වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට සංස්ථාව තියෙන්නේ නළු නිළි සුබසාධනයට නොවේ

චිත්‍රපට සංස්ථාව තියෙන්නේ නළු නිළි සුබසාධනයට නොවේ

ජාතික චිත්‍රපට සංස්ථා සභාපති

අශෝක සේරසිංහ

මෙරට සිනමා කර්මාන්තයට අදාළ බොහෝ තීන්දු, තීරණ ගන්නා ප්‍රමුඛතම ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාවයි. එහෙත් සිනමාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරනවාට වඩා පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව එහි කාරණා, කටයුතු සිදු වන බව කලෙක පටන් නැගෙන චෝදනාවකි.

එක්, එක් කාල වකවානුවන්හි විවිධ සභාපතිවරුන් යටතේ විවිධ ක්‍රියාකාරකම් සිදු වුව ද සිනමාවේ මතු පැවැත්ම උදෙසා ක්‍රියාවට නැංවිය යුතු දෑ බොහොමයකි.

මෙතෙක් පැවැති ඇතැම් ලිහිල් ප්‍රතිපත්ති වෙනුවට වඩාත් දැඩි නීතිමය ප්‍රතිපාදන සහිත ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට උදා වූ නව වසරේ සිට තමන් බලාපොරොතේතුª වන බව වත්මන් චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ පවසයි.

මේ ‘සරසවිය’ ඒ පිළිබඳ ඔහු සමඟින් කළ සුවිශේෂ සංවාදයකි.

මේ නව වසරේ සිට අපේ සිනමාවේ ප්‍රගමනය උදෙසා අලුත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඔබ සූදානම් බව දැනගන්නට ලැබුණා?

මෙතෙක් සිනමාවේ බොහෝ දෑ තිබුණේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව. කවුරු හරි නිෂ්පාදකයෙක් එයාගේ චිත්‍රපටය පෙන්නලා වැඩිම ආදායම් ලැබීමේ ඉලක්කයයි තිබුණේ. ඒ වගේම ප්‍රදර්ශන මණ්ඩල. පුළුවන් තරම් චිත්‍රපට පෙන්නලා ඔවුන්ගේ ආදායම් තරකර ගැනීමටයි ක්‍රියාමත්මක වුණේ. මෙදා පාර ජාතික චිත්‍රපට සංස්ථාව උත්සාහ ගන්නේ ජාතික සිනමාවක් සහ සිනමා සංස්කෘතියක් ගොඩ නගන්න.

ඒ සඳහා මූලිකවම ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන ක්‍රමවේද මොනවාද?

අපි කිසිම සිනමාකරුවෙක් ඉලක්ක කර ගන්නේ නැහැ. පෞද්ගලික සම්බන්ධතාවලින් තොරව සිනමා මණ්ඩලයක් පවා කලින් තීන්දු නොකර, සම්පූර්ණ සාධාරණ පිළිවෙතකට චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රියාදාමයක් අපි දියත් කරනවා. දැනට මම චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා ඒ සම්බන්ධයෙන්. මෙතෙක් කල් චිත්‍රපට නිදැල්ලේ ගියා. දැන් එහෙම බැහැ. මින් පසුව චිත්‍රපට පිටපත් කීයක් ප්‍රදර්ශනය කරනවාද, ඒ කුමන මණ්ඩලයේද කියා තීරණය කරන්නේ චිත්‍රපට සංස්ථාව.

මින් පෙරාතුව ඒ හැකියාව තිබුණේ ප්‍රදර්ශකයාට නැතිනම් චිත්‍රපට නිෂ්පාදකයාට?

ඔව්. ඒකෙදි වෙන්නේ දැවැන්ත චිත්‍රපටයක් ඇවිල්ලා සම්පූර්ණ සිනමා ශාලා ටික වහ ගන්නවා. කුඩා චිත්‍රපට නිෂ්පාදකයන්ට අවකාශය නැතිව යනවා. ඒ නිසා අපි දැන් චක්‍ර ලේඛයක් නිකුත්කර තිබෙනවා පිටපත් තිස් පහකට පමණක් සීමා කරන්න. ඒ උපරිමය. ඒ වගේම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලබා ගත්ත දිනය ඉලක්ක කර ගෙන ප්‍රදර්ශනයේදී ප්‍රමුඛතාවය දෙන්න කියා අප වැඩිදුරටත් මේ චක්‍රලේඛයේ කියා තිබෙනවා. නැතිනම් වෙන්නේ පෝලිමේ චිත්‍රපට තියෙද්දි කාගෙ හරි බලපෑම් මත අලුත් චිත්‍රපටයක් ඇවිල්ලා සල්ලි හම්බ කරගෙන යනවා. අර මිනිස්සු තාමත් පෝලිමේ.

