වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

දමිත් ෆොන්සේකා සහ ගීතා කුමාරසිංහ පෙම්වතුන් ලෙස රඟ පෑ චිත්‍රපටය කුමක්ද?

සුදත් නිශාන්ත – මීගමුව.

හිත හොඳ ගැහැනියක්.

කාබුලි වාලා චිත්‍රපටය ගැන හැඳින්වීමක් කරන්න.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ.

‘කාබුලි වාලා’ නමැති චිත්‍රපටය රවීන්ද්‍රනාත් තාගෝර්ගේ සුප්‍රකට ‘කාබුලි වාලා’ කෙටි කතාව ඇසුරින් සිනමාවට නිර්මාණය කළේ හේමන්ත් ගුප්තා නමැති සිනමාකරුයි. එහි බාල්රාජ් සහ්නි කාබුලි වාලා ලෙස විශිෂ්ට රංගනයක යෙදුනා. කාබුලි වාලා යනු කාබුල් නගරයේ සිට පැමිණෙන්නායි. එය සිංහල අර්ථයෙන් ගතහොත් ‘බිල්ලා’ කියා කිව හැකියි. කාබුල් නගරයේ සිට පැමිණෙන්නන් කුඩා දරුවන් රැගෙන යන බවට කතන්දරයක් ඉන්දියාවේ පවතිනවා. අපි පොඩි අයට ඔන්න බබෝ බිල්ලෝ එනවා කියන්නෙත් මේ අර්ථයෙන්මයි. මේ අතිශය විශිෂ්ට චිත්‍රපටය කාබුල් නගරයේ සිට තම දරු කැල අතහැර වෙළෙදාමට පැමිණෙන පුද්ගලයකු හා මිමි නම් කල්කටාවේ වෙසෙන කුඩා දැරියක අතර ඇතිවෙන ඇසුර ගැන කියැවෙන කතාවක්. මෙහි සංගීතය සලීල් චවුද්රි ය. බිමල් රෝයි මෙහි නිෂ්පාදකයා යි.

එදා චිත්‍රපට තරු පි‍්‍රය කළ රසික රසිකාවන් අද පි‍්‍රය කරනුයේ ටෙලි තරුවලටයි. සිනමා තරුවලට මේ ඉරණම අත් වූයේ ඇයි?

කරු මන්දාවල – නාත්තන්ඩිය.

සිනමාවේ මේ ප්‍රශ්නයට තුඩු දී තියෙන්නේ කාලය හා පරම්පරාව පිළිබඳ ප්‍රශ්නය යි. මුල්දශකවල දී ඒ පරම්පරාවේ අය ඇළුම් කරන්නට ඇත්තේ ඒ කාලේ සිටිය ටවර් හෝල් නළු නිළියන්ට යි. ඊටත් කලින් පරම්පරාවලට පි‍්‍රය කරන්නට නළු නිළියන් හිටිය ද දන්නෙත් නැහැ. ඔබ ටෙලි නාට්‍ය නළුවන් ගැන කිව්වත් පොඩි එවුන්ගේ දැන් වීරයන් වී ඇත්තේ බෙන් 10.

ඉන්දියාවේ පූනාහි සංරක්‍ෂනාගාරයක ‘නිධානය’ චිත්‍රපටයේ අනු නෙගටිව් පටයක් තිබෙන බව අපට දැනගන්න ලැබුණා. මෙය රසික අපට කිව නොහැකි සතුටක්. මම හිතන්නේ සංදේශය චිත්‍රපටයත් ඔය අතරේ ඇති බව මගේ හැඟීමයි. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

සරත් රණසිංහ – කපුගොඩ, මාළිඳ.

සංදේශය පිටපතක් චෙක් ජනපදයේ තිබෙන බව කවුරුත් දන්නා රහසක්. කවුරුන් හෝ මේ සඳහා මැදිහත් වෙනවානම් මාත් කැමැතියි.

රිචඩ් ඇල්බට් (ටාසන්) රඟ පෑ චිත්‍රපට හඳුන්වා දෙන්න. ඔහුට ටාසන් යන නම පට බැඳුනේ කෙසේද?

එස්. චන්ද්‍රසේකර - කොටුගොඩ.

ඔහු රඟ පෑ මුල්ම චිත්‍රපටයේ (ප්‍රේම තරගය) ටාසන් නමැති චරිතය නිරූපණය කළා. ඉන් පසු ඔහු ටාසන් ලෙස ජනප්‍රිය වූවා. වීර විජය, අල්ලපු ගෙදර, වන මෝහීනී, පුරුෂ රත්නය, ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑවා. ඔහුගේ අවසාන චිත්‍රපටය වූයේ ‘පැංචා’ චිත්‍රපටය යි.

