප්ලාස්ටික් සැත්කමකින් මුහුණේ ස්වරූපය වෙනස් කොට ගුස්ටාව් ග්‍රේව්ස් නමින් දියමන්ති ජාවාරමක් පවත්වාගෙන යයි. ඔහුගේ මූලස්ථානය ඇත්තේ අයිස්ලන්තයේ අයිස් කඳු අතර ඉදිකරන ලද සුවිසල් ගොඩනැගිලි සංකීර්ණයක් තුළයි.

එහි නිෂ්පාදනය කරන ලද චන්ද්‍රිකාවක් මඟින් කක්ෂ ගත කර ඇති ‘ඉකාරස්’ නම් අජටාකාශ ලේසර් අවිය මඟින් අභිමත පරිදි ලේසර් කිරණ යොදා ගෝලීය උණුසුම ඉහළ දැමීමෙන් රටවල් සහ නගර විනාශ කිරීමේ බලය ඔහු සතුව ඇත. මෙම බිහිසුණු ඝාතකයා විනාශ කර දැමීම බොන්ඩ්ගේ අරමුණ වන අතර එන්. එස්. ඒ. නියෝජිත ‘ජින්ක්ස්’ ගේ අවශ්‍යතාවය වන්නේ ගුස්ටාව් ගේ අතවැසි සාඕ ඝාතනය කර දැමීමයි. එකම කඳවුරක සිටින ගුස්ටාව් සහ මිරැන්ඩාට එරෙහිව බොන්ඩ් සහ ජින්ක්ස් එක්ව තම දක්ෂතා ප්‍රයෝජනයට ගන්නා අයුරු චිත්‍රපටයෙන් විදහා දැක්වෙයි.

2002 ජනවාරි 11 දා ලන්ඩන් පයින්වුඩ් චිත්‍රාගාරයෙන් ඇරඹි මූලික රූගත කිරීම් පසුව අයිස්ලන්තය සහ ස්පාඤ්ඤයේ කාඩිස් වෙත සංක්‍රමණය වුණා. සමහර රූගත කිරීම් 007 බ්‍රොකොලි වේදිකාවේදී ද සිදු කළ අතර හවායි සහ මායු හිදී ලබාගත් දර්ශන ද ඇතුළුව මුළු චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුª නිමා කිරීමට ගත වූ කාලය පුරා වසරකි.

නාන ඇඳුමින් සැරසුණු හැලි බෙරී බෝම්බ පිපිරෙන ජවනිකාවකදී බරපතළ ලෙස තුවාල ලැබුවාය. ඇගේ ඇසකට හානි සිදු වූ අතර ඇස බේරා ගැනීම සඳහා විනාඩි 30 ක පමණ සැත්කමකට මුහුණ දීමට ද සිදු විය. බොන්ඩ් චිත්‍රපටවල මින් පෙර භාවිත නොවුණු අන්දමේ කාමුකත්වයට නැඹුරු දර්ශන කිහිපයක් අධ්‍යක්ෂක ඇප්ටඩ් විසින් චිත්‍රපටයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. එම දර්ශන අතර වූ බොන්ඩ් සහ ජින්ක්ස් එක්ව මවන ප්‍රේමාලිංගන ජවනිකාවේ ඇතැම් කොටස් ඇමෙරිකාවේ තිරගත කිරීමේදී වාරණයට ලක් විය. චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශන බොහොමයක දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය කර තිබුණේ පරිගණක ඩිජිටල් තාක්ෂණයෙනි.

සංගීත අධ්‍යක්ෂක ඩේවිඩ් ආනෝල්ඩ් බොහෝ සංගීත ඛණ්ඩ සඳහා භාවිත කරන ලද්දේ ඉලෙක්ට්‍රොනික ‘ටෙක්නෝ’ සංගීත රටාවයි. ඒ බව ‘මැඩොනා’ ගැයූ තේමා ගීතය තුළින් මනාව පැහැදිලි වෙයි. එම ගීතය 2004 ග්‍රැමි සම්මානය සඳහා නිර්දේශ වූ අතර බොන්ඩ් තේමා ගීත 22 අතුරින් 9 වෙනි ස්ථානයට ද තෝරා ගන්නා ලදී. අයිස්ලන්තයේ සහ නෝර්වේදී රූගත කෙරුණු ‘ඇස්ටන් මාටින් වැන්ක්විෂ්’ සහ ‘ජගුවාර්’ රථ ලුහුබැඳ යාමේ දර්ශන නව තාක්ෂණයෙන් සපිරි සිත් ඇදගන්නා සුළු දර්ශන ලෙස ප්‍රෙක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සමත් විය.

2002 නොවැම්බර් 18 දා එලිසබෙත් මහ රැජින සහ පිලිප් ආදිපාදවරයාගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ රෝයල් ඇල්බට් ශාලාවේදී පූර්ව දර්ශනය අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපටයෙන් පසු රාජකීය අමුත්තන් සහභාගි වූ දෙවැනි වතාව මෙය වෙයි. චිත්‍රපටයේ පසුතල දර්ශනයන්ට අනුරූපව අයිස් උපයෝගි කර ගනිමින් රෝයල් ඇල්බට් ශාලාව සරසා තිබුණි. ලෝ වටා ප්‍රදර්ශනයෙන් චිත්‍රපටය උපයාගත් ආදායම ඩොලර් මිලියන 432 කි. දකුණු කොරියාවේ සිනමා ශාලා 145 ක ප්‍රදර්ශනයට එරෙහිව විරෝධතාවයක් පැන නැඟුණේ චිත්‍රපටයේ අවසාන දර්ශනයේ බුදු පිළිමයක් ඉදිරියේ යුවළක් ප්‍රේමාලිංගනයක යෙදෙන ජවනිකාවක් හෙළා දැකීමටයි. තම ආගමට සහ ප්‍රතිපත්තිවලට එම දසුන් නිගා කළ බවට ඔවුන් සෘජුවම චෝදනා කළා. දකුණු කොරියානු සංස්කෘතික අමාත්‍යාංශය චිත්‍රපටය හැඳින් වූයේ වැරදි කාලයක තිරයට ආ වැරදි චිත්‍රපටයක් ලෙසයි. ලංකාවේදී මේ දර්ශනය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මඟින් ඉවත් කරන ලදී.

බොන්ඩ් සිනමාවලියේ 6 වැනි බොන්ඩ් ලෙස අභිෂේක ලත් ‘ඩැනියෙල් ක්‍රේග් රඟපාන ‘කැසිනෝ රෝයල්’ චිත්‍රපටය ගැන තොරතුරු ලබන සතියේ.