චිත්‍රපටයක් මුදා හැරීමේ සාධාරණ පිළිවෙතක් මීට ප්‍රථම තිබුණා. නමුත් පසු කලෙක එය බලරහිත වුණා නේද?

පසුගිය කාලේදී ඒ කියන්නේ 2001 දී අවිධිමත්ව චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයට පැවරූ නිසා තමයි මේ අවුල ඇති වුණේ. මෙතන වරදවා වටහා ගැනීමක් තියෙනවා මේ සම්පූර්ණ බලතල ප්‍රදර්ශන මණ්ඩලවලට දුන්නයි කියන එක. ඒක සම්පූර්ණ වැරදියි. ඒ ගොල්ලන්ට දීලා තියෙන්නේ ඇත්තටම මේ චිත්‍රපට සංස්ථාව මඟින් යම් යම් මණ්ඩලවලට තෝරා ගත්ත චිත්‍රපට බෙදා හැරීමේ කටයුතු පරිපාලනය කිරීම පමණයි. තීන්දු, තීරණ ගන්න බැහැ. ඒක නිසා මේ වෙන කොට අපි දකිනවා චිත්‍රපට සංස්ථාවෙන් අහන්නෙත් නෑ, රැඟුම් පාලක මණ්ඩලයෙන් අහන්නෙත් නෑ තමන්ට අවශ්‍ය පූර්ව ප්‍රචාරක පට හෝල්වල දාලා පෙන්වනවා.

ඇතැම් විට ඒවායේ කිසිම ප්‍රමිතියකුත් නැහැ?

ඒ කිසිම දෙයක් නැහැ. එහෙම චිත්‍රපටයක් මම නැවත කැඳවලා තිබෙනවා. එතකොට මේ වෙලාවේදී අපට අවශ්‍ය වෙන්නේ නියාමක මණ්ඩලයක් හැටියට චිත්‍රපට බෙදා හැරීම සම්පූර්ණයෙන් අධීක්ෂණය කිරීමේ බලතල චිත්‍රපට සංස්ථාවට පවරා ගන්න. සංස්ථාවේ පනතේ ඒ සඳහා බලතල තිබෙනවා. ඒ නිසා දැනට මම අදාළ සියල්ලන්ටම චක්‍ර ලේඛය නිකුත් කර තිබෙනවා.

කවදා ඉඳලද මේ නීති රීති ක්‍රියාත්මක වන්නේ?

2013 ජනවාරි පළමුවැනිදා සිටම අපි මේ නව නීති රීති ක්‍රියාවට නංවා තිබෙනවා.

පිටපත් ප්‍රමාණය සීමා කිරීම අසාධාරණයක් බව නිෂ්පාදකයන් කියන්න පුළුවන්. මොකද අපි දන්නවනේ පසුගිය කාලේ ඇතැම් චිත්‍රපටවල පිටපත් පනහක් පවා ප්‍රදර්ශනය වුණා?

ඇතැම් නිෂ්පාදකයන් සිනමාහල් හිමියන්ට යම් යම් බලපෑම් කරනවා. මගේ චිත්‍රපටය ගන්න. ගන්නවා නම් මට මෙච්චර මුදලක් දෙන්න. සමහර විට චිත්‍රපටයේ පිටපතක් දෙන්න සල්ලි ගන්නවා. ඒක නීති විරෝධියි. ඕක විශේෂයෙන්ම බලපාන්නේ දෙමළ චිත්‍රපටවලට. ලංකාවට දෙමළ චිත්‍රපටයක් ආවාම ඒක ආනයනය කළ පුද්ගලයා ශාලාවට ගිහින් කියනවා ‘මට ලක්ෂ දහයක් දෙන්න. මම පිටපතක් දෙනවා’ කියලා. ඒ වගේ බොහොම දූෂිත විදිහට චිත්‍රපට බෙදා හැරීමේ කටයුතු පැවැතිලා තියෙනවා. ඒවා අපි දැන් එකින් එක, එකින් එක සංශෝධනය කරගෙන 2013 වසරේ චිත්‍රපට බෙදා හැරීමේදී, පෞද්ගලික අංශයත් සමඟ හොඳ හිත පවත්වා ගනිමින් එය නිසි පිළිවෙළකට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුª වෙනවා.