අශෝක හඳගම පිළිබඳ ඔබ දකින්නේ කොහොමද?

ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව.

ශ්‍රී ලංකා මහා බැංකුවේ වැදගත් වගකීම් සහිත තනතුරක් දරන්නෙක් හැටියටයි. ඒ අතරවාරයේ විශිෂ්ට චිත්‍රපට කරුවෙක්.

ගාමිණී ෆොන්සේකා රඟ පෑ එකම ටෙලි නාට්‍යය ‘කළු සුදු’ නේද?

ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද, මොරටුව.

ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්‍ෂණය කළ ‘කළු සුදු’ ගාමිණී රඟ පෑ එකම සිංහල ටෙලි නාට්‍යයයි. ‘කළු සුදු’ ටෙලි නාට්‍යයේ ගාමිණී සමඟ දේවිකා මිහිරානි, නවනන්දන විජේසිංහ, දයානන්ද ජයවර්ධන, අනුර මැදගොඩ ඇතුළු නළු නිළියන් රාශියක් චරිත නිරූපණය කළා වගේ මතකයි.

කොහොම වුණත් මේ ටෙලි නාට්‍යය ටොරානා ලේබලය යටතේ දැන් වෙළෙඳ පොළේ තියෙනවා.

’කුපාඩියා’ නමැති චිත්‍රපටයේ නම සම්බන්ධයෙන් ඔබ දුන් පිළිතුරට එකඟ විය නොහැකියි.

සෝම චන්ද්‍ර – කුරුණෑගල.

ඒ නම පිළිබඳ මගේ මතය එයයි. ‘කුපාඩියා’ යන නමට ඉඩ දෙනවද? නැද්ද? යන එක රැඟුම් පාලක මණ්ඩලයේ අයිති වැඩක්.

’දුහුළු මලක්’ චිත්‍රපටයේ එන අබේවර්ධන බාලසූරිය සහ සුජාතා අත්තනායක ගයන ‘බොඳ මීඳුම් කඳුරැල්ලේ’ ගීතයේ පදමාලාව සහ සංගීතය කාගේද?

තිලකරත්න විල්වල – කෑගල්ල.

සංගීතය විශිෂ්ට සංගීතඥයකු වූ සරත් දසනායකගේ. පද රචනය ආචාර්ය අජන්තා රණසිංහගේ.

සේනාධීර රූපසිංහ නමැති නළුවා රඟපෑ චිත්‍රපට මොනවාද?

දයානන්ද සිල්වා - හික්කඩුව - සීනිගම.

හතර දෙනාම සූරයෝ, හරිම බඩු තුනක්, දැන් මතකද. සූරයන්ගෙත් සූරයා මේ අතරින් කිහිපයක්.

පළමුවරට වාර්තා චිත්‍රපටයක් සඳහා ජාත්‍යන්තර සම්මානයක් ලබා ගත් ශ්‍රී ලාංකික කලාකරුවා කවුද?

චන්ද්‍ර පෙරේරා - හොරණ.

ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි.

සත්‍ය සිද්ධීන් ඇසුරින් තැනුණුු චිත්‍රපට මොනවාද?

විහඟ වීරසූරිය – අලව්ව.

අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. දඩයම, කැඩපතක ඡායා, රෑන ගිරව්, මංගල තෑග්ග, දොරකඩ මාරාව, සිසිල ගිනි ගනී, හිතුවොත් හිතුවාමයි, ඇතුළු චිත්‍රපට රැසක් මේ අතර වේ.

1960 – 1965 යන වසරවල පුවත්පත්වල පළවූ ඉතා ජනප්‍රිය චිත්‍රකතා වන ‘බිලි පූජාව‘, ‘ලන්දේසි හටන’ වැනි චිත්‍රකතාවල පිටපත් ලබා ගත හැකිද?

කේ. ජී. සෝමදාස - තම්මිට.

එහි අලුත් පිටපත් මෑතක නිකුත්වී තිබුණා.

’ඔබ නැති හින්දා ඔබේ රූපයට මම පිස්සු වැටිලා’ මෙහෙම ගීතයක් අහම්බෙන් වගේ අසන්න ලැබුණා. ඔබ හිතන විදියට මෙය ගීතයක්ද? වාක්‍ය රචනයක්ද?

සුජාතා ගුණවර්ධන - කඩවත.

සමහරවිට වාක්‍ය රචනයක් විය හැකියි. තාම මම ඔය වැනි ගීතයක් අසා නැහැ.

(අර්ජුන්)

සැකසුම - සංජීව සම්පත් බාලසූරිය