වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




‘ZOOM’ චිත්‍රපටයේ මුහුරත් උළෙලදා

ZOOM’ චිත්‍රපටයේ මුහුරත් උළෙලදා

ප්‍රීතිරාජ්ගෙන් අලුත් වැඩක්

ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න පළමුවරට ටෙලි සිතුවමක් නිෂ්පාදනය කරන්නට සූදානම් වනවා. ඒකේ නම රශ්මි. එය ඔහුගේ අධ්‍යක්ෂණයක් වීම තවත් විශේෂත්වයක්. රශ්මි හි කතාව, දෙබස්, තිර රචනය ද නිම වී ඇත්තේ ප්‍රීතිරාජ්ගේ අතින්මයි. රශ්මි ටෙලි නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණය බාර දී ඇත්තේ ඔහුගේ පුතු වන ඉරාජ් වීරරත්නට. මේ වන විට එහි තේමා ගීතය ද නිර්මාණය කොට ඇති බව ද ආරංචි වෙනවා.

ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, නොම්මර 17, සූරවීර චණ්ඩියෝ, පුදුමයි ඒත් ඇත්තයි, ප්‍රීතිරාජ් නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක්.

සිංහල සිනමාවට නව පරපුරේ අලුත් අධ්‍යක්ෂවරයකු හඳුන්වා දෙමින් ඉදිරියේ රූගත කිරීමට නියමිත ‘ZOOM’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පිටකෝට්ටේ ‘සෝලිස්’ උත්සව ශාලාවේදී චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දල්වා වැඩ ඇරැඹීය. ‘ZOOM’ වූ කලී ත්‍රාසය හා භීතිය කැටි කොට ගත් සිනමාපටයකි. මෙහි අධ්‍යක්ෂවරයා සමීර වක්වැල්ලයි. ධම්මික අබේසේන මෙහි නිෂ්පාදකවරයායි.

ආත්ම දෙකක් හා ජීවන රටා දෙකක් අතර දෝලනය වන එක් මනුෂ්‍ය ශරීරයක් හා එහි ශරීරය තුළ විටින් විට ඉස්මතු වන ඉහත කී ආත්ම දෙකෙහිම සතු මනෝභාවයන් මෙම සිනමා කෘතියේ ප්‍රධානතම ප්‍රකාශනයයි.

මෙහි තිර රචනය ද අධ්‍යක්ෂවරයා සතුය. ඔහුට අධ්‍යක්ෂණයෙන් සහාය වන්නේ චන්දන ඉරුගල් බණ්ඩාරයි. කැමරා අධ්‍යක්ෂණය උපුල් ප්‍රියනාත්ගෙනි. ‘ZOOM’ හි වේෂ නිරූපණය ප්‍රියන්ත තිලක් රත්නායකගෙනි. මෙහි කලා අධ්‍යක්ෂවරයා චමින්ද උඩගෙදරයි. දීපිකා කලුආරච්චිගේ ගීත රචනාවලට සංගීත නාද රටා මුසු කරන්නේ සංගීත අධ්‍යක්ෂ ගයාන් මංජුල පෙරේරායි. ගීත ගායනයෙන් ‘ZOOM’ චිත්‍රපටයට දායක වන්නේ නෙලූ අධිකාරි, සඳුන් විජේවර්ධන සහ සමීර වක්වැල්ලයි. මෙහි නිෂ්පාදන සම්බන්ධිකරණය දීපිකා කලුආරච්චියි. නිෂ්පාදන කළමනාකරු ලෙසින් කටයුතු කරන්නේ නුවන් සමීර විජේසිංහයි. මහීදි අත්තනායක මෙහි නර්තන අධ්‍යක්ෂවරියයි.

ජීවන් කුමාරතුංග, හේමාල් රණසිංහ, ශේෂාද්‍රී ප්‍රියසාද්, ජයලත් මනෝරත්න, ඩිනක්ෂී ප්‍රියසාද්, චමිලා පීරිස්, චමින්ද උඩගෙදර, තිලිණි මහේෂිකා ඇතුළු නළු නිළියන් රැසක් ‘ZOOM’ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නෝයි.

සනත් අබේසේකරගේ ‘පුංචි කැංගා’ සංඝරත්නයේ ආශිර්වාදයෙන් වැඩ ඇරැඹේ
 

ජීවන්, ශ්‍රියන්ත, වීණා, මොරීන්, රංගනයේ - සියලු ළමා චරිත ඕස්ට්‍රේලියාවෙන්

මහින්දාගමනය සහ තිරගතවීමට නියමිත සිරි දළදාගමනය යන සිනමාපටයන් අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකරයන් තවත් දැවැන්ත සිනමා කෘතියක මූලික වැඩ කටයුතු ගරුතර සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ගංගාරාම විහාරස්ථානයේ පැවති චාම් මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ.

පුංචි කැංගා ලෙසට නම තබා ඇති එය විනීතා විජයරත්න කුලතුංගගේ කැංගරු හදිය ළමා නවකතාව ඇසුරෙන් නිර්මාණය වන ළමා චිත්‍රපටයකි. පුංචි කැංගා සම්පූර්ණයෙන් රූගත වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේය. වර්තමානයේ එරට ජීවත්වන කපිතාල් අතිල් ගුණසේකර සහ ආචාර්ය තරංගා ගුණසේකර යුවළ පුංචි කැංගා නිෂ්පාදනය කරනු ලබයි.

ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, වීණා ජයකොඩි, අනර්කලී ආකර්ශා, මොරීන් චාරුනී මෙම සිනමාපටයෙහි රංගනය සඳහා මෙරටින් තෝරා ගෙන ඇත. ළමා චරිතයන් නිරූපණය කිරීමට ඇති සියලු ළමෝ ඕස්ට්‍රේලියාවේ වෙසෙන්නෝ වෙති.

ප්‍රසන්න ඉත්තෑපාන සහාය අධ්‍යක්ෂණයෙන් ද, අනුර ජයසේකර අංග රචනයෙන් ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් එක්වන මෙහි කැමරාව පී. කේ. ලෙනාඩ් මෙහෙයවයි. ආචාර්ය රෝහණ වීරසිංහ පුංචි කැංගා සංගීතයෙන් ඔපවත් කරයි. බන්දුල නානායක්කාරවසම් ගී පද රචනා කරයි. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් දායක වෙයි. මෙහි ග්‍රැෆික් නිර්මාණය නිලාන් කුරේගෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී, පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් යන මහත්වරුන් ඇතුළු කලා ලොවේ සහෘදයන් සමඟින් පැවැත් වූ පුංචි කැංගා හි මුහුරත් උළෙලේ අවස්ථා කිහිපයකි මේ.