ඒ බලය චිත්‍රපට සංස්ථාව සතුද?

පැහැදිලිවම. තාමත් චිත්‍රපට බෙදා හැරීමේ නිසි බලධාරියා චිත්‍රපට සංස්ථාව. රජයේ ප්‍රතිපත්තියත් ඒ නියාමන බලය සංස්ථාව සතුව තිබිය යුතුයි කියන එකයි. පෞද්ගලික අංශයේ සහායත් අපි ලබා ගන්නවා. මොකද චිත්‍රපට ශාලා ගොඩ නැගීම වගේ කටයුතුවලට අපි ඒ අවශ්‍යය සහාය ලබා ගන්නවා.

අපේ සිනමාවට ජාත්‍යන්තර වෙළෙඳ පොළක් තනා දීම ඔබේ එක්තරා සිහිනයක්. එය යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඔබ දරන ප්‍රයත්නය සුළුපටු නැහැ?

අපේ සිනමාව කොදෙව්වක සිර වෙලයි තියෙන්නේ. දූපතෙන් එලියට ගිහිල්ලා කිසිම රටක අපේ චිත්‍රපටයක් වාණිජ පරමාර්ථයෙන් පෙන්නලා නැහැ අද වෙනකල්. එක ඩොලර් එකක්වත් ගෙනල්ලා නැහැ. සභාපති ධුරය දැරූ මුල්ම අවස්ථාවේ මම චීනයත් සමඟ ද්වි පාර්ශික ගිවිසුමක් අස්සන් කළා. නමුත් අවාසනාවකට වගේ මට පස්සේ ආපු සභාපතිවරයා ඒක ක්‍රියාත්මක කළේ නැහැ. දැන් මේ වෙනකොට මම ඉරානයත් එක්ක ද්වි පාර්ශික ගිවිසුමකට සියලුම කටයුතු සම්පාදනය කර තියෙනවා. ඒ වගේම කේරළ ප්‍රාන්තයේ සිනමා කටයුතු පිළිබඳ අමාත්‍ය ධනේෂ් කුමාර් සමඟ කතාබස් කර ද්වි පාර්ශික ගිවිසුමකට එළඹෙන්න කටයුතු කරලයි තියෙන්නේ. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා චීනයේ, ඉරානයේ, කේරළ ප්‍රාන්තයේ වගේ අපේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න. විශේෂයෙන්ම කේරළ ප්‍රාන්තය කැමැතියි අපිත් එක්ක හවුල් නිෂ්පාදන පවා කරන්න.

ඒ කොයි විදිහටද?

කේරළයේ සහ අපේ නළු, නිළියන් දාලා චිත්‍රපට නිෂ්පාදනය කරලා මලයාලම් භාෂාවෙන් කේරළයේත්, සිංහල භාෂාවෙන් ලංකාවේත් ප්‍රදර්ශනය කරන්න අපි එකඟ වෙලා තියෙනවා. ඒ අයත් ඒ වැඩ පිළිවෙළට සූදානම්. ඊළඟට සියලුම රසායානාගාර හා තාක්ෂණික පහසුකම් කේරළයේ චිත්‍රාංජලී ස්ටුඩියෝ එකෙන් දීර්ඝකාලීන ණය පහසුකම් යටතේ අපට ලබා දෙන්න ඒ අය කැමැතියි. මේ වෙනකොට අපි ඉන්දියාවේ ස්ටුඩියෝ දෙකකට, තුනකට බැඳීලා තියෙනවා කෙටිකාලීන ණයවලට. විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඒකට යනවා. අපේ ශිල්පීන්ට, අධ්‍යක්ෂවරුන්ට ගිහිල්ලා එහෙ තපින්න වෙනවා. මෙවැනි ද්වි පාර්ශික ගිවිසුම් මඟින් අපට එවැනි අවාසනාවන්ත තත්ත්වයන් මඟ හරවා ගන්නට පුළුවන්.

ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙලක් අපේ රටේ පැවැත්වීමට මේ වසරේ අවකාශ ලැබේවිද?

රටේ සිනමා සංස්කෘතියක් ඇතිකරලීමට ඒ වගේ දේවල් අවශ්‍යයි. අපි මේ දක්වා කර තිබෙන්නේ තානාපති කාර්යාලයක් අල්ලගෙන ඒ රටේ චිත්‍රපට උළෙලක් පැවැත්වීම. නමුත් අපි මේ වසරේ කෙසේ වෙතත් 2014 දී ජාත්‍යන්තර වශයෙන් සියලු සිනමාකරුවන් එක්රැස් කරගෙන ආසියානු සිනමා උළෙලක් පවත්වන්ට බලාපොරොත්තු වෙනවා. ඒකට අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ආර්ථික ශක්තිය නොමැති වීම. ප්‍රවේශ පත්‍රයකින් ලැබෙන ආදායමෙන් 10% ක් ඉස්සර ලැබුණේ චිත්‍රපට සංස්ථාවට. එහෙමයි සිනමා සංවර්ධන අරමුදල හැදුණේ. ඒ 10% වාර්ෂිකව එකතු වුණාම රුපියල් මිලියන එකසිය පනහක් පමණ. දැන් ඒ මුදලින් රුපියල් මිලියන එකසිය විස්සක් පෞද්ගලික මණ්ඩලවලට යනවා කිසිම හේතුවක් නැතිව. සංස්ථාවට ලැබෙන්නේ මිලියන තිහක මුදලක්.

මේ අධිකාරී බලය කොහොමද ප්‍රදර්ශන මණ්ඩලවලට හිමි වුණේ?

2001 වසරේදී ගත්තු පටු ආකල්පමය තීන්දුවක් නිසා චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයට දුන්නා. ඒ වෙලාවේ රජය පොරොන්දු වුණා චිත්‍රපට සංස්ථාවේ සියලු පඩි නඩි භාණ්ඩාගාරයෙන් ගෙවන්න. අදටත් එහෙමයි. ඒ මුදල රටේ ජාතික සංවර්ධනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වෙනත් කාර්යයකට යොදා ගත හැකි මුදලක් අපි වැටුප් හැටියට ගන්නවා, ඒ වැරදි තීන්දු තීරණ නිසා. නමුත් අපි මේක නිවැරදි කරගන වැඩි කොමිස් මුදලක් සංස්ථාවට ලබා ගන්නට හැකි වුණොත් අපිට ස්වාධීනව මේ කර්මාන්තය ගොඩ නඟන්න පුළුවන් වේවි.

එතකොට සංස්ථාවේ සේවක පඩි, නඩි පවා තමන්ටම උපයා ගන්න පුළුවන්?

රුපියල් මිලියන එකසිය තිහක් අපට හම්බ වෙනවා නම් අවුරුද්දකට ඒකෙන් පඩි නඩි ගෙවා ගන්නත් අපට පුළුවන්. අද අපට මිලියන තිහයිනේ හම්බ වෙන්නේ.

අද සිනමා තාක්ෂණය ඉතා සීඝ්‍රයෙන් වෙනස් වන යුගයකට අප පා තබා ඉන්නේ. අප මේ පසු කරන්නේ සැලෝලයිඩ් සිනමාවේ අවසාන යුගය බව ඔබ වරෙක මා සමඟ පැවසුවා. මේ තාක්ෂණික විප්ලවය ජය ගන්න අප කොයි වගේ සූදානමක ද ඉන්නේ?

අපි ඇනලොග් සිස්ටම් එකේ ඉඳලා ඩිජිටල් සිනමාවට පා තබන්නට සුදානමින් ඉන්නේ. ඒ ඩිජිටල් ක්‍රමවේදයට යාම පිළිබඳ තාම අපේ තියෙන්නේ මතවාදයක් විතරයි. තාම සම්පූර්ණ වශයෙන් ඩිජිිටල් සිනමා ප්‍රක්ෂේපණයට අපි ගිහින් නෑ. නමුත් ඩිජිටල් සිනමාකරණයට අපි ගිහින් තිබෙනවා. දැන් කැමරා පද්ධති කිහිපයක් ලංකාවට ඇවිල්ලා අද වෙනකොට වැඩිම සිනමාකරුවන් පිරිසක් රූපගත කරන්නේ ඩිජිටල් කැමරාවලින්.

තාක්ෂණයේ දියුණුව වගේම එය ආර්ථිකයටත් පහසුවක් . . .?

ඔව්. ඇත්තටම මේ ඩිජිටල් රූගත කිරීම නිසා 30% ක මුදලක් නිෂ්පාදන පිරිවැයෙන් අපට අඩුකර ගන්න පුළුවන්. නමුත් ඩිජිටල් කැමරාවෙන් අපි රූගත කරපු සිනමාව නැවත සැලෝලයිඩ් පටයට හරවන්න වෙනවා ලංකාවේ පෙන්වන්න. ඒකට හේතුව ලංකාවේ සියලුම සිනමා ශාලා තියෙන්නේ ඇනලොග් ක්‍රමයට නිසා. ව්‍යවස්ථානුකූලව අපට තාම චිත්‍රපට පෙන්වන්න පුළුවන් ඇනලොග් ක්‍රමයට විතරයි. පනත සංශෝධනය වෙන්න ඕනෑ ඩිජිටල් ක්‍රමයට චිත්‍රපට පෙන්වන්න. ඒ සඳහා යෝජනා අපි කැබිනට් එකට යවලා තියෙනවා.

මේ පසුබිම යටතේ අලුතින් සිනමා ශාලා ඉදි කිරිම සහ නවීකරණය කිරීමත් අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්?

අද වෙන කොට ලංකාවේ සිනමා ශාලා 168 ක් තියෙනවා. මම එනකොට සිනමා ශාලා 157 යි තිබුණේ. අලුතෙන් සිනමා ශාලා 11 ක් විවෘත වුණා. මේ මාසේ අන්තිම වෙනකොට තව සිනමා ශාලා 13 ක් විවෘත වෙන්නට නියමිතයි. එක සිනමාහලක්වත් නොවසා අලුතින් සිනමාහල් ඉදි කරන්නට ලැබීමම අප ලැබූ ජයග්‍රහණයක්.

නමුත් සෙන්ට්‍රල් සිනමා ශාලාව කඩා බිඳ දමා බිමට සමතලා කළා?

ඒක රජයේ දේපළක්. ඒක වැරදි විදිහට මේ පෞද්ගලික පාර්ශවයක් විසින් දීර්ඝ කාලයක් මුදලුත් නොගෙවා පාවිච්චි කරමින් සිටියා. අනෙක එතැන මේ තනිකරම පෙන්නන්නේ කුණුහරුප චිත්‍රපටනේ. නාගරික සංවර්ධන අධිකාරිය එතැන තිබූ අක්කරයක පමණ ඉඩම පවරාගෙන තිබෙනවා. එතැන විශාල ගොඩනැගිලි සංකීර්ණයක් හැදෙනවා. දැනට ඔවුන් එකඟ වෙලා තියෙනවා අපට චිත්‍රපට ශාලා දෙකක් දෙන්න.

සිනමාහල් නවීකරණය පිළිබඳ ප්‍රශ්නයට අපි නැවත ප්‍රවේශ වෙමු?

දැනට තිබෙන සිනමා ශාලා වැඩි හරියක තියෙන්නේ අවුරුදු පනහ, හැට පැරැණි ප්‍රක්ෂේපණ යන්ත්‍ර. අර කාබන් දීප්තකයෙන් තමයි රූපය පරාවර්ථනය කරන්නේ. ඉතින් එහෙම සිනමා ශාලාවල ඉඳලා තමයි ඩිජිටල්වලට අපි යන්න හදන්නේ. අපට ලොකු දුරක් තියෙනවා. ඒ දුර අවම කර ගන්න පුළුවන් මුදල්වලින්. දැන් රජයට මේකට මැදිහත් වෙන්න බැහැ. අපි සමාගම් කිහිපයක් එක්ක සාකච්ඡා කර තිබෙනවා. රජය අවසර දුන්නට පස්සේ ඩිජිටල් ක්‍රමයට ප්‍රක්ෂේපණය කරන්න සිනමා ශාලාවල් නවීකරණය වෙනවා.

එතකොට මම සභාපති වුණාට පස්සේ සෑම ප්‍රධාන නගරයක්ම ඉලක්ක කරගෙන මිනි සිනමා ශාලා ඉදි කරන්න අපි කටයුතුª කරනවා. දැන් මේ වෙනකොට අපි ආකෘතික සිනමා ශාලාවක් හදලා තියෙනවා. මහරගම ‘ඇමිටිලයිට්’ කියන ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ. ආසන 210 කින් සමන්විත, නවීන ඉතාම උසස් තත්ත්වයේ ශබ්ද තාක්ෂණය, ප්‍රක්ෂේපණය සහිත සිනමා ශාලාවක් එය. දැන් මේ වෙන කොට දඹුල්ල, කුරුණෑගල, අලව්ව, මාතර මිනි සිනමා ශාලා ඉදිවෙමින් පවතිනවා.

ඔබ මා සමඟ මින් පෙර සාකච්ඡාවකදී කියා සිටියා එල්ෆින්ස්ටන් රඟහල නැවත සිනමාහලක් බවට පත් කරනවා කියා. නමුත් මේ දිනවල එය නැවත නාට්‍ය ශාලාවක් බවට පත්කිරීමේ පිළිසකර කටයුතු සිදු වෙමින් පවතිනවා?

ඔව්. ඒකට ප්‍රධාන හේතුව රජය විසින් තීරණයක් අරගෙන තිබුණා ජාතික රංග ශාලාවක් හැටියට එල්ෆින්ස්ටන් රඟහල දිගටම පවත්වාගෙන යනවා කියලා. මොකද ඒකේ වේදිකාවට තිබෙන සමීපත්වය නිසා. ඒ නිසා අපිට ඒකට මැදිහත් වෙන්න බැරි වුණා.

එතකොට මරදානේ ඔලිම්පියා සිනමාහල මිනි සිනමාහලක් බවට පත්කරන බවටත් ඔබ පොරොන්දු වුණා?

ඔලිම්පියා සිනමා ශාලා ඉඩම මුස්ලිම් පල්ලියකට අයිති එකක්. ඒ වගේ පෞද්ගලික දේපළක් අපට පවරා ගන්න බැහැ. ඒ නිසා ඔය දෙකම අපෙන් ගිළිහිලා ගිහින් තියෙන්නේ. නමුත් දැනට මම අදහස් කරගෙන ඉන්නවා ඊරෝස් හෝ රූබි සිනමා ශාලා දෙකෙන් එකක් වරින්වර අපේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා ගන්න. ඒ පිළිබඳ එකඟතාවයක් තියෙනවා. නමුත් එකම ප්‍රශ්නය තියෙන්නේ ප්‍රේක්ෂකයන් හුරු වෙන්නේ නෑ එයට. දැන් සිනෙසිටි ශලා සංකීර්ණයේ සිනමාහලක් ඒ අය අපට ඕනෑ වෙලාවක දෙන්න සූදානම්. නමුත් අර දෙමළ ප්‍රේක්ෂකයෝ එතනට වැඩියෙන් ආකර්ෂණය වන නිසා සිංහල චිත්‍රපටයක් එතනට යෝග්‍ය නොවන බවක් තියෙනවා.

චිත්‍රපට බෙදා හැරීම සඳහා කොළඹ නගරයේ සිනමාහල් ප්‍රමාණවත් නැහැ කියලද ඔබ කියන්නේ?

තව සිනමාහල් දෙකක්වත් කොළඹ නගරය ආශ්‍රිතව තිබුණොත් බෙදා හැරීමේ කටයුතුවලට එය ලොකු පහසුවක් වෙනවා. දැන් රිට්ස් සිනමාහලත් අපි මිනි සිනමා හලක් බවට පත්කර තිබෙනවා. එහි ආසන තිබෙන්නේ එකසිය පනහක ප්‍රමාණයක් වුණත් එක් මණ්ඩලයක මුදා හැරීමේ සිනමාහලක් හැටියට එය පාවිච්චි කරන්නට පුළුවන්. ලිඩෝ සිනමා ශාලාව පිහිටා තිබෙන්නේ පෞද්ගලික ඉඩමක. එහි හිමිකරුවන් සමඟ මම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. නමුත් ඔවුන් නිශ්චිත වචනයක් දුන්නේ නැහැ. මොකද ලිඩෝ සිනමා ශාලාවත් ඉතාම ඉඩ පහසුකම් තියෙන තැනක්. විශේෂයෙන්ම අද කොළඹ නගරයේ සිනමාහලක් ඉදිකරද්දී වාහන ගාල් කිරීමේ පහසුකම් තියෙන්නම ඕනෑ.

මේ වසර අවසානයට පෙර දිවයින පුරා සිනමා ශාලා දෙසීයක් සම්පූර්ණ කිිරීමේ ඉලක්කය ඔබට තියෙනවා. එතකොට උතුරු - නැගෙනහිර සිනමාහල් ඉදිකිරීම පිළිබඳ ඔබේ ආස්ථානය කුමක්ද?

උතුරු - නැගෙනහිර සිනමා ශාලා බොහොමයක් පසුගිය යුද සමයේ විනාශ වෙලා. අපි ඒවා පිළිසකර කරගෙන යනවා. කිලිනොච්චිය සිනමා ශාලාවේ පිළිසකර කටයුතුª දැන් මුළුමනින්ම ඉවරයි. හෙට අනිද්දා ඒක විවෘත කරනවා. සිනමා ශාලා විසි පහක් පමණ උතුරු නැගෙනහිර කලාපය තුළ ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒකට අපට නෙදර්ලන්තයෙන් හොඳ තත්ත්වයේ තිබෙන ප්‍රක්ෂේපණ යන්ත්‍ර දොළහක් දැන් නැව්ගත කරලයි තියෙන්නේ. ඒක අපට තෑග්ගක් හැටියට ලැබෙනවා ජනවාරි මාසේ අන්තිමට.

ඒවා ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ද?

නැහැ. සැලෝලයිඩ් ප්‍රක්ෂේපණ යන්ත්‍ර. ඒ වුණත් ඒවා හොඳම මට්ටමේ තියෙනවා. ඒ ප්‍රොජෙක්ටර්ස් අනාගතයේදී ඩිජිටල්වලට පරිවර්තනය කරන්නත් පුළුවන් මූලික කොටස් එක්ක. එම යන්ත්‍ර තිහක් අපට දෙන්න පොරොන්දු වී තිබෙනවා. ජාතික සිනමා සංවර්ධන අරමුදලට යම් කිසි ගෙවීමකට යටත්ව අපි ඒ ප්‍රක්ෂේපණ යන්ත්‍ර නොමිලේ ලබා දෙනවා අලුතින් හැදෙන සිනමාහල්වලට.

අලුතින් සිනමා ශාලා ඉදි වූ පමණින්ම, තාක්ෂණය සමඟ අත්වැල් බැඳගත් පමණින්ම අපට හොඳ සිනමාවක් පිළිබඳ සුබ සිහින දකින්නට බැහැනේ. අපි දන්නවා දැන් සිනමා ශාලා තියෙනවා, නමුත් ප්‍රේක්ෂකයෝ එන්නේ නෑ. ඒකට හේතුව හොඳ චිත්‍රපට නිර්මාණය නොවීම. ඒ ප්‍රේක්ෂකාගාර නැවත පිරවිය යුතුයි නේද?

ඔව්.ඒක තමයි මම කිව්වේ අපට අවශ්‍යය පළමුවැනි දේ තමයි ජාතික සිනමාවක් ගොඩ නැඟීම. අපට තියෙන්නේ පෞද්ගලික සිනමාවක්. හුඟක් වෙලාවට දැන් තමන්ට බලන්න ඕනෑ දේ තමුන් කරනවා. එතකොට අනුන් බලන්න එන්නේ නෑ ඒක. පහුගිය කාලේ මතක ඇති යුද්ධය තමයි ඔක්කොම චිත්‍රපටවල වස්තුª බීජය වුණේ. ඊට පස්සේ ඉතිහාසය. දැන් ඉතිහාසය එපා වෙනවා මිනිස්සුන්ට තව ටිකක් කල් යනකොට. ඒ නිසා සිනමාකරුවන්ට සිද්ධ වෙනවා නැවත හිතලා බලන්න. එකක් තමයි අපි කවදාවත් ඒ ප්‍රේක්ෂක ජනතාව ගැන අධ්‍යයනයක් කරලා නෑ. නමුත් ලෝකයේ හැම රටකම චිත්‍රපට ප්‍රේක්ෂකයන්ටයි හදන්නේ. ඔවුන් ප්‍රේක්ෂකයෝ ගැන දන්නවා, ෆිල්ම් මාර්කට් එක දන්නවා.

ඔබ කියන්නේ අපට හොඳ අධ්‍යක්ෂවරුන් නැහැ කියලාද?

නැහැ, අපට හොඳ අධ්‍යක්ෂවරුන් සිටිනවා. නමුත් අපට තිරකතා රචකයෝ හිඟයි. පවුලේ නැතිනම් ජන ආකර්ෂණීය කතා ගොඩ නඟන්න තිර රචකයන් අපට නැහැ. අපි දමිළ චිත්‍රපටයක් ගත්තොත් ඒක නැරඹුවාට පස්සේ මොකක්දෝ එකේ ඇතුලේ කතන්දරයක් තියෙනවා. චීන සිනමාව, හින්දි සිනමාව ගත්තත් එහෙමයි. ඒ නිසා අපට ඒ පැත්තෙන් උනන්දු වෙලා ඔබ කිව්වා වගේම ජනතාව කැන්දා ගන්න පුළුවන්. ආකර්ෂණීය සිනමාවක් ගැන හිතන්න වෙනවා. ඒක තමයි මම කිව්වේ ජාතික සිනමාවක් ගොඩ නගන්න ඕනෑ කියලා ප්‍රබල කතා වස්තූන් තියෙන. රජය ප්‍රතිපත්තිටක් හැටියට සිනමා ප්‍රදර්ශනයට අත ගසලයි තියෙන්නේ. ජනාධිපතිතුමා හැම වෙලාවෙම උනන්දු වෙනවා සිනමාවේ පුනරුදය සම්බන්ධයෙන්. ඒක නිසා මේක හොඳ අවස්ථාවක් අපේ සිනමාව ප්‍රගමනය සඳහා තල්ලු කරන්න.

හිටපු සභාපති ජයන්ත ධර්මදාස යුගයේ සිනමා කර්මාන්තයේ විශේයෙන්ම නළු, නිළියන්ගේ සුබසාධන කටයුතු සිදු වුණ බවත් ඔබේ යුගයේ එසේ නොවන වගටත් ඇතැම් සිනමා ශිල්පීන් චෝදනා නඟනවා?

මට සුබසාධන කටයුතු කරලා ජනප්‍රිය පුද්ගලයෙකු වෙන්න කිසිම ඕනෑකමක් නෑ. මම වෙනත් වෘත්තියක ඉන්නේ. ඒ නිසා මට එහෙම අනවශ්‍ය ආකර්ෂණයක් ලබා ගන්න ඕනෑ නැහැ. නමුත් සිනමාව පිළිබඳ අනාගත සැලැස්මක් මා ළඟ තියෙනවා. ඒක මම ක්‍රියාවට නංවලයි තියෙන්නේ. අද රවීන්ද්‍ර රන්දෙණිය හැර චිත්‍රපට බෙදා හැරීම රජයට පවරා ගත යුතුයි කියලා කවුරුවත් කියන්නේ නැහැ. හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ වැඩේ කරගන්න අනුන්ට ඇඟිල්ල දික් කර කර.

මේ ජාතික චිත්‍රපට සංස්ථාව හදලා තියෙන්නේ ජාතික සිනමාවක් ගොඩ නඟන්න මිසක් නළු නිළියන්ගේ සුබසාධන කටයුතු කරන්නවත්, ඒ අය සාදවලට කැඳවාගෙන යාමටවත් නෙවෙයි. මගේ දින පොතේ එහෙම නෑ. දැන් චිත්‍රපට බෙදා හැරීම රජයට පවරා ගත යුතුයි කියලා ගැසට් කළේ මම. ඒකට විරුද්ධ නඩුක් ගිහින් තියෙනවා 2007 දී. මම ආපසු එනකොටත් නඩුව එතැන. දැන් හෙට අනිද්දා ඒක ඉවරයක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මම නිකුත් කරපු ගැසට් පත්‍රය තමයි අද පනතක් හැටියට ගේන්න යන්නේ.

මේ අභියෝග මැද අප යන ගමනේදී සිනමාවේ හෙට දවස කෙබඳු වේවිද?

අද අපේ රට සීඝ්‍රයෙන් දියුණුවට පත් වෙනවා. එතනදි අපේ සිනමාවත් දියුණු වෙන්න අවශ්‍යයි. අපට මේ සංවර්ධන ක්‍රියාවලියේදී පසුපසට ගොස් හුදෙකලා වෙන්නට බැහැ. අප ලෝකයත් සමඟ එක් විය යුතුයි. අලුත් තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගත යුතුයි. අපේ ජාතික සිනමාව අප ලෝකයට ගෙන යන්න ඕනෑ. දැන් අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට, අශෝක හඳගමට, ප්‍රසන්න විතානගේට. ඒ අය ලෝකෙට අපේ සිනමාව රැගෙන ගියා විදග්ධ සිනමාවක් හැටියට.

නමුත් වාණිජ සිනමාවක් හැටියට යන්න බෑ අපට. අපි මාල දිවයිනට, භූතානයට, ඉන්දියාවටවත් චිත්‍රපටයක් විකුණලා නැහැ. සිනමාව කර්මාන්තයක් විදිහට සලකන කොට අපිට හිතන්නට වෙනවා කොහොමද අපි වාණිජ සිනමාවත් අරගෙන වෙනත් රටකට යන්නේ කියලා. ඒකට අප දැන්වත් සූදානම් විය යුතුයි.